මාළු බිත්තර බිත්තර හදන රසම රස විදි දෙකක්

ශ්‍රී ලංකාව කියල කියන්නෙ විවිධ ජාතින් සහ විවිධ ආගම් වලට අයත් ජන කොටස් ජීවත් වෙන රටක් කියල අපි කවුරුත් දන්නවනේ. 

ඒ නිසාම අපේ ආහාර සංස්කෘ තියත් විවිධ ආගම් වල විවිධ ජාතීන් වල ආහාර එක්ක එකට එකතු වෙලා නිර්මාණය වෙලා තියෙනවා. 

ආගම් ජාතීන් අනුව විතරක් නෙමෙයි විවිධ ප්‍රදේශ අනුවත් සමහර කෑම වර්ග වල රස ලංකාව පුරාම විවිධ ආකාරයට අපිට අත්දකින්න ලැබෙනවා. 

මේ විදිහට ගොඩනැගුණු අපේ ආහාර රුචි අරුචිකම් වෙනස්. කෙනෙක්ට ප්‍රිය ආහාරයක් තව කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නත් ඒ ඒ ප්‍රියතාවයට වගේ ප්‍රතික්ෂේප කිරීමටත් තමන්ට ආවේණික හේතු තියෙන්නත් පුළුවන් ඒ නිසයි. 

අන්න ඒ වගේ සමහරු ප්‍රතික්ෂේප කරන තවත් සමහරු ප්‍රිය කරන මාළු බිත්තර හදාගන්න පුළුවන් ක්‍රම 02 ක් ගැන ඔබට කියන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ. 

ඕමෙගා 03 සහ DHA වැනි සං‍යෝග අඩංගු නිසා මොළයේ වර්ධනයට, ඇස් වල පෙනීම වැඩිදියුණු කරන්න, හෘදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පවත්වා ගන්න, රුධිර පීඩනය ක්‍රමවත් කරන්න, ප්‍රතිශක්තීකරණය ශක්තිමත් කරන්න වගේම පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න සහ ශක්තිමත් අස්ථි සහ දත් සඳහාත් උදව් වෙන මාළු බිත්තර සාදාගන්න පුළුවන් ක්‍රම 02 ක් ගැන අපි දැන් බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

මේ සඳහා අපිට මාළු බිත්තර වලට අමතරව ඔබේ රස අනුව,

ලුණු කුඩු,

මිරිස් කුඩු,

කහ කුඩු සහ තුනපහ කුඩු, බැදගන්න තෙල් සහ වතුර අවශ්‍ය වෙනව.

සාදාගන්නා ආකාරය

මුලින්ම, අපි නොකැඩෙන සේ ප්‍රවේශමෙන් මාළු බිත්තර පිරිසිදු කරගන්න ඕන. 

පිරිසිදු කරගත්තු මාළු බිත්තර භාජනයක අතුරා භාජනයේ අඩිය වැසෙන ප්‍රමාණයට වතුර ටිකක්, ඔබේ රස අනුව ලුණු කුඩු, කහ කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කරල භාජනයේ පියන වහල අඩු ගින්දරේ විනාඩි 05 ක් 07 ක් විතර මාළු බිත්තර තම්බා ගන්න අවශ්‍යයි. 

මාළු බිත්තර වල පාට වෙනස් වෙලා භාජනයේ තියෙන වතුර ටික හිදෙනකන් මාළු බිත්තර මේ විදිහට තම්බගත්තට පස්සෙ හෙමීට භාජනයෙන් මාළු බිත්තර ටික ඉවත් කරගෙන නිමෙනකන් තියාගන්න ඕන. 

නිමුණට පස්සෙ මාළු බිත්තර අඟලක හෝ අඟල් භාගෙක වගේ ඔබ කැමති ප්‍රමාණයක කුඩා කැබලි වලට ප්‍රවේශමෙන් කපාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකන් බැඳගන්න ඕන. 

දැන් අපි මාළු බිත්තර හදාගෙන ඉවරයි. 

සිහින්ව ලියාගත්ත ලොකු ලූණු ගෙඩි භාගයක්, අමු මිරිස් කරලක් හෝ දෙකක් එක්ක මේ බැදගත්ත මාළු මිරිස් ටික කලවම් කරල රස අනුව ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ දෙහි යුෂ බින්දු කීපයකුත් එකතු කරල කලවම් කරල හදාගත්ත සම්බෝලයක් විදිහටත් මාළු බිත්තර පිළියෙල කරගෙන ආහාරයට ගන්න පුළුවන්. 

තවත් ක්‍රමයකට මාළු බිත්තර පිළියෙල කරගන්න කලින් විදිහට බැදගත්ත මාළු බිත්තර වලටත් අමතරව,

අබ තේ හැඳි ½ ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි භාගයක්,

දෙකට පලාගත් අමු මිරිස් කරල් 02 ක්, 

සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩියක්,

තලාගත් සුදු ලූණු බික් 04 ක්,

කරපිංචා ඉති 02 ක කොළ,

රස අනුව කෑලි මිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ තෙල් ටිකක් අවශ්‍ය වෙනව. 

සාදාගන්නා ආකාරය

මුලින්ම, භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කරල තෙල් රත්වෙද්දි අබ සහ තලාගත් සුදුළූණු එකතු කරල විනාඩියක් විතර තියාගන්න ඕන.

සුදුලූණු ටික බැදීගෙන එද්දි ලූණු සහ අමු මිරිස් වගේම කරපිංචත් එකතු කරල හොඳින් කලවම් කරගෙන ලූණු ටික මැලවෙනකන් තවත් ටික වෙලාවක් තියාගන්න. 

ලූණු ටික මැලවීගෙන එද්දි රස අනුව කෑලි මිරිස්, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩුත් එකතු කරල හොඳින් කලවම් කරගෙන විනාඩියක් දෙකක් තියල බැදගත්ත මාළු බිත්තර සහ කපාගත්ත තක්කාලි කැබලි එකතු කරල ප්‍රවේශමෙන් කලවම් කරල භාජනයේ පියන වහල විනාඩි 05 ක් 07 ක් විතර විටින් විට හැඳිගාමින් පිසගන්න ඕන. 

ඔන්න මාළු බිත්තර තෙම්පරාදුවත් අපි හදාගෙන ඉවරයි. 

මේ විදිහට මාළු බිත්තර හදල බලන්නකෝ එහෙනම්. 

මේ වගේම රසවත් කෑමක් එක්ක නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles