රන් මල් දම් – 60

මන්දාරම් උන්නේ අපහසුවකය. මේ මැදියමේ හඬා වැටෙන යුවතිය අස්වසන්නට තමා කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තත්පර කිහිපයක් කලු කුහරයකට වැටුනේය. නිම්නාවී හුස්ම ඉහළට අල්ලාගෙන ජංගම දුරකතනය ද සවනට තෙරපවාගෙන උන්නේ මන්දාරම්ගෙන් අස්වැසුම් බසක් බලාපොරොත්තුම වීගෙනය.

” …….. ඔයා හිතනවා නම්, මම දඬුවම් වින්දා මදි ඒ කරපු දේට කියලා, ඔයා දෙන ඕනෑම දඬුවමක් මම විඳින්නම් … මට මේ මානසික වදේ හරි වැඩි .. මට තේරෙනවා, එදා ඔයාට ඔයාගේ අම්මාව නැති වෙන්න තිබ්බ දවසක් … ඒක සම්පූර්ණයෙන්ම මගේ වරද … මං … මං …. සල්ලිකාර කෙල්ලෙක් හින්දා. ඔයා මගේ ගැන කොහොම හිතනවාද දන්නේ නෑ මන්දාරම් …. ඒත් … ඒත් … ඒ ඔයා හිතාගෙන ඉන්න විදියේ නෙවෙයි මම …. “

මන්දාරම්ගේ ජීවිතයේ ස්ත්‍රී ළයාදර බව වෙනුවෙන් වෙන්වතිබූ බොහෝ නහර අප්‍රාණිකව තිබී ඇති බව මන්දාරම්ට වැටහෙන්නේ ඇගේ හඬ නිසා හදවතට දැනෙන අමුතුම ස්පන්දන නිසාය.

” නිම්නාවී ප්ලීස් … අඬන්න එපා… මං ඔයාව අඬවන්න කතා කලා නෙවෙයි …”

මන්දාරම් එලෙසින් කීවේ අර කී අමුතු ස්පන්දන වල බලපෑම වචන වල යන්තමින් තැවරෙන්නට දීය. නිම්නාවී මිලි තත්පරයක් හුස්ම නවතා ගත්තාය. ඒ මිලි තත්පරයට පසු ඇගේ හුස්ම වැටුණේ ජීවිතේ පළවෙනි වතාවට වන නුහුරු විදියකින් ය. පළමු තත්පරය හුස්ම හිර වීමක් විය.

” මම උදේට ගන්නම් ඔයාට… දැන් නිදාගන්න …”

මන්දාරම් ඉන් පසුව කීවේය. නිම්නාවී ගේ හදවත කෑ ගැසුවේය. ඒ ඇමතුම විසන්ධි නොවන්නටය. එලෙස ඇමතුම විසන්ධි නොකරන ලෙස ඉල්ලමිනි.

” නිම්නාවී …”

“එපා…”

නිම්නාවී එක්වරම පැවසුවේ මන්දාරම්ද තිගැස්සී යන ස්වරයකින්‍ ය. ඒ තිගැස්ම සමඟ චානක ඉදිරිපස දොර වසා දැමූ ක්ලික් හඬේ තිගැස්මද මන්දාරම්ට දැණුනි. මන්දාරම් අසුනෙන් නැගිට පුස්ථකාලයේ දොරෙන් එබී බැලුවේය. චානක ඔහුගේ කාමරය වෙත  යනු දැක  මන්දාරම් යළි පුස්තකාල අසුනේ හිඳ ගත්තේය.

” නිම්නාවී ..”

මන්දාරම් යළි ඕ ඇමතුවාය.

“ඕ .. “

නිම්නාවී උන්නේ අර  නැවුම් හැඟුම එක්කය. තෙත කම්මුල් ඒ නැවුම් හුස්මෙන්ද පෙඟෙමින් තිබුණි.

” මම උදේට ඔයාට ගන්නම් … නිදාගන්න දැන් …”

“නින්ද යන්නේ නෑ මන්දාරම්….  “

“ඒ මොකද ඒ ??..”

“සතුටට … දුකට… සැනසීමට… බයට …. “

නිම්නාවී හෙමි හෙමින් පැවසුවාය. ඒ හා සමාන වේගයකින්, මන්දාරම්ගේ හදවත ඉරි තැලුම් තැණුනේය.

” ජීවිතේ කියන්නේ ඔය ඔක්කොම දේවල් වල එකතුවක් නිම්නාවී …  ඒ හැම දෙයක්ම දරාගන්න වෙනවා … ඒ දේවල් පහුකරගෙන, දරාගෙන යන්න වෙනවා …”

මන්දාරම් තිබූ තත්වය බැරෑරුම් කලේය. නිම්නාවී  වටා සිසිල් සුළං රැලි මාලාවක් හමා ගියේය.   ඕ උකුල මත වූ කොට්ටය ඇඳ වියලට තබා ගත නිදහසේ විසිරෙන්නට දී වැතිරුණාය.

” දන්නවා.. ඒ බව දැනගෙන මම සෑහෙන කල් ජීවිතේ අල්ලගෙන හිටියා… “

මන්දාරම් හිස සලමින් එය පිළිගත්තේය. චානක මන්දාරම් සොයාගෙන කාමරය තුළට ගොස්, ඔහු එහි නොසිටි නිසා පුස්ථකාල  කාමරය වෙත එබුනේය. මන්දාරම් ගේ ඇමතුම කා සමඟදැයි ඇසුණ වහාම ඔහු කාමරය තුළටම පිවිසියේය. මන්දාරම් ඔහු දුටුවේ නිම්නාවීගේ හඬ නෑසී යද්දීම වාගේය. ඔහුට ඉන් පසුව  නිම්නාවී ට පවසන්නට සූදානම් වූ වචන ගිලුණේය. චානක ඇහි බැම නළලේ තබා, දෑතින්ද මන්දාරම්ට ඉදිරියට යන ලෙස පවසා නික්මුණේ මන්දාරම් ඔහුට  සිතින් බැණ වදිද්දීය.

“හෙලෝ …”

මන්දාරම්ගේ නිහඬවීම නිසා නිම්නාවී යළි කතා කලාය.

“ඔව් .. නිම්නාවී … “

“මන්දාරම්ට නිදිමතයිද ? … අයිම් සොරි …”

” නැහැ .. එහෙම නෙවෙයි …චානක ඇවිල්ලා ගියා ….”

මන්දාරම් එලෙස පැවසීමෙන් පසු දෙදෙනා අතර යම් නිහඬියාවක් විය. චානක කොහොමටත් තමා පිළිබඳව සැක කරමින් උන් බව ඕ දනී.

” චානා අවුලක් නෑ.. මං නැතුවට බලන්න ඇවිල්ලා… “

“චානක අයියා මං ගැන කොහොමටත් සැකෙන් උන්නේ…”

“ඌ අයියා වෙලා මම මන්දාරම් වෙන්නේ කොහොමද ? .. ඌ මටත් මාස  දෙකක් බාලයි …”

මන්දාරම් උසස්පෙල කොල්ලකුගේ ස්වරයක් සහ ස්වභාවයක් ක්ෂණිකව මවා ගත්තේය.

” කවුද දන්නේ ? ආයේ එහෙනම් මන්දාරම් අයියා කියන්නම්…”

නිම්නාවී ද සිනාසෙමින්ම කීවාය.

” එපා…”

“එපා ?”

“සෙත් කියන්නම් කියලානේද කිව්වේ ?”

මොහොතකට පෙර සිට  අලුතින් වැටෙමින් තිබූ හුස්මේ  යළි මොහොතකට  නිම්නාවී නැවුම් වූවාය. සමනල්ලු ගැන ලියා අවසන් කල නොහැක. ඕ උන්නේ පුදුමාකාර ආහ්ලාදජනක හැඟීමක් දරාගෙනය. දැන් දිනයේ අවසානයය. මධ්‍යම රාත්‍රියය. එහෙව් වෙලාවක නින්ද වෙනුවට, තමා තෝරාගැනීම..?

ඔහු මෙහෙම දයාබර වීම වටහා ගන්නට නොහැකිය. නිම්නාවී උණුසුම් වෙමින් උන්නාය. එහෙත් ජීවිතය සියල්ල එක් වරම ලඟට දෙන්නේ නැත.

” මං ගැන අනුකම්පා හිතෙනවා ඇතිද? සමහර විට ජිනේන්ද්‍ර අයියා මං ගැන  විස්තර කියලා ඇති … මෙහෙම කතා කරන්නේ මං ගැන අනුකම්පාවෙන් වෙන්න ඇති … කමක් නෑ… කමා නෑ. අඩුම ගානේ  මට වෛර කරන්නේ නැහැනේ…”

නිම්නාවී එක්වරම ආගාධයකටද වැටුණාය.  සුසුමක්  හෙලුනි. මන්දාරම් එය හැඳින්නේය. තමා වරදක් කිව් බවක් සිහියේ නැත.

” නිම්නාවී මම විහිළුවක් කලේ.. ඔයා කැමති විදියක්…”

අතීතය අවුස්සා තමා ඕ අපහසුවේ හෙලනට උත්සාහ කරන බවක් ඇයට දැනේවියැයි බියෙන් මෙන්  ඔහු වහා නිවැරදි කලේය. එහෙත් නිම්නාවී උන්නේ එයද නොවැටහෙන දුරකය

” හ්හ්..”

ඕ යන්තම් හඬක් නැඟුවාය.

ඇමතුම් විසන්ධි කලේ මන්දාරම්ය. නිම්නාවී එයට එකඟව නිහඬ වූවාය.දෙදෙනාටම නින්දක් ලං වූයේ නැත. මන්දාරම් අම්මාගේ කාමරයට එබී බැලුවාය.අද ජිනේන්ද්‍ර සමඟ ප්‍රියලාල්  අම්මා බලන්නට පැමිණ ගොස් ඇත. අම්මා සවස් වරුවේ උන් සතුට ඔහුට මැවී පෙනුනේය.

” අම්මා සතුටින් ඉන්නෝනි අම්මේ… මම ඔක්ක්ම දේවල් බලාගන්නම් …”

මන්දාරම් කාමරයෙන් පිටතට ආවේ එලෙස සිතමිනි. චානකට බාධා කරනට නොසිතූ ඔහු යලි කාමරය තුලටම වැදුනේය.

නිම්නාවී පසුදින ඇහැරුණේ මල්ලීගේ හඬිනි.

” අක්කේ… මම වර්ක්ශොප් එකකට නුවර යනවා අද හවස.. සතියක් … තමුසේට පරෙස්සමින් ඉන්න පුලුවන් නේද ? මම තාත්තාටත් කිව්වා…..”

නිම්නාවී සිනාසුණාය

”  මළ කෝලම්… මට ඉන්න බැරි මොකෝ …. ඔයා වැඩ ටික කරගෙන එන්න මල්ලී…”

එහෙත් දිලුම් උන්නේ එහෙමට පෙනෙන සැහැල්ලුවක නොවේය.

” විහිලු නෙවෙයි අක්කේ… පසන් ඉන්නේ පිස්සුවෙන් ලූ …ඌ කොයිම හරි වෙලාවක ඔයාව උස්සන්න ප්ලෑන්ක් ගහගෙන ඇති.. එහෙමට සතා නේ….. ජිනේන්ද්‍ර ඊයේ කිව්වේ, . ඌ මන්දාරම්ගේ ජොබ් එකත් නැති කරලා… බොසාට ත්‍රෙට් කරලාලූ …”

නිම්නාවී ට දැණුනේ තම හිස මත අකුණක් පුපුරා ගිය බවය. මන්දාරම්ට එවන් කරදරයක් වූ බව දැනගත් විගස අක්කා සෙත් ගේ සිහියෙන් හොඉ ඔහු අමතන බව දිලුම් නිකමට උපකල්පනය කලේය . අක්කාම් ඔහු හා බැඳීම වඩා යෙහෙය.

” ජොබ් එකට මොකක් වෙලා කිව්වා ?”

“පසන් උන්ගේ ප්‍රොජෙක්ට් පාර්ට්නර් කෙනෙක්ලු නේ…. ඌ මන්දාරම්ගේ බොසාට කියලා, ප්‍රොජෙක්ට් එක කෙරෙන්න ඕනි නම් මන්දාරම්ට ජොබ් එක නැති කරන්න කියලා…. ආරංචි විදියට මන්දාරම්ම රෙසිග්නේශන් දීලා ….”

දිලුම් බර සාරව කීවේය. නිම්නාවී කලබලය දිලුම්ගෙන් සඟවන්නට  උත්සාහ කලා වුව, දිලුම් ඒ කලබලය මනාව කියවාගෙන, ගොනා සේ පසුබැස්සේය.

” තාත්තා එක්ක ඉන්නවා එහෙනම් ඈ…”

දිලුම් ගිණි අවුලා පිටව ගියේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles