උදේ පාන්දර බස් එකේ නැගී නුවර සිට කොළඹ එන එක මෙච්චර අමාරු බව දන්නවනම් ගෙදර නතරවෙන බව හිතුවත් මේ ගමන අවසානයේ නෙවින්ගේ සුන්දර දෙනෙතත් මුහුණත් දකින්න ලැබෙන බව දන්න හන්දා ශාර්වරී හිතට ඕනවට වඩා මහන්සිය හිතට අරගන්න ඉඩ දුන්නේ නැත.
“බස් එකේ වාඩිවෙලා එද්දි හරිම මහන්සි අනේ. කොන්ද රිදෙනවා” කියා ශාර්වරී නෙවින්ට කිව්වේ තේ බොන්න බස් එක අතරමග නතර කල වෙලාවේය.නංගි යාලුවන් එක්ක වොශ් රූම් එකට ගිහින් එන්න ගිය වෙලාවේ බස් එකේ වාඩි වී බෑග් එක පපුවට තුරුලු කරගෙන ඉන්න ගමන් ශාර්වරී නෙවින්ට කෝල් එක ගත්තෙ තමන් දැන් ඉන්නේ කොළඹට මෙච්චර දුරෙන් බව කියන්නය.
“මං ඒකනෙ කිව්වෙ පික් මී එකක එන්න කියලා. වෑන් එකක් හරි දාගන්න තිබ්බනෙ”
“කොච්චරක් කියලා ගෙවන්නද අනේ? නුවර ඉඳන් කොළඹ එන්න”
“කවුද ඉතින් ඔයාට ගෙවන්න කිව්වෙ. මං කිව්වනෙ මං ගෙවන්නම් කියලා.ඔයා නම් හරිම බකපණ්ඩිත කෙල්ලෙක්”
“ආහ් ඔයාගෙ සල්ලි පරිස්සම් කරන්න හිතපු හන්දා වෙන්නැති දැන් මේ මං බකපණ්ඩිත කෙල්ල උනේ”
“හරි ඔයා එන්න තව පැයක් එක හමාරක් යනවනෙ. මම ඔයාව කෙලින්ම ගන්නම් බස් ස්ටෑන්ඩ් එකෙන් හරිද?”
“ඔයා කොහොමද එන්නෙ? ඩ්‍රයිඩ් කරගෙන නෙවෙයිනේ? ඩ්‍රයිව් කරන්න එපා ප්ලීස්”
“නෑ ප්‍රොමිස්. මං පොරොන්දු උනා ඔයාටයි අක්කටයි දෙන්නටම. මම වෙහිකල් එක ලක්ශාන්ට දුන්න නැත්තන් නිකන්ම තිබිලා අපරාදෙ නිසා. මම වාහනයක් දාගෙන එන්නම්. අපි ඇවිත් ඔයාට වොශ් එකක් වගේ දාන්න ඕන නම් මගේ අපාට්මන්ට් එකට ඇවිත් වොශ් එකක් දාන් යන්න පුලුවන්. වෙන ඇඳුමක් එහෙම ගෙනාවද මාරු කරගන්න?”
“ඇඳුමක් නම් ගෙනාව. මම බස් එකෙන් බැස්සම ඒක කතාකරගමු. අපි අද මොකද කරන්නෙ?”
“මම මුකුත් රිසවේශන්ස් දැම්මෙ නෑ. මම හොටෙල් බුෆේ කීපෙකටම කතා කරා, වෝකින් පුලුවන් කිව්වා. ඒ නිසා අවුලක් නෑනෙ. අපි කාලා නංගිලා පොත් අරන් රස්තියාදු ගහලා ඉවර වෙලා එනකම් වෙලාව තියෙන විදියට මොන මොනවහරි කරමු. මං ඔයාට මොනව හරි අරගෙන දෙන්නත් ඉන්නෙ”
“ඒ මොකටද?”
“මං ඔස්ට්‍රේලියාවෙ යන්න කලින් ඔයාට මොනවහරිම අරගෙන එනවා කියල හිතලනෙ යන්න ඇත්තෙ. වෙච්ච දේවල් හන්ද ඒ කිසිම දෙයක් මට කරගන්න උනේ නෑ. ඇත්තටම මම මෙච්චර දවසක් නුවර ආවට කන බොන දේවල් අරගෙන ආවට මම ඔයාට කියල මුකුත් අරගෙන ආවෙ නෑනෙ. එහෙම බැලුවොත් මගෙ අතෙන් සෑහෙන බෝයිෆ්‍රෙන්ඩ් ඩියුටීස් මිස් වෙලා තියෙනව නේද?”
“මං එහෙම හිතලා නෑ කවදාවත්”
“ඒක හරි. ඒ උනාට ඔයාගෙ වයසෙ ළමයි ආසයිනෙ දේවල් වලට. මට ලක්ශානුත් බැන්නා. මම නිකන් වයසට ගිය මිනිහෙක් වෙලා මම මේ පොඩි කෙල්ලෙක්ව යාලු කරගෙන ඒ කෙල්ලට දරාගන්න බැරි දුක් දෙනවා සහ හරියට සලකන්නෙ නෑ කියලා. ඌ ඒක කිව්වම තමයි මට හිතුනෙ ඒක ඇත්ත කියල. තාම මගෙ ඔලුව ටිකක් අප්සෙට් එකේ තියෙන්නෙ. ඇඩ්ජස්ට් වෙන්න ලේසි කියල හිතුවට සමහර තැන්වලදි පොඩ්ඩක් විතර ඔලුව කන්ෆියුස් වෙනවා. මිනිස්සු දාහක් විතර මාව දන්නවා වගේ කතාකරාට මම ඒ සමහර මිනිස්සු කවුද, ඒ මිනිස්සු අතීතෙ මට මොනව කරලා තියෙද නැද්ද දන්නෙ නැති හන්ද මම සෑහෙන් රෙස්ට්‍රික්ටඩ්. මට බය නැතුව හිතට එන දෙයක් කියන්න හරි පුලුවන් ඔයා ඉන්න තැනකදි තමයි”
“හ්ම්ම්ම්, අපි ඇවිත් කතා කරමු. බස් එක දැන් යන්න හදන්නෙ. මං නිට්ටඹුව හරියෙදි ඔයාට ආයෙ කතා කරන්නම් හොඳේ”
නෙවින් ඇත්තටම උන්නේ තමන් විසින් මග හැරුන, පෙම්වතෙක් ලෙස තමන්ගෙන් ඉටු විය යුතු දේවල් කල්පනා කරමිනි. අතීතයේ උන් නෙවින් අතෙන් ඒ දේවල් උනාද නැද්ද කියා දැනගෙන උන්නෙ නැති නමුත් වර්තමානයේ ඉන්න නෙවින්ට ඒ දේවල් කරන්න බැරිකමක් නැති බව නෙවින් දනී. අතීතයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් වුනානම් මේ ඒ වැරදි හදාගෙන ජීවිතේ වඩා යහපත් කරගන්න හැකි දෙවනි අවස්තාවකි. ඒ අවස්තාව නැති කරගත යුතු නොවේ.
ශාර්වරී රැගත් බස් රිය කොළඹට එන තුරු නෙවින් තමන්ට උදේ වරුවේ කරන්නට තිබුන වැඩ ඉක්මනින් අවසන්කරගත්තේය. ව්‍යාපාරයට සම්බන්ධ ඊමේල් පණිවිඩ කිහිපයකට පිළිතුරු යවා අවසානයේ හැඳගෙන යන්නට සුදුසු ඇඳුමක් ගෙන එය මැද තැබුවේය. තවමත් ඇඟට ඉස්සර මෙන් ලොකුවටම මහන්සි වෙන්න පුලුවන්කමක් නැති හන්දා ගෙවල් අස්පස් කරන වැඩ වලට සේවිකාවක් එන බැවින් ගෙදර ලොකුවට අස් පස් කරන්න කියා දෙයක් නොමැත.
ශාර්වරී පිටකොටුව බස් නැවතුම්පලෙන් බහින අවස්තාව වෙද්දිත් නෙවින් එහි පැමිණ උන්නේය. අයේශ්වරීගේ අක්කා යාලුවෙලා ඉන්නේ ලංකාවේ ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙකු සමග බව දැනගෙන උන්නත්, අක්කාගෙත් ඒ අයියගෙත් ආදර කතාව දැනගෙන උන්නත් මෙපමන ලස්සන තරුණයෙක්ව හැබෑවටම දැකගන්න ලැබීම අරුමයක් බව අයේශ්වරීගේ යාලු කෙල්ලන් අතර හුවමාරු වෙච්ච ඇස් බැල්මෙන් අඳුරගන්න එක ශාර්වරීට අපහසුවක් උනේ නැත.
වෙනදා නම් ඕක පොඩ්ඩක් විතර ඉරිසියාව හිතට අරගෙන එන්නට හේතුවෙන සිදුවීමක් උනත් සියල්ල වුණයින් පස්සෙත් නෙවින් සේනාරත්නගේ මතකයෙන් නොමැකෙන අන්දමේ ආදරයක් වන්නට හැකි වුණ තැනක කෙල්ලක් දාහක් ඔහු දිහා බැලුවත් ඔහු තමන්ගේ පමණක් බව කියවෙන විශ්වාසය ඒ ඉරිසියාවට හිතට එන්නට ඉඩක් දුන්නේ නැත. අනෙක් අතට ශාර්වරීව දුටු සැනින් එතනට පැමිණ උරහිස වටේ අත දමා තමන්ගේ වතට තුරුලු කරගන්න අතරවාරයේ ලොකු අයියා කෙනෙකු මෙන් නංගිගේ ඔලුව අතගා නංගිගේ යාලුවන් සමගද සිනාසෙන්න අමතක නොකල නෙවින්ගේ හැසිරීම ඒ විශ්වාසය වඩ වඩාත් උත්කර්ශවත් කරන්නට හේතුවිය.
නංගිලාට යන්නට හැර නෙවින් විසින් සූදානම් කර තිබූ කුලී රියේ පිටිපස්සට නැගුණ ශාර්වරී තමන්ට එහා පැත්තෙන් වාඩි වී උන් නෙවින්ගේ උරහිස මත හිස තබා දෑස් පියා ගත්තේ මහන්සියත් ආදරයත් දෙකම මුසු වූ හැඟීමකිනි.
“මහන්සිද?” කියා නෙවින්ගේ සියුම් ගැඹුරු ස්වරය කණ ලඟින් ඇසෙද්දී හිත හිරිවැට්ටෙනුත් එයට සමගාමීව රෝම කූම අවදිවෙනුත් ශාර්වරීට දැනුනත් දෙනෙත් හැර ඔහු දෙස බලන්න ඇති ලැජ්ජාව නිසාම හිස මදක් සොලවා සියුම් කෙඳිරුම් හඬකින් හ්ම්ම් කියන්න පමනක් ශාර්වරී කටයුතු කලාය.
“____ රෝඩ් එකේ කාල්ටන් අපාර්ටමන්ට්ස් වලට යන්” කියා නෙවින් රියදුරුට ගමන් සලකුණු කියනු ඇසුණත් දෙනෙත් හැරියේ ශාර්වරී නොවේ.
ඒ දෙනෙත් පියවී තිබුණත් මෙපමණ දවසක් හෙලන්නට අමතකව හද පත්ලේ සැඟව තිබුණ කඳුලක් නිදහසේ කම්මුල් දිගේ ගලා ගොස් නෙවින්ගේ පපුතුරට වැටුනේ තමන්ගේ ඉණ වටේ රැඳී තිබුන නෙවින්ගේ අත තවත් තදින් තමාව බදාගන්නා අතරතුර නළල මත උණුහුමට තැබූ ඒ හාදුවේ රස්නයටය.
“අඬනවද ඉතින්?” කියා නෙවින් ආයෙම වරක් අහන්නේ අර සුපුරුදු ගැඹුරු හඬිනි. දෙනෙත් නොහැර ඒ හඬ පමණක් අහන් ඉද්දී ඒ විදියට තමාව අමතන්නේ අතීතයේ උන් වඩා ආදරණිය පෙම්වත් නෙවින් මිසක වර්තමානයේ ඉන්නා තමන්ව අලුතෙන් හඳුනගන්නට උත්සහ කරන අලුතෙන් ආදරය කරන්නට උත්සහ කරන නෙවින් කෙනෙකු නොවන බව ශාර්වරීට හිතේ.
“මට මතක් උනා ඉස්සර දවස්. ඒකයි. සොරි”
“සොරි කියන්නෙ ඇයි? මං ළඟදි ඔයාට ඕන දෙයක් කරන්න කියන්න පුලුවන්. සොරි කියන්න ඕන නෑ. මම ඔයාව ජජ් කරන්නෙ නෑ. ඔයා දන්නවනෙ ඒක?”
“ඔව්”
“අපාට්මන්ට් එකට යන් කිව්වට තරහද? ඔයාගෙ මූණ මහන්සි පාටයි. අනික බස් එකේ තද වෙලා ඇවිත් දාඩියයි දූවිල්ලයි එක්ක මූණ මලානික වෙලා. වොශ් එකක් දාන් චේන්ජ් කරගෙන යන්. ඔයා කලින් ඇවිත් තියෙනව නේද අපාට්මන්ට් එකට මගේ? තනියෙන් යන්න බයද?”
“නෑ බය නෑ, පල්ලෙහ රෙස්ටුරන්ට් එකේ මධුර අයියා ඉන්නවද දන්නෙ නෑ අද”
“ඔයා එදත් මට ඔය නම කිව්වට මට ඇත්තටම හොයන්න බැරි උනා ඒක. සොරි. අපි අද ගිහින් බලමු එයා ඉන්නවද කියලා. ඔයාට අවුලක් වෙයිද මාත් එක්ක යන එක?”
“මට නෙවෙයි ඔයාට අවුලක් වෙයිද කියල තමයි මට බය”
“වෙන්න තියෙන අවුල් ඔක්කොම අපිට වෙලානෙ තියෙන්නෙ. ඒ නිසා මොක උනත් කමක් නෑ කියල හිතල අපි යන්”
“ට්‍රැෆික් ඔක්කොම එක්ක ටිකක් වෙලා යාවි නෙ යන්න. ඔයා ඔහොමම මගෙ පපුවට හාන්සි වෙලා පොඩි නින්දක් දාන්න. මම ලං වුනාම ඇහැරවන්නම්” කියා නෙවින් කිව්වයින් පස්සේ ශාර්වරී කලේ හිනා වී ආයෙම වරක් දෙනෙත් පියාගත්ත එකය.
“නැත්තම් මං වඩාගෙන හරි එක්කරගෙන යන්නම් කො” කියා නෙවින් රහසින් කොඳුරා කනට කර කියද්දි මුවෙන් පිටවෙන්න ආ සිනාව සුවඳ දෙන නෙවින්ගේ පපුව අස්සේ හංග ගන්න ශාර්වරීට එතරම් අමාරු උනේ නැත.
ඉතින් කටුක ගිම්හානයකට පස්සෙ ආයෙම වරක් වසන්තය ලඟ එන හැඩය.