අපේ රසට ඩාල් රොටී

සාම්ප්‍රදායික රසට ආහාර රසවිඳින්න කැමති ඔබට වගේම පුරුදු කෑම වර්ග වෙනස් රසට රසවිඳින්න කැමති ඔබටත් ගැළපෙන කෑම රෙසිපි smart lady අපි නිතරම ඔබත් එක්ක බෙදාගන්නව කියල ඔබ දන්නවනේ.

ඉතිං ඔන්න අදත් අන්න ඒම අපිට හුරුපුරුදු කෑම වර්ග දෙකක එකතුවෙන් හැදුන රසවත් කෑමක් ගැන ඔබට කියන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

පරිප්පු කියන්නෙ ශ්‍රී ලාංකීය අපිට නැතුවම බැරි කෑමක්නේ. රොටී එහෙමත් නැත්නම් චපාති කියන්නෙත් අපිට බොහොම හුරුපුරුදු ඉන්දියානු කෑමක්. 

මේ දෙකේම එකතු කරල පරිප්පු රොටී හදාගන්නෙ කොහොමද කියල අපි අද කතා බලමු.

පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර

තෙල්

ලුණු කුඩු

කහ කුඩු

පැයක් පොඟවාගත් කඩල පරිප්පු කෝප්ප 01 ක් 

සෝදා පොතු ඉවත් කරගත් සුදුළූණු බික් 05 ක් (කැමති නම්)

සෝදා පොතු ඉවත් කරගත් රතුලූණු ගෙඩි 04 ක් 05 ක් 

අමු මිරිස් කරල් 04 ක් 

කරපිංචා ඉත්තක කොළ

සූදුරු තේ හැඳි ½ ක්

පිටි කෝප්ප 02 ක් 

බේකින් පවුඩර් තේ හැඳි 02 ක් 

උණු වතුර කෝප්ප 01 ක් පමණ

වැඩිපුර පිටි ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම, වතුර භාජනයක් ලිප තබා වතුර නටන තුරු හොඳින් රත්කරගන්න.

නටන වතුරට ලුණු තේ හැඳි 01 ක්, කහ කුඩු තේ හැඳි 01 ක් සහ පොඟවාගත් පරිප්පු එකතු කර හොඳින් කලවම් කරගන්න.

පරිප්පු ඇට හොඳින් මෘදුවී තැම්බුණු පසු ලිපෙන් ඉවත් කර වතුර බේරාගන්න.

තම්බාගත් පරිප්පු, සුදු ලූණු, රතු ලූණු, කරපිංචා කොළ, සූදුරු සහ අමු මිරිස් යන සියල්ලම බ්ලෙන්ඩර් කෝප්පයට දමා කැබලි නොසිටින සේ හොඳින් අඹරාගන්න. 

දැන් නැවත භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැන්ඳක් එකතු කර තෙල් රත්වන විට අඹරාගත් පරිප්පු මිශ්‍රණය සහ රස අනුව ලුණු කුඩු එකතු කර කලවම් කරගන්න.

පරිප්පු මිශ්‍රණයේ තෙත ගතිය ඉවත්වී වියළි කුඩු 

ලැබෙන තෙක් මඳගින්නේ හැඳිගාමින් කලවම් කරගන්න.

වියළි කුඩු ආකාරයට ඇති පරිප්පු ලිපෙන් ඉවත්කර පසෙකින් තබාගන්න.

දැන් තරමක් ගැඹුරු භාජනයක් ගෙන එයට පිටි, බේකින් පව්ඩර්, තෙල් තේ හැන්ඳක් සහ ලුණු කුඩු තේ හැඳි ½ ක් දමා හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණයට උණු වතුර ටිකෙන් ටික එකතු කර කලවම් කරමින් අතේ සහ භාජනයේ නොඇලෙන පිටි ගුලියක් සාදාගන්න. 

පිටි ගුලිය වටේ හොඳින් තෙල් ආලේප කර පිටි ගුලිය දමා ඇති භාජනය වතුර හොඳින් මිරිකාගත් තෙත රෙදි කැබැල්ලකින් වසා විනාඩි 15 ක් පමණ තබා ගන්න.

විනාඩි 15 කට පිටි ගුලිය ගෙන නැවත බෝල 04 කට කඩා එක් ගුලොයක් තෙල් ස්වල්පයක් ගාගත් අත්ල මත තබා රවුමට දිග ඇරගන්න.

මැදට පරිප්පු මේස හැඳි 02 ක් දමා වටෙන් එකතු කරමින් නැවත බෝල සාදාගන්න.

මෙසේ සාදාගත් පරිප්පු මැදිකරගත් පිටි බෝල පෙර පරිදිම වසා තවත් විනාඩි 05 ක් පමණ තබාගන්න.

විනාඩි 05 කට පසු පිටි තැවරූ මතුපිටක තබා රවුම් හැඩයට හොඳින් ප්‍රවේශමෙන් තුනී කරගන්න. 

ඊළඟට තැටියක් ලිපතබා තැටිය රත්වූ පසු ඒ මත ප්‍රවේශමෙන් රොටිය අතුරා උඩ පැත්තේ තෙල් ආලේප කරගෙන හැන්ඳකින් තදකරන්න. 

අනෙක් පස හරවා එසේම කරමින් හැන්ඳෙන් තදකරමින් දුඹුරු පැහැ පැල්ලම් සිටින සේ පිසගන්න.

හැන්ඳෙන් තද කරන විට බෝලයක් සේ රොටිය පිම්බෙන බව ඔබට දැකගන්න ලැබේවි.

දැන් රොටිය හතරට නවා ලිපෙන් ඉවත්කර රසබලන්න ඔබට පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles