හද සාගරේ – 45

0
6301

රජරට දෙව්රම් ගේ ගම් බිම් වල සාලිය විසින් විවිධ වගා කටයුතු සිදු කරයි. ඒවා වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලීන කුළුබඩු වර්ග ය. කරාබු නැටි හා ගම්මිරිස් වගාවන් ඔහු ගේ ප්‍රධාන ආදායම් මාර්ගයන් වේ. ඊට අමතරව දෙළුම්, පේර, අඹ වැනි පළතුරු වර්ග වලින් සැලකිය යුතු ආදායමක් ලැබේ. විවිධ අවස්ථා වල වරින් වර මේ භෝග සිටුවීම සිදු කළ ද ඒවායේ ප්‍රමාණය වැඩි වන විට තනිව මේවා නඩත්තු කිරීම හා බලා කියා ගැනීම අසීරු වූයේ ය. ඒ හින්දා ම නියමිත කාලයට කලින් ග්‍රාම නිලධාරී තනතුරින් විශ්‍රාම ගන්නට ද ඔහු කටයුතු කළේ ය. ගමේ කොලු කුරුට්ටන් අල්ලාගෙන අස්වනු නෙලන කාලයේ දී කුළියට වැඩ කරවා ගත හැකි වී ද නිරන්තර වගා බිම් වල ඇවිදිමින් දිනපතා සොයා බැලීම් කරමින් පොහොරාදිය නිසි වෙලාවට යොදවමින් ඒවා සොයා බැලීම රස්සාවක් කරනවා වාගේ ය. නිදහසක් කියා දෙයක් ඇත්තේ ම නැත. මව හා පියා හැමදාම බැරිනම් මාසයකට දෙකකට වරක් කොළඹ විත් සතියක්  දෙකක් හෝ නැවතී යනවා නම් දෙව්රම් කැමති ය. නමුත් වගාවන් බලා කියා ගැනීම පවරා දී එන්නට කෙනෙකු නොවන නිසා එසේ කළ නො හැකි වේ. එබැවින් වගාවන් බලා කියාගෙන කුළීකරුවන් ලවා නඩත්තු සිදු කරවමින් එහි රැඳී සිටිත හැකි කෙනෙකු සොයා බලන්නට සාලිය හා දෙව්රම් කතිකා කරගෙන සිටියහ. ඒ වෙලාවේ දෙව්රම් ගේ මතකයට පැමිණියේ දිනේශ්වයි. රැකියාවක්  ස්ථිර ලෙස නොමැතිව දරු  පවුලක් පිටින් අනාථ වී සිටිනා දිනේශ් සිරයෙන් නිදහස් වීමට ලොකු කාලයක් නොවුණෙන්, ඔහු කැමති නම් ඒ කටයුතු පවරා සාධාරණ වැටුපක් ලබා දෙන්නට සිතමින් සිටියේ ය. එතකොට ඔහු ගේ අතට මුදලක් එයි. පුරුදු පාප මිත්‍ර සමාජයෙන් දුරස් වන නිසා , ප්‍රමාද වී හෝ ජීවිතය පිළිවෙළ කරගන්නට අවශ්‍ය නම් හැකියාව ලැබේ. ආහාර පාන හා නවාතැන් සඳහා වියදමක් නොවන බැවින් උපයන මුදල අතේ ඉතිරි කරගෙන දරු පවුල වෙනුවෙන් යෙදවිය හැකි වනු ඇත.

“මං කැමතියි එහෙම රස්සාවක් ලැබෙනවනං”

දෙව්රම් යෝජනාව කළ ගමන් දිනේශ් සිය එකඟතාව පළ කළේ ය.

“ඇත්තම කියනවනං හිරේ හිටපු ටිකේ මට ජීවිතෙත් එක්ක එපා වෙලා හිටියෙ. ඒත් ඉතිං ආයෙ එළියට ආවෙත් අමුතුවෙන් මුකුත් කරන්න නෑ කියල දැනගෙනමයි. මෙහෙ හිටියොත් හැමදාම මේ වගේ තමයි. මං කැමතියි එහෙමවත් ගිහිං කීයක්හරි හම්බවෙන දෙයක් කරන්න”

“දිනේශ්ට සති දෙකකට සැරයක් වගේ ඇවිත් බබාලවයි නෝනවයි බලල සල්ලි දීල එහෙම යන්න පුළුවන්. ඒ ගැන කිසි ගැටළුවක් නෑ. කෑම අපේ ගෙදරින් ලැබෙයි. පොඩි ගේ කෑල්ලක් තියනව වෙනම ඉඩමක. ඒකෙ නිදහසේ ඉන්න පුළුවන්. අරක්කු තිප්පොලවල් හොයං යන්නැතුව වැඩේ කරගෙන අතට ලැබෙන ගාන පරිස්සං කරගෙන හිටියනං දිගටම මේක කරං ඉන්න පුළුවන්. අපේ තාත්තල මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරං කන අය නෙවෙයි. සාධාරණ විදිහට ගෙවයි. එතකොට ඔය අස්වනු කාලෙදි ඉතිං වැඩිපුර ගාණක් අතමිට මොලවන එක තාත්තගෙ සිරිත. කුළීකාරයන්ට වුණත් එයා එහෙම කරනව”

“මොනතරං දෙයක්ද දෙව්රම් පුතා එහෙම දේකට යොමුකරන්න පුළුවන්නං. හැදෙන මිනිහෙක්නං මේ වෙලාවෙ ඉඳං වුණත් හැදෙන්න පුළුවන්. පිරිමියෙක් වුණාම තමන්ගෙ දෑතෙ මහන්සියෙන් මොන දේ කරල හරි ගෑනිටයි ළමයින්ටයි කන්න අඳින්න දෙන්න ඕනෙ. ඒක තමයි පිරිමිකම. අපි ඉතිං සාරධායි දරුවො දෙන්නයි ගැන නොබලා ඉන්නෙ නෑනෙ”

නිශ්ශංක ද දේශනාව පැවැත්වූයේ ය. වෙනදා සේ චණ්ඩිකම් පෙන්වන්නට නෑවිත් දිනේශ් බිම බලාගෙන සිටියේ ය. ඒ අනුව ඉන් දෙදිනකට පසු ඔහු අලුත් ජීවිතයක් ගැන හීන් හීනයක් ඇතිව රජරට බලා ගියේ ය.

“ටික දවසක් මෙහෙම ගියාට පස්සෙ මං බලන්නං ඔයාවයි ළමයි දෙන්නවයිත් එහෙට ගෙන්නගන්න. මොනා වුණත් අපි හතර දෙනා එක තැනක ඉන්නයි ඕනෙ”

සමුගන්නට කලින් ඔහු සාරධා ට කීවේ ය. ඇගේ ඇස් පත්ලේ      අවිහිංසක බලාපොරොත්තුවක සේයා දිස්න දුනි.

“චූටි දුවට කීයටවත් මේ ගෙදරින් බාගයක් ඕන වෙන්නෑ. මොකෝ අපි හැමදාම ජීවත් වෙන මිනිස්සුයැ. දවසක මේ ගෙදර ලොකු දුවගෙ නමින් තමයි අපි ලියන්නෙ. හැබැයි ඊට කලින් අර හාදය මහන්සි වෙලා වැඩ කරන වගකීමක් ඇති මිනිහෙක් වෙලා එන එක හොඳයි”

දිනේශ් රජරට නික්ම ගියාට පස්සේ නිශ්ශංක සාරධා ට ද ඇසෙන සේ සිය අනාගත සැලසුම් ගැන කීවේ ය. සාරධා අසීරුවෙන් වාගේ කතාකරගත්තා ය.

“අනේ මටත් ඉතිං තාත්ත හම්බ කරගත්තු දේවල් එහෙම අයිති කරගන්න ඕන නෑ තාත්තෙ. දිනේශ් පිළිවෙලක් වුණොත්… දරුවො දෙන්නත් එක්ක එහෙ ගිහිං කුළියටහරි ගෙයක් අරං හතර දෙනාටම එකට ජීවත් වෙන්න ලැබුණොත් ඇති”

“අපි බලමුකො. මිනිස්සු හැමදාම කරන වැරදි ගැන එක මොහොතකදි අවබෝධ කරගත්තොත් ඒ මිනිස්සුන්ට හැදෙන්න බැරිකමක් නෑ. ම්…”

සියලු සුබ සිහින සිඳ බිඳ වැටී නපුරු හීනයක් මැද අවදි වී සිටින ගනඳුරු රැයක වුව නැවුම් උදෑසනක් ගැන පැතුම් දල්වාගත හැක. බලාපොරොත්තු යනු ජීවිතයකට ඉදිරිය කරා යන්නට සැපයෙනා බලවත් ම ඉන්ධනය වේ. බොහෝ පැතුම් විනාශ වී ගිය කලෙකත් හෙටක් ගැන බලාපොරොත්තු තබා ගත හැකි මිනිසුන් ජීවිතය දිනිය යුතු ම ය. සොබා දහම සිය අනර්ඝම නිර්මාණ සේ ද දෙවියන් සිය ආශිර්වාද ලැබූවන් සේ ද එකී මිනිසුන්ව තෝරාගෙන ජීවිත උඩ මළුවෙහි ඔසවා තබනු ඇත.

ආදියා සිය යුග දිවියෙහි වගකීම් වලට අනුවර්තනය වූයේ කිසිවෙකු නො සිතූ තරම් හුරුබුහුටි ලෙසයි. ගෙදරදී රැකියාවට යාම සඳහා සූදානම් වීමට පමණක් වෙලාව තබාගෙන අවදි වී කලබලයක් කරමින් ගෙදරින් දිව ගිය ඕ දැන් අළුයම් පාන්දර පිබිදෙන්නී ය. ඇගේ   බඳ වටා වෙලී ඇති දෙව්රම් ගේ අතක් කොතරම් හෙමිහිට ඉවත් කරන්නට ගිය ද ඔහු අවදි වේ.

“තව ටිකක් ඉන්න”

නින්දෙන් ම ඔහු කොඳුරයි.

“ඔයා තව ටිකක් දොයියන්න. මං උයන්න ඕනනෙ”

“උයන්න ඕන්නෑ. එළියෙං කමු”

“අනේ කඩ කෑම නිතර කන්න හොඳ නෑ පැටියො. මට බෑ ඔයාට කඩෙං කන්න දීල නිදාගන්න”

“යංකො එහෙනං… මාත් එන්නං උයන්න”

“ඔයා නිදියන්න තව ටිකක්”

“මට පුළුවන්ද ඔයා උයද්දි නිදියන්න…”

ආදියා පෙරැත්ත කළ ද දෙව්රම් පිබිද මුළුතැන්ගෙයට එයි. ඇය හාල් හෝදා රයිස් කුකරය ක්‍රියාත්මක කොට, පෙර දා රාත්‍රියේ කපා කොටා තැබූ එළවලු ඒදා ළිප තබන අතරේ දෙව්රම් පොල් ගායි. ආදියා තේ හදා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් සමග ඔහු ට බොන්නට දෙයි. ජිනාදරී ගේ මෝල්ටඩ් මිල්ක් කිරි තේ එක වාගේ ම කහට දමා තේ පිළියෙළ කිරීම ආදියා ගේ අභියෝගයයි.

මීට පෙර මුළුතැන්ගෙයි වැඩ වලට කම්මැළි ම කෙල්ලක වී ද දැන් ඇය ඉතා ක්‍රමානුකූලව මුළුතැන්ගෙයක් පරිපාලනය කරනා දක්ෂ ගෘහණියකි. රැකියාවක් නො කරමින් පවා සපූ මුළුතැන්ගෙය පාවිච්චි කළ අපිළිවෙල සිහි වන විට දෙව්රම් විශ්මිත වෙයි. රැකියාව නිම වී පැමිණි විටත් ආදියා ට ගෙදර වැඩ කප්පරකට තිබේ.

“ඔහොම මහන්සි වෙලා ඔයා අසනීප වෙන්න වුණත් පුළුවන්. අපි ගෙදර වැඩට ඒජන්සි එකකින් ගෑනු කෙනෙක් හොයාගමු”

දෙව්රම් ආදියා කෙරේ අනුකම්පාවෙන් කියයි. නමුත් ඇය එකඟ වන්නේ නැත.

“එපා එපා. සර්වන්ට්ස්ලනං ඕනම නෑ. මට පුළුවං විදිහට මං මැනේජ් කරගන්නං. බැරි දවසක අම්මට කියල උයවගන්නව”

අදියා ට හිසේ කැරකීමක් දැනුණේ මෙහෙම ආහාර පිසිමින් සිටි උදයකයි. ඇය ස්ටූලයෙහි හිඳ දෙව්රම් ගේ බඳ වැලඳ ඔහු ගේ ඉඟ මතට හිස තබාගෙන සිටියා ය.

“සුදූ… ඇයි…”

“කැරකිල්ලක් වගේ ආව”

ඔහු ඉක්මන් කොට වතුර වීදුරුවක් ඇය වෙත ලං කළේ ය. ඇඟිලි තුඩින් ගත් දිය බිඳු කිහිපයකින් ඇගේ මුහුණ තෙත් කළේ ය. විදුලි පංකාව ක්‍රියාත්මක කොට මුවින් ද ඇයට පවන් සැලුවේ ය. ඊළඟ නිමේශයේ ඈ වහා නැගිට කුස්සිය මිදුලට දිව්වා ය. කොහේදෝ සිට පැමිණි ඔක්කාරයක් උදරය කලම්බා බැහැර වූයේ ය. දෙව්රම් ගැස්මෙන් යුතුව ඈ අල්වාගෙන උගුර පිරිමැද්දේ ය. අන්තිමට ආදියා හිස එසවූයේ කඳුළු පිරි දෑසකිනි. ඒ නෙත් කෙවෙනි අගිස්සේ රත් පැහැයක් ඉහිරී තිබිණ. දෙව්රම් සිටියේ ද ඒ මොහොතේ ආදියා පැවති මානසිකත්වයෙහි ම ය. ඇගේ හද තුළ වූ කැළඹීම ඔහු තුළ ද එලෙස ම විය. ඇගේ හිතට නැගුණ පැනය ඔහු තුළින් ද එළෙස ම නැඟිණ. ඔවුන් දෙදෙනාගේ ඇස් හතරෙන් ම බැහැර වූයේ ඒ එක ම ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔවුන් දෙදෙනා ගේ ම තොල් පෙති අතරේ සිනහ රැල්ලක් ඇඳී ගියේ ය. ආදියා දෙව්රම් ට ලං වූවා ය. ඔහු ඉතා තදින් ඈ සිප වැලඳ ගත්තේ ය.

“ඒක එහෙම වෙනවනං… දෙයියනේ…”

“අපි ඩොක්ටර් ළඟට යමුද…”

වෛද්‍ය පරීක්ෂණයෙන් ක්ෂණික නිගමනයට පැමිණි වෛද්‍යවරයා ‘පොසිටිව්’ ලෙස ඉංග්‍රීසි අකුරෙන් හරහට ලිවූ තුණ්ඩුව ආදියා අතට දුන්නේ  සිනහවකිනි.      

“ෆස්ට් බේබිද…”

“ඔව් ඩොක්ටර්”

“මැරි කරල තාම මාස හතරයි ඩොක්ටර්”

“එහෙනං හනිමූන් බේබි කෙනෙක්. අපි ෆෝලික් ඇසිඩ් ගමු. ගමේ මිඩ්වයිෆ්ට ඉන්ෆෝම් කරන්න රයිට්”

ආදියා වෛද්‍යවරයාගේ කුටියෙන් පිටතට ආවේ දෙව්රම් ගේ අතක එල්ලීගෙන ය. මේ සතුට කොහොම සමරන්නද කියා ඔවුන් ට තේරුණේ නැති තරමි.

“අපි ඕගොල්ලොන්ගෙ ගෙදර යමු”

“නෑ නෑ. ඊට කලින් අපි ඔයාගෙ අම්මලට කෝල් කරල ඉක්මනට කොළඹ එන්න කියමු. අදම… දැන්ම පිටත් වෙන්න කියමු හදිස්සියක් කියල”

අවසන සිදු වූයේ ආදියා ට ඕනෑ දෙයයි. කිසිවක අගක් මුලක් සිතා ගත නොහී සාලිය හා නාලිනී කොළඹ දිව ආහ. ඒ රාත්‍රියේ දෙව්රම් ගේ ගෙදර පවුලේ පුංචි හමුවකි. නිශ්ශංක හා ජිනාදරී ද සාරධා හා දරුවන් දෙදෙනා ද මල්ෂා හා සංකේත් ද ඒ හමුවේ අනිත් ආරාධිත සාක්ෂිකරුවෝ වූහ.

“මොකද්ද මේ අද ස්පෙශල් ඩිනර් එකට හේතුව… බැඳල අවුරුද්දක් වුන්නෑනෙ…”

මල්ෂා ගේ පැනයට කාගේත් මුවට නැගුණේ සිනහවකි. ආදියා පැණි වළලු බහා ලූ බඳුනක් ගෙනැවිත් හැම කෙනෙකුට ම පැණි වළලු බෙදුවා ය.

“මේ මොකද අනේ… පැණි වළලු හදන්නෙ අවුරුද්දටනෙ”

“ඉන්දියාවෙ මිනිස්සු සතුටට පැණිරස බෙදං කනවලු”

ආදියා එසේ කීවේ සිනහ වෙන දෑසකිනි.

“ඉතිං මොකද්ද කිහාල්ලකො උඹලට ඔයතරං තියන සතුට…”

සංකේත් නො  ඉවසිලිමත් වූයේ ය. දෙව්රම් ඉවසීමෙන් ඒ සතුටට හේතුව පැහැදිලි කළේ ය.

“සතුටු නැද්ද අපේ අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි අලුතෙන් ම සීයල ආච්චිල වෙන්න යන එකට… එතකොට උඹ බාප්පෙක් වෙන්න යන එකට…”

“දෙයියනේ ඒ කියන්නෙ මාත් පුංචි අම්මෙක්හරි ලොකු අම්මෙක්හරි වෙන්නයි යන්නෙ”

කියමින් මල්ෂා ආදියා වැළඳගත්තා ය. අම්මලා දෙන්නා ට අලුත් අම්මා ට සමීප වන්නට අවස්ථාවක් ලැබුණේ තවත්  ටික වෙලාවකට පස්සේ යි.

“තෙරුවන් සරණයි චූටි දුව. ඕගොල්ලො දරු මල්ලො හදාගෙන හැමදාම සතුටෙන් ඉන්න තමයි ඕනෙ”

ආදියා අම්මා ගේ පපුවෙහි හිස හොවාගෙන ටික වෙලාවක් නිසොල්මනේ හිටියා ය. අම්මා කියන අකුරු තුනේ පුංචි වචනය ඇතුළේ වන මහා හැඟීම කුමක්දැයි දනවමින් ඇගේ පපුව බර වෙමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here