හසාරාත්, ඉන්දුමාත්, සමීරත්, බුවනෙකත් කොළඹ පැමිණියේ කුලියට ලබාගත් කේ.ඩී. එච් වර්ගයේ වෑන් රථයකින්ය. සමීරත් බුවනෙකත් මාරුවෙන් මාරුවට එය පදවාගෙන පැමිණියේය. දරු දෙදෙනා ඉන්දුමාගේ මවටත් සමීරගේ මවටත් හුරුව සිටි නිසා දවසක් දෙකක් ඔවුන්ගේ බාරයේ තබා පැමිණීම අසීරු වූයේ නැත.
කසුනුත් පෙරදා විලසම රෝහල් භූමියට පැමිණ සිටියේය.
“ උඹ හැම පැත්තකින්ම යුතුකම් ඉෂ්ඨ කරපු ගෑනියෙක් නංගී..මම මගේ කෙල්ලෝ දෙන්නට හැමදාම කියන්නේ හසාරා කෙනෙක් වෙයං කියලා..”
කසුන් හසාරාගේ දෑතම අල්ලාගෙන පැවසූයේ නිර්ලෝභීවය.
“ මං විතරක් නෙමෙයි. කවද හරි හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම කැමති වෙයි තමන්ගේ දුව හසාරා වගේ වෙනවට. නංගී..අපේ රටේ දරුවන්ට ඉංග්‍රීසි උගන්නන්න පොත් කට්ටලයක් ලියන්න පුළුවන් වෙච්ච උඹට උඹේ ජීවිත කතාව ලියන්න බැරි කමක් නෑ…ඒ කතාව ආදර්ශයක් වෙන්නනම් උඹ තනිවෙන්න බෑ නංගි. උඹ ආයෙත් අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ. දරුවෝ හදන්න ඕනේ. ඒ දරුවෝ ලෝකෙට ආදර්ශයක් වෙන විදිහට උස්මහත් කරන්න ඕනේ..”
කසුන් යළිත් පැවසූයේ පිරිස ඉදිරිපිටදීමය. හසාරා ඔහු දෙස බැලුවේ තම දෑස් වල කඳුළු පුරවාගෙනය. මේ තමාට සිනහසෙන්නට ජීවය දුන් මිනිසුන්ය. ඉන්දුමා ඇගේ අතක් තදකර අල්ලා ගත්තේ කසුන්ව අනුමත කරන්නට සේය. ඈ දෑස් එස වූ පළමු තත්පරයේම ඒ දෑස් නතර වූයේ බුවනෙකගේ දෑස් මතය. සිය පපුව හරහා දෑත් බැඳගෙන උන් ඔහු හසාරා දෙස බලා සිටියේ හුරු පුරුදු වූ සිනහවෙන්මය.
උදෑසනම ධනංජය රෝහලෙන් නිදහස් කිරීමේ කටයුතු සියල්ලම නිමා කර තිබූ නිසා කිසිවෙකුටත් එතරම් වේලා බලා සිටින්නට ඕනෑ වූයේ නැත. රෝහල් කාර්‍යය මණ්ඩලයට ස්තූතිවන්ත වූ හසාරා ධනංජය වෙනුවෙන් ගෙන ආ රෝද පුටුවට සිය දෑත් තැබුවේ සොහොයුරා ඔහුගේ අඩුම කුඩුම වූ ගමන් බෑගය සිය දකුණතින් අල්ලා ගනිද්දීය. ඇගේ දෑසින් වැටුණු කඳුළක් ධනංජයගේ උරහිසක් මත වැටිණ. ඔහු මදක් පසුපස හැරුණේ ඉන් පසුවය.
“ මේක මගේ ඉරණම හසාරා..තව දුරටත් ඔයා ඒ වෙනුවෙන් විඳවන්න එපා…”
ධනංජය තමා එනතුරු ඉන්දුමාත්, ඇගේ සැමියාත්, කසුනුත් හැරෙන්නට රෝහල් කොරිඩෝවේ බලා උන් පිරිමි රුව දුටුවේ විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. ඔහු උන්නේ ඒ සියල්ලන්ටම පිටුපසින්ය. මින් පෙර දෙවතාවකදී ඔහුට ඒ රුව හමුවී තිබිණ. පළමු වතාවේදී ඒ කවුදැයි හඳුනා ගන්නට තරම් ඔහුට මතකයක් හෝ ශක්තියක් වූයේ නැත. දෙවැනි වර ඔහුත්, ඉන්දුමාත්, හසාරාත් රෝහලට පැමිණි මොහොතක ‘ මේ මම වැඩ කරන ස්කූල් එකේ ප්‍රින්සිපල් බුවනෙක..’ යැයි හසාරා ඔහුව හඳුන්වා දුන්නාය. ඒ දෑස් කීප වතාවක්ම හසාරාගේ වත මත්තේ රැඳී තිබෙන අයුරු ධනංජය නිරීක්‍ෂණය කළේය. තම පපුවෙන් හදවත ගැලවී ඉවත් වෙන තරමේ වේදනාවක් තමා අත්වින්දා ඔහුට මතකය. මේ ඉරණම කුමක් වුවත් දැන් ඊට මුහුණ දිය යුතුමය.
“ එදා මට බලෙන් හරි උඹ ළඟට ඇවිත් කතා කරන්න තිබුණා මල්ලී…”
සමීර පැවසුවේ ඔහුගේ එක් උරයකට අතක් තබා ගෙනය.
ධනංජයගේ නිවසට යාමට පිරිසට පැය කිහිපයක කාලයක් ගත විය. සමීරත් බුවනෙකත් ගමන් කලේ ඉදිරිපස අසුන්වලය. පසුපස වූ පළමු පෙළේ අසුන ධනංජයගේ සුවපහසුව සැලසෙන පරිද්දෙන් මඳක් පසු පසට නවා තිබිණ. ඉන්පසු අසුනේ කසුනුත් ධනංජයගේ සොහොයුරාත් විය. පසුපස අසුනේ උන්නේ හසාරාත්, ඉන්දුමාත්ය. ගමන් කාලය පුරාම හසාරා කතා කලේ අඩුවෙන්ය. අන් සියල්ලෝම සිය අදහස් හුවමාරු කර ගත්හ. ඒ අතරේ ඉන්දුමා තමාට ඇඟට පතට නොදැනී කියන ඇනුම් පද ද විය. බූවනෙක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස උසස්වීමක් ලබා ඇති බව ධනංජය දැන ගත්තේ වරින් වර ඔවුන් අතර සිදු වූ කතා බහ තුළින්ය.
නිවසේ ඉදිරිපස කාමරය ධනංජයගේ සුව පහසුව වෙනුවෙන් සකස් කර තිබිණ. ඔහුගේ මව හසාරාව වැළඳගෙන විනාඩි කිහිපයක් ගතව යනතුරුත් එක සීරුවට හඬා වැටුණාය.
ධනංජයට බුවනෙක හා යමක් කතා බහ කරන්නට අවස්ථාව ලැබුණේ නිවස තුළදීය. හසාරා තවත් ටික දිනක් ධනංජය හා රැඳී සිට ඔහුව බලා ගන්නයැයි සොහොයුරාගෙන් ඉල්ලීමක් කලේ පුද්ගලිකවය. කෙටි කාලයක් ගතව යනතුරු නිවසේ සියලු වියදම් දැරීමටද ඈ එවේලෙහි පොරොන්දු වූවාය.
නිර්මිතාගේ සොහොයුරියගෙන් හසාරාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණියේ පිරිස පිටත්ව එන්නට සූදානම්ව සමු ගනිද්දීය.
“ අක්කේ අපේ අක්කා සල්ලි එවලා තිබුනා. මට කිව්වා ඒ සල්ලි වලින් අක්කා අපි වෙනුවෙන් වියදම් කරපු සල්ලි ආයෙත් දෙන්න කියලා. මට අක්කගේ එකවුන්ට් නම්බර් එක එවන්න. මම ට්‍රාන්සර් එකක් දාන්නම්…”
කෙටි පණිවිඩය කියවූවත් හසාරා නිහඬ වූවාය. ඇයට දුකක් හෝ සතුටක් වූයේ නැත. සියල්ල විසඳිය යුත්තේ හොඳම විදිහටය.
“ අනේ මගේ රත්තරන් මැණිකේ අපිව දාලා යන්නද මේ හදන්නේ…”
ධනංජයගේ මව හඬා වැටුනේ විලාප තබමින්ය. මේ සමුගැන්ම මේ සා වේදනාකාරී එකක් වේයැයි ඈ සිතුවේ නැත. ධනංජයගේ පියා මදක් එහාට වී කඳුළු සලන අයුරු හසාරා බලාගෙනය. අවසන හසාරා ඔහු අසල දණගසා ගත්තේ දෑත් එක්කරගෙනය.
“ අප්පච්චි අපි ගිහිල්ලා එන්නම්….දැන් මං අප්පච්චිලාගේ ලේලි නෙමෙයි. දුව…දුවෙක්ට කවදාවත් අම්මවයි තාත්තවයි අමතක වෙන්නේ නෑ…”
අවසන හසාරා එසේ පැවසූයේ ඒ දෑත් වලින් අල්ලාගෙනය. ධනංජය දෑස් වල කඳුළක් තබාගෙන බලා සිටියේය. සියල්ලන්ටම සමුදී අවසන ඔහු අසලට ගිය හසාරා ඒ දෙපා මුල දණ ගසා ගත්තාය. වසර දොළහකට ආසන්න වූ අතීතය ඒ දෑස් ඉදිරිපිට මැවී නොපෙනී යන්නට බොහෝ වේලා ගත වූයේ නැත. ලෝක ධර්මතාවය නිවැරැදිය. වෙනස් වන හිතක් හිමි මිනිසා සිය ජීවිත කාලය පුරාම තම ජීවිතයේ සතුට, සැපත, සුඛ විහරණය වෙනුවෙන් වෙහෙස වේ. බැඳීම් ලං කර ගන්නේත් අත් හරින්නේත් එනිසාය. ධනංජය සිය දෑත් ඔසවා ඇගේ දෑස් වල වූ කඳුළු පිස දැමුවේය. සිය ලය පැළී යන තරම් ශෝකයක් ඔහු අත්විඳිමින් උන්නේය. සියල්ලෝම බලා සිටියේත් තම දෑස් තුළ කඳුලක් තබාගෙනය.
“ ධනංජය…ඔයා තනිවෙලා කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා. මං හැමදාම ඔයා එක්ක ඉන්නවා. මේ අම්මා තාත්තාට අද ඉඳලා මම දුවෙක්. මේ නංගිටයි, මල්ලිටයි, ඔයාටයි තුන්දෙනාටම අද ඉඳලා මං සහෝදරියක්. ඒ අලුත් බැඳීම අපි පරිස්සම් කරගමු. තනිවුනේ ඔයා ධනංජය. අපි ඔයාව කවදාවත් තනිකලේ නෑ…මගෙන් වරදක් උනානම් මට සමා වෙන්න…”
ඒ හඬ බිඳී ගොස් තිබිණ. එහෙත් ඕ ආයාසයකින් වදන් ගලපා ගත්තාය. කිසිවක් කතා නොකර යනවාට වඩා එය හොඳයැයි අවසන ඕ සිතුවාය.
“ හසාරා….ඔයා තමයි මං මේ ලෝකේ දැකපු හොඳම ගෑනි, ලස්සනම ගෑනි, ධෛර්යවන්තම ගෑනි..ඔයාට මේ ජීවිතේ වරදින්නේ නෑ. මං අද විශ්වාස කරනවා මං පින් මදි මිනිහෙක් කියලා..මටයි ඔයාව රැකගන්න බැරි උනේ..”
ධනංජයගේ දෙතොල් පවා වෙව්ලමින් තිබිණ. මින් අට මසකට පෙර නික්ම ගියා සේ ඔහු නොපෙනීම ගියානම් හොඳය. ඒසා අකාරුණික අයුරින් ඔහු හසාරාව හැරදා යද්දීත් ඈ ප්‍රාර්ථනා කළේ යහපතක්ම වේවා යනුවෙන්ය. ඔහු මේ අයුරින් සිටීම ඇයට ඉවසුම් නොදෙන්නේත් එනිසාය.
අවසන නැගී සිටි හසාරා ඔහුගේ දෑත් වලින් අල්ලා ගත්තාය.
“ අපි ඉක්මනටම සනීප වෙමු. මං ආසයි මගේ නොවුනත් ඉස්සර ඉඳපු ධනංජය ආපහු ඉපදෙනව දකින්න. ඔයා පොරොන්දු වෙන්න ඕනේ මට ඒකට ඔයා මහන්සි ගන්නවා කියලා…”
ධනංජය හිස වැනුවේ ඇයට එකඟවය. ඔහු ඇයටත් නොදැනෙන්නට ඒ දෑඟිලි මුදා හැරියේය. තත්පර කිහිපයකට පසුව ඔහුගේ දෑස් ඔස්සේ තම දෑස් ගෙනගිය හසාරා පිටුපස හැරුණාය. ඈ පිටුපසින් සිටගෙන සිටියේ බුවනෙකය. ධනංජයගේ දෑස් තිබුණේ ඔහු ලඟය.
සිය ශරීරයේ සියලු අවයව කවුරුන් හෝ විසින් පණ පිටින් ඉවත් කරන සෙයක් ධනංජයට දැනෙමින් තිබිණ. එය පුදුමාකාර වේදනාවකි. ‘ හසාරට ඉන්න කියපන්..ඒ ගෑනිට යන්න දෙන්න එපා. ඒ ගෑනි උඹට ආදරෙයි. මෝඩයෙක් නොවී හසාරව නවත්ත ගනින් ධනංජය. එක පාරක් කරපු මෝඩකම ආයෙත් කරන්න එපා..’
ඔහුගේ යටි සිත කෑ ගසමින් පවසන්නට විය.
නැත…..ඇයට ජීවිතය දිය යුතුය. වටිනාකමින් වැඩි මල් පිපිය යුත්තේ පව්කාර උයන්පල්ලන්ගේ උද්‍යාන වල නොවේ. ධනංජය එසේ සිතුවේ දෑස් වසාගෙනය. මිදුලේ නවතා තිබූ සුව පහසු වාහනය සැර දමා නික්ම යනතුරුම ඔහු උන්නේ දෑස් තදකර වසාගෙනය.
ආපසු එන ගමනේදී ඉන්දුමාත් සමිරත් වාහනයට නැග ගත්තේ ඉදිරිපසින්ය. බූවනෙක පිටුපස අසුනට නැගී හසාරා අසලින්ම වාඩි වූවේය. ත්‍රිකුණාමලයට පැමිණෙන්නට ගතව ගිය පැය ගණනක කාලය තුළ හසාරා වදනක් කතා කළේ නම් ඒ එක් අතක ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්ය. වාහනයේ වන නිහඬ බව පරදමින් වරින් වර ඇසුණේ හිටි හැටියේ ඕ හයියෙන් හුස්මක් හෙලනා හඬය.
ඇගේ කුලී නිවසට පැමිණෙන විට වේලාව පාන්දර දෙකට ආසන්නව තිබිණ.
“ ඉන්දු ඔයා හසාරා එක්ක නවතින්න.”
සමීර එසේ පැවසූයේ ඇගේ නිවස ඉදිරිපස වාහනය නැවතුවාට පසුවය. කොහොමටත් ඉන්දුමා තීරණය කරලා තිබුණේ දවසේ ඉතිරි කාලයත් ඇය හා ගෙවා දමන්නටය.
“ එපා ඉන්දු..එපා සමීර අයියේ….මට මේ වෙලාවේ ඕනේ තනියම ඉන්න. පළවෙනි වතාවෙ එයා මාව දාලා යද්දි මං තනිවෙලා ඉඳලා හිත හදාගත්තා. මේ වතාවෙ මමයි එයාව දාලා ආවේ මේ වතාවෙත් මට තනියම ඉන්නයි ඕනේ…මට පුළුවන්… ඉන්දු…”
එසේ පවසමින් ගේට්ටුව ඇර කුඩා ගෙවත්තට ඇතුළු වූ හසාරා දොර ඇරගෙන ගෙතුළට ගොස් දොර වසා ගන්නා තුරුත් තිදෙනා සිටියේ කිසිවක් කතා නොකර ඒ දෙස බලාගෙනය.
“ වෙලාවකට හරි හිතුවක්කාරයි…”
“ ඒ එයාගේ හිතුවක්කාරකම නෙමෙයි ඉන්දුමා. මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ එකිනෙකාට වෙනස්. හිත හදාගන්න උත්සාහ කරන විදිහක් එකිනෙකාට වෙනස්. එයා එච්චර ශක්තිමත් ගැහැණියක් වෙන්න ඇත්තේ තනියම දරා ගන්න නිසා වෙන්න ඇති….
අපි යමු. ඔයාට පුළුවන්නම් හෙට උදේට කෑම ටිකකුත් හදාගෙන එන්න..අදත් කිසි දෙයක් කෑවෙ බිව්වේ නෑ…”
යළිත් දෙදෙනා වාහනයට නැගුනේ බුවනෙකගේ වදන්වලට අවනතවය. කුඩා නිවසේ දැල්වී තිබූ විඳුළි බුබුළු නිවී යන්නට විය. එහෙත් ඈ නින්දක් නොලබන බවනම් විශ්වාසය.
වසර තුනකට පසු……..
බුවනෙක උදෑසන අවදිවූයේ සිය ජංගම දුරකථනය නාද වන හඬින්ය. උදා හිරුකිරණ ජනෙල් තිර අතරින් බේරී විත් සුදු පැහැ බිත්ති මත මවා තිබුණේ අපූරු රටාවකි. තම පපුවට හිස තබාගෙන නිදා උන් රුවැත්තියගේ හිස සීරුවට කොට්ටිය මතින් තැබූ බුවනෙක නැගී සිටිද්දී දුරකථනය නිහඬ වී තිබිණ. එහෙත් ඔහු මදක් ඉදිරියට නැවී ඇඳටම යා කොට සකස් කර තිබූ කුඩා කබඩය මත වූ දුරකථනය සිය දකුණතින් අල්ලා ගත්තේය. ඇමතුම ලබාගෙන තිබුණේ ධනංජය විසින්ය. බූවනෙක පෙරළා ඔහුට ඇමතුමක් ලබාගත්තේ හදිසියක් නොවේනම් මේ සා පාන්දර ඔහු කතා නොකරන බව දැනඋන් නිසාය.
“ සොරි බුවනෙක මම උදේම ඇහැරෙව්වනං..”
“ අනේ නෑ ධනංජය… වෙනදට අපි මීට වඩා වේලාසනින් නැගිටිනවා. අද ඉතින් නිවාඩු දවස නිසා ටිකක් නිදා ගත්තා. උදේ පාන්දර..මොකුත් අවුලක් නෙමෙයි නේද..”
“ අප්පච්චි නැති උනා බුවනෙක. මං ඒක කියන්න ගත්තේ. හසාරට හෙමිහිට කියන්න. මේ ඉතින් එයාගෙත් අප්පච්චිනේ. එයා මේ ඉන්න තත්ත්වෙත් එක්ක මෙච්චර දුරක් එන්න හොඳද මන්දා. එයාගේ පරිස්සම ගැන මුලින් හිතන්න. ආවේ නෑ කියලා මගේ කිසිම අමනාපයක් නෑ..”
“ එයා මේක දැනගත්තහම කීයටවත් නෑවිත් ඉන්නෙ නෑ ධනංජය. දන්නවනේ…හදිසියේ තාත්තට මොකද වුණේ..ලොකු අසනීපයක් තිබුණේ නෑනේ…”
“ උදේ අම්මා තේ එක ගෙනියද්දි තමයි දැක්කේ..ඇඳේම තමයි නැති වෙලා හිටියේ..”
“ අපි පුළුවන් තරම් ඉක්මනට එන්නම්. මට පුළුවන් හසාරාව පරිස්සමට එක්කගෙන එන්න..මං හිතන් නෑ ඩොක්ටර් එපා කියයි කියලා..”
දුරකථනය විසන්ධි කළ ධනංජය හසාරා දෙසට හැරුණේය. ඇය දැන් මාස පහක ගැබිනියකි. තත්පර කිහිපයක් ගතව යනතුරු ඔහු තම බිරිඳ දෙස බලා සිටියේය. සිය සිත නිවී සැනසෙන්නට එය පමණක් ප්‍රමාණවත්ය.වෙනදාටත් වඩා ඒ මුහුණ සුන්දරව, පිරිපුන්ව තිබිණ. ගෙවී ගිය වසර දෙකක කාලය පුරාම ඔහු වින්දේ සතුට පමණය. දෙදෙනාගේම ජීවිත කාර්‍යය බහුලය. එහෙත් ඔවුනොවුන් වෙනුවෙන් වෙන් කරගන්නට කාලය දෙදෙනාටම විය. ඒ ජීවිත ගලාගෙන ගියේ නිවිසැනසිල්ලේය.
හසාරා මේ සූදානමින් සිටින්නේ නල දරු උපතකටය. දෙදෙනාගේම වයස ගෙවී යන නිසා තවදුරටත් දරු උපතක් පමා කිරීමේ කටයුත්ත නොකළ යුතුයැයි වෛද්‍යවරු අදහස් කළේය. ඒ අනුව හසාරාගේ කුසෙහි ඒ වන විටත් බුවනෙකගේ ලෙයින් සැදී නීරෝගී දරු පැටියෙකු වැඩෙමින් උන්නේය.
“ මැණික….නැගිටින්න….”
තම සොඳුරු බිරිඳගේ නළලත සිප ගත් බුවනෙක පැවසූයේ මද හඬකින්ය. කාර්‍යබහුල ජීවිතයක් ගෙවන ඇය නින්දෙන් ඇහැරවීම තරම් ලෝබකමක් ඔහුට තවත් නොවේ..
“ දවල් වෙලාද….”
“ චුට්ටක්…මැණික තව ටිකක් නිදාගත්තටනම් කමක් නෑ. ඒත් ඔයාට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා..”
හසාරා දෑස් විවර කළේ ඔහු එසේ පැවසුවාට පසුවය. මේ නිවාඩු දිනවල ඇය වැඩියෙන්ම ප්‍රිය කළේ ඔහුගේ තුරුලට වී සිටින්නටය. බුවනෙක යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය මිනිසෙකි. ඒ ආදරය එදාටත් වඩා වැඩියෙන් හසාරාගේ සිතට දැනෙමින් තිබිණ. ගෙවී යන කාලයට ඕ ලෝබ වූයේ එනිසාය.
“ මැණික …උදේම ඔයාට දුක හිතෙන ආරංචියක් කියන්න තියෙනවා..”
“ අනේ, අද හදිසි වැඩකට යන්න වෙනවා කියලානම් කියන්න එපා. ජොබ් එක නැති උනත් යන්නනම් දෙන්නෙ නෑ..”
හසාරා පැවසූයේ තවත් සුවපහසු වන සේ ඔහුට තුරුල් වෙමින්ය. විටෙක ඈ හිතුවක්කාරය. විටෙක කුඩා එකියක සේ දඟකාරය. එළියේ මද රස්නයක් වුවත් වායු සමීකරණය කර තිබූ කාමරය තුළ වූයේ සිසිලසකි.
“ අද දවසම ඔයා ගාවට වෙලා ඉන්න තමයි හිටියේ. මං ඊයෙම මේරි අම්මට කිව්වා උයන්නේ මොනවද කියලා අහලවත් නෝනට කරදර කරන්න එපා කියලා. ඒත් මැණික අපිට අද ටිකක් දුර ගමනක් යන්න වෙනවා..”
“ ඇයි…. ඒ කොහෙද…”
“ ධනංජය කතා කළා..ධනංජයගේ අප්පච්චි නැති වෙලා..”
“ අනේ… ඒ මොනවා වෙලාද….”
“ ඊයෙ රෑ ඇඳේදිමලු..පොඩි පොඩි ලෙඩත් තිබුණනේ මැණික. මම ඉස්සර වෙලා ඩොක්ටර්ට කෝල් කරන්නම්. අපි අහල බලමු මැණික ගියාට කමක් නැද්ද කියලා..හා කිව්වොත් පරිස්සමට යන්න පුළුවන්නේ..”
“ ඒ වැඩ කටයුතු වලට එයාලා අතේ සල්ලිත් නැතුව ඇති මහත්තයෝ..ඒ අප්පච්චි හරි හොඳ කෙනෙක්. කාටවත් වරදක් කරපු මනුස්සයෙක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති එහෙම වාසනාවන්ත මරණයක් ලැබෙන්නත් ඇත්තේ..”
ධනංජය සුවය ලබා තිබිණ. ඔහු නගරයේ වූ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක ගිණුම් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.
“ ඔව්… මං ඒක බලන්නම්…එන්න වොෂ් එකක් දාලා කාලා ඉමු. ඔයා ආස නිසා මං මේරි අම්මට ඊයෙම කිව්වා අල පරාටා හදන්න කියලා. එන්න මැණික…”
ධනංජය එවර පැවසූයේ ඇයට නැගී සිටින්නට උදව් කරමින්ය. එහෙත් හසාරා යළිත් වරක් ඒ පපුවට බර වූවාය..
“ ඔයාට පින් සුදු මහත්තයෝ….”
ඇය එසේ මිමිණූයේ ඒ නිරුවත් පිරිමි පපුව දෙතුන් වරක්ම සිප ගත්තාට පසුවය.
“ ඇයි මට පින්…”
“ මාව ආයිත් ඉපැද්දුවට..මං හරි සතුටින්…ඔයාගේ ආදරේ මට මාවම අමතක කෙරෙව්වා. දන්නවද මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද කියලා..”
“ මොකක්ද….”
“ ඔයාට වඩා තත්පරයක් හරි කලින් මං මැරෙන්න කියලා. දැන් මං ඔයා නැතුව ජීවත් වෙන්න දන්නෙ නෑ..ඔයා නැතුව මට කිසි දෙයක් කරගන්න බෑ..ජීවිතේ හරි පුදුමයි..ගෑණු ආසයි තමන්ට ආදරේ උපරිමයෙන් දැනෙන පපුවකට තුරුල් වෙලා කිසි දෙයක් නොදන්න ගාණට ඉන්න…ඒ ආදරේ ළඟ පොඩි ළමයෙක් ගාණට වැටෙන්න..”
ඒ දෑස් වල ඉපදුනේ කඳුලකි. තත්පර කිහිපයකට පසුව බුවනෙකගේ පපුවට ඒ කඳුළෙහි තෙත් බව දැනෙන්නට විය. එහෙත් ඔහු කිසිවක් නොකියා සිටියේය. ආදරයට ජීවය දෙන්නේ ඉඳ හිට මුවින් පිටවන මෙවැනි වදන්ය. සොඳුරු ආලිංගනයන්ය…ඔවුනොවුන් වෙනුවෙන් උපදින සතුටු කඳුළකි. හදවතට දැනෙන්නා වූ දරාගත නොහී වූ ලෝබකමකි…බුවනෙක සිය බිරිඳගේ දෑසත්, නළලතත් සිප ගත්තේ දයාබරවය. මේ සතුටය…
අවසානයි
කොටස් පනස් එකක් පුරා ජීවිතය කවියක් නොවේ සමඟ රැඳී සිටිමින් හසාරාව දයාබරව දරාගත් පාඨක ඔබට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනමමි. මේ කතාව කියවා ඔබ එය රසවින්දේනම්, ජීවිතයට යමක් එකතු කරගත්තේනම් එය මාගේ සතුටය..
ඔබේ ආදරණීය අදහස මා ලැබූ උත්තේජනයක් බව කිව යුතුමය..
මා විසින් ලියන අලුත් නවකතාව හා රැඳී සිටින්න යැයි ඔබට ඇරයුම් කරමි.
තෙරුවන් සරණ ලැබේවා…
මම
දිල්රුක්ෂි ගමගේ…