සුසුවඳ සූත්‍ර – 7

0
2063

යුගාත්ම කාශ්මීර අමුණුගම කැළඹී සිටියේ ය. අන්තරා සිය පුතු ගැන කියත්දී ඇගේ වචන අතරේ දැවටී තිබූ ආදරය, ඒ ස්වර අතරෙහි තැවරුණු කඳුළු වල තෙත, කටහඬෙහි වූ වෙව්ළුම් ස්වභාවය, ඒ සියල්ල වනාහි ආදරයේ මව්වත් සාන්ද්‍රණයන් ය. වසර කිහිපයකට පුතෙකු තමන්ගෙන් ඈත් වීම ම අම්මා කෙනෙකුට මොන තරම් වේදනාවක් ද?

එක අතකට අම්මලා ට නම් ආදරය එහෙම පෙන්විය හැක. පෙන්වූවත් නැතත් ආදරය යනු අම්මා ය යන්න ලෝකයේ සම්මත විශ්වාසයයි. තාත්තලා ගේ ආදරය ලෝකය දකින්නේ නැත. තාත්තලා ගේ ආදරය ලෝකයට දැනෙන්නේ ද නැත. තාත්තලා ආදරය ගැන කතා කරන්නට යන්නේත් නැත. සියල්ල පවත්නේ ඔවුන්ගේ බරැති හදවත් තුළයි.

තෙම්පරාදු කරගත් බත් ටික වුව නිමා වනතුරු කන්නට හිත් නො දෙන තරමට යුගාත්ම ගේ හිත ගැස්සී තිබේ. ඔහු මතු  මහළේ කාමරයට ගොස් ප්‍රංශ ජනේලය හැරගෙන සඳැල්ලට වූයේ ය. මුලින් ම පැමිණියේ සීතල පවනැල්ල සමගින් රාත්‍රී සුවඳයි. රාත්‍රී සුවඳ තුළ වෙන් කොට හැඳිනීම අසීරු වන තරම් සුවඳ ගොන්නක් කැළතී තිබේ. මල් හා තුරු පත් වලින් හමනා සුවඳ ද දවල් දවස පුරා චණ්ඩ සූර්ය තාපයෙන් කැකෑරී, හෝරාවක් දෙකක් නිවී සැනැහුණු මිහි මතින් හා වායු අංශු වලින් හමනා සුවඳ ද වැඩි මාත්‍රා ගණනකින් සමන්විත වේ. ඈත අහසේ විදුලි රේඛාවක් ඇඳී මැකී ගියේ ය. කොහේට හෝ වහිනා බවට, අහසෙහි වරින් වර මතු වෙන ආලෝක සලකුණු නො කියා කියයි. සුළඟ විසින් වඩාගෙන එනු ලබන සිසිලසෙහි යම් අයිතියක් ද ඒ වැස්සට තිබෙනවා විය හැක. සුසුමක් හෙළමින් යුගාත්ම සිය වැඩිමහල් දියණිය ගේ දුරකතනයට ඇමතුමක් ගත්තේ ය. ඔහු ඒ දුරකතනය ඇයට ගෙන දුන්නේ ම දියණියන් දෙදෙනා සමග කතා කිරීමේ පහසුවට ය. නමුත් ඔවුන් නිකමට හෝ තාත්තා සිහි වී ඇමතුමක් ගන්නේ නැත.

දෙවරක් ම නාද වූව ද පිළිතුරු නො දුන්නෙන් යුගාත්ම කවින්ද්‍යා ගේ දුරකතනය අංකනය කළේ ය. ඊට කතා කරන්නට ඔහු කැමති ම නැති වී ද මේ වෙලාවේ හිතෙහි හටගෙන තිබි නො  රිස්සුම් ස්වභාවය නිසා එසේ කරන්නට එඩිතර වූයේ ය.

“ඔව් යුගාත්ම කියන්න…”

“ඇයි ඔය ළමයි දෙන්නට බැරි ෆෝන් එකට ආන්සර් කරන්න…”

කවින්ද්‍යා පිළිතුරක් වෙනුවෙන් තත්පර දෙක තුනක් ලබා ගත්තා ය.

“ඒගොල්ලො මං හිතන්නෙ… පාඩං කරනව යුගාත්ම”

“පාඩං කළාට තමංගෙ තාත්ත කතා කරද්දි ෆෝන් එකට ආන්සර කරන්න ඕනනෙ. නිකමට මට කෝල් එකක් ගන්නෑ… මං කතා කළත් ආන්සර් කරන්නෑ. මොකද්ද මේ… දෙන්න ෆෝන් එක”

යුගාත්ම ට සැබවින් ම කේන්ති ගොස් ඇති බැව් කවින්ද්‍යා ට දැනිණ. සාමාන්‍යයෙන් ඇයට වාගේවත් ඔහු ට කේන්ති නො යන බව කවින්ද්‍යා දශකයක් ඉක්මවූ යුග දිවි ඉතිහාසය මත අත්දැකීමෙන් ම දනී. ඇය පිළිතුරක් නො දී ම ජංගම දුරකතනය වැඩිමල් දියණිය වෙත පෑවේ එබැවිනි. ඈ හිස දෙපසට සලා ප්‍රතික්ශේප කරමින් ජංගම දුරකතනයට හිස ඔබා සිටියා ය. ඇගේ වාරය එන්නට පෙර බාල දියණිය එතැනින් නික්ම ගියා ය.

“ඒගොලලො දැන් බෑ කියනවනෙ වැඩ කියල. මං කියන්නං හෙට ගන්න කියල”

යුගාත්ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ද කේන්තියෙනි. ලැබීම් වලට එරෙහිව සටන් කළ හැකි සීමාවක් ඇතැයි අනතුරුව ඔහු සිතුවේ ය. මේ තරමට දියණියන් ගේ හිත් වෙනස් කරන්නට කවින්ද්‍යා හේතු වූ බව ඔහු දනී. නමුත් දියණියන් ද දැන් කුඩා උන් නොවේ. ඔවුන්ට ද තමන්ගේ ම මොළයෙන් කල්පනා කළ නො හැකිව නොවේ.

කවින්ද්‍යා වූ කලී ශක්තිමත් ඍජු ගැහැනියකි. ඔවුන් දෙදෙනා ගේ දීගයේ හෙවණැල්ලත් ඇද වූ බැවින් වෙන් වූවාට, ඈ සිය අභිමානය කැළැල් කරගත්තේ නැති බව යුගාත්ම දනී. දියණියන් දෙදෙනා හදාගෙන, නර්තන ගුරුවරියක ලෙස වෘත්තීය කරගෙන සාඩම්බරයෙන්      ජීවත් වෙයි. තවත් පුරුෂයෙකුට යටහත් වී දියණියන් ගේ ආරක්ෂාව පාවා නො දෙන බවට ඇය තමන්ට ම සපථ වී සිටින්නී ය. පිරිමියෙකු සමගින් බෙදා ගන්නා ජීවිතයකට වැඩිය දරුවන් හදාගෙන ඉන්නා මේ තනි ජීවිතයට ඇය වඩාත් කැමති ය. දික්කසාදයක් ගැන හිතත්දී ඇයට තිබූ එක ම බය යුගාත්ම දරුවන් ඉල්ලාවී යන්න පමණකි. දැන් ඒ බිය ද තුනී වී ගොසිනි. නමුත් මේ වෙත්දී තාත්තා හා දූවරුන් අතරේ බැඳීම අන්තයට ම ලිහිල් වී ගොස් තිබේ. එක අතකට කවින්ද්‍යා තුළ ඒ ගැන වන්නේ කුරිරු සතුටකි.

සඳැල්ලේ පුටුවට වැටී යුගාත්ම ගරාදි වැට මත දෙපා රඳවා ගත්තේ ය. සුව නින්දක් වෙනුවෙන් හිතක තිබිය යුතු සාමය මේ වෙත්දී ඔහු වෙතින් ගිලිහී ගොසිනි. තව හෝරා ගණනකට නින්ද ළඟට එන්නේ නැති බව දන්නා බැවින්, ඔහු මේ අන්ධකාර ලෝකයෙහි තවත් එක් අංශුවක් වී එහි නිමග්න වී ගිලී ගියේ ය.

අන්තරා කාමරයේ යහන මත වැතිරීගෙන, ඈ ඉදිරියේ බිත්තියේ ගසා ඇති තිරයෙහි සීසීටීවී දර්ශනය මත භාවනානුයෝගී හදවතකින් නෙතු රඳවාගෙන සිටියා ය. පිටත හොඳට ම වහියි. උද්‍යානය පෙනෙනා ලෙසින් එක් කැමරා දර්ශනයක් පමණයක් තිරය මතට ගෙන ඈ එදෙස බලා    හිඳිනුයේ රාත්‍රී අහර අතරමග නවතා කාමරයට පැමිණි මොහොතේ සිට යි. පුත් නූපුර සිහි වී කඳුළක් දෙකක් ගිලිහුණෙන් හිත මඳක් හෙළවී- කැළඹී තිබිණ. නමුත් වැස්ස හිත සන්සුන් කරයි. කැළඹුණු කළල් දිය හෙමිහිට පත්ළේ තැන්පත් කරයි. හදවතට භාවනාවක ශාන්තිය ද සමාදානය ද රැගෙන වඩියි.

දක්ෂිණ විතානගේ ගෙදර පැමිණියේ ඒ වැස්ස මැදිනි. අධික වර්ෂාවත් මහ මග ඇදී යන රථ වාහන වල ශීර්ෂ ලාම්පු එළිත් නිසා රිය ධාවනය කිරීම අසීරුයි වාගේ ඔහු ට දැනෙමින් තිබිණ. ඊට ද වඩා හිතේ අමාරුව නිසා හිස් කළ මීවිත ඔඩම් කිහිපයේ නාමයෙන් හිසෙහි බමනා ගතියක් ද ඔක්කාරයක් ද දැනෙමින් තිබිණ. ඒ සියල්ල අතරේ ඔහු ගෙදර තෙක් රිය පැද ආවේ පුරුද්දට ය.

“මේ මොකද මේ…”

දක්ෂිණ ගේ ඇවිදීමේ සමබරතාවය බිඳී ඇති බව, ඔහු ගෙට ගොඩ වත්දී ම සම්පතී නිරීක්ෂණය කළා ය. ඈ ඉදිරියෙහි නතර වූ ඔහු, කලිසම් සාක්කුවක අතක් ඔබාගනිමින් ඍජු ව සිටගැනීමේ උත්සාහයක් ගත්තේ ය. දක්ෂිණ ගේ ඇස් ලොවි ගෙඩි වාගේ රක්ත වර්ණයට හැරී තිබේ. මත් පැන් වල අප්‍රසන්න දුගඳට සම්පතී නාසය හකුළාගත්තා ය.

“එච්චරනෙ මදිපාඩුවකට තිබුණෙ”

වචන වලින් දක්ෂිණ ගේ මූණට දමා ගැසූ ඕ තොමෝ, ගස්සාගෙන ගෙතුළට ගියා ය. කාමරයට වැදුණු දක්ෂිණ කුණු, දුහුවිලි, දහදිය පිටින් ම යහනෙහි උඩුකුරුව වැටුණේ ය. හිසෙහි බමනා ගතිය තත්පර කිහිපයක් පැවතී, හෙමිහිට සාමකාමී විය. සම්පතී කාමරයට පැමිණෙන විට දක්ෂිණ ගේ නෙතු පියවෙමින් තිබිණ. කේන්තියට ඇය සැමියාට කෑම ගැන හෝ මතක්  කළේ නැත.

“අන්තරා මට ගෙදර එන්න එපා කියනව. ඩිවෝස් එකට යමුලු”

තවත් හිත අස්සේ දුක හංගාගෙන ඉන්නට දක්ෂිණ ට නො හැකි විය. සම්පතී උන්හිටි ලෙස ම ගල් ගැසී ගියා සේ ය. අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල පෙරළීමක් ඇයට දැනිණි. ඇගේ දෑස් පමණට වැඩියෙන් ලොකු වී රවුම් වී තිබිණ. කෙසේ වෙතත් කුමක් පැවසිය යුතු දැයි ඇයට සිතාගත හැකි වූයේ නැත.

“එතකොට මං මොකෙද්ද… මට මොකද්ද වෙන්නෙ… මං නිකංම නිකං දක්ෂිණයෙක් විතරයි. මට… හැම දේම නැති වෙන්නයි යන්නෙ. මං නිකංම නිකමෙක් වෙන්නයි යන්නෙ…”

දක්ෂිණ දොඩවන්නට ගත්තේ ය. සම්පතී බලා සිටියේ මුව ද මඳක් විවර කරගෙනයි. මෙතෙක් කලක් ඔහු කිය කියා සිටියේ අන්තරා දික්කසාදයකට ඉඩ ලබා නොදෙනා බවයි. ඔහු ඒවා කීවේ හොඳ සිහියෙනි. නමුත් අද ඇල්කොහොල් මත අවසිහියට පත්ව, ඇය දික්කසාදයක් ඉල්ලා සිටින බව පවසයි. දක්ෂිණ මේ හැසිරෙන ආකාරයට, අන්තරා සමගින් වන දික්සාදයක් යනු ඔහු ව කෙතරම් කම්පනයට පත් කරන්නක් ද යන්න පහදා ගන්නට බැරි කමක් සම්පතී ට නැත. දෙපා පණ නැති වී යන සෙයක් දැනුණෙන් ඇය ඇඳ විට්ටමට කොට්ටයක් තබා එහි හේත්තු වූවා ය.

“ඒක කෙළවරක් වෙනවනං හොඳයිනෙ. එතකොට අපිට කසාදෙ රෙජිස්ටර් කරන්න පුළුවන්නෙ”

කියන්නට ගත්තා ට ඒ කතාව නො කියා සිටියා නම් මැනවැයි සම්පතී ට දැනුණේ කියන්නට ගත් පසුයි. කෙසේ වෙතත් ඒ ස්වරයෙහි ඇයට අවැසි වූ ශක්තිය පවත්වාගත නො හැකි ව දුර්වල වී දියාරු වී යමින් තිබිණ. ඇගේ මනසෙහි නොයෙකුත් සිදුවීම් සිතුවම් වෙමින් ද තිබිණ. පසු ගිය දින වල දක්ෂිණ ගේ හැසිරීමේ වෙනස, වෙනත් ගෑනු ළමයෙකු සමගින් පටන් ගන්නට නියමිත සම්බන්ධයක් නිසාවෙනැයි ඇය සැක කළා ය. නමුත් දැන් පැහැදිලි සූර්යයා සේ සත්‍ය නිරාවරණය වී තිබේ. කලබල වී සියල්ල අවුල් කරගත යුතු නැතැයි සිතූ සම්පතී, දක්ෂිණ වෙත ලංව ඔහු ගේ හිස පිරිමදින්නට පටන් ගත්තා ය. ඒ සුවයට ඔහු බෙහෙවින් රිසි වග ඇය දනී.

යුගාත්ම හා අන්තරා මුණගස්වන්නේ කෙසේ දැයි පාරින්දි දස අතේ සිතුවා ය. එය අහඹුවක් සේ අන්තරා ට දැනිය යුතු ය. එසේ ම යුගාත්ම ගේ සුවඳ විලවුන් සාප්පුවක, ලබා දිය හැකි යයි කී ශාඛා කලමණාකාර තනතුර ලබා ගැනීම වෙනුවෙන් උත්සාහ කළ යුතු ය.

“ඔයා කිව්වනෙ එක පාරටම එයා ජොබ් එකක් දෙනව කියපු එක විශ්වාස කරන්නෙපා කියල. අපි චුට්ටක් ඒ ශොප් එක විසිට් කරමුද… මං කියන්නෙ… ජස්ට්… ශොපින් කරනව වගේ… එයා හැමතිස්සෙම එතන ඉන්නව වෙන්න බෑනෙ. අපිව අඳුරන වෙන කවුරුත් එතන නෑත්නෙ…”

ඇය අන්තරා ට එහෙම ඇමතුමක් දුන්නේ හෘද සාක්ෂිය නිදහස් කරගෙනයි. ඒ වගේ ගමනකින් අන්තරා ට කිසිදු හානියක් නො වෙනා බව හැම පැත්තකින් ම හිතා තහවුරු කරගෙනයි. එය විලවුන් සාප්පුවකි. මුණගැහුණත් යුගාත්ම කියන්නේ යකෙකු නොවේ. අන්තරා ගල්වාගෙන හිඳිනා වලවුන් ගැන දැනගන්නා එක යුගාත්ම ගේ වැඩකි. ඒ ගැන ඔහු විමසුවත් එය මහා අපරාධයක් වන්නේ නැත. පිළිතුරු දෙනවා ද නැත් ද යන්න ඇගේ වැඩකි. මෙහෙම අහිංසක ප්‍රයෝගයකින් රැකියාවක් ලබා ගත්තා කියා ආනන්තරීය පාපකර්මයක් සිදු වන්නේ  නැත.

“යං”

අන්තරා ඒ තනි වචනේ පිළිතුර ලබා දුන්නේ මඳ තත්පර වීමකින් පසුයි. නමුත් ඒ තත්පර කිහිපය තුළ ඈ බොහෝ දේ සිතුවා ය. පාරින්දි වැනි විශාධයෙන් පෙළෙනා තරුණියකගේ හිත ළඟින් සිටිය යුතු ය යන්න ඇගේ මුල් ම සිතිවිල්ලයි. ගෑනු ළමයෙකු කපටි මිනිසෙකුට හසු වෙන්නට නොදී රැකගත හැකි ද කියා විමසිලිමත් වෙන එක හොඳ ය. ඊටත් වඩා ඒ විලවුන් සාප්පුවක් නම්… එහෙම තැනෙක, සුවඳ කොදෙව්වක මොහොතක් රැඳිය හැකි නම් ඒ හිතට ද සුවයක් වනු ඇත.

අන්තරා සූදානම් වූයේ ප්‍රීතිමත් සැහැල්ලුවකිනි. කාලයක් තිස්සේ ම ඇය තනිව ජීවත් වන්නට පුරුදු වුණ කෙනෙකි. ගමන් බිමන් ගියේ නම් තනිව ම ය. නූපුර කුඩා කාලයේ ඇගේ අතේ එල්ලී හැම තැනම යන්නට ආවත්, ලොකු වෙන්නට වෙන්නට ඒ ගමන් අඩු කළේ ය. පහු වෙත්දී ඔහු ව කොතැනකටවත් ගෙන යා නො හැකි විය. දූවරුන් සිටිනා අම්මලා නම් මල් වට්ටියක් වාගේ ඔවුන් ඉස්සර කරගෙන ගමන් යති. නමුත් හස්ති රාජයින් සේ දැනෙනා පුතුන් එහෙම හැසිරෙන්නේ නැත. ඉතින් ගෑනු ළමයෙකු සමගින්, මිතුරියක සේ ඇයට කතා කරනා ගෑනු ළමයෙකු සමගින් මග බැස ගමනක් යනවා කියන්නේ විසිතුරු අත්දැකීමකි. විශේෂයෙන් ම පාරින්දි යනු හුරතල් හුරුබුහිටි හා දඟකාර යුවතියකි. හිතෙන්වත් පෙනුමෙන්වත් මැදි වියට එළඹ නැති අන්තරා ට පාරින්දි වාගේ කුඩා මිතුරියක යනු චමත්කාරවත් ඇසුරකි.

කහ පාට සැහැල්ලු කුර්තා ඇඳුම අන්තරා ගේ පෙනුම වඩාත් සෞම්‍ය කොට තිබිණ. සැහැල්ලුවට තනි කරලට ගෙතූ දුඹුරුවන් කොණ්ඩයෙන් ගිලිහුණු කියඹු වැල්, ඇයට විශේෂ සුන්දරත්වයක් ගෙනෙනා ආවේණික පෙනුම විය. අමු රෙද්දෙන් මැසූ ඉන්දියානු විචිත්‍ර බෑගයක් උරයේ එල්ලාගෙන, කතා කරන ඇස් දෙකකින් ඔබ මොබ බලනා ඇය පින්තූරයක් වාගේ ය. පාරින්දි සුළං සීනුවක් සේ අතොරක් නැතිව කිචි බිචි ගෑවා ය. වැඩි කතා නැති අන්තරා හැම මොහොතක ම සිනහ මල්  විකසිත වෙන්නට හැරියා ය.

අන්තරා නො දන්නා තැනෙක සිට, යුගාත්ම ගේ දෑස් ඇය වෙත දැල්වීගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here