කදෝකිමි ඇස් -04

0
4613
කදෝකිමි ඇස්

මේකලා නිදි යහනට ආවේ රෑ බෝ වී ය.මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගොස් ඇති බව ජාලියට නොදැනුණා නොවේ.ඔහු ඒ ගැන කිසිවක්ම නාසන්නට ප්‍රවේසම් ය.

“මං ලියනවනෙ.ලියන්න අයිඩියාස් එන්නේ රෑට..”

නමුත් ඇය ඒ කාලයේ පුස්තකාල කාමරයේ තනිව නොරැඳුණා ය.සුන්දර මැදුරක් වන් නිවසක් තනන්නට පෙර කුලී නිවාස වල සිටි කාලයේ පවා ඇය කෑම මේසයට වී ලියන්නී ය.එකල ආරණ්‍යා හෝ සඳරැස් ඉපිද සිටියේ ද නැත.

“ජාලිය අයියෙ! සෝපා එකෙන් නිදාගන්නකො.තනියි.”

ඒ ඉල්ලීමේ වචන ජාලියට නෑසෙයි.ඔහුට පෙනෙන්නේ ඒ ආයාචනාත්මක දෑස පමණකි.ඔහු ඒ දෑස ඔහුටම හිමි වූ ප්‍රීතියෙන්ම කොට්ටයක් රැගෙන සෝපාවට බර වේ.දැන් ඒ තනි රැකීම හිමි සඳරැස්ට ය.ඔහු පාඩම් කරන්නට කියා පොත් අහුරක් ඔසවාගෙන අම්මාගේ කාමරය වැදේ.ආරණ්‍යාගේ අදහස නම් ඒ අම්මා රවටන හෝරා බව ය.අම්මාගෙන් යමක් කඩා වඩා ගන්නට අයවැය වාර්තා ඉදිරිපත් කරන්නට සඳරැස් ඒ තනි රැකීමේ හෝරා තෝරා ගන්නා බවට ආරණ්‍යා තරයේ චෝදනා කරන්නී ය.

“ඉතිං ඔයත් එනවකො.වැඩේ ඉවරනෙ.”

සඳරැස් සාම ගිවිසුම් ඉදිරිපත් කරන්නට වග බලා ගනී.නමුත් ආරණ්‍යා එය අහකට දමන්නී ය.

“අම්මාගෙ කාමරේට ආවම මට පොත් කියවන්න හිතෙනව.එක්කො තරු බලන් ඉන්න හිතෙනවා..”

සඳරැස්ට එවැනි ප්‍රශ්න නොවේ.ඔහු පොතක් අතින් අල්ලන්නට මනාප නැති කොලුවෙකි.අම්මාගේ පොත් ගැන කවුරුන් හෝ අසද්දී ඔහු කරන්නේ හිස කසමින් හාත්පස බැලීම ය.ඔහු කියවන්නේ ම නැත.අම්මාගේ පොතක පවා මුද්‍රණයේ ගුණාගුණ පිරික්සා ඔහු තමන්ගේ රාජකාරිය අවසන් කරයි.

“මගේ හීනවල නම් හිටියේ පොත් කියවන පුතෙක් හොඳේ..”

අම්මා එහෙම කියන්නේ “පොත් කියවන මේඝ” කෙනෙකු අහිමි වූ වේදනාවෙන් බව දන්නේ ජාලිය පමණකි.සඳරැස් තමන්ගේ ගතිගුණ සියල්ල දරන්නා බව ඔහු දනියි.රූපය අම්මාගේ වී ගතිගුණ තමන්ගේ වූ පුතු දෙස ඔහු බලන්නේ ආඩම්බරයෙනි.ලෝකය වැඩිපුරම පිය දියණි බැඳීම ගැන කියවූව ද සඳරැස් අම්මා රැක බලා ගනිමින් තමන් වැඩිපුර විශ්වාසයේ තබා ගන්නා පුතෙකි.කොටින්ම කිවහොත් ඔහු තාත්තාගේ පුතෙකි.

“ජාලිය..ඔයා හෙට සුදු මැණික කැම්පස් එක්ක යනවද?”

මේකලා අසන්නී ජාලිය සොලවමිනි.ජාලිය මොනතරම් තද නින්දකට වැටී සිටිය ද මේකලා ඒ පුරුද්ද අත හැර නොමැත.ඔහු අඩ නින්දෙන් දෑස් විවර කළේ ය.

“ඇයි ඒ? සුදූට සනීප නැද්ද?”

දියණිය අම්මාගේ කාමරයේ තාවර වෙමින් සිටි බව සිහි කරමින් ජාලිය ඇසී ය.මේකලා කිසිත් නොකියා සුසුමක් හෙළුවා ය.ඇය ඕනෑවට වඩා දේවල් සිතන බව ඔහු දනියි.නමුත් එය ඇය නිවැරදි කරගන්නා බවක් ද පෙනෙන්නට නැත.

“දූ කවුරුහරි පිරිමි ළමයෙක් ගැන හිතනව..”

ජාලිය උස් හඬ නඟා හිනැහුණේ ය.අවුරුදු විසි ගණනක ගැහැනු දරුවෙකු කොල්ලෙකු ගැන සිතීම ප්‍රවේසම් කරන්නට කාරණාවක්දැයි ඔහුට සිතේ.එය මේකලාට කියන්නට ඕනෑ වඩා පරිස්සමින් වචන භාවිතා කරමිනි.

“ඔයත් ඉතිං මැණිකේ! ටීවී එකට එහෙම ගිහින් උජාරුවට කියනව දරුවන්ට නිදහස දෙන්නයි කියල.ඊටපස්සෙ මට කියනව අපේ කෙල්ල පස්සෙන් යන්න කියල.අනේ ඉතින් ඔයාගෙත් වැඩ..”

මේකලා එවදන් අසා උරණ වූවා ය.ඇයට කෝපයක් නැඟුණු විට කියවන්නේ විරාම ලක්ෂණ රහිතව බව කියන්නේ සඳරැස් ය.මේ මොහොතේ ද ඇය නොනවත්වාම කියවන්නට ගත්තා ය.ඒ කියවිල්ල ඇගේ ලියවිලි සහ සැබෑ ලෝකය සැසඳීමෙන් වළකින්නට යන මාතෘකාවෙන් ජාලියට පුරුදු දේශනය නොවේ.

“මං මගෙ දරුවන්ට නීති දාලා තියනවද?”

කියවීම නැවතු මේකලා ජාලියගෙන් සැර ප්‍රශ්නයක් නැඟුවා ය.එය උත්තරය සරල ප්‍රශ්නයකි.මේකලා ඒ වරද නම් කිසි දවසක කළ බවක් ජාලියගේ මතකයේ නොවේ.

“මං එයාලට කවදාවත් නීති දාන් නෑ.සුදු මැණික එයාට ඕන කෙනෙක් එක්ක යාලු වුණාවේ කියල මං හිටියේ.අඩුමතරමේ ඒ කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් මට කමක් නෑ.ඒ දරුවො ඉන්න තාත්තෙක් වුණත් ඒ මනුස්සයා හරි විදියට ඩිවෝස් වෙලා එනවානම් මට කමක් නෑ.ඒ වුණාට මෙතන ප්‍රශ්නෙ වෙනස්..”

මේකලා හඬමින් කියවන්නී ය.ඇය හඬන අන්දම කිසි දවසක දරන්නට අපහසු ජාලිය වහා ඇය වටා අතක් යැවුවා ය.ඈ මුලින්ම හැඬූ දා මෝඩයෙකු සේ ඈ අත වතුර වීදුරුවක් තැබූ තරුණයෙකු ඒ අස්සේ ඔහුට සිහි විණ.

“දූ මට පිරිමි ළමයෙක්ව පෙන්නුවා.ඒ ළමයා දූ එක්ක කතා කරලවත් නැහැ.ඒත් ජාලිය, ඒ දරුවා කාගෙ කවුද කියලා මං හිතන්නේ මං දන්නවා.සුදු මැණික ආයේ ආයේ ඒ ළමයා ගැන හොයයි කියලා මට බයයි..”

ජාලිය බිරිඳගේ හිස මෘදුව පිරි මදින්නට විය.ඔහු ද තිගැස්සී යන කතාව ඇසුණේ ඉනික්බිතිව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here