මල්සර හී සර – 52 (අවසාන කොටස)

0
2623

අරවින්ද පිටිපස්සෙන් පාටියට ගැලපෙන විදියෙ දිග රතුපාට ගවුමක් ඇඳගත්ත සප්තමීව දැක්කමත් මාලවී උන්නේ කර කියාගන්න දෙයක් නැතුව.

මොනව උනත් තමන් මේ විදියට විනාස කරලා දාන්න හැදුවෙ තමන් පොඩි කාලෙ ඉඳල එකට සෙල්ලම් කරපු යාලුවා නේද කියන එකත් පුංචිකාලෙ දෙන්නා එකට ඉස්කෝලෙ ගියපුවා කාපු බීපුව ඔක්කොම වගේ ෆ්ලෑශ්බැක් එකක් වගේ ඔලුව ඇතුලෙ ප්ලේ වෙද්දිත් මාලවී කලේ එක දිගටම සප්තමී දිහාව බලාගෙන උන්න එක.

වෙන්නෝන දේවල් ඒ විදියට වෙද්දි, කියන්න ඕන හැමදේම ඒ විදියට කියල දැම්මට පස්සෙ මාලවී එක දිගටම සප්තමී දිහාව බලාගෙන ඉද්දිමයි පොලිස් කොස්තාපල් නෝනා ඇවිල්ලා මාලවිගෙ අතට මාංචු දාලා එයාව පල්ලෙහට එක්කරගෙන යන්න ගියේ. ඒ හැමදේම උනේ හරියට ෆිල්ම් එකක වගේ. ඉන්දියන් ටෙලි නාට්‍යයක වගේ කියල වසන්තට වගේම එතන මේ වෙන හැමදේම බලාගෙන උන්න හැමෝටම  හිතුනා. තව කට්ටියක් උන්නේ තමන්ගෙ ෆෝන් වලින් එහෙම ඒ වෙන දේවල් ඒ විදියටම රෙකෝඩ් කරන ගමන්.  මේ වෙද්දිත් ෆේස්බුක් එකේ, ඉන්ස්ටග්‍රෑම් එකේ එහෙම ඒ විදියට එක එක අය ගත්ත පින්තූර වීඩියෝ හුලඟට අහුවෙල වගේ විසිරිලා යද්දි සසාර පාරමිතා නාට්‍ය තිබුනෙ සෑහෙන ප්‍රමාණයක් මිනිස්සුන්ගෙ ෆෝන් වල එහෙම ඕපන් වෙලා. 

“කවුද හිතන්නෙ නේද තමන්ගෙ යාලුවට මෙහෙම කරාවි කියල”

“ඔය නිලියො නිලියො අතරෙ පුදුම ප්‍රශ්න අප්පා තියෙන්නෙ. මූනෙ පේන ලස්සන නෙවෙයි හිත අස්සෙ තියෙන්නෙ”

“අපෝ ඔය නිලියොද ජනප්‍රිය වෙන්න ඕන දෙයක් කරාවි” කියල මිනිස්සු මාලවීට තැන තැන බනිද්දි තව කට්ටියක් ඇත්තටම මේ සිදුවීම පස්සෙ තියෙන්නෙ මොන වගේ දෙයක් වෙන්න ඇතිද කියන එක ගැන තමන්ගෙ අදහස් එහෙම හුවමාරු කරා.

මාංචු දාගත්ත අත්වලින් කාන්තා පොලිස් කොස්තාපල් කෙනෙක් එක්ක ලිෆ්ට් එක දිහාවට යන ගමන් මාලවී සප්තමී ගාව තප්පර ගාණකට නතර උනේ මෙච්චර දවසක් කියාගන්න බැරුව උන්නු දෙයක් කියන්න වගේ. ඒත් හිතෙන් දහස්වාරයක් “සප්තමීට දැන්වත් සොරි” කියල කියන්න කිව්වට මාලවී උන්නේ ඒ හිත කියන දේට ඔලුව නවලා තමන්ව තව පාරක් සප්තමී ලඟ සෙකන්ඩ් කරගන්න බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි.

ඒත් මාලවීට ඒ වෙලාවෙ කියන්න දෙයක් සප්තමීට ඉතුරුවෙලා තිබ්බා.

“දැන්වත් ඔයාට සන්තෝසද?” කියලා සප්තමී අහන්නෙ මොකද්ද කියන එක ගැන ඇත්තටම අදහසක් මාලවීට තිබ්බෙ නෑ. මෙතන, මේ වෙන දේවල් අස්සෙ කිසිසේත්ම තමන්ට සන්තෝස වෙන්න කාරණාවක් නැති බව හොඳටම පෙනෙද්දි “ඔයා ඇයි එහෙම අහන්නෙ?” කියල ප්‍රශ්නෙ මාලවිගෙ ඇස්වල ඇඳිලා තියෙනව දැකලා තමයි සප්තමී තමන්ගෙ කතාවෙ ඉතුරු ටිකත් කියල ඉවර කරන්න කියලා හිතුවෙ.

“ඔයාට මාත් එක්ක තරහා තිබ්බේ මම රඟපාන්න ආව හන්දද එහෙම නැත්තම් මම සමුද්‍ර එක්ක යාලුවෙච්ච හන්දද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඒ තරහ ඔයාට මීට වඩා හොඳ විදියට විසඳගන්න තිබ්බා මාලවී මාත් එක්ක හොඳින් කතාකරානම්.

එහෙම නැතුව මේ වගේ තුට්ටු දෙකේ ගේම් ගහලා මාව අයින් කරලම දාලා ඔයා ලබාගන්න, ඔයා ඔයාගෙ කරගන්න බලාපොරොත්තු වෙච්ච දේ මොකද්ද කියල මට හිතාගන්න බෑ. අන්තිමේ මාව විනාස කරන්න කියල හිතුවට ඔයා කරපු හැමදේකින්ම විනාස උනේ ඔයාමයි.

මතකද දවසක් ඔයා ඇවිල්ලා කිව්ව මම මේ ප්‍රධාන නිළිකමයි සමුද්‍රයි දෙන්නවම ඔයාගෙන් උදුර ගත්තා කියලා. මං කවදාවත් ඔයාගෙන් කිසිම දෙයක් උදුර ගත්තෙ නෑ මාලවී. මං කලේ මට ලැබිච්ච දේවල් පරිස්සම් කරපු එකයි භාරගත්ත එකයි විතරයි. අනික ඔයා කවද කොහොම හිතුවත්  මේ ටෙලි ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එකවත් සමුද්‍රවත් කියන්නෙ ඔයාට කවදාවත් අයිතිවෙන්න තිබුන දේවල් නෙවෙයි.

ඔයා කිව්වනෙ ඔයා කවදාවත් ඉඩ දෙන්නෙ නෑ කියල ඔයාට අයිතිවෙන්න ඕන දේවල් මට ලබාගන්න. ඔයාට ඕන උනේ මේ ටෙලි ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක වෙන්නනෙ.

මේන් කැරැක්ටර් එක විතරක් නෙවෙයි මාලවී, ලංකාවෙ මිනිස්සුන්ට හැමදේම මතක සති දෙකයි කියනවනෙ. ඒ නිසා ඔන්න ඉස්සරහට එන සති දෙකේ ඔයාට පුලුවන් ලංකාවෙ හොඳම නිළිය, ජනප්‍රියම නිළිය කියන දේවල් දෙකම මගෙන් උදුරගන්න.

හැබැයි සති දෙකකට විතරයි. ඒ වගේම ඒ සති දෙකේවත් ඉන් ඉස්සරහටවත් ඔයාට කවදාවත්ම සමුද්‍රව නම් ලබාගන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා” කියල සප්තමී හිනාවෙද්දි අත් දෙකේ මාංචු දාලා නොතිබ්බා නම් “මේකිගෙ හොම්බ තැලෙන්න ශොට් එකක් දෙන්න තිබ්බා නේද?” කියල හිතෙද්දිම තමා පොලිස් මනුස්සයව මාලවීව ලිෆ්ට් එක දිහාවට අරගෙන ගියේ.

ඉන්පස්සෙ කාලෙ ගෙවුනෙ ඉන්ටවිව් වලින් ද රේඩියෝ වලින්ද, පත්තර ටීවි හැම එකකින්ම සප්තමීට කතා කරලා මේ වෙච්ච සිද්දිය ගැන අහන්න පටන් ගත්ත එක. ඒත් පොලිස් ඉන්වෙස්ටිගේශන් එකක් ඕල්‍රෙඩි වෙමින් පවතින නිසා සප්තමී මේ කිසිම දෙයක් ගැන මාධ්‍යයට කිසිම දෙයක් කියන්න කැමති උනේ නෑ. සප්තමී අන්තිම වෙලාවෙ මාලවීට කිව්ව විදියටම සති දෙකක් යනකම් “එකට රඟපාපු යාලුවා මරන්න හදපු ජනප්‍රිය නිළිය” කියල මාලවී ගැන විස්තර දාලා, එයාව පොලිසියෙන් අරගෙන යන ෆොටෝ දාලා හදපු වීඩියෝ එහෙම ලංකාවෙ හැම කෙනාගෙම ෆෝන් වල වයිරල් වෙන්න පටන් ගත්තා.

ඒ සති දෙක ඇතුලත සාක්කි දෙන්න, වෙච්ච දේවල් කියන්න සප්තමී එක්කම සමුද්‍රත් පොලිසියට යන්න ආව. සප්තමීගේ අතුරුදහන් වීමේ සිද්දිය කවුරුවත් දැනගෙන උන්නෙ නැති හන්දා වගේම අරවින්ද මේ කේස් එක මුල ඉඳලම බලපු හන්දා එලියට එන්න ඕන නැති කතන්දර ඇතුලෙම තියාගෙන මාලවී කරපු දේ වෙනුවෙන් එයාට දඬුවමක් දෙන්න ඕන කරන හැම දෙයක්ම ගාණට මිම්මට ප්ලෑන් වුණා.

සප්තමී වැඩිය එලියට පහලියට යනවට නම් නන්දා ඉන්පස්සෙත් අකමැති උනේ “ඇස් දෙකට පේන්න ලඟම උන්නු තරහකාරය ඔච්චර දෙයක් කල එකේ අනිත් මිනිස්සු ගැන කවර කතාද?” කියල උනාට සමුද්‍ර හෙවණැල්ල වගේ ලඟින් උන්නු හන්දා ඒකට අකුල් හෙලන්න නන්දට ලොකු ඉඩක් දුන්නෙ නෑ ජයබාහු.

“කරදරයක් වෙයි කියල තමුසෙ ඒ ළමයි දෙන්නට බැඳලා හනිමූන් යන්න දෙන එකකුත් නෑනෙ” කියල ජයබාහු විහිලු කරද්දි නන්දා ගස්සගෙන ගෙට ගියා.

මාලවී වෙනුවෙන් වෙන් වෙච්ච සති දෙක ඉවර වෙද්දිම වගේ තමයි සප්තමීට වසන්ත කාලෙ ආවෙ. මුලදිනම් ආයෙ රඟපාන්නෙ නෑ කියල කිව්වට සමුද්‍රගෙ ඉල්ලීමටම සප්තමී ඉන්පස්සෙ ලැබිච්ච චිත්‍රපටයක කන්ට්‍රැක්ට් එකකට අත්සන් කලා. ලස්සන කොණ්ඩෙ හන්දා ලංකාවෙ ප්‍රසිද්ධ ශැම්පු බ්‍රෑන්ඩ් එකක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදියට එකතු වෙන්නත් සප්තමීට අවස්තාව හම්බුනා.

“ජනප්‍රියත්වෙ මුල්ම කාලෙ තමන්ට සම්බන්ධයක් තියෙනව කියන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්” කියල කට්ටිය කොච්චර කිව්වත් තමන්ගෙයි සමුද්‍රගෙයි ආදර කතාව ලෝකෙන් හංගන්න සප්තමීට උවමනා උනේ නෑ. ඒ වගේම “ඔය හැම ජනප්‍රියත්වයකටම වඩා මට ඔයාව වටිනවා” කියල සප්තමී කිව්ව ඉල්ලිම හන්දම කසාදෙ ඉක්මන් කරන්න සමුද්‍රලගෙ පැත්තෙ අයත් එකතු උනා.

“ඒ මනුස්සය අම්මා නොවී කුඩම්ම වෙච්ච එක මට ප්‍රශ්නයක් වෙන්නෙ මොකටද? මොකෝ සමුද්‍ර පුතාව කසාද බඳින්නෙ මම ද? අපෙ කෙල්ලනෙ” කියල නන්දා කසාදෙට අවසර දෙද්දි “මං සමුද්‍ර පුතාගැන හිතාගෙන උන්නෙ සෑහෙන වැරදියට” කියල සමාව ඉල්ලද්දි ජයබාහු නම් එතනදිත් නන්දට විහිලු කරේ “කකුල කැඩිච්ච වෙලා ඒ කොල්ලට කියලා වඩාගෙනත් ගිහින් තමා ඔක්කොම ඒව කිව්වෙ” කියලා.

සමුද්‍රගෙයි සප්තමීගෙයි කසාදෙ උන්නෙ පවුල් දෙකේ කට්ටියයි ෆීල්ඩ් එකේ හිතවත් කීප දෙනෙකුයි විතරක් එක්කාසු කරගෙන උනාට මොකෝ සෑහෙන කතාබහට ලක්වෙච්ච නිළියක් වගේම කපල් එකක් වෙච්ච හන්ද සමුද්‍ර – සප්තමී යුවල වෙනුවෙන් ඉඩක් වෙන් නොවිච්ච පත්තර, ටීවි වැඩසටහන් නොතිබ්බ තරම්.

ඒ වගේ වැඩසටහන් වලට යන්න කලින්ම පසුගිය වෙච්ච සමහර දේවල් ගැන කතාකරන්න කැමති නෑ කියලම සප්තමිල කිව්ව හන්දා මාලවී සම්බන්ධ කිසිම දෙයක් කතාකරන්න කිසිම කෙනෙක් උනන්දු උනේ නෑ. ඒ නිසාම මාලවී කියන නම ටිකෙන් ටික හැමෝටම අමතක වෙලා ගියේ හරියට ප්ලෑන් කරපු දෙයක් වගේ.

“අපේ ආදර කතාව ගැන හැමෝම අපෙන් නිතරම අහනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ජනප්‍රිය දෙන්නෙක්ගෙ ආදර කතා එලියට එන්නෙ මේ වගේ ටීවි වැඩසටහන් වලදි උනාට අපි හිතුවා අපේ ආදර කතාව වෙනස්ම විදියකට එලියට අරගෙන එන්න.

ඒ තමයි ලංකාවෙ ජනප්‍රියම කාන්තා වෙබ්සයිට් එකක් වෙන smartlady හරහා අපි අපේ කතාව දැන් කොටස් වශයෙන් පළවෙන කතාවක් විදියට අරගෙන එනවා. ඒක ඇත්තටම ඒ වෙබ් සයිට් එකට ලියන ලේඛිකාවක්, මගේ හිතවතියක් මගෙන් කල ඉල්ලීමකට කන්දීමක්.

ඉතින් අපේ ආදරේ කතාවෙ වෙච්ච හැමදේම දැන් ඔයාලට හැමදවසකම උදේ එකොලහමාරට smartlady ඔස්සේ කියවන්න ලැබෙනවා” කියලා තමන්ගෙ ෆේස්බුක් පිටුවෙ ඒ විදියට සටහනක් ලියල තියලා සප්තමී ඇඳට එනකම් සමුද්‍ර උන්නෙ ඇඳට වෙලා සප්තමී දිහාවම බලාගෙන.

මේ ලස්සන කෙල්ල දැන් තමන්ගෙමයි කියල හිතෙද්දි කසාද බැඳල මාසයක් විතර ගෙවුනත් සමුද්‍ර සප්තමීව දැක්කෙ හනිමුන් එක දවසෙ දැක්කා වගේම අලුත් විදියට.

“මාලවී හැබැයි කරපු දේ හොඳයි කියලත් මට වෙලාවකට හිතෙනවා” කියන ගමන් සමුද්‍ර සප්තමීව තමන් ලඟ හාන්සි කරවගෙන එයාගෙ මූනට පහත් වුණේ හැමදාව වගේ ඒ ආදරේ ඕනවටවත් වඩා සප්තමීට දෙන්න කියලා හිතාගෙන.

“ඇයි?”

“නෑ ඉතින් ඒ හන්දනෙ මට ඔයාව මෙච්චර ඉක්මනට ලැබුණේ”

“ඔව් ඒ උනාට මට තමා රිදෙන්නෙ” කියලා සප්තමී ඇහැක් ගහලා හයියෙන් හිනාවෙද්දි ඒ හිනාව නතර කරන්න හිතාගෙන තමයි සමුද්‍ර ඒ ලා රෝස පාට තොල් තමන්ගෙ තොල් වලින් හයියෙන් අල්ලගත්තෙ.

අවසානයි…

“ඉතින් මෙච්චර දවසක් මල්සර හී සර එක්කත් එකතුවෙලා උන්නට ඔයාලට ගොඩක් ස්තුතියි. මම මීට කළින් ලිව්ව කතාව ගොඩක්ම හිත ඉමෝශනල් කරන එකක් වෙච්ච හන්දා තමා කෞමදී අක්කයි මමයි දෙන්න මාරුවෙන් මාරුවට දුක හිතෙන කතාවයි මේ වගේ බොළඳ ආදර කතාවකුයි අරගෙන එන්න හිතුවේ.

නැත්තම් මමත් අර “දුක ලියන අඛ්ඛියෙක්ම” වෙයි කියල අපි දෙන්නටම හිතෙන හන්දා.

මම ඔය love scene ලොකුවටම ලියන්න දන්න කෙනෙක් නම් නෙවෙයි. ඒ හන්දා අඩුවක් පාඩුවක් උනා නම් සමාවෙන්න ඕන. මගේ ඊලඟ කතාව එනකම් අපේ ඉසුරි අක්කගෙ, හර්ශිගෙ වගේම ගංගක්කගෙ කතාවත් ඔයාට කියවගෙන යන්න පුළුවන් වගේම අපේ ඒ කෙල්ලො තුන්දෙනාගෙ කතාවටත් ඔයාලගෙ ඉහලම ආදරය, likes, comments, shares දෙන්න කියල ආදරයෙන් ඉල්ලනවා.

අපේ පාඨකයො වෙච්ච ඔයාලා තමා අපිට ඉන්න ලොකුම සම්පත. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හන්දම ඊළඟ කතාවටත් අපි සමාජයට පණිවිඩයක් දෙන්න පුලුවන්, වටින, ඒ වගේම පොඩ්ඩක් විතර දුක හිතෙන කතාවක් අරන් එන්න ප්lan කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ කතාවත් අරගෙන ඉක්මනටම ආයෙ ඔයාලා ලඟට එනකම්,

Bye bye!

ආදරයෙන් 

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here