අද smart lady අපි ඔබට කියල දෙන්න ලෑස්ති වෙන්නෙ හරිම ඉක්මණින් වගේම පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් රසම රස කෙටි කෑමක් හදාගන්නෙ කොහොමද කියලයි.
කෙටි කෑමක් වුනත් උදේ වගේම රාත්‍රී ආහාර වේලකට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්න වුනත් ගැළපෙනම කෑමක් විදිහටත් අපි අද මේ හදන්න සූදානම් වෙන අල රොටී හඳුන්වන්න පුළුවන්.
එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 01 ක්
සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 04 ක්
බේකින් පවුඩර් තේ හැඳි ¾ ක්
ලුණු කුඩු ස්වල්පයක්
කරපිංචා ඉත්‍තක කොළ හෝ කොත්තමල්ලි කොළ මිටක්
ගිතෙල් මේස හැඳි 01 ක්
වතුර ස්වල්පයක්
ගිතෙල් හෝ පොල්තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, අල ගෙඩි හොඳින් තම්බාගෙන පොතු ඉවත්කර පොඩි කරගන්න.
පොඩි කරගත් අල භාජනයකට දමා එයට පාන් පිටි, බේකින් පවුඩර්, ලුණු කුඩු සහ කුඩාවට කපාගත් කරපිංචා හෝ කොත්තමල්ලි කොළ එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණයට ගිතෙල් මේස හැඳි 01 ක් එකතු කර විනාඩි 05 ක් අත් ගසමින් අතේ සහ භාජනයේ නොඇලෙන පිටි මිශ්‍රණයක් සාදාගන්න.
මිශ්‍රණය වියළි වැඩි නම් වතුර තේ හැඳි 01 ක් 02 ක් එකතු කරන්න පුළුවන්.
දැන් මේ පිටි මිශ්‍රණය රෙදි කෑල්ලකින් වහල විනාඩි 30 ක් පමණ තබාගන්න ඕන.
විනාඩි 30 කට පස්සෙ පිටි ගුලිය සමාන කොටස් දෙකකට බෙදල එක කොටසක් පිටි ටිකක් ඉහගත්ත මතුපිටක තියල හොඳින් තුනී කරගන්න ඕන.
තුනී කරගත්ත අල රොටිය මැදින් උඩට සහ හරහට කපල කොටස් හතරකට වෙන් කරගන්න.
දැන් පැතලි තැටියක් හෝ භාජනයක් ලිපේ තියල අර කපාගත්ත කොටසක් භාජනයේ අතුරා ගෙන විනාඩියක් වගේ තියල අනෙක් පැත්ත හරවා ගන්න ඕන.
ඊළඟට උඩ පැත්තෙ තෙල් ආලේප කරගෙන ටික වෙලාවකින් ආයෙමත් අනෙක් පැත්ත හරවල ඒ පැත්තෙක් තෙල් ටිකක් ආලේප කරගන්න.
මේ සඳහා ගිතෙල් වගේම පොල්තෙල් වුනත් යොදාගන්න පුළුවන්.
රන්වන් පාටට හුරු දුඹුරු පාට පැල්ලම් රොටියේ තැනින් තැන මතුවෙනකම් මේ විදිහට දෙපැත්ත හරවමින් රොටිය බැදගෙන ලිපෙන් ඉවත්කරගන්න ඕන.
පිටි ගුලියේ ඉතුරු කොටසත් මේ විදිහටම හදාගත්තට පස්සෙ අල රොටී 08 ක් අපිට ලැබෙනව.
මේ පිටි මිශ්‍රණයට ඔබ කැමති නම් මිරිස් කුඩු, කෑලි මිරිස් හෝ ගම්මිරිස් කුඩු වගේම කුඩාවට ලියාගත්ත අමු මිරිස්, කොච්චි හෝ නයි මිරිස් එකතු කරන්නත් පුළුවන්.
එහෙනම්, දැන් උණු උණුවෙන් රස බලන්න මේ විදිහට අල රොටී හදාගමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |