සුසුවඳ සූත්‍ර – 39

0
7167

අන්තරා උණුවතුරෙන් දිය නෑවා ය. ඕඩිකොලෝන් හිස ගල්වා සුවඳවත් වූවා ය. දින ගණනාවකට පස්සේ නැවුම් ප්‍රබෝධයක් දැනිණ. දිය නෑම ගැන කිශෝරි විරෝධය පෑවත් අන්තරා ඇයට කීකරු වූවා නොවේ.

“අනේ මං පොඩි ළමයෙක් නෙවේනෙ අම්ම. අනික දැන් හොඳයිනෙ ගොඩක් දුරට. ඊටත් උණුවතුරනෙ”

ඇයට නිදහසට කාරණා ඕනෑ තරම් තිබිණ. නමුත් හිතේ තිබුණේ හෙට උදයෙන් ම ගෙදරට ඉගිළ යන ආශාවයි.

“කොත්තමල්ලි තම්බල ඇති. බොන්න”

“අම්ම මං ගැන එච්චර කරදර වෙන එක මගෙ හිතට වදයක්”

“නූපුර කොච්චර ලොකු වුණත් ඔයාට පුළුවන්ද එයා ගැන කරදර නොවී ඉන්න…”

 අන්තරා ඉහළට ගනිමින් සිටි හුස්ම අතරමගකදී එක්වර නතර වූවා සේ ඇයට දැනිණ. අම්මා කියන්නේ ම නො සිඳෙන ආදර උල්පතකි. ඒ බව වඩාත් හොඳින් දැනෙන්නේ ගැහැනු ළමයෙකු මව් පදවිය ලැබූ කලයි.

“අනේ දෙයියනේ මගෙ අහිංසක අම්ම. බෑන්ක් එක ඇතුළට ගිහින් වැඩක් කරගන්න බය වෙච්ච අම්ම බිස්නස් වුමන් කෙනෙක් වෙනව කියන්නෙ… වාව්…”

නූපුර පෙර දා ඈ ගැන එසේ කීවේ ය. අම්මා කෙනෙකුට දරුවෙකුත්, දරුවෙකුට අම්මා කෙනෙකුත් දැනෙන්නේ දෙආකාරයකට විය යුතු ය. දරුවෙකු ගේ ලෝකයෙහි ආඩම්බරකාර අම්මා කෙනෙකු වන එක අභියෝගයකි. අන්තරා සේ ම කිශෝරි ද ඒ අභියෝගය ජයගත් ගැහැනු වෙති.

ඉස්සර කිශෝරි භරත, මණිපුරි, කථක් හෝ කථකලි වැනි ඉන්දීය නැටුම් නටත්දී අන්තරා බලා ඉන්නේ දෑස් නොපියා ය. එතකොට ඇයට අම්මාව පෙනුණේ දෙවඟනක් සේ ය. තවමත් ඇය තරුණ ස්ත්‍රියක ගේ ලලිතවත් සිරුරකට උරුමකම් කියයි. සිසි වන උවනක්  මිටින් ගත හැකි ඉඟසුඟක් ද දරයි.

“අන්තරා ගෙ තාත්ත භාණුක ජිතේන්ද්‍ර මාස්ටර්. අම්ම කිශෝරි රායි මුතුමුදලි. වාව්. කාටද ආඩම්බර. කශෝරි මැඩම්ගෙ ඩාන්සින් මාරම පර්ෆෙක්ට්. ඇඟේ ලයින් එකක් පවා චිත්‍රයක් වගේ”

ඉස්සර ඉස්කෝලේ ළමයින් එසේ කියත්දී හදවතට දැනුණා වූ උණුහුම් ආඩම්බරය මේ දැනුත් අන්තරා ට සිහි කරගත හැක. නමුත් නූපුර ට ඒ ආඩම්බරය දෙන්නට අම්මා වශයෙන් ඇය අසමත් වූවා ය. ඒ පසුගිය ජීවිත කාලය පුරා සිය දක්ෂතා යටපත් කරගෙන, කාගේ කවුද යන හැඳුනුම්කමක් පවා නොමැතිව රහස් ජීවිතයක් ගෙවන්නට ඇයට සිදු වූ බැවිනි. නූපුර ව කවුරුත් දැන සිටියේ දක්ෂිණ සර් ගේ පුතා වශයෙනි. නමුත් ටික ටික ලොකු වන විට ඒ හැඳුනුම්කම නූපුර ට ආඩම්බරයකට වඩා ලැජ්ජාවකට හේතුවක් විය.

නමුත් කාලෙකට පස්සේ ඔහු අම්මා ගැන ආඩම්බර වූ බව අන්තරා ට නූපුර ගේ සස්වරයෙන් හිතාගත හැකි විය. ගෙදරට වී බත් තම්බා දුන්නත් අම්මා කියන්නේ අම්මාට ම ය. නමුත් ඒ අම්මා හැඳින්වීමට වෙනත් විශේෂණ තිබියදී දරුවන් ඒ එළියෙන් බබළති. එහෙම බබළන්නට ඔවුන් රිසි ය. එහෙම බැබළෙත්දී ඔවුහු අභ්‍යන්තර සතුටක් හා ආඩම්බරයක් විඳිති.

“ළමයි දෙන්නෙක්ට භරත නාට්‍යම් උගන්නන්න බාර දෙන්න එනව කිව්ව අද. මං කාලෙකට ඔය වැඩේ බාර අරං නෑ. ඒත් මේ අම්මගෙන් බේරෙන්න බැරි වුණා. එයාට දුවල දෙන්නව මං ළඟටම එවන්න ඕනෙලු”

දිවා ආහාර පිසිනා ගමන් කිශෝරි මඳ ආඩම්බරයකින් කීවා ය. මුල් කාලයේ ඇය තරුමුතු කලායතනයෙහි ඉන්දියානු නැටුම් ඉගැන්වූ බැව් සැබවි. නමුත් අන්තරා දක්ෂිණ සමගින් ගොස්, තරුපති ගේ    නැටුම් පන්තිය බංකොලොත් වී ගිය පසු ජිතේන්ද්‍ර කලායතනය සංගීත ආශ්‍රමයක්  බවට පරිවර්තනය කළේ ය. කිශෝරි ට අන්තරා නැති දිවියෙහි නටන්නට තබා හුස්ම ගන්නට පවා ඕනෑ වූයේ නැත. ඇය ජීවත් වූයේ ජිතේන්ද්‍ර වෙනුවෙන් පනණකි. කෙනෙකු ගේ දැඩි ඉල්ලීම මත ඉඳහිට දරුවෙකුට ඉන්දියානු නැටුම් ඉගැන්වීම භාර ගත්ත ද ළමයින් රැසකට උගන්වන පන්ති පැවැත්වීම නොකළා ය. ගෙදර දොර බලා කියාගෙන ජිතේන්ද්‍ර වෙනුවෙන් පේ වී ජීවත් වීම, සිංහල ළමයින්ට ඉන්දියානු නැටුම් උගන්වනවාට වඩා ඇගේ හිත සන්සුන් කළේ ය. අන්තරා සිහි වී හිත පෑරෙනවාට බියෙන්, ඇය තරුණ ගෑනු ළමයින්ගෙන් වසන් වී සිටියා ය.

“මටත් ආස හිතෙනව ආයෙ භරත නටන්න”

අන්තරා මිමිණුවේ සිහිනයක් තුළ සරමිනි. කිශෝරි ගේ සුරූපී වත මත දේදුනු වර්ණ සිත්තම් වෙමින් තිබිණ.

අලුත් ශිෂ්‍යාවන් දෙදෙනා පිළිගන්නට කිශෝරි සූදානම් වී සිටියා ය. හදිසියේ ම ජීවිතය අලුත් වී තියේ. අහිමි වූ සන්තුෂ්ඨියක් හරි හදිසියේ යළිත් ඔවුන් ගේ කැදැල්ල වෙත ගලමින් තිබේ.

අමුත්තන් පැමිණියේ හැන්දෑවේ ය. අම්මා උඩරට නර්තනාචාර්යවරියකි.

“කාලෙකට කලින් මාත් තරුමුතු කලායතනෙ උඩරට නැටුම් ඉගෙනගන්න ආව මිස්. තරුපති සර් එයාගෙ හොඳම ගෝලය කියලයි මං ගැන කිව්වෙ. මං ඉගෙනගත්තෙ උඩරට නැටුම්. ඒත් මිස් භරත කථක් එහෙම උගන්නනකොට ආසාවෙන් බලං ඉන්නව. ගාන්ධාර නංගි නටනකොට අපි වශී වෙලයි බලං හිටියෙ. දවසක මගෙ දුවෙක්ට ඉන්දියන් ඩාන්සින් උගන්නන්න මිස් ළඟට එවනව කියල හිතාගත්තෙ ඒ කාලෙමයි”

දියණියන්ගේ අම්මා ඇයව හඳුන්වා දුන්නා ය.

“මට ටිකක් ඔයාව දැකල පුරුදුයිත් වගේ”

“මිස් ජිතේන්ද්‍ර සර් එක්ක මගෙ වෙඩින් එකටත් ආව”

“ඕ… එහෙමද…”

කිශෝරි වඩාත් සතුටු වූවා ය. අන්තරා දොරකඩට වී මඳහසකින් ඔවුන් දෙස බලා සිටියා ය. වරින් වර ඇය ගෑනු ළමයින් දෙන්නා ට සිනහ මල් මිටි පා කොට යැව්වා ය.

“ඔව් මිස්. මිස්ට දැන් මතක නැතුව ඇති. මං කවින්ද්‍යා. මං මැරි කළේ තරුපති සර්ගෙ පුතා… යුගාත්මව”

ඒ වෙලාවේ එහෙම අකුණක් පුපුරා යතැයි බලාපොරොත්තුවක් වූයේ ම නැත. වැසි ලකුණක් හෝ නොමැති අහස් වලත් අකුණු පුපුරන බවට තවත් නිදසුන් අවැසි ම නැත.

අන්තරා ගේ හදවත ගැස්ම යථා තත්වයට පත් වන්නට විනාඩි කිහිපයක් ගෙවිණ. ඒ අතරේ කවින්ද්‍යා තවත් මොන මොනවාදෝ කිශෝරි සමග පවසමින් සිටියා ය. සිහි එලවාගත් ගමන් අන්තරා දැරියන් දෙදෙනා වෙත සිනහවකින් සංග්‍රහ කළා ය.

“තරුපති සර්ගෙ පුතා වුණාට ඩාන්සින් ගැන එයාට කිසිම අවබෝධයක් නෑ. අපි දෙන්නගෙ අදහස් අහසට පොළොව වගේ. ඒකමයි මිස් මං ඒ මැරේජ් එකෙන් අයින් වුණේ. මට ඕනෙ දුවල දෙන්නව ඩාන්සින් පැත්තට යොමු කරන්න. මේගොල්ලොත් තාත්ත වගේම තමයි. ඩාන්සින් වල වටිනාකම දන්නෑ”

“එන්න”

අන්තරා දැරියන් දෙදෙනා ට එතැනින් ඉවතට යන්නට කතා කළේ, කවින්ද්‍යා කිසිදු වග විභාගයකින් තොරව ඔවුන් ගේ යුග දිවිය ගැන කියවන්නට ගත් නිසා ය. තවත් මොහොතකින් ඇය දියණියන් ඉදිරියේ ම ඔවුන් ගේ පියාව විවේචනය කරනා බැව් අන්තරා ට දැනිණ.

“ඔය දෙන්න හරිම ලස්සනයිනෙ. ඩාන්සින් වලට ගැලපෙන ලස්සනක් තමයි තියෙන්නෙ”

දැරියන් දෙදෙනා ගේ ම මුහුණේ ලැජ්ජාශීලී සිනහවන් ඉපදිණි. වයස කුමක් හෝ වේවා ඕනෑ ම ගැහැනියක තමන් ලස්සනයි කියා අසාගන්නට කැමති ය. අන්තරා දැරියන් දෙදෙනා ගේ හදවත් වෙත ඇතුළු වූයේ එකී පොදු ද්වාරයෙනි.

“අපිට ලස්සනයි කියනවනං අක්කිට කොහොම ලස්සනයි කියන්න ඕනෙද…”

අක්කා ගේ කතාවට නංගී ද එකඟව සිනහ වූවා ය.

“අක්කි නෙවේ මං ආන්ටි. මට ඉන්නව ඔය දෙන්නටම වැඩිය ලොකු අයියෙක්. අයියෙක් කියන්නෙ මගෙ පුතා”

නැවත ද ඔවුන්ගේ කිකිණි සිනහ හඬ නැගිණි.

“ඔයාල දන්නවද… මේ ලෝකෙ හොඳම තාත්ත ඉන්නෙ මට…”

අන්තරා දැරියන් දෙදෙනා ව බඳින් අල්වාගෙන ගෙන ගොස් බරාඳයේ දිගු පුටුවෙහි අසුන් ගත්තා ය. ඇය කියන්නට යන්නේ කුමක් ගැන දැයි ඔවුන්ට තේරුණේ ම නැත.

“හැබැයි ඊට පස්සෙ මං දැකල තියන හොඳම තාත්ත ඉන්නෙ ඔය දෙන්නට”

දැරියන් ගේ මුහුණු වල වූ සිනහ වහා වියැකුණු අතර ඔවුන් ගේ දෑස් කුඩා වී නළලෙහි රැලි නැඟිණි.

“ඔයා අපේ තාත්තිව දන්නවද…”

“හ්ම්. එයා මගෙ හොඳ යාළුවෙක්. එයා නිතරම කතා කරන්නෙ ඔය දෙන්න ගැන තමයි. හැබැයි එයා මට පෙන්නල තිබුණ පින්තූර වලට වැඩිය ඔය දෙන්න දැන් ටිකක් වෙනස්”

“එයා ළඟ ඇත්තෙ මීට අවුරුදු දෙක තුනකට කලින් ගත්ත ෆොටෝස්නෙ”

“හ්ම්. එයාගෙ ෆෝන් එකේ වෝල් පේපර් එක විදිහට දාං ඉන්නෙත් ඔයාගෙ පින්තූරයක්. එයා මාත් එක්ක රංඩු වෙනව මං අපේ අප්පච්චි තමයි ලෝකෙ හොඳම තාත්ත කියද්දි… නෑ එයා තමයි හොඳම තාත්ත කියල…”

අන්තරා සිනහ වූවා ට දැරියන්ගේ මුහුණු වලට ස්වභාවිකව සිනහවක් ආවේ නැත. ඔවුන් සිනහ වෙන්නට උත්සාහ කළා පමණකි.

කෙසේ වෙතත් නැටුම් ගැන ඒ හැටි උනන්දුවකින් නොපැමිණි දැරියන් දෙදෙන, අන්තරා ගේ මුදු මොළොක් මිතුරුකම් නිසා පන්ති එන්නට එකඟ වූයේ විශේෂ කැමැත්තකිනි. ඇය දැරියන්ගේ වයසට වැටී ඔවුන් කැමති බටහිර පොප් හා රොක් ගායකයන් ගැන ද කොරියානු නළුවන් ගැන ද විනෝදකාමී කතාබහකට වැටී සිටියා ය. කඩවසම් කොරියානු නළුවන් ඉන්නා අලුත් ම නාට්‍ය ඇය සමග බෙදා ගන්නට ද ඔවුහු කැමැත්ත පළ කළහ.

“අන්තරාත් මේ දෙන්නටම ගැලපෙන කෙනෙක් වගේ”

කවින්ද්‍යා විහිළු කළා ය. අන්තරා ට මතක නො තිබිණි ද කවින්ද්‍යා ට ඇය මතක තිබිණ. එකල ඇයට වඩා වසර කිහිපයක් බාල වූ අන්තරා නැටූ, දෑස් වලට අදහාගත නො හැකි ඉන්දියානු නැටුම් නිසා ම ඇගේ දියණියන් ඉන්දියානු නැටුම් නටනවා දකින්නට කවින්ද්‍යා තුළ වූයේ ඉතිහාසාගත ආශාවකි.

“හරි පුදුමයි නේද… ආයෙ කවදාවත් අපි මෙහෙම හම්බවෙයි කියල හිතුණෙ නෑනෙ. මට සතුටක් ඔයාව ආයෙ හම්බුණ එක. ඒ වගේම මගෙ දුවල දෙන්නටත් ඔයාව අඳුරගන්න ලැබුණ එක…”

සමුගන්නට මතතෙන් කවින්ද්‍යා අන්තරා ව වැළඳගෙන කීවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here