සුහදිනි -68

සකී මුහුදුබඩ අවන්හල වෙත ඇවිද ආවේ පුදුමයෙනි.රෑ අන්ධකාරය ගලා එමින් තිබේ.අහස් අතිශය කාර්යබහුල මේ දිනවල ඔහුට ඈ වෙනුවෙන් මිනිත්තු කිහිපයක් හෝ වෙන් කරන්නට හැකි වීම ම ඈට ගෙනාවේ සැනසීමකි.ඈත දුරු රට වෙසෙන ප්‍රේමවන්තයන්ට පවා පෙම්වතිය වෙනුවෙන් දෙන්නට කාලය තිබුණ ද අහස් ඔහුගේ දවසට පැය විසි හතරක් මදි වී පසු තැවෙන වෙලාවන් ද වේ.

“කවුරුම හරි ෆොටෝ එකක් අරන් කොහෙටවත් නැති ගොසිප් සයිට් එකකට දායි කියලා මට හරිම බයයි.”

සකී තැවෙන්නට වූවා ය.ඔහු විශාල කඩ ඉමක් අත ළඟ ය.මේ ඕපාදූප අහන්නට වෙලාවක් නොවේ.

අහස් තත්පරයක් කල් ගත්තේ ය.සූදානම් කරගත් රතු රෝස මල් පොකුර ඔහු අත ය.සකීට විවාහ යෝජනාවක ඉව දැනිණ.එහෙත් මෙතැන කිසිම මිතුරෙකු නොවේ.මේ සාම්ප්‍රදායික මට්ටමේ යෝජනාවකට එහා ගිය කතාවක්දැයි ඇයට සිතේ.

“මේ මල් ගෙනාවේ ඔයාට.ගෑනු ළමය මම සර්ප්‍රයිස් ප්‍රපෝසල් එකක් කරනකම් බලන් හිටියා නේද? එහෙම ඒවා නෑ.”

එහෙත් මලක් කියන්නේ සැබෑ පුදුමයකි.අපූරු සුවඳක් විහිදෙන රතු රෝස පොකුර තුරුලට ගත් සකීගේ ඡායාරූපයක් චිත්‍රයකටත් වඩා සුන්දර බව අහස්ට සිතේ.ඔහු ඇගේ ඡායාරූප කිහිපයක් ම ගත්තේ එනිසා ය.

සමහර අදහස් එන්නේ එක් වරම ය.අහස් ඉලංගසිංහ දුටු කිහිපදෙනෙකු ඔහු සමඟ සේයාරුවක් ගන්නට එතැනට පැමිණ තිබිණ.අහස් තමන්ගේ සුන්දරම මොහොතක් රසිකයන් වෙනුවෙන් කැප කර ඔවුන්ට ඉඩ දුන්නේ ය.ජීවිතයේ සැලකිය යුතු කාලයක් ඔහුව ඔහුට වඩාත් ආදරය කරන අය සමඟ බෙදා ගන්නට වන බව දැන් සකී හොඳින්ම දන්නී ය.ඒ නිසා ඇය ඒ මොහොතට ඉඩ දුන්නා ය.

“අපි දෙන්නගෙ ෆොටෝ එකක් අරන් දෙනවද?”

අහස් එසේ ඉල්ලූයේ ඔහු සමඟ ඡායාරූපයක් ගන්නට ආ යුවළක තරුණයාගෙනි.මේ ඔහුගේ “සන් ෆ්ලවර්”දැයි තරුණියට පැනයක් නැඟිණ.රතු රෝස පොකුර තුරුළු කරගත් සකී හිනැහෙද්දී අහස් එය එසේ බව පැවසී ය.

“එහෙම ඇහුවට මේ අහස්ගෙ නංගිද කියලත් හිතුණා.ඔයාලා දෙන්නා මාර විදියට එක වගේ.”

යුවතිය සකීට සුබ පතා ඇය වැළඳ ගන්නා අතර පැවසුවා ය.

රසිකයන් නික්ම ගිය පසු අහස් ඔහුට ආ අදහස ක්‍රියාත්මක කරන්නට සිතුවේ ය.දැන් මේ සූරියකාන්ත මල ඔහුගේ උයනට අයත් බව දෙපාර්ශවයේම වැඩිහිටියන් තීරණය කර හමාර ය.අහස් ඔවුන්ගේ ඡායාරූපය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කළේ සූරියකාන්ත මලක රුවත් හදවතක සළකුණත් සමඟ ය.

“කේන්දරවල මොනවද තියෙන්නේ අයියේ?”

සකී මිනිත්තු ගෙවා දැම්මේ පැයවලටත් වඩා වැඩි බව සිතමිනි. අහස් එය නොකියා කල් මරයි.කේන්දර නොගැළපෙන බව කියා සකීගේ ලේ වතුර කළහොත් කකුල් කඩා දමන බවට අම්මා කළ තර්ජනය අහස් සිනාමුසුව සිහි කළේ ය.කොහොමටත් සකීට එවැනි මානසික වේදනා දෙන්නට ඔහු ද අකමැති ය.

“ඔය ළමයට සංසාරෙම මාව පතාගෙන එනව ඇරෙන්න කරන්න වැඩක් තිබිල නැද්ද?”

අහස් එසේ අසන්නේ ආදරයෙනි.ඉනික්බිතිව ඔහු කේන්දරවල ඇති ප්‍රතිබිම්බගත ආදරය ගැන සකීට කියන්නට සැලකිය යුතු වෙලාවක් වැය කළේ ය.සකී ඒ සියල්ල අසා සිටියේ කඳුළු වෑහෙන දෙකම්මුලෙනි.

“මේ කතාව ඔයාගෙ අම්මට අපේ අම්මා කියල ඉවරයි.දැන් ඒ දෙන්නටම තියෙන්නෙ එකම හීනයක්.ඒ ඔයා ලස්සන මනමාලියක් වෙන හීනෙ.”

අහස් එසේ කියා සකීගේ අතැඟිලි මෘදුව අල්ලා ගත්තේ ය.සකී තවමත් ඉකි ගසමිනි.සතුටටත් දුකටත් හඬන මේ ළඳ බොළඳ ප්‍රාණියා ජීවිතයට අලවා ගැනීම ගැන ඔහුට ඇත්තේ අප්‍රමාණ සැනසීමකි.

“ඉස්සර මගේ අම්මගෙ හීනයක් අරමුණක් ගාණෙ හිටියෙ මම.එයා මම යන දුර ඇරෙන්න වෙන කිසිම දෙයක් හිතුවෙ නෑ.ඒත් අම්මා දැන් මට වඩා ඔයා ගැන හීන දකින්න අරන් නම් මට ඊටවඩා මොනවද ලබා ගන්න තියෙන්නෙ.”

ඊටවඩා ලබා ගන්නට දෙයක් නැති බව සකී ද දන්නී ය.ඇය කේන්දරය කිසිම අයහපතක් නොකරන බව විශ්වාස කළා ය.ඒ හන්දාම ඔහු ඇයව පුදුමයට පත් කරමින් විවාහ යෝජනාවක් කරන බව සිතමින් මෙතැනට ආවා ය.එහෙත් එවැන්නක් නැත.අහස් ඔවුන්ගේ සංසාරගත ප්‍රේමය ගැන තෙත් වූ දෙනෙතින් පවසමින් සිටියි.ඔවුන්ගේ ප්‍රේමය ගැන තවදුරටටත් රහස් නොතබන්නට තීරණය කර තිබේ.සකීට එය සියල්ලටම වඩා පුදුමයකි. 

“Congratulations Champ” ලෝකයේ හිඳින සුන්දරම ආදරවන්තයන් දෙදෙනෙකුට අහස්ගේ කණ්ඩායම් නායකයා එසේ සුබ පතා තිබිණ.කිසිම නිග්‍රහශීලි කතාවක් නොපළ වන්නට එයම හේතු වන්නට ඇතැයි සකීට සිතේ.

“අහස්ගෙ වාසනාව.පුදුම ලස්සන ගෑනු ළමයෙක්.”

නොදන්නා තරුණියක එසේ ලියා තිබුණා ය.ඒ කියන තරමට තමන් ලස්සනදැයි සකී සිතුවේ අහස්ගේ දෑස් මත ඇති ඇගේ රුව දෙස බලමිනි.

“දැන් ගොසිප් යන් නැද්ද?”

සකී ඇසුවේ සිතට ආ තිගැස්ම හන්දා ය.

“යනව.පද හදන උන් අපි දිනපු දවසටත් ඊටවඩා හොඳට කරන්න තිබ්බ එක ගැන කියනව.”

“එහෙනම්?”

ඉතා විශාල කඩඉමක් ළඟ හිඳිමින් අහස් ඈ ගැන හෙළිදරව් කළ හන්දා සකී ඇසුවේ පුදුමයෙනි.දැන් ඔහුගේ අසාර්ථකවීම් ගැන බොහෝ අප්‍රසන්න ලෙස කියන්නට සමහර මාධ්‍යවේදින්ට හේතු තිබේ. 

“පළවෙනි හේතුව මම මේ පාර කිසිම විදියකින් ෆේල් වෙන්නේ නෑ.ඒ නිසා මං බය නෑ.දෙවැනි එක වර්ල්ඩ් කප් මැචස් ලංකාවෙ තියන එකේ ඔයා නිදහසේ ඒවා බලන්න ඕන.මගේ චූටි ගර්ල් ෆ්‍රෙන්ඩ්ව වඩාගෙන එයාලා එක්ක හිනාවෙවී ඔයාට ඒ මැචස් බලන්න පුලුවන් වෙන්න ඕන.හැමදේම ලස්සනට වෙනකොට ඔයා ඇයි තවත් හංගන්නෙ.මං ඒක ආයේ කරන් නෑ.”

රතු රෝස මල් කළඹ තුරුළු කරගත් සකී අහස්ගේ උරහිස මත හිස තබා ගත්තා ය.නිස්කලංක රාත්‍රියක් සහ සරැළි නඟන සාගරය අපූරු සංකලනයකි.ඒ සංකලනය මේ තරම් සුන්දර බව ඇයට හැඟුණේ මේ මොහොතේ ය.මේ සෑම කෙනෙකුටම තාරකාවක් වුව ද සකීගේ මුළු ලෝකයම ය.ඇය නාඬා සිනාසෙන්නට සිතුවා ය.

(මේ ආදරය වෙනුවෙන් ඔබේ ආදරය තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles