“අපි කොච්චර මොන තරම් නඩුවලින් මේ පොඩි දරුවන්ට කරදර කරන පාදඩයො හිරේ දැම්මත් දේසපාලුවො හන්දා කවදාවත් ලංකාව සුද්ද බුද්ද කරලා දාන්න නම් අපිට පුලුවන් වෙන්නෙ නෑ අරුණ” කියාගෙන නීතීඥ කාර්‍යාල ඇතුළට ආවේ අරුණගේත් ජ්‍යේශ්ට නීතීඥවරයා උන කැළුම් සඳරත්න ය.
“ගුඩ් මෝනින් සර්”
“ගුඩ් මෝනින් අරුණ උදේම වැඩේ පටන් ගත්තද?”
“ඔව් සර් අද උදේ කොටහේනෙ කේස් එකෙන් පස්සෙ සර්ට තියෙන්නෙ අර මාතර බාප්පා අතින් කරදර වෙච්ච දරුවගෙ කේස් එක. මම ඒ ඒකට ඕන කරන විස්තර ටික ආයෙ ආයෙ බලන ගමන් ඉන්නෙ”
“මට ඇත්තටම හිතාගන්න බෑ අරුණ මේ කටේ කිරි සුවඳවත් ගියේ නැති පොඩි දරුවන්ට කරදර කරන්න තරම් මන්සහ දූශණය වෙච්ච යක්කු මේ බුදහාමුදුරුවො පය ගහපු රටේ ඉන්නවද කියලා”
“අපේ මිනිස්සු සර් බුදු දහම අරන් තියෙන්නෙ ආගමක් විදියට මිසක් දර්ශනයක් විදියට නෙවෙයිනෙ. මල් තියලා ගස් ගල් වලට වඳින එක තමයි හරි. එහෙම නැතුව අර යහපත් විදියට ජීවත් වෙන්න ඕන එක තමයි අපි බුදුහාමුදුරුවො කිව්ව දේවල් වලින් ඉගෙන ගන්න ඕන කියන තැනට අපේ මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එක ඇවිල්ල නෑ”
“අනේ මන්දන්නෙ නෑ අරුණ ඔය මයින්ඩ් සෙට් එක නම් අපේ මිනිස්සු කවදා හදාගනිවිද කියල. මට එවන්නකො ඔය ඔතන තියෙන නිල් ෆයිල් එක” කියමින් කැළුම් සඳරත්න තමන්ගේ අසුනේ වාඩි වූ පසුව අරුණ ආයෙම වතාවක් ඔලුව පහත් කරගත්තේ තමන්ගේ අත් දෙක උඩ තිබුන කේස් ෆයිල් එක බලා අවශ්‍ය තොරතුරු හොඳින් ග්‍රහණය කරගනු පිණිසය.
මේ නඩු වාරයේ වින්දිතයා වන්නේ අවුරුදු තුනක් පමණ වයසැති කුඩා ගැහැණු දරුවෙකි. අම්මා උදේ රැකියාවට යද්දී, අම්මාගේ දෙවනි විවාහයේ සැමියා වූ බාප්පා කරන්නෙ ගෙදරම තිබෙන වාහන වැඩපලක් හන්දා අම්මා තමන්ගේ පහසුවට වෙනත් වැඩිහිටියෙකු නැති ගෙදර දරුවාව භාර දී ගොස් තිබෙන්නේ බාප්පාටය. බාප්පා අතින් මිලින වූ ඒ මල් කැකුළේ කතාව මුලින්ම අහපු දිනයේත් තමන්ගේ හිත මහ හයියෙන් හඬා වැටුණ විදිය අරුණට අමතක නැත. මේ දිවා රෑ වෙහෙසෙන්නේ එවන් දරුවන්ගේ හෙට දවස වඩා සුරක්ෂිත කරනු පිණිස බවට අරුණ හිතුවත් ඒ හිතන මොහොතේත් ලංකාවේ තවත් බොහෝ තැන්වල කුඩා ගැහැණු දරුවන් මිලින වෙමින් හිඳින බව අරුණ අමතක කරේ නැත.
අමතක නොකරත් කරන්නට දෙයක් තිබුණේද නැත. අරුණ එවන් සිතුවිලි දහරාවක ගිලී යද්දී සත්සරා උන්නේ ආච්චි විසින් පිඟානට බෙදා දුන් මඤ්ඤොක්කා අල පොල් එක්ක අනමින් ය.
“ඉක්මනට අත ඉක්මන් කරලා බත් ටික කාහල්ලා බං. මං ඒත් මේ තකහනියෙ ආවෙ මන්තිරි නෝනා කිව්වා පුලුවන් නම් උඹවත් එක්කරගෙන වරෙන් කියලා එහෙ මන්තිරි බංගලාවේ එහෙම කාමර ටික අස්පස් කරගන්න. මන්තිරිතුමාගේ කොළඹ ඉන්න යාලුවො කාණ්ඩයක් ටික දවසකට නතර වෙන්න එනවා කියලා එහේ යමර යුද්දෙ මේ දවස්වල” කියා ආච්චි අම්මා කරදර කරද්දිත් සත්සරා උන්නේ ආච්චි අම්මා මන්ත්‍රී තුමාගේ බංගලාවේ වැඩට යන්න කළියෙන් තම්බා ගිය මඤ්ඤොක්කා අල පොල් එක්ක හොඳට අනා කටේ ඔබාගනිමින් ය.
“රෑට බත් ද ආච්චියෙ?” කියා සත්සරා මඤ්ඤොක්කා කෑලි හපන ගමන් අහද්දිත් ගුණවතී කලේ වචනයක් කියන්නේ නැතුව අහක බලාගෙනම පොල් අත්ත වියූ එකය. රෑට බත් කන්න හම්බවෙන්නෙ මන්තිරි බංගලාවෙන් බත් ටිකක් ලැබුණොත් විතරක් බව ආයෙ ආයෙ කියා හගිස්සවන්න උවමනා නැති හන්දාම මුණිවත රැකීම හොඳ බව ගුණවතී උන්නේ තේරුම් අරගෙනය.
සත්සරාට තාත්තෙක් නැති බව සත්සරා වගේම මුලු ගමම දන්නකි. කොළඹ ගාමන්ට් එකක වැඩට ගිය සත්සරාගේ අම්මා වුණ මල්කාන්ති ආයෙ ගමට ආවේ රස්සාවෙන් අයින් වෙලා නොවේ. තමන්ගේ බඩට දරුවෙක් දමා ඒ දරුවාගේ තාත්තා පැන ගියයින් පසුව, ගැට අන්නාසිද, අරව මේවාද තවත් දහසක් අත් බෙහෙත් කරත් බඩෙන් එළියට ඇද ගන්න බැරිවුණ සත්සරාව, අනතුරුව “දැන් කල් පැනලනෙ, දැන් නම් මුකුත්ම කරන්න බෑ” කියා ගබ්සා මධ්‍යස්තානයේ දොස්තර කිව් පසුව ඒ දරුවාව තමන්ගේ අම්මා ලඟ දමා ආයෙම වතාවක් රැකියාව කරන්න යන්න බලාගෙනය. දරුවෙක් එක්ක ගෙදර ආව තමන්ගෙ දෝණියැන්දා තමන්ගේ හිසට බරක් නැති බව අම්මා කෙනෙක් වු ගුණවතී හිතුවද දෝණියැන්දාගේ බඩ අස්සට වී ගෙපැල අස්සට රිංග ගත්ත තව එකෙක්ගෙ බඩ කට පුරවන එක මහ බරක් ලෙස දුටුවාය.
ඒ නිසාම මුල් දිනවල “අපේ කාළකණ්ණිකමට මේකිගෙ බඩට ආව කාළකණ්ණියා” කියා කිව්වද මල්කාන්ති ආයෙම වතාවක් ගාමන්ට් රස්සාවට ගියයින් පසු ගෙපැලේ තනිකම නැතිකරගන්න උදව් වෙච්ච සත්සරා දිහා වඩා අනුකම්පාව මුසු වූ ආදරයකින් බලන්නට පුරුදු වුණාය.සත්සරා ලොකු වුණේ ආච්චි අම්මාව අම්මා කරගෙනය. ඉඳහිටක මාස තුන හතර පාරකට ඇවිත් යන කොළඹ ඉන්න අම්මා කෙනෙක්ට වඩා, ගමේ ඉඳගෙන තමන්ට අල බතල කෑල්ලක් හෝ තම්බා දෙන ආච්චි අම්මාව මවක් ලෙස භාරගන්න පොඩ්ඩ පොඩ්ඩ උස්මහත් වුණ සත්සරා වඩා කැමතිවුණාය.
“කරදඬු උස් මහත් වෙච්ච කෙල්ලෙක්ව ඉතින් මට තනියෙම ගෙදර දාලා එන්න බැරිවෙච්ච හන්දා මැණිකෙ මං අපේ කෙල්ලවත් එක්කරගෙන ආවා. මැණිකෙ ඔය පොඩි පොඩි වැඩ පල ටිකක් කරගත්තට කමක් නෑ. ලොකු වැඩ කරන්න නම් ඕකිට බෑ මැණිකෙ. පේන්නෙ නැද්ද අත පය නිකන් වේලිච්ච දර ඉපල් වගේනේ” කියා ආච්චි අම්මා ඉවුම් පිහුම් වලට යන මන්ත්‍රී බංගලාවේ නෝනට කියද්දිත් සත්සරා කරේ සද්ද නැතුව ඒ නෝනා දිහාම බලාගෙන ඉන්න එකය. කවදා හරි ලොකු වී, ඔක්කොම විභාග පාස් කර මන්ත්‍රී ගෙදර නෝනා වගේ ලොකු නෝනෙක් වෙන්නත්, පොඩි කෙල්ලන් දිහා උඩ සිට මහා විසාල බැල්මකින් බලන්නටත් සත්සරාට ඕන වුනේ ඒ දවස්වලමය.
“ආහ් කෙල්ලෙ, අනේ මං මේ උඹ එනකම්මයි බලාගෙන උන්නේ. පොඩි මහත්තයා එයාගෙ යාලුවො කාණ්ඩයක් එක්ක හෙට ගෙදර එනවා. ඊට කළින් උඩ තට්ටුවෙ කාමර තුන පොඩ්ඩක් අතු පතු ගාලා, අලුතෙන් ඇඳ රෙදි එහෙම දාගන්න ඕන.
මට තනියෙන් මේ වෙරිකෝස් කකුල් එක්ක ඕක කරන්න අමාරුනෙ ළමයො. ඒකයි මං ගුණවතීට කිව්වෙ කෙල්ලව එක්කරගෙන එන්න කියලා” කියාගෙනම මන්ත්‍රී ගෙදර නෝනා ගේ ඇතුලට යද්දි සත්සරා පුරුදු විදියටම ඒ බංගලාව අස්සේ අන්ධකාරයට ඇස් දෙක පුරුදු කරගත්තේ තමන් බංගලාව ඇතුලට ආවෙ නැති දවස් ටිකේ මොන මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියා බලන ගමන් ය.
“සුමනෙට කියලා මං මකුලු දැල් කඩන ඒව නම් කරගත්තා කෙල්ලෙ. ළඟම ඉන්න උනා ඉතින්. මොක උනත් අපි දන්නෙ නෑනෙ මොනව අතපත ගාගෙන යාවිද කියලා. මේ පාර අනික පොඩි මහත්තයා එන්නෙත් ආපහු කාලෙකට යන්න බලාගෙනත් නෙවෙයි. ඔය කර කර උන්නු කෝස් එක ඉවර කරලමයි. ඒ හන්දා ආයෙ ඒ මනුස්සයා මේක අස්සට රිංග ගත්තට පස්සෙ කවද අස් කරන්න වේද දන්නෙ නෑ” කියා මන්ත්‍රී නෝනා හිනාවෙද්දිත් සත්සරා කරේ හිනාවක්වත් නැතුවම “මුලින්ම මොකද්ද නෝන කරන්න ඕන?” කියා අසන එකමය.
“පොඩ්ඩක් මේ කාමර තුනම අතුපතු ගාලා දාන්න ඕන ඉස්සරවෙලා. කොස්ස අරගෙන එන්නකො. ඔයා අතු ගාන කම් මම මේ මේසෙ උඩ තියෙන ඒව ටික අස්කරන්න. ඉස්සෙල්ලා ඔය පොඩි මහත්තයගෙ යාලුවන්ට දෙන කාමරේ අස් කරමු. මම පුලු පුලුවන් විදියට පොඩි පුතාගේ කාමරේ අස් පස් කරා පහු ගිය කාලෙ. ඒ උනාට මේ කවුරුවත් නතරවෙන්න එන්නෙ නැති කාමර අස්පස් කරලා වැඩක් නැති හන්දා මේ කාමර නම් අතුපතු ගෑවුණේම නෑ කෙල්ලෙ.
පුදුම මකුලු දැල් කන්දරාවක් තමයි උදේ සුමනෙ අයින් කරේ. මටම පුදුම හිතුන දැක්කම” කියා කියාගෙනම මන්ත්‍රී නෝනා එහාට යද්දි සත්සරා දොර අද්දර බිත්තියට හේත්තු කර තිබූ කොස්ස ගෙන කාමරේ අතු ගෑවේ මේසෙ අස් කරන ගමන් මන්ත්‍රී නෝනා කියන කතන්දර අහන ගමන්මය.
“මේ කාමරේ අපෙ ලොකු පුතාගෙනෙ. සත්සරා දැකලා නෑ නේද ලොකු බේබි මහත්තයව?” කියා තමන් දිහාවට හැරී හිනාවක් එක්ක ඇහුවාට ඒ හිනාව අස්සේ මන්ත්‍රී නෝනා මොකක්ම හෝ අන්ධකාර කතන්දරයක් හංගන්න හදන විත්තිය සත්සරාට තේරුම් ගන්න පුලුවන් උනේ නැත.
“නෑ නෝනා. ලොකු බේබි මහත්තයා ඉන්නෙ රටද?” කියා සත්සරා ඇහුවේ ගමේ ගොඩේ බොහොමයක් ගෙවල් වල තරුණු දූරු පුත්තු එහෙම එකපාර ගෙවල් වලින් අතුරුදහන් වෙච්ච සිදුවීම් ඒ ගෙවල්වල මිනිස්සු “රට ගියානෙ, බැඳලමයි ගියේ, රස්සාවට ගියේ” වගේ කතන්දර වලින් කිව් නිසාවෙන්මය.
“නෑ” කියා කිව්වාට ඒක ඇත්තම කතාව වෙන්නට බැරි බව සත්සරාට පවා තේරුණේ මන්ත්‍රී නෝනා වෙච්ච අනෝමාගේ කටහඬ එවෙලේ වැලඳගත් දුක්බර විලාසය නිසාවෙන්මය.ලොකු පුතා වුණ ප්‍රභාත් නිවෙස හැර ගියේ බොහෝ කාලයකට පෙර තාත්තා මන්ත්‍රීකමේ නාමයෙන් බොහෝ අකටයුතුකම්වල නිරත වෙන්නට පටන් ගත්තාට පස්සේය. ඉන්පසු අවස්තා කීපයක සුරනිමල නිවෙසේ නැති වෙලාවක ආවා ගියද, දුරකතන ඇමතුම් දුන්නද තමන්ව අම්මා කෙනෙකු කළ පළමු දරුවා නිතර දෙවෙලේ ඇහැට දකින්නට නැතිවීම අම්මා කෙනෙක්ට කුමන සැපතක්ද කියා අනෝමා සිතූ වාර අනන්තය. ඒ දුක ඇස්වලින් වැගිරෙන්න තනන කඳුලු වලට බර වැඩි හන්දාම අනෝමා සත්සරාට කාමරේ අස්පස් කරන්නට ඉඩ දී මදකට ඉවතට ගියේ “වැඩ කරන මිනිස්සුන්ට තේ ටික ලෑස්තිද කියලා බලලා එන්නම්කො” කියාගෙනමය.
කාමරේ පිරෙන්න කබඩයක තිබූ පොත් පත් දිහාද, ලොකු බේබි මහත්තයාගේ වෙන්න යැයි හිතෙන ඉස්කෝලේ කාලෙ පින්තූර දිහාවද බලන අතරේ සත්සරා කාමරේ සහමුලින්ම වගේ අතුපතු ගා දැම්මාය.
අනෝමා ආපසු සත්සරා සොයා එද්දිත් සත්සරා උන්නේ මුලු කාමරයම අතු ගා, ඊළඟ වැඩේ මන්ත්‍රී නෝනා විසින් කියන තුරුය.
“මෙහෙමම පොඩි මහත්තයගෙත් කාමරේ අතුගාමු කෙල්ලෙ. ඊටපස්සෙ තියෙන්නෙ ඇඳවල්වලට බෙඩ් ශීට් ටික දාන එක විතරනෙ” කියාගෙන මන්ත්‍රී නෝනා ඒ කොරිඩෝව දිගේම ඉදිරියට ගියාට සත්සරා උන්නේ එතනින් එහාට එක අඩියක් උස්ස ගන්න බැරුවය.
මේ අඳුරු කොරිඩෝව කෙළවර තමන්ව ඩැහැගන්න බලාගෙන ඉන්නා යක්ශයෙක් ඉන්න බව සත්සරාට අමතක නැත.