සුසුවඳ සූත්‍ර – 43

0
4421

කඳුකර සුවඳ සූත්‍රය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය මූලාශ්‍ර සම්පාදනය කිරීමෙන් පසු, යුගාත්ම ගේ රියෙහි අන්තරා නැගී පැමිණියේ වචන නො දන්නා ගානට ය. එහෙම සමහර මොහොතවල් ජීවිත වලට උදා වේ.  කෝටි ගණනක් හැඟීම් හද තුළ පෙළගැසී තිබිණි ද කියා ගන්නට එක වචනයක්වත් තෝරාගත නො හැකි අවස්ථා එළඹේ. තෝරා ගත්ත ද ඒ වදන පිට කරගත නො හැකි තරම් උගුර ගොළුගැහෙන අවස්ථා උදා වේ.

අන්තරා සිටියේ වින්ඩ්ස්ක්‍රීනයෙන් ඉදිරියෙහි නෙතු නතර කරගෙන ය. දුර ඈතක නොවේ. ළඟ පාතක ය. නමුත් ඈ කිසිත් දුටුවා ද නොවේ. දුටු කිසිවක් මනස විසින් හඳුනාගෙන දෑස් වලට ඒ පණිවිඩය දුන්නා ද නොවේ. ඇය ඔහේ බලාසිටියා ය.

ඇය අලුත් දෙයක් ලෝකයට දුන් ගැහැනියක වීමට යයි. නමුත් ජීවිතයෙන් එක යුගයක් ඈ ගත කළේ ගෙදර බිත්ති හතරට සීමා වූ, කිසිදු වටිනාකමක් නැති ජීවියෙකු සේ ය. ඇගේ ඇස් මත නිතර කඳුළු කැළැල් විය. සුන් වූ යොවුන් වියක සෙවණැලි අමුතු තිගැස්මක් දනවමින් හිත මත පතිත වූයේ ය. සැමියාගේ ලෝකයෙන් ප්‍රතික්ශේප වූ පතිණියක ගේ පරාජිත බව නමැති අරාජික අඳුරේ ඈ දුක් වින්දා ය. තනිව ම දුක් වින්දා ය. නූපුර ගේ සිනහව පමණක් ඇගේ හද අඳුර පහන් කළ දොළොස් මහේ පහන විය. ඔහු ට පේන්නට විතරක් ඇය සිනහ වී සිටියා ය. නමුත් හුදෙකලා වෙන වෙලාවල, කළු කුහරයක් සේ පෙනුණ අනාගතය ගැන අතිශය භීතියට පත් වූවා ය. ඒ කළු කුහරයේ ගිලී යන්නට කෙතරම් බිය වූයේ ද යත් හැකි තාක් ඒ සිතිවිල්ලෙන් දුරස් වී ඉන්නට බැලුවා ය. එල්ලෙන්නට පිදුරු ගසක්වත් පේන තෙක්මානයක වූයේ නැත. එබැවින් අවසන ඇය පාවී යන්නට තීරණය කළා ය. අනාගතය වෙනුවෙන් කිසිදු පියවරක් නො තබා, යන අතක පා වී ගහගෙන යන්නට ජීවිතයට ඉඩ හැරියා ය. නතර වෙන වෙලාවක නූපුර දෙස බලාගෙන දෑස් හැරීමට හැකි වීම පමණක් ඇගේ සිහිනය විය.

ඈ දක්ෂිණ වෙතින් නීත්‍යානුකූල වෙන්වීමක අවසරය ඉල්ලා සිටියේ එබඳු වෙරළකදී ය. නිස්කාන්සු ඉවුරකට ගසාගෙන විත් ඇති බව දැනුණාට පස්සේ ය.

“ඔයා කොච්චර වටින ගෑනියෙක්ද…”

පේටන්ට් බලපත්‍රය සඳහා ඉල්ලුම් කොට පිටතට පැමිණීමෙන් පසු යුගාත්ම කාශ්මීර අමුණුගම ඈ අභියස හිඳ පැවසූ ඒ වදන් පෙළ අන්තරා ගේ හද බිත්ති මත හැපෙමින් ප්‍රතිරාව නැගේ.

“බලනව තමුසෙ මොන ජාතියෙ ගෑනියෙක්ද කියල… බලනව අර සම්පතී මොනතරං කඩිසර ගෑනියෙක්ද කියල…”

දක්ෂිණ ගේ ලෝකයට සම්පතී පැමිණි අලුත ඔහු එසේ කීවා මේ දැනුත් අන්තරා ට සිහි කරගත හැක. ඇගේ හදවත කැබලි වලට බිඳී ගියේ එදිනයි. කෙතරම් බැඳීමක් ඔහු නමින් වී ද යළි කිසිදාක ඇගේ ලෝකයට ඔහු ට පැමිණිය නො හැකි යයි ඈ වටහා ගත්තේ ඉනික්බිතියි.

“බඩගිනි ඇතිනෙ. අපි   මොනාහරි කාල යං”

 බොජුන් හලක් ඉදිරියේ රිය නවතා යුගාත්ම විත් රිය දොර හැර ඇය වෙත එබී කතාකරන තුරු ම අන්තරා සිටියේ මෙරු කැළක් සේ ඇවිස්සී තිබි අතීත මතකයන් තුළයි. ඇය රියෙන් බැසගත් පසු ඔහු දොර වසා ඇගේ බඳ පිටුපසින් යන්තම් අත තැබුවේ ය. බොජුන්හළේ වීදුරු දොර හැර ඇයට මුලින් ඇතුළට යන්නට ඇරයුම් කළේ ය. සීරුම් තුවාල අලුත් වී දැවිල්ලක් දැනෙමින් තිබි හිතත් වඩාගෙන අන්තරා නිදහස් කෙළවරක මේසයක් වෙත ගියා ය.

“මොනාද කන්නෙ අන්තරා…”

යුගාත්ම කතා කළේ පරිස්සම් වචන වලිනි. යකඩ වාගේ හයිය ගැහැනුන් පවා ගිනියම් වී වැගිරෙන මොහොතවල් තිබේ. එහෙම වෙලාවට එවැන්නියක වුව බබෙක් වාගේ බලා ගැනෙනවාට රිසි ය.

“ඔයා කැමති දෙයක් යුගාත්ම”

බිඳී ගිය දුර්වල හඬකින් ඈ කෙඳිරුවා ය. යුගාත්ම ඒ වගකීම තමන් වෙත පවරාගෙන ආහාර ඇනවුම් කළේ ය. ඒ වෙලාවේ සුප් බඳුනක අවශ්‍යතාවයක් දැනුණේ නැතිවාට, එය දිව්‍ය ඖෂධයක් වාගේ ඇයට දැනිණ. ඕනෑ කුමක්දැයි හරියට ම නිශ්චිත කරගත නො හැකි වෙලාවක පවා තමන් ගැන තීරණ ගත හැකි සමීපතමයෙකු ළඟ ඇති විට තමන්ව අමතක කිරීම කෙතරම් පහසු ද?

“වෙලාවකට හිතෙනව යුගාත්ම… මොනා දිනුවත්… මං ජීවිතේ පැරදිලාද කියල… මොනා සාර්ථක වුණත්… පෞද්ගලික ජීවිතේ අසාර්ථකනං මොකටද කියල”

යුගාත්ම මුණිවතින් ඇගේ පතට බත් මාළුපිනි බෙදුවේ ය.

“හැමදාම ඔයා අපිට කන්න දේවල් හදල දෙනව. අද ඔයා කන්න ඕනෙ”

“මන්දන්නෑ මට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න බැරි වුණාද කියල. ඒත් මං ඇත්තටම හොඳ අම්ම කෙනෙක්. නූපුර වගේ පුතෙක් නිසයි මට එහෙම වෙන්න පුළුවන් වුණේ යුගාත්ම. එයා හරිම ශෝක් පුතෙක්. කවදාවත් මට කිසි කරදරයක්     නොකරපු දරුවෙක්. වැඩිය කතාකරන්නෑ. මගෙන් මුකුත් අහන්නෑ. සමහර දාට මං අවුලෙන් වගේ ඉන්නවනං මාව පේන හරියට වෙලා ඉන්නව. මං කාමරේට වෙලා ඉන්නවනං සැරෙන් සැරේට දොර ඇරල බලනව. එයා බලන්නෙ මං හොඳින්ද කියල. හැබැයි මට ඒක දැනෙන්නැති වෙන්න බොරුවට මොනාහරි කියනව. මාව හිනස්සන්න පොඩි විහිළුවක් කරනව. යාළුවෙක් ගැන වැඩ… කට නැති දෙයක් කියෝනව. මං කාලද ඉන්නෙ කියල කෙළින්ම අහන්නෑ. වළං ඇරල බලනව මං කාලද කියල. සමහර දාට කියනව… බලන්න අම්මගෙ හැටි… අම්ම ඉස්සර මං පොඩි කාලෙ කොච්චර ලස්සනද… අපේ කොල්ලොත් කියනව අම්ම අර කැලන්ඩර් වල ඉන්න දේව රූපයක් වගේ කියල. හැබැයි දැං කෙට්ටු වෙලා ගිහිං. හොඳට කන්න අම්ම… ඔයා ඔහොම ඉන්නවට මං ආස නෑ කියල… පුතා බයෙන් ඉන්නැති මං ජීවිතේ නැතිකරගනී කියල. ඒ දවස්වල නොතේරුණ සමහර දේවල් දැනුයි මටත් තේරෙන්නෙ. රෑට නිදාගන්න කලින් එයා රූම් එකට ඇවිත් යනවමයි. මං දුකෙන් වගේ කියල දැනුණොත් මගෙ ඇඳේම නිදියන්නද අහනව. පව් මගෙ කොල්ල… එයා කොච්චර දුකක් හිතේ තදකරං ඉන්න ඇද්ද…”

“ඉතිං අද ඒවටත් හරියන්න සතුටක් ඔයා එයාට දුන්නනෙ…”

“හ්ම්. එයා ගොඩක් සතුටුවුණා. ඒ මං පරණ ජීවිතේ අමතක කරල සතුටෙන් ඉන්නව කියල හිතන නිසා”

“ඉතිං ඒක එහෙම වෙන්න ඕනනෙ අන්තරා… ඔය බත් එක අතගාන්නැතුව කන්න. නිකං බත් නෙවෙයි… අනාගෙන කන්නකො”

“අනේ යුගාත්ම…”

“පුතත් ආස ඔයා කාල බීල මහත්වෙලා ලස්සනට ඉන්නව දකින්නනෙ. අන්තරා… සමහර මිනිස්සු අපේ ජීවිත වලින් යන්නෙ… ඒ අය හිටිය කියල අපිට වෙන හොඳක් නැති නිසා. ඊට වැඩිය හොඳ අයට අපේ ජීවිත වලට එන්න ඉඩ හදල දෙන්න ඕන නිසා. මිනිස්සු අපේ ජීවිත වලින් ගිහින් හොඳට තිබිච්ච සම්බන්ධතාත් බිඳිල යන්නෙ අපි නරක අය නිසාම නෙවෙයිනෙ අන්තරා. දැන් බලන්න ඔයා කොච්චර හොඳ ගෑනු ළමයෙක්ද… මං හිතන්නෑ දක්ෂිණ ඒක නොදන්නව කියල. සම්පතී කියන්නෙ ඔයාට සම කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලත් එයා දන්නව. දැන දැනත් එයා ඒ වරදෙ බැඳෙන්නෙ ඔයාව නිදහස් කරන්න සොබාදහමට ඕන නිසා වෙන්නැති. මගෙයි කවින්ද්‍යාගෙයි සම්බන්දෙදි වුණත් මං දන්නෑ වෙච්ච වරද මොකද්ද කියල. ඇත්තටම මංවත් එයාවත් අපේ සම්බන්දෙට වරදක් කළේ නෑ. වෙන සම්බන්දකං ඇතිකරගෙන තිබුණෙ නෑ. ඒත් අපිට අපිව පේන්න බැරි දවස් තිබුණ. ඒ අපි වෙන් වෙන්නම ඕන නිසා වෙන්නැති. යන මිනිස්සුන්ට යන්න ඇරියම එන අයට ලස්සනට ඉඩ හැදෙනව අන්තරා. හිස් තැන් වලටයි හොඳට දේවල් පිරෙන්නෙ. අඩු තැන් බලලයි දේවල් ගලන්එන්නෙ. මේ සිද්දවෙන්නෙ වෙන්න තිබුණ දේවල්. හරි පුදුම විදිහට එදා කොෆී ශොප් එකේදි මං ඔයාව දැක්කෙ… ඊට පස්සෙ පාරින්දිව හම්බවෙලා හරි මට ඔයාව මුණගස්සන්නෙ… පොඩි කාලෙත් වතාවක් දෙකක්හරි හම්බවෙලා තිබුණ නේද අපි… අප්පච්චිලගෙ ඕනකමට බඳින්නත් නියම වෙලා තිබිල වෙන් වුණ අය නේද අපි…ඒ හැමදේම හරි පුදුම විදිහට සම්බන්ධ වෙලා තිබිල තියෙනව කියල දැං මට හිතෙනව. අප්පච්චිගෙ හොඳම පිරිමි ගෝලය ඔයාව අරං ගියා. ඊට පස්සෙ අප්පච්චිගෙ හොඳම ගෑනු ගෝලයව මට බඳින්න වුණා… ඒත් අද අපි කොතනද නතරවෙලා ඉන්නෙ…”

අන්තරා ට සැහැල්ලුවක් දැනෙමින් තිබිණ. ජීවිතයේ එක පරිච්ඡේදයක් නිමා වී ගොසිනි. ඒ කාලයේ ළඟ උන් අය සේ ම සිදු වූ දේවල් ද ජීවිතයෙන් ඈතට යමින් තිබේ. උදා වෙන්නට නියමිත අලුත් ජීවිතය පිළිගන්නට, තිගැස්ම මුසු බලාපොරොත්තුවක් ඈ හද මඬලේ විය.

වෙනදාට වැඩියෙන් යුගාත්ම අමුතුයි කියා අන්තරා ට සිතිණ. ඔහු ගේ බැල්මෙහි පවා, වෙනදා නොවූ දරාගත නොහැකි එළියක් විය. ගේ ළඟදී රිය නතර වූ වේලේ ඈ ඔහු ට ඇතුළට ඇරයුම් කළා ය. නමුත් කොල්ලුපිටියේ ශාකාවට යා යුතු වූ නිසා ඔහු ඒ ආරාධනය ප්‍රතික්ශේප කළේ ය.

“එහෙනං මං යන්නද යුගාත්ම…”

තත්පර කිහිපයක් ඔහු ගේ ගැඹුරු බැල්ම ඇගේ දෑස් විනිවිදගෙන පැවතිණ.

“යන්නෙපා කියන්න පුළුවන්නං මං කැමතියි”

අන්තරා ගේ හදවත භූ කම්පනයකට හසු වූවා සේ තිගැස්සිණි. වෙනදා සේ විහිළුවක් කර ඉවත බලාගන්නට ඇයට සිහි වූයේත් නැත. කම්පන තරංග මඳක් ඈතට විසිර යත්දී ඕ සිහි එළවාගෙන රිය දොරට අත තැබුවා ය.

 “පරිස්මෙන් යන්න. ගියාම මට මෙසේජ් එකක් තියන්න”

යයි කොඳුරාගත් ඕ ඉක්මනින් රියෙන් බැසගත්තා ය.

යුගාත්ම රිය පැදවූයේ අසීරු කඩඉමක් යන්තමින් තරණය කරගත් යෞවනයෙකු ගේ තෘප්තියෙනි. ඔහු ගේ දෙඅදර අතරේ හිතුවක්කාර මඳහසක් නළියමින් තිබිණ. ඒ සම්බාධකය, මිතුරුකම කියනා පව්ර බිඳ දමන්නට එල්ල කරනා ලද ප්‍රථම කුළුගෙඩි පහර ගැන ඔහු ට විශ්වාසයක් දැනිණ. එක් පහරකින් සිඳ බිඳ නො හැකි වී ද කිසියම් දෙදරුමක් ඇති වූ බව ඔහු ට අන්තරා ගේ මුහුණ කීවේ ය!

කොල්ලුපිටිය ශාකාවට ඇතුළු වන විට, ඔබ මොබ සක්මනෙහි උන් බොර පැහැති දෑසක් යුගාත්ම වෙතට යොමු විය. මීට පෙර සජීවී ව දැක නැත ද යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ සේයාරූ අති විශාල ප්‍රමාණයක් ඔහු දැක තිබේ. ඒ යුගාත්ම ගේ මුහුණුපොත පුරා සැරිසැරීමෙනි. ඒවායේ සිටිනවාටත් වඩා ඔහු කඩවසම් බව දැන් දෑස් සාක්ෂි දරයි. යුගාත්ම පාරින්දි සමග වචන කිහිපයක් කතා කළේ ය. පාරිභෝගිකයෙකු ඔහු විමසූ බව ඇය කීවා ය. යුගාත්ම ගේ දෑස් ඕරා ඔෆ් ඇරෝමා විනිවිදමින් ඔහු ගේ අමුත්තා සෙව්වේ පියගැට පෙළ දෙසට හෙමිහිට පියවර තබමිනි. අමුත්තා ඔහු වෙත විත් සිනහවකින් කතා කළේ ය.

“මිස්ට යුගාත්ම කාශ්මීර අමුණුගම…”

“ඔව්… “

“මං දක්ෂිණ. දක්ෂිණ විතානගේ”

දක්ෂිණ විතානගේ යුගාත්ම වෙතට සුරත පෑවේ ය. කුමක් සිදු වෙන්නට යන්නේ ද කියා ඔහු ට පැහැදිලි වූයේ නැත. කුමක් සිදු වුණත් ඊට මූණ දෙන සූදානමක් වහ වහා හිතේ ඇති වෙමින් තිබිණ.

“හෙලෝ දක්ෂිණ. නයිස් ටු මීට් යූ”

ඔහු දක්ෂිණ ගේ සුරත අල්වා යන්තම් සෙලවූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here