පොලිස් කාර්‍යාලය තිබුනේ අසාමාන්‍ය නිහඬතාවයකින් සම වැදීගෙනය. වෙනදාක තාත්තා සමග “ෆුල් රැස්පට්” පිට ආ ගමන්වලදී තමන් විසින් නිළධාරින් වෙත හෙලන්නට යෙදුන ආඩම්බර කාර බැල්මන් සමච්චල් සහගත බැල්මන් බවට පත් වී අද තමන් වෙතට එනු පෙනෙද්දී පොළොව පළාගෙන ගොස් පාතාලයක සැඟවි හිඳින්න පුලුවන් උනා නම් කොපමණ හොඳ ද කියා ලක්ෂිත නොසිතුවා නොවේ. මේ වනාහී තමන්ට ජීවිතයේ කිසිම දිනක විඳින්නට නොවූ අන්දමේ ලැජ්ජාවකි. අපහාසයකි. තාත්තාගේ සල්ලි සහ දේශපාලන බලයේ නාමයෙන් මේ කරදරයෙන් මිදෙන්න පුලුවන් බව දන්නවා උනත් මිනිසුන් දැනටම මේ වෙච්ච දේ එක්ක බොහෝ දුර හිතා ඇති ලැජ්ජාවෙන් මිදෙන එක සල්ලිවලටවත් බලයටවත් කරන්න පුලුවන් දෙයක් නොවන බව ලක්ෂිත හිතුවේය.
ඒ සිතුවිලි අතරේම ලක්ෂිත උන්නේ හිත අස්සෙන් සත්සරා වෙත කෝපය මුදා හරිමින් ය. තමන්ට මෙහෙම දෙයක් වෙන්නට හේතු කාරනා වූ එකම පුද්ගලයා විදියට තමන්ට මතක තිබෙන්නේ සත්සරාව බව ලක්ෂිතට ස්තිරය. කොළඹදී ඕන තරම් පොඩි කෙල්ලන් සමග සබඳතා ඇති කරගත්තද ඒවා ඒ කෙල්ලන්ගෙත් උවමනාවෙන් ඇති කරගත්ත ඒවා මිසක තමන් බලෙන් කරගන්න ගිය ඒවා නොවේ. එහෙම එකේ ඒ කෙල්ලන් කීයටවත් තමන්ට විරුද්ධව මෙවන් පැමිණිලි නොදාන බව ලක්ෂිතට ස්තීරය. අනෙක් අතට කොළඹ කෙල්ලන් වෙනුවෙන් අත දිග හැර වියදම් කල කොල්ලෙක් වූ තමාට විරුද්ධව මෙවන් පියවරක් ගන්නට හේතුවක් ඒ කෙල්ලන්ට නොතිබූ බව ලක්ෂිතට හොඳටම විශ්වාසය.
“ඕකි ඕකි සද්ද නැතුව හිමිජ්ජි වගේ ඒවෙලාවෙ හිනාවෙවී ඉඳලා…” කියා හිත ඇතුලෙන් බැන්නට සත්සරාට මෙච්චර දුරක් තනියම එන්නට බැරි බව ලක්ෂිතට රහසක් නොවේ. එහෙත් සත්සරාට එවන් දේකට උදව් කලේ කවුරුන්ද කියා හිතාගන්න පුලුවන්කමක් ලක්ෂිතට තිබුණේ නැත. අනෙක් අතට ඒ කිසිසේත් සමුධ්‍යා විය හැකි බවට අදහසක් ලක්ෂිතට තිබුණේ නැත.
ඒ අතරවාරයේ පොලිස් පරීක්ෂක දිලානි උන්නේ ඇගේ මේසයේ වාඩි වී, වින්දිතයාගේ ප්‍රකාශයේ ලිඛිත පිටපත නැවත වරක් පරීක්ෂා කරමිනි. බාල වයස්කරුවෙකුට ලිංගික අපයෝජනය කළ බවට නිල වශයෙන් චෝදනා ලැබ සිටින ලක්ෂිත, තමන්ට කාමර දෙකක් ඈතින් හුදකලාව, නිහඬව සහ කෝපයෙන් වාඩි වී සිටින බව මතක් වෙද්දි දිලානි ඒ පිටපත තව තවත් අතින් තද කර අල්වා ගත්තාය.
එතැයි බලාපොරොත්තුවෙන් උන්නා වූද කොයි මොහොතේ ඒ දැයි නොදැන උන් කුණාටුව පොලිසිය බලා ආවේ ඒ මොහොතේය. කළු පැජරෝ රිය පැමිණ පොලිස් මිදුලේ නතර කලේ ගර්ජනා කරමින් ය. ඒ වාහනය නිසි ලෙස නතර කරන්නට හෝ හසුරවා ගන්නට රියදුරු කිසිම උත්සහයක් ගත්තේ නැත. දොරවල විවර විය. ප්‍රාදේශිය සභා මන්ත්‍රී මෙන්ම ලක්ෂිත වීරබද්ධනගේ පියා වුණ විදුර වීරබද්ධය ඒ ඇරුණූ දොරකින් පිටතට ආවේ තම බලයත් හැකියාවත් මුදලත් මොනවට පෙන්නුම් කරමින් ය. ඔහු පිටුපසින් ආරක්ෂකයින් එද්දී විදුර වීරබද්ධන පොලිසිය ඇතුලට ආවේ “මේ පොලිසියෙද මට සරෙන්ඩර් උන් නැත්තෙ?” කියා කියන්නට මෙනි.
“OIC කොහෙද?” කියා විදුර වීරබද්ධන අහද්දිත් පොලිසියේ සමහර පුටුවල වාඩි වී උන්නු, පුතාට කෝචෝක් දැම්ම නිළදාරින් පුටුවෙන් නැගිට්ටේ බයටමය.
තරුණ කොස්තාපල්වරයා තිගැස්සී නැගිට්ටේය. “සර්, කොළඹින් ආව දිලානි මැඩම් තමයි මේ කේස් එක බලන්…”
“එන්න කියනවා එයාට” කියා විදුර වීරබද්ධන ගෝරනාඩු කරද්දිකොස්තාපල්වරයා දිලානි ඇමතීමට අසුනෙන් නැගිට යාමට කටයුතු කරන්නට පෙර, දොර විවෘත වූ අතර, දිලානි එළියට ආවේ තමන්ගේ දෑතම කලිසම් සාක්කු දෙකේ දමාගෙනය. තමන් ඉදිරියේ පොලිසියේ ලොකු පුටු පවා නැවෙද්දී මේ වඩා උස නැති ගැහැණියගේ දෙනෙත් අස්සේ තැවරී තිබුණ “ඔය සද්ද වලට නම් මං බය නෑ මහත්තයො” කියන කතාව විදුර වීරබද්ධනව තව තවත් කුපිත කරවන්නට හේතු වුණේය.
“මිස්ට විදුර නේද? මම තමයි මේ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ. මම ඔෆිසරි දිලානි කොස්තා”
එයට පිළිතුරු ලෙස විදුර වීරබද්ධන නැගූ සිනාවේ තිබුණේ “උඹ කවුරු උනත් මට කමක් නෑ” කියන කතාව බව තේරුම්ගන්න දිලානිට අපහසු උනේ නැත. එහෙත් මේ තමන්ට ඔවැනි කතාවක් අහන්නට දකින්නට වුන පළවෙනි වතාව නොවේ කියන කරුණම දිලානිට විදුර වීරබද්ධනගේ ප්‍රතිචාරය අලුයම ලූ කෙල පිඬක් සේ අහක දාන්න හේතු වුණාය.
“අපේ ළමයි මේ මෙහෙම පොලිසි ගානෙ කූඩුවල රස්තියාදු වෙන්නෝන උන් නෙවෙයි කියන එක ඔය නෝන මහත්තය දැනගත්තොත් හොඳයි” කියා විදුර වීරබද්ධන දුරකතනය එක අතක රඳවාගෙන අනිත් අත දිලානි දෙසට දිගු කරමින් කෑගැසුවේය. ඒ වචනවලත් දිගු වුණ අතේත් තැවරී තිබුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පවර් එක බව දිලානිට තේරුණාය.
ඇය ඇහි බැම ඉහළට එසෙව්වා.
“කෙනෙක්ව අත් අඩංගුවට ගද්දි අපි ඉතින් ඒක හොයන්නෙ බලන්නෙ නැතුව කරන්නෙ නෑනෙ මන්ත්‍රීතුමා. නේද?” කියා දිලානි කිව්වේ වඩා සැහැල්ලු ස්වරයකිනි.
“අනික ඉතින් මේ කේස් එක ඇත්තක්ද නැද්ද කියන එක මං හිතන්නෙ අපි හැමෝටම වඩා හොඳට මන්ත්‍රී තුමාගේ පුතා දන්නවා ඇතිනෙ. තාත්ත එනකම් කිසිම දෙයක් කියන්නෙ නෑ කියලා කිව්ව එකෙන්ම ඉතින් අපිට ඒක තේරුම්ගන්න බැරිකමක් නෑනෙ”
“මේ…මේ ඔය පොලිස් පවර් මට දාන්න එන්න එපා. ඔය කොළඹින් ආව පොලිස් ගෑණු නොදන්නවා උනාට මේ පොලිසිය තියෙන්නෙත් අපේ අත යට කියන එක අමතක කරන්න එපා. අලුතෙන් ඉතින් ආවම ඔය වගේ සද්ද කවුරු උනත් දානවා කියල මම දන්නවා. අනික මොනවද තියෙන එවිඩන්ස් එහෙම මනුස්සයෙක්ව එකපාර ගෙදරට ඇවිල්ලා අරගෙන යන්න?” කියා විදුර වීරබද්ධන කිව්වේ මෙතෙක් වෙලා කුපිත වී උස් වෙස් මුහුණ ගලවා දමා සමච්චල් සහගත සිනාවක් අස්සේ හැංගුන කුපාඩි බවක් රැඳුන අලුත් වෙස් මූණක් පැලඳගෙනය. බුරාගෙන එන බල්ලා හපා නොකන බව දන්නවා උනත් මෙයාකාර සද්ද නැතුව ඉන්න එක හොඳක් නොවන බව තේරුම් ගන්න දිලානිට අපහසු නැත.
“කරදරේ වෙච්ච දරුවගෙ ස්ටේට්මන්ට් එක, කවුන්සලර් කෙනෙක්ගෙ රිපෝට් එක වගේ දේවල් උනත් ඇති මිස්ට විදුර මේ වගේ කේස් එකකදි”
“ඔය පොඩි කෙල්ලො කොහොමත් කොල්ලො දැක්කම නලියනවා. එහෙම එකේ උන් ඔය වගේ බොරු කතන්දර පතුරනවා ඇටෙන්ශන් ගන්නෙ. ඔෆිසර් නිකන් ඔෆිසර්ගෙ තනතුර එහෙම රස්සාව එහෙම රිස්ක් එකකට දාගන්න ඕන නෑ නේද මේ ගම්වල ඉන්න පොඩි කෙල්ලො හන්දා? නිකන් පිස්සු නටන්නෙ නැතුව අපෙ එකාට යන්න දෙන්න මිස්” කියා විදුර සිනාවෙන ගමන්ම පොලිසිය ඇතුලෙ උන්නු තමන් හොඳින්ම දන්නා පොලිස් නිලධාරින් එක්ක සිනාසෙද්දි ඒ නිලධාරින්ද සිනා සුනේ ඒ කතාව හා එකඟ වන විදියටය. එහෙත් දිලානි උන්නේ ඒ කිසිම සිනාවකින් හෝ කතාවකින් සැලෙන සිතිවිල්ලක නොවේ.
දිලානි කිසිසේත්ම තමන්ගේ අදහස වෙනස් නොකරන බව විදුර වීරබද්ධන තේරුම්ගත්තේ දිලානිගේ දෙතොල් අස්සේ ඇඳී තිබුණ සමච්චල් සහගත හිනාව හන්දාය.
“මං මේ කියන දේ හොඳට මතක තියාගන්න මැඩම්. ඔයා නෝන කෙනෙක් හන්දා මම මගේ අත පයේ හයිය මෙතන පෙන්නන්න යන්නෙ නෑ. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේක මම ලේසියෙන් අතාරින්නෙ නෑ. මම එහෙම කරාවි කියල හිතන්නත් එපා. ඔබ තුමීට කවදහරි සෑහෙන්න පසුතැවෙන්න වෙන විදියෙ දෙයක් තමයි අන්තිමට වෙන්නෙ කියන එක අමතක කරන්න එපා” කියා විදුර වීරබද්ධන තමන්ගේ මුහුණ ඉදිරියේ ඇඟිල්ල ලෙලවා කියද්දීත් දිලානි කලේ සිනාවෙන එකය.
මක්නිසාද යත් විදුර වීරබද්ධන නොසිතන අන්දමේ ශක්තිමත් හස්තයකින් මේ සියල්ල ආරක්ෂා කරන බව දිලානි හොඳාකාරවම දැනගෙන උන් නිසාය.