Checkmate

මිනිස්සු කියනවා ඉතිහාසෙ ලියන්නෙ ඒ ඉතිහාසෙ දිනපු මිනිස්සු කියලා. ඉතිහාසෙ දිනපු අය, ඒ ඉතිහාසෙ තමන්ට ඕන හැටියෙ ලියාගන්න ලෙවල් එකකට ඉතුරු වෙච්ච එකේ පොඩි හොරයක් තියෙන්න බැරිද කියල මං ඕන තරම් හිතලා තියෙනවා. ඉතිහාසය ලියන්නෙ දිනපු අය කියලා සමහරි හිතුවට මම හැමදාම හිතුවෙ ඉතිහාසෙ ලියන්නෙ බය ගුල්ලො කියලා.

අනුරාධපුරේ ඒ වෙද්දි තිබ්බෙත් නටඹුන් වෙලා නෙවෙයි. නෙලුම් පොකුනූ, රත්තරන් පිළිම වලින් ඕනවටත් වඩා පිරිලා ගිහිල්ලා. තමන්ගෙ මනුස්සයා මැරිච්ච දවස් වෙලත් එක කඳුලු බිංදුවක් ඇස්වලින් වට්ටන්නේ නැතුව අනුලා බිසවුන්නාන්සේ අඩිය තියලා ඒ නෙලුම් පොකුණු මැද්දෙන් ඇවිදන් ගිය දවස අනුරාධපුරේට හුස්ම ගන්න අමතක උනා. ඒ වෙද්දි චෝර නාග රජ්ජුරුවො වෙනුවෙන් වැයිච්ච බෙර හඬවල් තිබ්බෙ නිකන් ලාවට පොඩි පොඩි සද්ද දාන ගමන්. අනික රජෙක් මැරුනා උනත් කවදා වෙනකම් අඬන්න කියලද නේද?

බෙර හඬ මහ ලොකුවට ඇහුනෙ නැතුවට, චෝර නාග රජ්ජුරුවන්ව පුච්චලා දැම්ම තැන පොළොව තාම තිබ්බෙ රස්නෙට. බාගදා පොළොව ඉන්නත් ඇත්තෙ ඒ රස්නේ දරාගන්න, උරාගන්න අමාරුවෙන් වෙන්න ඇති. හරිනම් මිනිහා මලාම ගෑණි රැජිණක් ද, නිකන්ම නිකන් ගෑණියෙක්ද කියන එක අදාල නැතුව ඒ ගෑණි සුදු පාට ඇඳගෙන, “මිනිහා මැරිච්ච ගෑණී” වගේ මුස්පේන්තු පාටට ඉන්න ඕන උනාට මොකෝ අනුලා බිසව නම් ඉඳියෙ වෙනම level එකක. සුදු පාට අඳින එක කෙසේවෙතත් රජ්ජුරුවො ඉන්න කාලෙ ඇන්දටත් වඩා හොඳට ඇඳ පැළඳලා, රාජකීය වස්ත්‍රාභරණ ඔක්කොම වගේ දාගෙන උන්න අනුලා බිසව දැක්කම අනුරාධපුරේ හැම එකාටම කියන්න කතාවක් තිබ්බා.

“මිනිහා මලා කියලා මේ ගෑණිට වගක් නෑනෙ” 

අනික එහෙම කිව්ව හැම එකාටම දරාගන්න බැරි උනේ අනුලාගෙ ඇඳුම්, ආභරණ වලින් ආව දිස්නෙ නෙවෙයි. මිනිහා මැරිච්චට පස්සෙත් අනුලගෙ ඇස් අස්සෙ දකින්න ලැබිච්ච දිස්නෙ.අනුලා ඉස්සරහා වාඩිවෙලා උන්නේ ඇමතිවරු, වංශාධිපතියෝ, රණශූරයෝ. ඒ මිනිස්සු බලාගෙන උන්නෙ අනුලා මේ කෙළින්න ලෑස්තිවෙන සූදුව එහෙම නැත්තම් game එක මොකද්ද කියල හොයාගන්න.

“තමන්ගෙ කසාද පුරුෂයා මලාව ගෑණියෙක් කරන්න ඕන වැළපෙන එක, එහෙම නැතුව මේ රාජ්‍ය පාලනය කරන්න එන එක නෙවෙයි” එක්කෙනෙක් එහෙම කියද්දි අනික් එක්කෙනා කිව්වෙ “She has no right to the throne” කියලා. මෙච්චර වෙලා silent mode උන්න අනුලව ඒකෙන් ගලවන්න උදව් කරේ ආන් අන්න ඒ වචන සෙට් එක.

“I have no right?” අනුලා ඇහුවෙ කිණ්ඩි හිනාවක් එක්ක. “උඹලා දන්නෙ නැති දෙයක් මං කියන්නම්. මේ සිංහාසනේ අයිති කරගන්න රජවරු කී දෙනෙක් ලේ හැලෙව්වද මම ලේ හැලුවෙ ඒක බේරගන්න”

ඒ වචන එක්ක මෙච්චර වෙලා හිටගෙන උන්න අනුලා දෙපාරක් හිතන්නෙ නැතුව සිංහාසනේ වාඩි උනා. මෙච්චර වෙලා තම තමන්ගෙ පුටුවල වාඩිවෙලා උන්න හැමෝම වගේ නැගිට්ටෙ පස්ස පැත්ත රත්වෙන level එකට ආසන ටික පත්තු උනා වගේ.

අවුරුදු ගාණක් පුරාවට අනුලා බලාගෙන උන්නෙ තමන් වටේ වෙන දේවල්. මිනිස්සු නම්බු නාම වෙනුවෙන් එක එක්කෙනාව මරලා දාන විත්තිය, යුද්දෙ අතරවාරෙ සාමෙ pretend කරන එක, මූණට හිනාවෙල පිටිපස්සෙන් පිහියෙන් අනින විත්තිය අනුලා දැක්කා. තමන්ගෙ ඇස් දෙකෙන් දැක්කෙ. ඒ එක්කම අනුලා දැක්කා එයාගෙ මනුස්සයා වෙනස් වෙනවා. එයා කවදාවත් බලාපොරොත්තු උනේ නැති ලෙවල් එකක යකෙක් වගේ වෙනස් වෙන එක.අනුකම්පාවට වඩා, මනුස්සකමට වඩා තමන්ගෙ මනුස්සයා දිනන බලාපොරොත්තුවෙන් ඕනම දෙයක් කරන මනුස්සයෙක් බවට පත්වෙන එක. අන්න ඒක තමයි අනුලව බය කරේ මුලින්ම. 

ඒකෙන් පස්සෙ තමයි royal party එකකදි මිනිහා වස කවලම් වෙච්ච මොනාද එකක් බීලා මලේ. ඒකෙන් පස්සෙ තමන්ට ගැලවෙන්න පුලුවන් කියල අනුල හිතුවට මොකෝ හැමදේම පටන් ගත්තෙ එතනින්. මිනිස්සු ඉන්පස්සෙ අනුලට කතා කරේ “මිනිහව මරාගත්ත ගෑණි” කියලා. ඒ මිනිස්සු එහෙම කියන්නෙ තමන්ව සදාකාලිකවම silent කරලා තියන්න කියන එක තේරුම්ගන්න බැරි තරම් අනුලා මෝඩ ගෑණියෙක් උනේ නෑ. ඒ එක්කම අනුලා තව දෙයක් දැනගෙන උන්නා. ඒ තමයි Silence කියන්නෙත් තව විදියක මරණයක් විත්තිය. මිනිහෙක්ව පණ පිටින් මරණ එක විදියක් තමයි තමන්ට අසාධාරණයක් වෙන තැනකදි සද්ද නැතුව ඉන්නවා කියන එක.

අන්න ඒ හන්දයි අනුලා ගැලවෙන්න, බේරගන්න කෙනෙක්ව හොයාගත්තෙ.ඔය විදියට බේරෙන්න කියලා අනුල අන්තිමේ කී දෙනෙක්ව නම් හොයාගන්න උනාද?

ඒ විදියට අනුලා ගැලවුම්කාරයො හොයාගන්න එක නතර කරගත්තෙ නෑ. ආයෙ ආයෙම, ආයෙ ආයෙම අනුලා ගැලවුම්කාරයො හොයාගත්තා. එහෙම නැත්තම් හොයාගන්න try කරා.ඒ හැම ගැලවුම්කාරයෙක්ම සිංහාසනේ වාඩිඋනා. එතනින් සොහොනට ඇදගෙන වැටුණා. මිනිස්සුන්ට කියන්න කතන්දර ඕන පදම් තිබුණා. හාමුදුරුවරු පෙර කල පින් පව් ගැන කිව්ව.මේ ආත්මෙ කරන පව් ඊළඟ ආත්මලව පල දෙන විදිය ගැන කිව්වා. කවියො “ආදරේ හන්දා මැරෙන” විත්තිය ගැන කවි ලිව්වා. මේ ඔක්කොම අස්සෙත් අනුලා තමන්ගෙ සුපුරුදු silent mode එක continue කරා. 

අන්න එහෙම දවසක තමයි මාළිගාවේ පූජකවරයා අනුලාට කිට්ටු උනේ.

“මිනිස්සු කියන්නෙ බිසවුන්නාන්සේ සාපෙකට අහුවෙලා කියලා” 

ඒ වචන මුලින්ම කන් දෙක අස්සට රිංග ගත්තම අනුලා කරේ තමන්ගෙ සුපුරුදු කිණ්ඩි හිනාව දාන එක. 

“සාපවලින් බේරන උන් තමා සාපවලට අහුවෙච්ච උන් කියලා මිනිස්සු කියන්නෙ. ඉතිරි අයට උන් කියන්නෙ ගෑණු කියලා” අනුලා එහෙම කිව්වෙ හිනාවෙවීමයි.

“මිනිස්සු කියනවා බිසවුන්නාන්සෙට පිස්සුයි කියලත්”

“පිස්සු කියන්නෙ දණ ගහන්න ලෑස්ති නැති ගෑණුන් වෙනුවෙන්, උන්ගෙ ඒ ගෑණුකම ළඟ දරණ ගහපු නයි වගේ පිරිමි හදපු සිංහාසනයක්”

තමන්ගේ ජීවිතේ එක එක කාලවල එක එක ගැලවුම්කාරයො හොයාගෙන ගියත් ඒ කිසිම ගැලවුම්කාරයෙක් ළඟ තමන් බලාපොරොත්තු වෙච්ච දේ නෑ කියල දැනගත්තම අනුලා කරේ උන්ව අතෑරලා දාපු එක. තමන් උන්ව අතෑරලා දාපු එක උන්ට ජීවිතේ අතෑරගන්න හේතුවක් උනේ කොහොමද කියන එක හොයන්න අනුලට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. ඒ විදියට තමන්ගෙ ජිවීතේ අත ඇරලා දාපු හැම කෙනෙක් වෙනුවෙන්ම රාජකීය සම්ප්‍රදාය අනුව සඳුන් ලීයෙන් කරපු චිතක අස්සෙ තමන්ගෙ ඔක්කොම ලැජ්ජාවල්, වේදනාවල් පුච්චල අලු කරන්න ඉඩ හම්බුනා. ඒ සඳුන් චිතකයේ පිච්චිච්ච හැම ගැලවුම්කාරයෙක්ම පාසා, අනුලා තමන්ගෙ හිත බැඳලා තිබිච්ච රැහැන් පටවල් එකින් එක ගලවලා ගලවලා දාලා නිදහස් උන්නා. අනුලා ඒ හැම funeral ceremony එකකදිම ඒ කිසිම දේකට පුච්චලා දාන්න බැරිවෙච්ච අභිමානයක් එක්ක තමන්ගෙ ගැලවුම්කාරයො පිච්චිලා අලුවෙලා යනවා බලාගෙන උන්නා. 

ඒ ගිනි දැලි ඇස් ඉස්සරහින් මැකිලා යන්න මහ කාලයක් ගියේ නැති උනාට හිත් අස්සෙන් මැකිලා යන්න සෑහෙන කාලයක් ගත්තා. සිංහාසන කාමරේ තිබ්බෙ හුලඟ එක්ක එක එක සද්ද බද්ද කර කර. අනුලා මාස කීපයක් පුරාවට තනියෙන් rule කරා. අනුලාගෙ silence එක ඇතුලෙ එයාට ඇහුනෙවත් නැති විදියෙ එක එක කැරළි ඒ වෙද්දිත් අනුලට එරෙහිව plan වෙන ගමන් තිබුණා. 

හඳට අහසට එන්න අමතක වෙච්ච ඒ රෑ අනුලා උන්නෙ සිංහාසනේ වාඩිවෙලා. එයාගෙ උකුල උඩ තිබ්බා චෙස් බෝඩ් එකක්. ඒක එයාගෙ පළවෙනි ගැලවුම්කාරයගෙන් අනුලාට ලැබිච්ච තෑග්ගක්. ඒ වෙද්දිත් ඒ චෙස් බෝඩ් එක තිබ්බෙ මහ ගොඩක් විනාස වෙලා. බෝඩ් එක උඩ අලු දූවිලි විසිරිලා තිබ්බා. ගොඩක් කෑලි තිබුනෙ එහෙ මෙහෙ වැටිලා, කැඩිලා බිදිලා. සමහරක් කෑලි අතුරුදහන් වෙලා තිබුණා. රජ්ජුරුවො උන්නෙ බිම වැටිලා. බිෂොප්වරයා කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තිබුනා. නයිට්වරු උන්නෙ හැංගිලා ගිහින්.

ඒත් රැජිණ පුරුදු විදියටම ඔලුව උස්සගෙන හිටියා.

රැජිණ චෙස් බෝඩ් එක හරහා ගියේ හරිම ආඩම්බරෙන්. ඔලුව කෙළින් තියාගෙන. මුලින් කොටුවක් දෙකක් පැන්නා. ඊටපස්සෙ පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඊලඟට ගත්තෙ diagonal turn එකක්. 

ඒ සෙල්ලම අතරවාරෙ තමයි ආයෙම වතාවක් මාළිගාවේ පූජකයා රැජිණ හම්බවෙන්න ආවෙ.

“මිනිස්සු තිස් ගාණක්. තිස් ගාණක් කියන්නෙ ලේසි පාසු ගාණක් නෙවෙයි බිසවුන්නාන්සෙ. තිස් ගාණක හිස් ගාණක් සිඳින්න ඔය ගැලවුම්කාර ආදරේ හේතුවක් උනා නේද?” කියලා පූජකයා අහද්දිත් අනුලා කලේ හිනාවෙච්ච එක.

“පුච්චලා, රිද්දලා, රවට්ටලා මරලා දාන්න තරම් ඔබතුමීට මේ රාජ්‍යය මෙච්චරටම උවමනා උනාද? රජකම මෙච්චරටම උවමනා උනාද?”

“මට ඕන වෙච්ච රජකමක්වත් රාජ්‍යයක්වත් නෑ. මට ඕන උනේ වෙන විදිය වෙනස් කරන්න විතරයි.

මිනිස්සු තාම මට පිස්සු කියලා කියනවනම් එහෙම කියාපුදෙන්. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඒක වෙනස් කරන්න උවමනාවකුත් නෑ.මිනිස්සු කියන්නෙ ලියන්නෙ මිනිස්සු බය වෙච්ච දේවල් මිසක්කා උන් ඇත්තටම ඇහුව දැක්ක දේවල් නෙවෙයි”

“ඒ උනාට මෙච්චර හරියක් කරලත් අන්තිමේ බිසවුන්නාන්සෙට ඉතුරු කරලා යන්න වෙන්නෙ සාපයක් ගෑවිච්ච, කලු පැල්ලම් තැවරිච්ච නමක් නේද?”

“ඔව් වෙන්න පුලුවන්. හැබැයි මං කලේ සෙල්ලමක්. ඒ සෙල්ලමේදි මට මෙන්න මේ වගේ සාපයක් ගෑවිච්ච අතීතයක් ලැබෙන්න පුලුවන් විත්තිය මම දැනගෙන හිටියා. මම ඒක දැනගෙනම තමයි සෙල්ලම් කරේ. 

පිරිමි මම වනචර ගෑණියෙක් විදියට මතක් කරාවි. හැබැයි ගෑණුන්ට මාව මතක තියේවි පිරිමි හදපු, පිරිමි රජ කරන්න උත්සහ කරපු game එකක අන්තිම ඉත්තා වෙනකම් play කරපු රැජිණක් විදියට”

ReplyForward Add reaction

More Stories

Don't Miss


Latest Articles