පිණි මුතු පලසක් – 27

0
1627

“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා පිය පදවිය පැත්තෙන් තමන්ගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකු බව දන්නවා නමුත් තමන්ගේ තාත්තා වනාහී එයාකාර තාත්තෙක්ද කියන පැනය ජිවීතයේ පළමු වතාවට ප්‍රභාත්ගේ හිත අසන්නට පටන් ගෙන තිබුණි.

“මම අවුරුදු ගාණක්ම කෑවෙ මං හම්බ කරපු සල්ලිවලින් තාත්තෙ. තාත්තා හම්බකරපු දේකින් නෙවෙයි” කියා ප්‍රභාත් උත්තර දෙද්දි අනෝමා මෙන්ම විදුරත් තප්පර කීපයකට කැළඹුණි. ප්‍රභාත් වනාහී කවදාවත් තාත්තාට එරෙහිව දෙයක් කියූ ළමයෙක් නොවන බවත්, ප්‍රභාත් කවදාවත් එයාකාරයේ වදනක් තාත්තාට එරෙහිව කියාවිය යන අදහසක්වත් තම හිත්වල නොතිබුන බව අනෝමා මෙන්ම විදුර තේරුම් ගත්තේද එවෙලේය.

“උඹ… උඹේ කටේ සද්දෙ දැන් ඉස්සරට වඩා වැඩිවෙන්න ඇත්තෙ තමන් හම්බ කරන් කන හන්දා වෙන්නැති නේද? හැබැයි පුතේ උඹ අමතක කරන්න එපා ඔය අද උඹලට තනියෙන් හම්බ කරන් කන්න පුලුවන් තැනකට අරගෙන යන්න මේ තාත්තා කොච්චර මහන්සි උනාද කියලා” විදුර කියද්දි ප්‍රභාත් හෙලුවේ ඇත්තටම සමච්චල් සහගත හිනාවකි. අනෝමා උන්නේ ඒ සිනාවට තිගැස්සීය.

“මහන්සි වෙලා? තාත්තා අන්තිමට මහන්සි වෙලා හම්බ කරපු එක දවසක් මට පුලුවන් නම් කියන්න තාත්තේ?තාත්තා හම්බ කරපු, ඔය කියන විදියට අපිට කන්න බොන්න දුන්න හැම සතයක්ම තාත්තා මහන්සි වෙලා හම්බ කරපුවද එහෙම නැත්තම් අහිංසක මිනිස්සුන්ගෙන් හූරගෙන කාපු ඒවද කියන එක මට වඩා හොඳට තාත්තා දන්නවා ඇති නේද? 

ඒ හන්දා ඔය කතාව අයෙ මට ඇහෙන්න කියන්න එපා තාත්තේ. ඒ වගේම මම තාත්තගෙන් කාලා මල්ලිට කරදර කරන්න හිතුව කියන කතාව කියන්නත් එපා. මොකද මල්ලිට අද ඔහොම වෙන්න ලොකුම හේතුව තාත්තා. සල්ලිවලටයි දේශපාලන හයියටයි මේ ලංකාවෙ කරන්න බැරි දෙයක් නෑ කියලා තාත්තා මල්ලිගෙ ඔලුවට දාපු එක තමයි මල්ලිට යන්න වැරදි පාර කැපුවෙ කියලා තාත්ත හොඳටම දන්නවනෙ. ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දිදි. බීල අහු උනාම පොලිසි වලට කෝල් කරලා බේරගෙන, ක්ලබ් අස්සෙ දාගත්ත ප්‍රශ්න වලට මැදිහත් වෙලා මල්ලිව බේරලා ඇරපුවා හන්දා තමයි මල්ලි අද ඔය ඔහොම හිර කූඩුවක් අස්සෙ ඉන්නේ.

අනික තාත්තට තියෙන ප්‍රශ්නෙ මල්ලි කූඩුව අස්සෙ ඉන්න එක නෙවෙයි. මම මේ කේස් එක හැන්ඩ්ල් කරන කෙනෙක් වෙච්ච එකත් නෙවෙයි. තාත්තට ඒක හන්ද මූන දෙන්න වෙන ප්‍රශ්න නේද?” කියා ප්‍රභාත් ඉතාම නිවිහැනහිල්ලේ ඇහුවාට විදුර උන්නේ බුර බුර දැල්වෙන කෝපය නිවාගන්න විදියක් නැතුවය. 

විදුරගේ අත ඉස්සුණේත් අනෝමා ඉස්සරහට පැන්නේත් ඒ අනුවය. එහෙත් අනෝමාට ඉස්සර උන විදුරගේ අත, ප්‍රභාත්ගේ මුහුණේ වැදුනේත්, විදුරගේ අතේ පැළඥ ගෙන උන් අපල පුද්දේ මැණිකට ප්‍රභාත්ගේ තොල තුවාල වී ලේ බිංදු දෙක තුනක් ප්‍රභාත් ඇඳගෙන උන් සුදු කමිසය මතට වැටුණේත් එකම මොහොතකය.

“අයියෝ විදුර මොනවද දෙයියනේ මේ කරන්නෙ ඔයා? පිස්සුද මේ දරුවට අත ඉස්සුවෙ මේ දරුවා මොන වරදක් කරාටද? දෙයියනේ පෙර ආත්මෙක කරපු මොන පවක්ද අපිට මේ පටිසන් දීලා තියෙන්නෙ?” කියා අනෝමා බෙරිහන් දෙද්දීත් විදුර උන්නේ කෝපයෙන් සාලයේ එහා මෙහා ඇවිදිමිනි.

“පටිසන් දීලා තියෙන්නෙ මුන් වගේ පව්කාරයො මේ ලෝකෙට අරන් ඇවිල්ල කවලා පොවලා උස්මහත් කරපුවයි පව. යකෝ කරන රෙද්දක් සද්ද නැතුව ගූ හැලියක් හලාගන්නෙ නැතුව කරන්න මේ බල්ලන්ට තේරුනේ නැද්ද?” කියා විදුර ආයෙමත් වතාවක් ප්‍රභාත් වෙත අත උස්සන්න එද්දී අනෝමා ඉදිරියට පැන්නේ දරුවා බේරගන්නය. මොක උනත් එක දරුවෙක්ව වැරදි මග යෑමෙන් බේරගන්න බැරිවෙච්ච එකේ මේ දරුවාව වත් බේරගන්න ඕන බවට සිතුවිල්ලක් අනෝමාගේ හිතේ තිබුණාය. එහෙත් ප්‍රභාත්ට ගසන්නට ඉස්සූ විදුරගේ අත අනෝමාගෙ ගත හරහා ගියේ දරාගන්න බැරි අකුණු ප්‍රහාරයක් පරිද්දෙන් ය. අනෝමා විසි වී පුටුවේ වැදී ඇද වැටුණේත් ප්‍රභාත් එකපාරටම තාත්තාගේ පහර වලක්වන්නට මෙන් අත ඉස්සුවේත් එකපාරටය. තමන්ට වඩා විසි වයසකින් විතර බාල නිතර ව්‍යායාම කරන තරුණ කොල්ලෙකුගේ පාර විදුර භාරගත්තේ තමන්ගේ සිරුරට නොව ආත්ම ගරුත්වයට වැදුණ පහරක් විලසටය. විදුර ගෙදරින් නික්ම ගියේ ඒ තරහත් එක්කමය.

සමුධ්‍යා උන්නේ මේ සියල්ල මැද්දේ ඇත්තටම මේ වනාහී තමන් විසින් පටන්ගත් ප්‍රශ්නයක්ද කියන හිත රිදීම සමගින්‍ ය. සමුධ්‍යාගේ දුරකතනයෙන් අරුණගේ දුරකතනය වෙත ඇමතුමක් ලෙස පිටව ගියේ ඒ හිත් රිදීමය.

“මිස්ට අරුණ කතාකරන්න පුලුවන්ද?” කියා සමුධ්‍යාගේ සිහින් කටහඬ වඩා වේදනාබර ස්වරූපයකින් පැන නැගෙද්දිත් අරුණ උන්නේ ඇඳේ හාන්සි වී බැල්කනියේ හැර තිබෙන ජනෙල් වලින් පෙනෙන රණවරා ගස් යාය දිහා බලාගෙනය.

“කියන්න සමුධ්‍යා” කියා අරුණ කියද්දි ඊලඟට තමන් කියන්න ඕන කුමක්ද කියා සමුධ්‍යා ඇත්තටම කල්පනා කලේය.

“මිස්ට අරුණ…”

“මිස්ට කෑල්ල දැන් ඕන නෑ සමුධ්‍යා. අපි හැමෝම හිරවෙලා ඉන්නෙ එකම ප්‍රශ්නෙක. අපිම තමයි නෙ අපි එක්ක එක්කහු වෙලා දැන් මේ ප්‍රශ්නවලින් ගොඩයන විදියක් හොයන්න ඕන” කියා අරුණ කියද්දි සමුධ්‍යා ආයෙ ආයෙම හිත රිද්දගත්තේ තමන් අතින් ඔහුගේ පවුලට මෙච්චර අවැඩක් වී තිබෙද්දිත් අරුණ මෙච්චරටම නිස්කලංකයේ කතාකරන්නෙ කොහොමද කියාය.

“මට ඇත්තටම සමාවෙන්න අරුණ. මම හොඳ හිතකින් තමයි ඇත්තටම සත්සරාට උදව් කරේ. ඒ ඇරෙන්න මට අරුණගෙ මල්ලිව හරි පවුලෙ අයට හරි ප්‍රශ්න ඇති කරන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. මම දන්නෙ නෑ ආන්ටි අනෝමා මම ගැන මොනව හිතනවා ඇතිද කියලා.මම අරුණට කෝල් කරෙත් මගෙ පැත්තෙන් මම කියන දේ අරුණට ටිකක් හරි තේරේවි කියලා හිතලා”

“ඔයා කලේ වරදක් කියලා මමවත් අම්මවත් හිතන්නෙ නෑ සමුධ්‍යා. ඔයා මේකට සම්බන්ධ කෙනා කවුද කියල දැනගෙන හරි නොදැනගෙන හරි ඔයා කර දේ හරි. අසරණ ගෑණු ලමයෙක් වෙනුවෙන් ඔයාගෙ හිත උණුවෙච්ච එකම තමයි සමුධ්‍යා මනුස්සකම් කියන දේ ගැන මිනිස්සු ඉස්සරහටත් විශ්වාස කරන්න හේතුවක් වෙන්නෙ. ඔයා හිතන්නෙ අපි ඔයා එක්ක මල්ලිගෙ කතන්දරේ හින්ද තරහෙන් ඉන්නව කියල නම්, අපේ මල්ලි මෙහෙම ප්‍රශ්නෙක පැටලිච්ච හිත් වේදනාව අපි හැමෝගෙම හිත්වල තියෙන බව ඇත්ත. ඒ උනාට කිසිම තැනක ඔයා එක්ක තරහක්, ඔයා අපිට කරදරයක් ප්‍රශ්නයක් ඇති කරා කියන අදහසක් අපේ හිත්වල නෑ” 

“අරුණ එහෙම කිව්වට මේක පිටිපස්සෙ අරුණ ඉන්නවා කියල දැනගත්ත ඒක ඒවගේම ඒකට මමත් සම්බන්ධයි කියන එක ලක්ෂිතට වගේම අරුණගෙ තාත්තට උනත් තරහාගන්න හේතුවක් නේද? ඒක සාධාරණයි. මං අසාධාරණයි කියන්නෙ නෑ. මට හිතාගන්න බෑ ඒක දැනගත්තම ලක්ෂිතට මොනව හිතෙන්න ඇතිද කියලා”

“මල්ලි ඔයාට ට්‍රයි කරපු හන්දද හිතාගන්න බෑ කියලා කිව්වේ?” කියා අරුණ ඇහුවේ ඉතාම මද සිනාවක් එක්කය. ඒ සිනාව හිතේ බර අඩු කරන්න කිසිසේත්ම හේතු උනේ නැතත් මෙච්චර වෙලා කතා කරමින් උන් කතාබහේ බර මදක් අඩු කරන්නට හේතු උන බව ඇත්තකි.

“ඔයාට කවුද ඒ කතාව කිව්වේ?”

“මං හොයාගත්තා ඉතින්. ඇයි මං ඒක දැනගත්ත එක අවුල්ද?” 

“අනේ නෑ. මම ඇහුවෙ ඉතින් කොහොමද දැනගත්තෙ කියලා. ඒකෙන් වැඩක් නෑ. මගෙන් වරදක් උනා නම් මට සමාවෙන්න කියල කියන්න අරුණ මම කතාකරේ.සත්සරාට උදව් කරන්න මම ගත්ත තීරණේ වරදක් මම අදටත් දකින්නෙ නෑ. මම ඒක කලේ සද්භාවයෙන්. ඒ උනාට තමන්ගෙ පවුලක කෙනෙක්ට ඔහොම කරදරයක් උනාම දරාගන්න අමාරු බව මට නොතේරෙනවා නෙවෙයි. 

අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි අරුණ. මම දැන් පන්සලට යන්න හදන්නෙ. මගෙන් මොනාහරි උදව්වක් ඕන උනොත් ඔයා මට කතාකරන්න. මම මට පුලුවන් උදව්වක් කරන්නම් අරුණ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here