අරුමැති ආදරයක් – 21

0
2735

නිවසට පැමිණි වේලේ සිටම යුගාෂ් කළේ අපූර්වලාගේ ඉඩම් නඩුව සම්බන්ධව වූ ලිපි ගොණුව පරීක්ෂා කිරීමය. කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව විශ්වාසය. එහෙත් ලියකියවිලි සියල්ල සකසා තිබුණේ එවන්  කිසිඳු වරදක් නොවන ලෙසය. ඒ අයුරේ හිස් තැනක් තබන්නට තරම් අප්පච්චි අපරික්ෂාකාරී වේයැයි සිතිය නොහැක. 

“මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන පුතා. ඔයා මොනවා හරි ලොකු වැඩකනම් මම පස්සේ එන්නම්..”

තමාරා යුගාෂ්ගේ  කාර්යාල කාමරයට එබුණේ එසේ පවසමින්ය. ලිපි ගොණුව වසා දැමූ තරුණයා අම්මාට ඇතුලට පැමිණෙන්න යැයි ඇරයුම් කළේ සිනහ මුසුවය. 

“කාලෙකට පස්සේ ඔයා ලස්සනට හිනා වෙනව දැක්කා.”

තමාරා එසේ පැවසූයේ කාමරය පුරා තම දෑස් යවමින්ය. ඔහුගේ ජීවිතය තරම්ම ඒ කාර්යාල කාමරයත් පිළිවෙලය. තමාරාට සිහිවූයේ පුෂ්පානන්ද මෙම නිවසෙහි සිටි කාලයේදී කාර්යාල කාමරය ලෙස භාවිතා කළ පහල තට්ටුවේ වූ අමුත්තන්ගේ කාමරයයි. වර්තමානයේ පිරිසිදු කරන්නටවත් ඒ කාමරයේ දොර නොඅරින තරම්ය. අදටත් ඔහුගේ ලිපි ගොණු  රාශියක් එහි වේ. ඔහු කාමරය පරිහරණය කළ කාලයේදී මෙන්ම අදටත් එය අපිළිවෙලය.

“ඉඳගන්න අම්මා….”

යුගාෂ් පැවසූයේ පසෙක වූ සුවපහසු අසුනක් පෙන්වමින්ය.

“පුතා මං මේ කතා කරන්න ආවේ අර වැඩේ ගැන. අපි එන ගමන් පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවොත් මුණ ගැහුනා. ඇත්තටම ලොකු හාමුදුරුවෝ කිව්වෙත් මේක හරි උතුම් පුණ්‍ය කර්මයක් කියලා. ලොකු හාමුදුරුවෝ ඒ ගෑනු දරුවා ගැන එහෙම කතා කලේ හරි පැහැදීමකින්. ඒ උනාට පුතා ඒ ගෑනු දරුවා ටිකක් මේ වැඩේ ගැන සැකෙන් බයෙන් ඉන්නේ කියලා මට හිතුනා.”

“ඒක සාධාරණයිනේ අම්මා.”

“ඔව්.. මං ඒක අසාධාරණයි කියලා කියන්නේ නැහැ. මං ඔයාගෙන් අහන්නේ අපි ඒ මිනිස්සුන්ට බලපෑමක් කරනවා වගේද. මට ඒක තේරෙන් නෑ  පුතා. අපි මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ගියපු හැම වතාවකම අපි දැක්කේ දෝතින්ම ඒ දේවල් බාරගන්න මිනිස්සු. ඒත් මේ දරුවා ටිකක් ආඩම්බරයිද කියලා මට හිතුනා.”

“අසරණකම දරාගෙනම ඉපදුණු මිනිස්සු නෙමෙයිනෙ අම්මා. කාටවත් අත නොපා ජීවත් උන අයනේ.  තමන් අවට ජීවත්වෙන තමන්ගෙම කියලා හිතුණු මිනිස්සු නිසා අසරණ වෙච්ච අය. එයාලට  කාගෙන්වත් දෙයක්  කඩා වඩාගෙන ජීවත් වෙලා පුරුද්දක් නෑ.”

“මටත් ඔය ටික ඔහොමම හිතුනා.”

තමාරා පැවසූයේ යුගාෂ්ව අනුමත කරමින්ය.

“අද මට ඒ ළමයා කතා කළා අම්මා..”

“ආ.. මොනවද කිව්වේ…”

“අම්ම ඔය කියපු ටිකම තමයි. අම්මගේ විස්තර කියල මට අම්මා ගැන හොයලා දෙන්න කියලත් කිව්වා.”

යුගාෂ් එසේ පැවසූයේ සිනහසෙමින්ය. එහෙත් ඒ සිනහවට හවුල් වන්නට හැකියාවක් තමාරාට  නොවූවාය. සත්‍ය සඟවා යුගාෂ් මේ කරන්නේ කුමක්දැයි ඇයට නොතේරේ..

“ඇයි අම්මා…”

“මං මුලින්ම ඒ ගෙදරට ගියේ ඔයාගේ ඉල්ලීමට. හැබැයි මට ඒ ගෙදරට ගියාට පස්සේ ඒ මිනිස්සුන්ට උදව් කරන්න සැබෑම වුවමනාවක් ඇති වුණා. ඒ වයසක අම්මා දැක්කට පස්සේ මට මතක් වුනේ ඔයාගෙ ආච්චි අම්මව. ඔයාගේ ආච්චි අම්මටත් මම නිසා මලක් පහනක්වත් පූජා කරගන්න හිතේ සැනසීමක් තිබුණේ නෑ. මං මේ දේ කරන්න හිතුවේ ඔයාගේ ආච්චි අම්මා වෙනුවෙන්. එයාට පින් අනුමෝදන් වෙන්න.  ඒ උනාට මට හිතෙනවා මේක රැවටීමක් නේද කියලා. ඇයි පුතා අපට ඇත්ත කියලා මේ දේ කරන්න බැරි.”

“ඒ ගැන මගෙන්  මුකුත් අහන්න එපා අම්මා. අපි කරන්නේ යහපතක්නම් ඒ යහපත වෙනුවෙන් පුංචි බොරුවක් කලාට කමක් නෑ කියලා මගේ හිත කියනවා. සමහරවිට මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ මම කියලා දැන ගත්තොත් ඔය අර අම්මා කියන ආඩම්බර දරුවා එක පාරින්ම අපේ උදව් ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. මම හෙමිහිට දවසක එයාට  කියන්නම්. ඒ සේරටම වඩා ඔයා කවුද මම කවුද කියලා දැනගතපු දවසට ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් අම්මා.” 

“ඔයාට ඒ ළමයා නිතර නිතර කතා කරනවද…”

තමාරා ඇසුවේ තම පුතු දෙස විමසිල්ලෙන් බලන ගමන්ය. ඔහු ගැහැණු දරුවන් ඇසුරු කිරීම ඇයට පුදුමයක් නොවේ. මේ නිවස තුළ පවා එදවස අධ්‍යන කටයුතු සඳහා  ගැහැණු පිරිමි භේදයක් නොමැතිව විශ්ව විද්‍යාල දරුවන් නිතර රැඳුනු තැනකි. දහවලේදී  පමණක් නොව රාත්‍රීන්වලදී පවා ඔවුන් අධ්‍යයන කටයුතුවල යෙදුනේ එකටමය.

“නිතර කියලත් නෑ අම්මා. ඒ ළමයා හරි අහිංසක ළමයෙක්. තමන්ගේ තැනයි, ගරුත්වයයි, තත්ත්වයයි තුනම අවබෝධ කරගෙන ඉන්න ළමයෙක්. මිනිස්සු දෙයක් කැප කරන්නේ ඊට වඩා වටින දෙයක් ලබාගන්න කියලා එයාල හිතන එක පුදුමයක් නෙමෙයි.” 

“ඔයා කරපු කියපු දේකට කවදාවත් මම බාධා නොකලේ ඔයා වැරැද්දක් කරනවා මම නොදැකපු නිසා පුතා. ඒත් මේ වෙලාවෙ මේ කරන දේ ගැන…”

“ප්ලීස් අම්මා ඒ ගැන දෙපාරක් හිතන්න එපා. මාව විශ්වාස කරන්න. කවද හරි ආපස්සට හැරිලා බලද්දි අම්මා ගොඩක් සතුටු වෙයි මේ කරපු දේ ගැන…ප්ලීස් මේ වෙලාවේ මාව විතරක් විශ්වාස කරන්න.”

යුගාෂ් එසේ පැවසූයේ තමාරා ඉදගෙන උන් පුටුවේ කෙළවරකින් අසුන්ගෙනය. 

“අම්මගේ පුතා කවදාවත් වැරැද්දක් කරන කෙනෙක් නෙමෙයි…”

“ඔයා එහෙම කරනවනම් ඒක ඔයාගේ අඩුපාඩුවක් නෙමෙයි. මං ඔයාව හදපු විදිහේ වරදක්…”

තමාරා තම දෑස් මානයේ උස්මහත් වූ තරුණයාගේ හිස අත ගෑවේ සිනහ සෙමින්ය. වසර විසි අටක් ගතව කියත් එදා මෙදා තුර ඔහු ගැන ආඩම්බර විය හැකි යමක් මිස කිසිවෙකුගෙන් නොහොඳක් අසන්නට ලැබුණේ නැත. ඔහුගේ වර්තමානයත් ඒ අයුරින්ම ගෙවී යතැයි තමාරා විශ්වාස කළේ එනිසාය. 

“ඇත්තමයි යුගාෂ් කියන්නේ පුෂ්පානන්දගේ පුතෙක්ද කියලා දෙපාරක් හිතන්න වෙන තරමටම ඒ දරුවා හරි ගුණ යහපත් නංගි. පුෂ්පානන්ද ඔයාට, ඔයාගේ තාත්තට දීපු මානසික වධ වේදනාවල හැටියට යුගාෂ් පුතෙක් නොවී දුවෙක් උනානම් කියලා අපි ඒ දවස්වල හැම තිස්සෙම හිතුවා. ඒ උනාට යුගාෂ් කියන්නේ ඒ මිනිහගේ ගතිගුණ ගෑවිලාවත් නැති දරුවෙක්..”

පසුගිය දිනක මංගල උත්සවයකදී හමු වූ ඥාතී කාන්තාවක පවා පැවසූයේ ඒ අයුරෙන්ය.  ඔහු උන්නේ සුවපහසු අසුනේ සිය දෙකකුල් දිගහැරගෙන තමාරාගේ උකුල මත හිස තබාගෙනය. තමාරාගේ ඇඟිලිතුඩු ඒ හිස අතරේ ඇවිද ගියේ සීරුවටය.  ගැහැණියක ලෙස මවක ලෙස තමා කළ කැපකිරීම් දෙස ආපසු හැරී බලද්දී තමාරාට දුකක් නොවූයේ යුගාෂ් යහපත් පිරිමියෙකු ලෙස සමාජ ගත කරන්නට හැකි වූ නිසාය.

“මේ ගමන්ම තව කාරණයක් මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා පුතා.”

“කියන්න අම්මා..”

“වයස කියන්නේ අපිට අතින් අල්ලලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි . හරිනම් මේ වෙද්දි ඔයා කසාද බැඳලා මාව ආච්චි අම්මා කෙනෙක් කරලා තියෙන්න ඕන.”

“අම්මා කොහෙන් ගියත් වටයක් කරකැවිලා ඕනම තැන අල්ල ගන්නවා නේද..”

“මේවා ඔයාටවත් මටවත් පැනලා යන්න පුළුවන් දේවල් නෙමෙයි පුතා. අපි සමරසේකර අංකල්ට කියමුද ඔයාට ගැලපෙන කෙනෙක් හොයන්න කියලා.”

සමරසේකර යනු තමාරාගේ ඥාතියෙකි. රජයේ කාර්යාලයක සේවය කළ ඔහු මඟුල් කපුකම් සඳහා තරමක් ප්‍රසිද්ධය.ඥාතී පවුල්වල දරුවන් කිහිප දෙනෙකුටම සහකරුවන් සහකාරියන් සොයා දී තිබුණේ ඔහුය. අද ඔවුන් සාර්ථක පවුල් ජීවිත ගෙවමින් සිටී.

“අවුරුදු විසි  අටක් වෙනකල්ම මම ඔයාට අවසර දුන්නා ඔයා කැමති කෙනෙක් හොයා ගන්න. ඔයා එහෙම කරන පාටක් නැහැනේ. දැන් ඉතින් මට හරි ඒ යුතුකම කරන්න ඉඩ දෙන්න.” 

“අපි තව ටිකක් ඉමු අම්මා.”

“දැන් කාලේ ගෑනු දරුවන්ට වගේම පිරිමි දරුවන්ටත් අවුරුදු තිහ පැන්නට පස්සේ කසාද හොයන්න අමාරුයි. අනිත් එක ඔයාලා වයසට යනකොට දරුවො පොඩි වෙලා හිටියොත් ඒක දෙපැත්තටම අසාධාරණයක් පුතා.” 

“අම්මා මං පොඩි ඉල්ලීමක් කරන්නද. මගේ ජීවිතේ ගැන අම්මා ගතපු තීරණ කවදාවත් වැරදුනේ නෑ. ඒ නිසා අම්මා මට කෙනෙක් හොයනවා කියන තීරණයට මට අකමැති වෙන්න හේතුවකුත් නෑ. හැබැයි මට තව ටික කාලයක් දෙන්න.”

“ඔයා ඕන කාලයක් ගන්න පුතා. කෙනෙක් හොයන එක වරදක් නැහැ. එතකොට ඔයාලට කතාබහ කරලා ටික කාලයක් ඇසුරු කරන්න පුළුවන්නේ.”

“අම්ම දන්නවනේ පිළිවෙලකට හදාගෙන ආපු  ජීවිතේ හැඩි කරගන්න මං කැමති නෑ. ඒ නිසා ඒ තේරීම මංම කරන්න උත්සාහ කරන්නම්. බැරිවෙලා ගියපු තැනකදි අනිවාර්යෙන්ම මං අම්මට කියනවා. මට ඕනේ දුකේදිත් සතුටෙදිත් මාව දරා ගන්න පුළුවන් කෙනෙක් අම්මා. මේ අවිවේකී  ජීවිතේදි  මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. සමහර විට ඒ කෙනා  දුප්පත් කෙනෙක් වෙන්නත් පුළුවන් පොහොසත් කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් මගේ තෝරා ගැනීම ටිකක් වෙනස් එකක් වෙයි අම්මා. මං හොයන්නේ මට පහසුම තැන.”

ඔහු සියල්ල පැහැදිලි කළේ තමාරාට තවත් යමක් පවසන්නට ඉඩක් ඉතුරු නොකරමින්ය. යෝජනාවක් මත සිදු වූ තමාගේ විවාහය සාර්ථක එකක් වූයේ නැත. අඩුම තරමින් ඒ ජීවිතය තුළ සතුට සැනසීමක අංශුමාත්‍රයක්වත් නොවීය. එසේ වී තිබියදී ඔහුගේ විවාහයට බලපෑම් කරන්නට තරම් අයිතියක් තමාට නොවේයැයි තමාරා විශ්වාස කළාය. වඩා වටින්නේ යුගාශ්ගේ සතුටය.

“කවද හරි මං හොයා ගන්නේ ඔයාට මටත් වඩා ආදරය කරන ලේලි කෙනෙක්. ඒක මං අද ඔයාට පොරොන්දු වෙනවා.”

“බලමුකෝ…..”

සමාරා  එසේ පැවසූයේ විශ්වාසයත් අවිශ්වාසයත් අතර දෝලනය වෙමින්ය. බොහෝ මිනිසුන්ගේ සැබෑ ස්වරූප ඉස්මතු වන්නේ ඔවුන් සමග ජීවත් වෙද්දීය.  කාන්තාව යනු නිවස තුල සාමය, සමගිය, සතුට, සැනසුම ආරක්ෂා කරන ගැහැනියයි. විවාහයෙන් පසුව සැමියාගේ නිවසට යන ගැහැනිය ශ්‍රියාකාන්තාවක විය යුතු යැයි තමාරා විශ්වාස කළාය. තමා අල්ලාගෙන සිටිනා මේ අත අත් හැරීමට දිනක සිදුවන බව විශ්වාසය. ඒ අත්හැරීම ලෙහෙසි පහසු එකක් නොවන බවද විශ්වාසය.

ඕ තම පුතණුවන් අසලින් නැගී සිටියේ සෑම අම්මා කෙනෙකුගේම සිතෙහි ඇති විය හැකි ඒ බියත් සැකයත් දරාගෙනය. 

තත්පර කිහිපයකට පසු නැගී උන් තරුණයා මේසය මත වූ ජංගම දුරකථනය අතට ගත්තේ සිත තුළින් ඉපිද ආ හිතුවක්කාර හැඟීමට ඉඩ දෙමින්ය. දුරකථනය නාද වූ පළමු තත්පරයේම එහා පසින් ඇසුණේ යුවතියගේ හඬය. 

“සර්…..”

තරුණයා තත්පර කිහිපයක් නිහඬ වූයේ මෙවේලෙහි ඇමතුමක් ලබා දෙන්නට හේතුවක් සොයන්නටය. දැන් මේ කොලු හිත ඔහුටත් අකීකරුය.

“හෙට දවස මට දෙන්න අපූර්වා. ඔයාගේ වැඩේට වෙන කෙනෙක් යොදවන්නෙ නැතුව මමම හොයලා බලන්න හිතුවා.”

“අනිත් තැන්කියු සර්…”

“අපූර්වා රෑට ත්‍රී වීලර් එක හයර් කරන්නේ නෑ නේද…”

“අනේ නෑ මම හය වෙද්දි ගෙදරට එනවා. එතන ඉන්නේ ඔක්කොම තාත්තගේ යාළුවොනේ ගොඩක් වෙලාවට දවල් දවසේ ළඟට එන හයර් එයාලා මට දෙනවා. එයාලා නොහිටියනම් මේ වගේ දෙයක් කරන එක ලේසි නෑ. කොහොම උනත් හය වෙද්දි ගෙදර එන්න පුළුවන් විදිහට මම නිදහස් වෙනවා.”

“ඒක හොඳයි. මොකද මේ වෙලාවේ කරන්නේ.”

“ගෙදර අස් කරලා අතු ගෑවා. රෑට කන්නත් ඉව්වා.”

“මොනවද අප්පේ ඉව්වේ..”

“හාල්මැස්සො තෙල් දාලා පොල් සම්බෝල හැදුවා..”

“ෂා කටට කෙළත් උනනවා. ඒක මරු කෑමක්.”

“පුදුමයි…”

“ඇයි..”

“සර් වගේ කෙනෙක් එහෙම කිව්වා. ඒක සාමාන්‍යයෙන් අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල්වල කෑම වේලක් නේ.”

“දුප්පත් කියන්නේ ඔය ජීවිත වලට නෙමෙයි අපූර්වා. අපේ  මිනිස්සු ඒ වචනෙට දෙන අර්ථකථන වැරදියි.  ඔයා විශ්වාස කරනවද ගොඩක් දවස් වලට අපේ ගෙදර රෑ කෑම වේලත් ඕකමයි කියලා. සමහර දවසට හාල් මැස්සෝ වෙනුවට කරවල තියෙනවා එහෙම නැත්තං මාළු හොද්දක් මාලු ඇඹුල් තියලක්  වගේ දෙයක් තියෙනවා. ඉඳ හිට දවසක ඔය මෙනූ  එක චුට්ටක් වෙනස් කරන්න ඕන උනහම එක්කෝ පරිප්පු හොද්දක් හරි අල හොද්දක් හරි  එකතු වෙනවා. නැත්නම් බත් වෙනුවට ඉදි ආප්ප ආදේශකයක් වෙනවා. ඒකට  මිරිස් කරලක් බැදලා  ගත්තහම දිව්‍ය භෝජනයක් තමයි ඉතින්..”

“අපරාදේ ලෝයර්  කෙනෙක් නොවී චෙප් කෙනෙක් වෙන්නයි තිබ්බේ..”

අපූර්වා⁣ට එසේ කියවුනේ මිතුරෙකු සමග කතා කරනවාවන් සැහැල්ලුවක් සිතෙහි වූ නිසාය. එහෙත් ඒ වදන්  සුදුසු නොවේයැයි ඇයට සිතුණේ ඊළඟ තත්පරයේ සිතෙහි ඇති ඇතිවූ පසුතැවීමක්ද සමඟින්ය.

“මට පුළුවන් මෙනූ  එක කියන්න විතරයි  අපූර්වා. ඇත්තටම කිව්වොත් හදිස්සියකට හොද්දක  ලුණු බලන්නවත් මම දන්නෙ නෑ..”

එහා පසින් එසේ ඇසුණේ උස් සිනහ  හඬකට පසුවය. දෙදෙනාටම ඔවුනොවුන් කවුරුන්දැයි අමතකව ගිය ගණනය. 

“ඔයා මේ ගැනම හිත හිත විඳවාවි කියලා හිතලයි මං කතා කලේ. හෙට දවස ඇතුළත අපිට නිවැරදිම තොරතුරු හොයා ගන්න පුළුවන්. එතකල් මේ හැමදේම හොඳට සිද්ධ වෙනවා කියලා හිතල සැනසීමෙන් ඉන්න.”

පුදුමය. ඔහු එසේ පවසන්නේ තමාව කියවූවා සේය. මෙවේලෙහි ඈ උන්නේත්  ඒ ගැන සිතමින්ය. තත්පරයක්වත් ඒ ගැන නොසිතා සිටින්නට නොහැකි තරමටම ආච්චී නිවස සෑදීම ගැනම කියවමින් උන්නාය.

(යළිත් හමු වෙමු ආදරයෙන් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here