ඔබෙ ආදරෙන් මා දැවේ – 7

0
2154

“ඔයා දැන් ඉස්සරට වඩා වෙනස් ජාන්වි” කියා මනහාර කියන්නට යෙදුනේ දෙදෙනා අතර සබඳතාවය පටන් ගෙන අවුරුද්දක් පමණ ගෙවී යද්දීය. ඒ වනාහී පාසල් ප්‍රේමයක් අස්සේ ජාන්වී හිර වී උන් වැඩිම කාලය විය. උසස් පෙළ විභාගය තිබුනේ තව අවුරුද්දකින් පමණ ලං වීය. මේ අවුරුද්ද වනාහී තමන්ගේ අනාගතය කොයි අතට යනවාදැයි තීරණය කරන්නට හැකි තීරණාත්මක අවුරුද්දක් බව ජාන්වි මෙන්ම මනහාර ද නොදැන උන්නා නොවේ. කොහොමත් හිත අස්සේ කිසිත් බරක් නොතිබුණ ජාන්වි නම් උන්නේ එක පිම්මෙන්ම ජපුර විශ්ව විද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටියට පැනගන්න බලාපොරොත්තුවෙන් ය. 

මනහාරට එදා මෙදා තුර උවමනා උනේ නීතිඥයෙක් වන්නටය. ගමේ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ හොඳින්ම සමත් වී උසස් පෙළ හදාරනු පිණිස කොළඹ පාසලකට එද්දීත් ගමේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයා වුණ සද්ධානන්ද මහත්තයා කිව්වේ එකම එක දේකි.

“ගම් දොරවල් අත ඇරලා කොළඹ ගිහින් ඉගෙන ගන්න එකේ මයි පුතේ නිකන්ම උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයෙ යනවයි කියල නෙවෙයි හිතන්න ඕන, ඉහළම ලකුණු අරන් ඒ ඉස්කෝලෙයි මේ ඉස්කෝලෙයි දෙකේම නම්බුව උඩින්ම තියලා යනවයි කියලා” නිසාවෙන්ම හැමදෙයක්ම අස්සේ මනහාර පාඩම් වැඩ කටයුතු මග හැර ගත්තේ නැත. අනික් අතට ජාන්වි කොහොමත් තමන් විවාද කණ්ඩායමේ ඉන්නා එක ගැන ආඩම්බර වුන නිසාවෙන්ම මනහාර ඒ මග හැර ගත්තේද නැත.

එහෙත් කොහේ හෝ තැනක මනහාරට සතුටත් ජීවිතයත් මග හැරී ගොස් තිබුණේය.

“මොකද්ද වෙනස?” කියා ජාන්වි ඇසුවේ එක්තරා විදියක නොරිස්සුමකිනි. ඒ කතාබහේ යෙදෙද්දිත් ජාන්වි උන්නේ දුරකතනය අස්සේ මුහුණ ඔබාගෙන කාගේ හෝ පෝස්ටුවකට කමෙන්ට් කරමින් බව මනහාර නොදැක්කා නොවේ.

“ඔයා මාව ගණන් ගන්නෙ නෑ වගේ” කියා මනහාර කිව්වේ ජාන්විගේ පහතට නැඹුරු වුණ මුහුණ දිහා බලාගෙන උනත් එක තප්පරේකට හෝ හිස ඔසවා මනහාර දෙස බලා පිළිතුරු දෙන්නවත් උවමනාවක් ජාන්විට තිබ්බේ නැත. 

“ඔයාට ඉතින් කාලෙකට ඔය වගේ මොකක් හරි මල විකාරයක් ඔලුවට දාගන්නෙ නැතුව බෑ නේද?” කියා ජාන්වි කිණ්ඩියට මෙන් අහද්දී ඇත්තටම ඒ වචන ඇවිත් වැදුනේ මනහාරගෙ හිතේ කෙළවරකම, වඩාත්ම රිදෙන තැනකටය.

“ඇයි මොනවද මම තව ඔලුවට දාගත්ත මල විකාර?”

“මොනවද? වෙලාවකට කොටට අඳින්න එපා කියනවා. කොල්ලො එක්ක ඕනවට වඩා කතාවට යන්න එපා කියනවා. ගොඩේ කොල්ලෙක් වගේ හැසිරෙන්න එපා මනහාර මේ කොළඹ හොඳම ඉස්කෝලෙට යන අතරෙ”

“මං ඔයාට කොටට අඳින්න එපා කිව්වෙ එක දවසනෙ ජාන්වි. ඔයා එදා ඒ ඇඳන් ආව ස්කර්ට් එක ළමයි දාහක් විතර ඉන්න ක්ලාස් එකකට ඇඳන් එන්න සුදුසු එකක් නෙවෙයි. ඔයා වාඩි උනාම ඔයාගෙ කකුල් දෙක සහමුලින්ම වගේ එලියෙ. ඒක අඳින්න එපා කියලා මම කිව්වෙ ක්ලාස් යද්දි. ඔයා ඒක ඔයාලගෙ වාහනේ කොහෙවත් යද්දි අඳින්න එපා කියලා මම කිව්වෙ නෑනෙ. කොල්ලො ඔයාලගෙ මූනට හොඳට කතා බහ කරලා හිටියට නැති තැන්වල ජරා කතා කියලා හිනාවෙනවා ජාන්වි. මං ඒකයි ඔයාට කිව්වෙ. ඔයාගෙ හොඳට මිසක් නැතුව මේ මට ඔයාව කන්ට්‍රෝල් කරන්න නෙවෙයි”

“මගේ හොඳට මිසක් කන්ට්‍රෝල් කරන්න නෙවෙයි කිව්වට ඔයා ඔය කරන්නෙ මාව කන්ට්‍රෝල් කරන්න හදන එක තමයි. අනික කොල්ලො තැන් තැන්වල මොනවා කිව්වම මට මොකද? මට ඇහෙන්නෙ නෑනෙ. මගෙ ඇඟේ ඇවිල්ලා ඇලවෙන්නෙත් නෑ”

“ඒ උනාට මට ඇහෙනවා. ඔයා හිතන්නෙ මට ඒව දරාගන්න ලේසි කියලද. ජාන්වි මං මේ අනික් කොල්ලො වගේ ඔයාව ආතල් එකට ආශ්‍රය කරනව කියල හිතන්න එපා. මං ඔයාට ආදරේ කරන්නෙ ඇත්තටම.මං ආස නෑ මගෙ කෙල්ලට කොහෙවත් ඉන්න කොල්ලො වනචර කතා කියනවට”

“ඉතින් ඔච්චර උන් කියන ඒව අහන් ඉන්න බැරි නම් ඔයා උන්ගෙ කටවල් වහන්නකො”

“මට උන්ගෙ කටවල් වහන්න බැනෙ ජාන්වි. අපිට මිනිස්සු හදන්න බෑ. හැදෙන්න ඕන අපි”

“අන්න ඒක මට වඩා හොඳට ඔයා ඉගෙන ගන්න”

“මොකද්ද?”

“ඔයාට මිනිස්සු හදන්න බෑ හැදෙන්න ඕන ඔයා කියන එක” කියා ජාන්වි එතනින් නැගිට ගියේ කිසිත් සමුගැනීමක් නැතුවය.මනහාර නිහඬවම ජාන්වි තමන්ව මග හැර යන අයුරු බලා උන්නේ කරන්නට හෝ කියන්නට කිසිම දෙයක් නැති තැනය. 

“ඒකිට උඹට කලිනුත් කොල්ලො උන්නා. එහෙම එකේ උඹ මේ මෝඩයා වගේ සත්‍ය ප්‍රේම භෘංගරාජයා වෙන්න යනවා. යකෝ ආතල් එකක් ගනින් අවුලක් නෑ. ඒ උනාට මේ හෙන සිරා ලව් එකක් නැතිවෙච්ච ලෙවල් එකේ ගොඩයා වගේ රඟපාන්න යන්න එපා. කෙල්ලන්ට එපා වෙනව එහෙම උනාම, අනික මේ කොළඹ කෙල්ලො හොයන්නෙ බං හෙන කූල් කෙල්ලො. උඹේ ඔය ගමේ කෙල්ලො වගේ ඉස්කෝලේ කාලෙදි යාලුවෙලා කසාද බැඳලා ළමයි හදන සීන් වල මුන් නෑ” කියා යාලුවො කියද්දී “ඇත්තටම ජාන්වි මාත් එක්ක යාලු උනේ විනෝදෙටද?” කියා හිතුණත් මනහාර තමන්ගේම හිත සනසගන්න පිණිස “නෑ නෑ එහෙම වෙන්න බෑ. කාට එහෙම කරත් එයා මට එහෙම කරන්නෙ නෑ” කියා හිතුවේය.

“ජීවිතේ අපි හැමෝම කරන ලොකුම වැරැද්දක් තමයි, ඇස් ඉස්සරහාම හැමදේම පෙනී පෙනීත්, අපේ හිත හදාගන්න ඒක එහෙම නෑ කියලා හිතන එක. ආදර සම්බන්ධකම් වලදී අපි මේ වැරැද්ද ගොඩක් කරනවා. වෙන කෙනෙක්ගේ වැඩ නිසා අපිට දුකක් දැනෙනවා කියලා දැන දැනත්, අපි හිතන්නේ “අපිට විතරක් එහෙම වෙන්නේ නෑ” කියලා. මේ වගේ බොරු බලාපොරොත්තු නිසා අපි තවත් ඒ සම්බන්ධෙටම කොටු වෙනවා. අන්තිමට වෙන්නේ අපිටත් නොදැනීම අපේ ජීවිතේ විෂ සහිත තැනකට යන එකයි. මේ හැමදේම නවත්තගන්න තියෙන එකම විදිය තමයි, ඇත්තටම මුහුණ දෙන එක. අපි ඒකට බය වුණත්, ඒකම තමයි අපිට ඇත්ත සතුටක් ගේන්න පුළුවන් එකම පාර. බොරුවක් ඇතුලේ ඉන්නවට වඩා, තනියෙන් හිටියත් ඇත්ත එක්ක ඉන්න එක ගොඩක් හොඳයි. අපේ හිතට ඒක පුරුදු කළොත්, අපිට ජීවිතේ හරි පාරට ගන්න පුළුවන්.

මිනිස්සු විදියට අපිට හැමෝටම තියෙන ස්වභාවයක් තමයි කැමති දේ විතරක් දකින එක. ඒක අපේ ජීවිතවලට සැනසීමක් ගෙනාවත්, තීරණ ගන්න තැන්වලදී ඒක ලොකු ප්‍රශ්නයක්. අපි හිතන්නේ හිත කියන හැම දේම ඇත්ත කියලා. ඒත් ඇත්තටම එහෙම නැහැ. අපේ හිත අපිව රවට්ටනවා. විශේෂයෙන්ම ආදරය වගේ සංවේදී තැන්වලදී. “එයා කවදා හරි වෙනස් වෙයි”, “මට ආදරේ නිසා තමයි එයා මෙහෙම හැසිරෙන්නේ” වගේ දේවල් හිත හිත අපි ඇත්තටම අපේම හිතට වධ දෙනවා. ඇත්තටම කෙනෙක් වෙනස් වෙන්නේ තමන්ට ඕන වුණාම මිසක්, අපිට ඕන නිසා නෙවෙයි. ඒ නිසා, අනිත් අය ගැන හිතනවාට වඩා, අපිටම අවංක වෙන්න ඕන. අපිට ඇත්තටම සතුටින් ඉන්න පුලුවන්ද කියලා අපිම අපෙන් අහන්න ඕන.”

කියා උසස් පෙළ කලා විශයන්වල සිංහල උගන්වන අතිරේක පංතියේ ගුරුවරයා පාඩමක් අතරවාරයේ කියන්නට යෙදුණ ඒ වචන මනහාරට මතක් උනේ ජාන්වි ගැන කල්පනා කරද්දීය.

ඒ වචන කොච්චර ඇත්ත බව ගුරුවරයා එවෙලේ කියද්දී හිතුණත් ඒ වචන කිසිදාක තමන් විෂයෙහි ඇත්ත වනු ඇති බව මනහාර පිළිගත්තේ නැත.

සිතුවේත් නැත.

හැමදේම වෙන්නේ, හැම දුකක්ම එන්නේ ඒ හන්දාය.

අපි “හිතුවෙ නැති” හන්දාය.








LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here