“මොකද දැන් ඒ ළමයාට එන්න කිව්වේ? ඇවිල්ලා මොකක් ගැනද කතාකරන්න යන්නෙ?”කියා මනෝරමා අහද්දිත් අනිල් ධර්මවර්ධන උන්නේත් හිත අස්සෙන් ඇත්තටම එයට දෙන්නට ඕන උත්තරේ කුමක්ද කියා හිතාගන්න බැරුවය. තමන්ම මලිත් ට කතාකර එන්න කියූ එක ඇත්තකි. එහෙත් දැන් තමන් කතා කර යුත්තේ කුමක්ද කතාව පටන් ගන්නේ කොහොමද කියන එක ගැන අනිල් උන්නේ උභතෝකෝටියාක හිරවීය.
“කතාකරන්න යන්නෙ ඉතින් ඔය ළමයි දෙන්නගෙ ප්‍රශ්නෙ තමයි” කියා අනිල් කියද්දි රෑ නින්දට පෙර පුරුද්දක් ලෙස කොණ්ඩෙ පීරන මනෝරමා, පනාව අතේ තියාගෙනම අවුත් ඇඳ මත වාඩි වුඒ දිග හුස්මක් ගන්න ගමන් ය.
“අනේ මන්දන්නෙ නෑ. ලොක්කි කැම්පස් යද්දි මහන්සිවෙලා ඉගෙන ගද්දි මං බයේ උන්නෙ පොඩ්ඩිව කවදාවත් කවුරුවත් හොඳ මනුස්සයෙක්ට දීගන්න බැරිවෙයි කියලා ලොක්කි තරම් පෙනුමක්වත් ඉගෙන ගන්න පුලුවන්කමක්වත් පෙන්නුවෙ නැති හන්දා. අන්තිමේ මොකද්ද උනේ? කොච්චර ඉගැන්නුවත් වැඩක් උනාද ගන්න පුලුවන් මරි මෝඩ තීරණයක්නෙ ගත්තෙ” කියා මනෝරමා සුසුමක් හෙලද්දිත් අනිල් කරේ ඇඳ උඩ වාඩි වි ඉන්න ගමන්ම උපැස් යුවල ගලවා පිසදා කොපුවට දම සයිඩ් කබඩය උඩ තබන එකය.
“කොච්චර පොතේ පතේ දේවල් ඉගෙන ගත්තත් වැඩක් නෑ දරුවන්ට රටේ ලෝකෙ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගත්තෙ නැත්තම්” කියා අනිල් කියද්දි මනෝරමා වේගයෙන් ගත සලිත කරවමින් හැරුනේ හරියට අනිල්ගෙ කටෙන් වැරදි දෙයක් කියවුණාක් මෙන් ය.
“මේ විශ්ව විද්‍යාලෙ ගිය ළමයින්ට අපි කියලා දෙන්න ඕනද මිනිස්සු එක්ක ගැටෙන්නෙ කොහොමද කියන එක? මොලේ තියෙනවා කියලනෙ අපි හිතන් උන්නේ. මොකෝ අපි දැන් මේ අවුරුදු පනහක් හැටක් වෙනකම් ජීවත් උනේ ඔය උපාධි අරන්ද? අපෙ අම්මලා කියලා දීලද නෑනෙ? එහෙම එකේ මේ මෙයාලට ඕව තේරිච්ච නැති එකනෙ මට තියෙන පුදුමෙ” කියමින්ම මනෝරමා හිඳගෙන් උන් තැනින් නැගිට ගොස් කණ්ණාඩිය ඉස්සරහට වී වේගයෙන් වේගයෙන් කොණ්ඩය පීරන අයුරු දකිද්දී ඇත්තටම රිදුනේ අනිල්ගේ තට්ටයය.
“දැන් ඉතින් අපි ඕව කතාකරලා මොනවා කරන්නද ඒයි? අපි දැන් බලන්න ඕන මේ ළමයි දෙන්නගෙ මේ විරසකේ දුරු කරන්න අපිට මොනවද කරන්න පුලුවන් කියලා බලන එක” කියමින් අනිල් ඇස් දෙක පියාගත්තේ අද දවසට නියමිත සියලු දුක්ඛ දෝමනස්සයන් නිදි දෙව් දුව වෙත භාර දී පැය කිහිපයක හෝ සැනසුමක් අත්විඳගන්න උනත් අම්මා කෙනෙකු විදියට මනෝරමා උන්නේ එවන් තාවකාලික සැනසුමක් වත් ලබාගන්න පුලුවන් අඩියක නොවේ. මොක උනත් තමන් අම්මා කෙනෙක් ය. දුවෙක්ව සහකාරයෙකු අතේ ගෙදරින් පිටත් කර හැරියද අම්මා කෙනෙකුගේ හිතේ දුවෙක් ගැන තියන බය සැක වේදනාව නිමා වේයැයි කියන්නට කිසිවෙකුට නොහැක.
එය හරියට සිතේ හැමදාම දැවෙන අඟුරු කැබැල්ලක් තබාගෙන සිටිනවා වැනි බයකි සැකකි පිච්චීමකි. දරුවා සතුටින් සිටිනවා දුටුවද, ඒ සතුට තුළ කොයි මොහොතේ හෝ දුකක් සැඟවී සිට මතුවේදෝ කියා මවක නිරන්තරයෙන් සිතයි. දරුවා මොහොතක් කතා නොකර සිටියද, මවගේ සිතට දහසක් බිය හිතේ. දුරකථනයට ඇමතුමක් එන විට, එය දරුවාගෙන් නම්, සුබ ආරංචියක් වේවා කියා සිතින් ප්‍රාර්ථනා කරන්නේ නිරායාසයෙන්මය.
දියණියක නිවසින් පිටව යන විට, ඒ මව නොදනී දියණියට මොන වගේ ලෝකෙකටද යන්න සිදුවන්නේ ද, ඇයට මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද, ඇය කොයි වගේ මිනිසුන්වද හමුවන්නේ, ඇය ආරක්ෂිතද කියා සැමදාම හිතනවා යැයි කීම බොරුවක් නොවේ. ඒ හැඟීම, ඒ නොසන්සුන්කම කවදාවත් නැති වන්නේ නැත. මනෝරමා ගේ හදවතේ තිබුණේද එවන් නොනිදන බියකි. මුහුණට, හිත් වේදනාවට කොපමණ තරහකින් ජාන්වී ඇමතුවද, ඒ නපුරු වචන ලෙසින් එළියට මතුවන්නේ තමන්ගේ හිතේ ජාන්වි ගැන හිතේ තියන බය සැක බව දන්නේ මනෝරමා විතරය.
“ඒ ළමයා කතා කරේ මොන විදියටද?” කියා මනෝරමා අහද්දී වහගත්ත ඇස් දෙක අනිල් හැරියේ මේ කතාබහ ඉවර කරන්නේ නැතුව තමන්ට නින්දක් නොලැබෙන බව හොඳින්ම දැනගෙනය.
“මොන විදියටද කියන්නෙ ඉතින් වෙනදා කතා කරන විදියටම තමයි”
“එහෙම නෙවෙයි මනුස්සයො මං අහන්නේ නිකන් ඕනවට එපාවට වගේද එහෙම නැත්තම් නිකන් ඒ ළමයටත් මේ ප්‍රශ්නෙ විසඳගන්න උවමනාවක් තියෙනවා වගේද?”
“අනේ මන්දා මනෝ” කියා අනිල් ධර්මවර්ධන දිග හුස්මක් අතාරිද්දි ඒ වනාහී අයහපත් දෙන්න වෙන්නට පෙර නිමිති බව තේරුම්ගන්න මනෝරමාට අපහසු වූයේ නැත.
“ඔයා කතා කරෝතින් ඒ ළමයව කැමති කරවගන්න පුලුවන් වෙයිද ධර්මෙ ආයෙ දෙන්නට එක්කහු වෙන්න? ඔයාට මතකනෙ අපි දෙන්න පවා කසාද බැන්ද මුල් කාලෙ ප්‍රශ්න නොතිබ්බ නෙවිනෙ තේරුම්ගන්නකම්. අපි එහෙම ඉවසුව දරාගත්ත එකේ තමන් යාලු වෙච්ච මනුස්සයා එක්ක කසාද බැඳලා යන්න පුලුවන් වෙච්ච දෙන්නෙක්ට ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න බැරි වෙයිද?”
“ප්‍රශ්නෙ තියෙන්නෙ ප්‍රශ්නෙ කසාද බැඳලා විසඳගන්න බැරි එක නෙවෙයි මනෝ”
“එහෙනම්? එහෙනම් මොකද්ද ප්‍රශ්නෙ?”
“මෙහෙමයි මෙතන අපේ කෙල්ලගෙත් වරදක් නෑ කියල කියන්න අපිට බෑ. ඒ මලිත් හරි සෙල්ලක්කාර කොල්ලෙක් විත්තිය මම ඒ හාදයව දැක්ක වෙලෙත් ඔය ළමයට කිව්වා. ඒ උනාට අපි කියන දේවල් ඇහුවෙ නෑනෙ. අන්ධ වෙලා වගේනේ උන්නෙ. මං ඒත් කල්පනා කරා අපේ ළමයගෙයි ඒ ළමයගෙයි අදහස් එහෙම මේ අහසයි පොළොවයි වගේ වෙනස් වෙද්දි කසාද බැඳලා දෙන්නා කොහොම ජීවත් වේද කියලා?
ඒත් ඒ කාලෙ කිව්වෙ කොහොමද මලිත් හරි හොඳයි, එයා මං වෙනුවෙන් ඕන දෙයක් කරාවි, මට එයාව වෙනස් කරගන්න පුලුවන් කියලා. මනෝ මිනිස්සු එහෙම තව කවුරුවත් වෙනුවෙන් වෙනස් වෙන්න කැමති වෙන්නෙ නෑ කියන එක මේ විශ්ව විද්‍යාලවල ගිය ළමයි පවා තේරුම්ගත්තෙ නැති එකයි මට හිතාගන්න බැරි. ඒ මලිත් කියන්නෙ ජාන්වි ට ආයෙ එන්න පුලුවන් කියලා, හැබැයි මලිත් ගෙ ජීවිතේ, ඒ මනුස්සයා ජීවත්වෙන පිළිවෙල වෙනස් කරන්න වද දෙන්නෙ නැත්තම්”
“ඉතින් ඔයා මොකද්ද කිව්වේ?”
“මට ඉතින් එවෙලෙ ඒකට කියන්න දෙයක් නැති හන්දා වගේම ඕව මේ ෆෝන් එකෙන් කතාකරලා විසඳගන්න පුලුවන් දේවල් නොවෙන හන්දා තමයි මම කිව්වෙ ගෙදර ඇවිල්ල කතා බස් කරමු කියලා”
“අනේ මන්දන්නෙ නෑ ධර්මෙ, මොන පවක් පල දීලද මේ ළමයට මෙහෙම උනේ කියලා. කුරුල්ලෙක් වගේ නිදහසේ උන්න දරුවනෙ” කියා මනෝරමා වැලපෙද්දී ඒකට කියන්නට දෙයක් අනිල්ට හැබෑවටම තිබුණේය.
“දරුවන්ට ඕනවට වඩා නිදහස දෙන එකත් ඇත්තටම ප්‍රශ්නයක් මනෝ. සමහර වෙලාවට අපි හිතනවා දරුවන්ට හැමදේටම නිදහස දුන්නම එයාලා හොඳට හැදෙයි කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඕනවට වඩා නිදහස ලැබුණාම දරුවෝ වැරදි පාරේ යන්න පුළුවන්. ඒක හරියට මල් පැළයකට ඕනවට වඩා වතුර දැම්මා වගේ. වැඩියෙන් වතුර දැම්මොත් පැළේ කුණු වෙලා යනවා වගේ, ඕනවට වඩා නිදහස දුන්නොත් දරුවෝ පාලනයකින් තොර වෙනවා. දරුවන්ට දේවල් තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා, හැබැයි දෙමව්පියෝ විදියට අපි දන්නවා නේද මේ ලෝකේ හැටි?
විශේෂයෙන්ම ගෑනු ළමයෙක්ට තියෙන්න පුළුවන් නරකම දේ තමයි අනිත් අයගේ අවධානය දිනාගන්න තියෙන උවමනාව. සමහර වෙලාවට මෙයාලා හිතනවා හැමෝගෙම අවධානය ගන්න එක හොඳයි කියලා. ඒත් එහෙම අවධානයක් ගන්න ගිහින් නොදැනුවත්වම වැරදි පාරේ යනවා. ඔයාට මතක නේද ඉස්කෝලේ යන කාලෙත් ඔය දරුවා කොච්චර නම් පිරිමි ළමේක් දැක්කම ඕනවට වඩා හිනවට කතාවට යනවද කියලා? මතකනෙ අර ස්කූල් වෑන් එකේ මිස් කිව්වා මෙයා ඕනවට වඩා ඒ ඩ්‍රයිවර් එක්කත් කතාවට යනවා කියලා. අන්තිමේ ඒ මිනිස්සු වයසක අන්කල් කෙනෙක්ව දැම්මෙ. ඕනවට වඩා අවධානය හොයනකොට, හොඳ නරක තෝරලා බලන්නේ නැතුව ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා. ඒක අන්තිමට තමන්ගේ ජීවිතේටම ලොකු හානියක්. හැම මිනිහෙක්ම එක වගේ නෙවෙයි කියන එක මේ දරුවා විශ්ව විද්‍යාලෙ ගිහිල්ලත් තේරුම් ගත්ත නැති එකයි මට හිතාගන්න බැරි. මේ සමාජයේ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා. හැමෝම අපිට හොඳ හිතින් සලකන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ කියන එක තේරුම් ගත්තෙ නැත්තෙ ඇයි කියන එක කැම්පස් ගිහිල්ල අනන්ත මිනිස්සු ආශ්‍රේ කරාට පස්සෙත් මේ ළමයට තේරිච්ච නැති එකනෙ පුදුමෙ
අම්මා කෙනෙක් හැටියටත් තාත්තා කෙනෙක් හැටියටත් අපිට කරන්න පුළුවන් දරුවන්ට සීමාවක් එක්ක නිදහස දීලා, එයාලට හොඳ නරක කියලා දෙන එක. ඒ වගේම, හැමදාම එයාලාගේ ළඟ ඉඳන් මඟ පෙන්වීමක් දෙන එක. මේ ලෝකේ ජීවත් වෙන්න ඕන විදිය ගැන කියලා දෙන එක. එහෙම නොකළ හින්දද අපේ දරුවන්ට මෙහෙම වුණේ කියල හිතෙද්දී හිතට වාවන්නේ නැහැ මනෝ.
එහෙම වෙලාවට මට හිතෙනවා අපි මව් දෙමව්පියො විදියට අපේ යුතුකම් ඉස්ට කරලා නැද්ද කියලා”