මුලින්ම උසාවි ශාලාවට ඇතුළු වූයේ යුගාශ්ය. ඉන් පසු පිළිවෙලින් තීක්ෂණත් අමායාගේ මව්පියන් දෙදෙනා සහ ඇගේ පාසලේ විදුහල්පතිවරයාත් විය. පුෂ්පානන්ද උසාවි ශාලාවට පැමිණියේ විනාඩි කිහිපයක් ඉක්ම ගියාට පසුවය.
වෙනදා ඔහුගේ මුහුණෙහි වූ ගාම්භීර පෙනුමවත් ඒ ගමනෙහි වූ ගාම්භීර කමවත් නුදුටු යුගාශ් තම අසුනෙන් නැගී සිටියේ කලින් සිතා මතා සැලසුම් කර නොවේ. අප්පච්චී පසුපසින් පැමිණියේ පංචාලිය. ලිපි ගොණු සියල්ල වූයේ ඈ අතය.
“ගුඩ් මෝර්නින් අප්පච්චි…
“ගුඩ් මෝර්නින්..”
පුශ්පානන්ද එසේ පැවසූයේ යුගාශ්ට අසුන් ගන්නයැයි සිය දකුණතින් සන් කරමින්ය.
සේනකත් දයාලුත් ඔහුගේ සගයන් පිරිසත් උසාවි ශාලාවට පැමිණියේ ඉන්න විනාඩි කිහිපයක් ඉක්ම ගියාට පසුවය.
සේනකත් දයාලුත් අප්පච්චි අසලට පැමිණ යමක් කතා කරන අයුරුත් අප්පච්චි ඔවුනට යමක් පැහැදිලි කරන අයුරුත් යුගාශ් බලා සිටියේ යටැසින්ය. දින කිහිපයක් තුළදී ඔහු සතු තේජවන්ත බව කොතැනක අතුරුදන් වූවාදැයි සිතමින් උන් තරුණයා සන්සුන් වූයේ තීක්ෂණගේ බැල්මෙන්ය.
“කිසි දෙයක් අවුලක් කරගන්න එපා. සමහරවිට ඒ අවුල නිසාම උඹ පරදින්න පුළුවන්. උන්ට ඕනේ ඒක වෙන්න පුළුවන්”
යුගාශ් එවර හිස වැනුවේ තම මිතුරාට එකඟවය.
දයාල්ට විරුද්ධව වූ සාක්ෂි එකින් එක දිග හැරෙන්නට වූයේ යුගාශ්ගේ වේගවත් වචන හරඹය මැදදීය. ඒවා අතර ඡායාරූප හඬ පණිවිඩ හා කෙටි පණිවිඩ ආගිය තැන්වල බිල්පත් හා විස්තරද විය. සේනක සහ දයාල් බලා සිටියේ දෑස් විසල් කරගෙනය. ‘දැන් ඉතින් අපට ගැලවිල්ලක් නෑ…’ වැනි බැල්මක් ඒ දෑස් තුළ විය. අවසන යුගාශ්ට දයාල්ගෙන් ප්‍රශ්න කරන්නට අවසර ලැබිණ. කොහොමටත් නිහඬ වූ උසාවියේ එකිනෙකාගේ හදවත් ලබ් ඩබ් හඬින් ගැහෙන රාවය පවා පිටතට ඇසෙමින් තිබිණ. උවමනාවෙන්ම උසාවි ශාලාව තුලට පැමිණ සිටි ප්‍රසිද්ධ නීතිඥයන් කිහිප දෙනෙකුම බලා සිටියේ යුගාශ් වසන හසුරවන ආකාරය දෙසය.
“ඔබ මේ තැනැත්තිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගත්තේ ඇයව අනාථ කොට දමා හිතා මතාම ඇයව මඟ හැරීමේ උවමනාවෙන්ද..ඒ හැසිරීම කාලයක් තිස්සේම ඔබේ විනෝදාංශයක් ලෙස පවත්වාගෙන ආ දෙයක්ද…”
යුගාශ් එසේ අසද්දී දයාල් පුෂ්පානන්ද දෙස බැලුවේය. ඒ දෑස් ඔත්සේ ඇවිද යමින් යුගාශ්ගේ දෑස් ද පුෂ්පානන්ද වෙත යොමුවීය. දයාල් දෙස බලාගෙනම ඔහු උන්නේ වෙනමම කල්පනාවකය.
“ඔබෙන් මම ප්‍රශ්නයක් ඇහුවා..ගරු උසාවියට උත්තර දිය යුතුයි…”
“මම වරද පිළිගන්නවා…..”
උසාවියට පැමිණි හැටියේම පුෂ්පානන්ද සේනකටත් දයාල්ටත් පැවසූයේ යුගාශ් බිඳ හෙලිය නොහැකි සත්‍ය සාක්ෂි උසාවියට ඉදිරිපත් කළහොත් වරද පිළිගෙන නිහඬ වන ලෙසය.
සැබවින්ම දයාල් සිටියේ කිසිවක් තීරණය කරගත නොහැකිවය. අමායාගේ ජංගම දුරකථන දත්ත විනාශ කලාට එහි වන සියලු සාක්ෂි ඇය සූක්ෂම ලෙස ආරක්ෂා කරගෙන තිබිණ. මේ සියල්ලම යුගාශ්ගේ අණු දැනුමෙන් සිදු වූ ඒවා විය යුතුය.
“ඔබ වරද පිළිගන්නේ අමායාව රවටා ඇයගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගත්ත එක ගැනද? එහෙම නැත්නම් මේ වරදකාරී හැසිරීම ඔබේ විනෝදාංශයක් කරගත්ත එකටද…?”
“ගරු උසාවියෙන් මම සමාව ඉල්ලනවා..මගේ උගත් නීනීඥ මහතාට අමතක වෙලා විත්තියේ පාර්ශවය වරද පිළිගත්තාට පසුව තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සදාචාරාත්මක නොවන බව. ගරු උසාවිය ලබාදෙන ඕනෑම දඬුවමකට මේ වෙලාවේ විත්ති පාර්ශවය යටත් වෙන්නට සූදානම්. අනිත් එක තමයි ස්වාමීනී විත්තියේ සිටින මගේ සේවා දායකයා මේ ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීමේ අරමුණින් පටන්ගත එකක් නෙමෙයි. අපි කවුරුත් සම්බන්ධකම් ආරම්භ කරන්නේ එකිනෙකා ගැන හරියට වටහාගෙන නෙවෙයි. මගේ සේවා දායකයාට වෙන්නෙත් අන්න ඒ ආකාරයේ ප්‍රශ්නයක්. මගේ උගත් නීතිඥ මහතා ද්වේශයෙන් ප්‍රශ්න කරන පරිදි මගේ සේවා දායකයා විනෝදාංශයක් ලෙස කාන්තාවන් හා සම්බන්ධකම් පවත්වමින් නොමඟ යවමින් ලාභ ප්‍රයෝජන ගන්නා අයෙක් නොවෙයි. එහෙම උනානම් මේ ගරු උසාවියට මීට කලින් මේ වගේ නඩුවක් විභාග කරන්න සිද්ධ වෙනවා. ඔහු මේ තැනැත්තිය සම්බන්ධකම ආරම්භ කරන්නේ මේ තැනැත්තිය ඔහුගේ ජීවිතයට හයියක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඔවුන් දෙදෙනා අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවය එක් අයෙකුගේ වුවමනාවෙන් පමණක් ඇතිවූ දෙයක් නෙමෙයි. ඒ සම්බන්ධතාවය කාලයක් තිස්සේ පැවතගෙන ආ සම්බන්ධතාවයක්. පැමිණිලි කාරිණියට තිබුණා ඇය ඊට අකමැති නම්, තමන් මේ පුද්ගලයාගේ දූෂණයකට ලක් වුනානම් ඒ පිළිබඳව මුලින්ම පැමිණිලි කරන්න. අඩුම තරමේ ඇගේ දෙමව්පියන්ටවත්. මේ සාක්ෂිවලට අනුව ඇය මුලින්ම ඔහු සමග ලිංගිකව එක් වන්නෙත් ඇගේ කන්‍යාබාවයට හානි සිදු වෙන්නෙත් දෙදහස් විසිහතරේ ඔක්තෝම්බර් මස හතර වෙනිදා. අද 2025 අගෝස්තු මස අටවෙනිදා. ඇය මේ ගරු උසාවියට පැමිණ මේ නඩුව ගොනු කරන්නේ 2025 මාර්තු මස විසි එක්වනදා මේ කාලය වකවානුව අතරතුර ඔවුන් අතර කිහිප වතාවක්ම ලිංගික එක්වීමක් සිද්ධ වෙලා තියෙනවා. අපේ රටේ වගේ සදාචාරාත්මක සමාජයක ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණුනාට පසුව අපි ඇයට තමන්ගේ චරිතවත් බව ආරක්ෂා කර ගන්න හැටි කියල දෙනවා. මේ පැමිණිලිකාරිය සමාජය හා ගැටුණු චරිතයක්. මේ දෙන්නා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සම්බන්ධය දුරදිග යාමක් ලෙස මේ දෙන්න කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවා. එදා ඇගේ කන්‍යාබාවය බිඳී යන නමුත් ඇය කිසිවෙකුට ඒ ගැන පවසන්නේ නැහැ. ඒ ඇගේ කැමැත්ත නිසා. ඉන් පසුවත් ඇයට ආරාධනා ලැබෙද්දී ඇය ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒත් ඇගේ කැමැත්ත නිසා. ඒකයි සරලම කතාව ගරු ස්වාමීනි. යම් අවස්ථාවක මගේ සේවා දායකයා පවසනවා මේ සම්බන්ධය නිමා කළ යුතු බව. ඔහුට ඒ සඳහා අවසරය තිබෙනවා. මොකද මොවුන් දෙදෙනා නීතිමය සම්බන්ධතාවයකින් බැඳී සිටියේ නැහැ. මගේ සේවා දායකයා තදින්ම පවසා සිටියා ඔවුන් අතර වන නොගැලපීම් ඔවුන් වටහා ගත්තේ පසු කකාලයක කියලා.
ගරු ස්වාමීනී, මේ උසාවියට දික්කසාද නඩු කියන එක අමුත්තක් නෙමෙයි. අපි දන්නවා දික්කසාද නඩු බොහෝමයකට හේතුව වෙලා තියෙන්නේ දෙදෙනෙකු අතර පවතින නොගැලපීම. ස්වාමීනී අපි මේ සමාජයේ දී කතාවටත් කියනවා දුරින් ඉඳගෙන නොපෙණුන නොගැලපීම් දැනෙන්න පටන් ගන්නේ එකට ඉන්න ගත්තට පස්සෙ කියලා. මම හිතනවා මේ තරුණ යුවලටත් සිද්ධ වුණේ අන්න ඒ දේ කියලා. කසාදයක් ඇතුලෙ හිරවෙලා දරුවන් හදලා ඒ කුඨුම්භය තුළ ප්‍රශ්න ඇති කරගෙන දෙන්න දෙපැත්තට වෙනවට වඩා මේ වෙන්වීම සුදුසුයි කියලා අපිට විශ්වාස කරන්නට සිදු වෙනවා.
ගරු ස්වාමීනී.. මගේ මේ සේවා දායකයා සමාජයේ කැපී පෙනෙන චරිතයක්. ඔහුට දිගු අනාගතයක් තිබෙන තරුණයෙක්. මම දන්න විදිහට ඔහු හා පුරා කියලා තමන්ගේ දේශපාලන ගමනට අත්පොත තියන්න බලාගෙන හිටියේ මේ වසරෙදි.
මේ වෙලාවේ තමන්ගේ වරද පිළිගත්ත මගේ සේවා දායකයාගේ මහත්මා ගතිගුණය මං අගය කරනවා ස්වාමීනි. ඒ වගේම මේ තරුණිය වෙනුවෙන් වන්දියක් ලබා දෙන්නටත් මගේ සේවා දායකයා එකඟ වී තිබෙනවා. ඒ වගේම මම බොහොම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ස්වාමීනී මින් පසු කිසිම හේතුවක් නිසා ඔවුන් මගේ සේවා දායකයාට කරදරයක්, වරදක් හෝ අපහසුතාවයක් නොකරන බවට මේ ගරු උසාවි සංකීර්ණයේදීම පොරොන්දුවක් දෙන ලෙස. පැමිණි පාර්ශවයේ මගේ උගත් නීතිඥ මහතා ඒ වෙනුවෙන් සපථ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා…”
පුෂ්පානන්ද දෙස යුගාශ් සේම තීක්ෂණත් බලා සිටියේ දෑස් විසල් කරගෙනය. මිනිසුන් පවසන්නේ බොරුවක් නොවේ ඔහු ඇත්ත බොරුව කරන්නටත් බොරුව ඇත්ත කරන්නටත් සමතෙකි. ඒ් පැත්ත මේ පැත්ත ගසා උසාවිය පවා නොමග යවා නඩු දිනවා දෙන්නට දක්ෂයෙකි. තීන්දුව අමායාට පක්ෂව ලැබෙන්නට නියමිතව තිබුනත් මේ අවසන් වදන් පෙළ තුළින් ඔහු උසාවිය සම්පූර්ණයෙන්ම වෙනතකට හැර වූවා යැයි යුගාෂ්ට සිතිණ. දයාල්ට වෛර කල මිනිසුන් ඔහු පිළිබඳව මැදහත්ව සිතන්නට පටන් ගන්නට ඇත. තවදුරටත් ඔහු කාන්තාවකගේ ජීවිතය හෑල්ලු කරමින් සිටීම පිළිබඳව එවේලෙහි යුගාශ්ගේ සිතට ඇතිවූයේ කෝපයකි.
“ගරු උසාවියෙන් අවසරයි. ස්වාමීනී මටත් මේ නඩුව නිමා වුවත් වදන් කිහිපයක් කියන්න අවසර ඉල්ලනවා.”
යුගාශ් නැගී සිටියේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතකය.
“උසාවියේ කාලසීමාව සීමිත බැවින් ඔබට කෙටියෙන් ඔබේ අදහස පවසන ලෙස ඉල්ලා සිටිනවා”
“ගරු ස්වාමීනී මගේ උගත්, ප්‍රසිද්ධ, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසූ ආකාරයට කාන්තාවකට මේ සමාජයේ හිමිවෙන්නේ ඒ සා අඩු ලංසුවක්ද කියන ගැටළුව අපිට මතු වෙනවා. දික්කසාද වීමකින් හෝ සැමියාගේ හැරයාමකින් මේ සමාජයේ අසරණ වෙන බිරින්දෑවරු දරුවන් එදත් අදත් මේ සමාජයට අමුත්තක් නෙමෙයි. දරුවන් සමග තනි වන ඒවගේ කාන්තාවන් ඊට පස්සේ සමාජය තුළ ජීවත් වෙන්න, තමන්ගේ දරුවන් උස්මහත් කරගන්න, පෝෂණය කරන්න ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න නොවිඳිනා දුක් විඳිනවා කියන එක අපි කාටත් රහසක් නෙමෙයි. අදටත් අපි ජීවත් වෙන්නේ පීතෘමූලික සමාජයක. පිරිමියාට මුල් තැන දෙන සමාජයක. මේ දකුණු ආසියානු කලාපයේ විවාහ සංස්කෘතිය තුළ පිරිමියෙකුට ඇති ඉඩත්, තැනත් ගැහැණියකට හිමි වෙන්නේ හරි අඩුවෙන්. ඉතින් තමන්ගේ සැමියා විශ්වාස කරගෙන කුලගෙට පැමිණෙන ඔවුන්ට ආපසු හැරී යාමක් කරන්න සිදුවුවහොත් කාන්තාවකගේ පාර්ශවයෙන් ඒක ඛේද ජනක අත්දැකීමක්. එහෙම තනිවන දරුවෝ හැමදාම ජීවත් වෙන්නේ තමන්ගේ ජීවිතයේ හිස් තැනක් තියාගෙන.
අමායටත් බොහොම ලේසියෙන් දයාල් සේනක මහතාගේ වන්දියක් ඉල්ලගෙන නිදහස් වෙන්න තිබුනා ඇයට තමන්ගේ කන්‍යාභාවය අහිමි නොවුනානම්. විවාහයකදී පිවිතුරු යුවතියක විදිහට තමන්ගේ සැමියගෙ පාර්ශවයට, තමන්ගේ අලුත් ඥාති පිරිස අතරට යන්න ඔය කියන කන්‍යාභාවය බාධාවක් නොවුනනම්. නමුත් අවාසනාවකට අදත් අපේ සමාජය ගැහැනියකගේ චරිතවත් භාවය මනින මිම්ම තමයි ඔය.
අවසරයි ස්වාමීනි මගේ සේවා දායිකාව දයාල් සේනක මහතාගේ පාර්ශවයෙන් ලැබෙන ඒ වන්දි මුදල බොහෝම කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා. මගේ ළඟට මුලින්ම පැමිණෙන්නේ මේ සේවා දායිකාවගේ මව ඇය මට කියන්නෙ මගේ දරුවට වෙච්ච මේ අපරාධය තවත් ගෑණු දරුවෙකුට සිදුවෙන්න ඉඩ තියන්න එපා කියලා. මගේ සේවා දායිකාව අමායා මේ උසාවි සංකීර්ණය තිබිණ තුල මමත් විත්තියේ පාර්ශ්වයේ උගත් නීතීඥ මහතාත් ඇසූ ප්‍රශ්න වලදී බොහොම අසරණ වෙනවා. කාන්තාවක් විදිහට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇයට ලෙහෙසි පහසු උනේ නෑ.
ස්වාමීනි ස්වභාවයෙන්ම අපි හැමෝම ආදරයට කැමති මිනිස්සු. මගේ මේ සේවා දායිකාව තමන්ගේ පෙම්වතාව විශ්වාස කරලා ඒ විශ්වාසයෙන් ඔහු සමග ලිංගිකව එක් වෙනවා. ඇය ඔහුට මොනතරම් ආදරය කළාද මොන තරම් විශ්වාස කළාද කියන එක අපිට ඉන් හොඳටම පැහැදිලි වෙනවා ගරු ස්වාමීනි. ඇය තමාව ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ නෑ මේ ලෝකේ තමන්ට විශ්වාසවන්තම පුද්ගලයා ඉදිරියෙදි. ඇය යම් යම් අවස්ථාවල උත්සහ කරනවා ඇගේ ජීවිතයට පවා හානියක් කරගන්න.
අදහස් නොගැළපෙනවා කියලා ලේසියෙන්ම අත් හැරලා දාන තැන්වලදී අපි එකපාරක් උත්සහ කරනවනම් ඒ අදහස් ගලප ගන්න මේ වගේ ප්‍රේමයෙන් පරාජය වෙලා සිය දිවි හානි කර ගන්න මිනිස්සුවත් විවාහයෙන් පසුව තනිවන කාන්තාවන්වත්, පුරුෂයන්වත් තමන්ට අහිමි වෙච්ච පිය සෙනෙහසේ, මව් සෙනෙහසේ අඩුව හැමදාමත් හදවතේ තියාගෙන විඳවන දරුවොත් අපේ රටේ නැතිවේවි.
ඒක සුළු කොට තකන්න පුළුවන් වේදනාවක් නෙමෙයි කියලා දන්නේ එහෙම අසරණ වෙච්ච අයම විතරයි කියලා මම විශ්වාස කරනවා මගේ උගත් නීතිඥ තුමනි….
ඒ වගේම ඔබතුමා මින් පෙර සදහන් කළ විදිහට දයාල් සේනකට ගමනක් තියේවි. ඔහු ගමනක් යාවි. ඔහු විවාහ වේවි. අලුත් ජීවිතයක් පටන් ගනීවි. ඔහුගේ රූපයට තරාතිරමට, කතාවට ඔහුව විශ්වාස කරලා තවත් ගෑනු ළමයෙක් මේ විදිහටම අසරණ වේවි. හැබැයි අමායා කියන මගේ මේ සේවා දායිකාව සමහරවිට හැමදාම තමන්ගේ අතීතය ගැන අසුතැවෙමින් ජීවත් වේවි. මොකද විවාහයට පෙර කන්‍යාබාවය අහිමි කරගත් කාන්තාවකට මේ සමාජයෙන් ලැබෙන්නේ අඩු ලංසුවක්. සමහර විට දික්කසාද කාන්තාවකට සමාජයෙන් ලැබෙන තැනටත් වඩා අඩු තැනක්. සමහර විට ඇයව විවාහ කර ගන්න තරුණයෙක් ඉදිරිපත් නොවේවි…
ස්වාමීනී…මං විශ්වාස කරනවා මේ සත්‍යය පිළිගන්න ගොඩක් අයට අපහසුයි. තමන්ට සොයුරික්, දුවක් හිටියනම් ඔවුන් මේ සත්‍ය පිළිගනීවි. එපමණයි ස්වාමීනි..
යුගාශ් තමාගේ ආසනයේ අසුන් ගන්නා විටත් පුෂ්පානන්ද උන්නේ බිම බලාගෙනය. ඔහුට එවේලෙහි ඕනෑ වූයේත් අප්පච්චිගේ මුහුණේ හැඟීම් කියවන්නටය. උසාවියේ කටයුතු අවසන්ව නික්ම යද්දී පෙර දා සේම මාධ්‍යවේදීන් බොහෝමයක් උසාවි භූමිය තුළ රැඳී සිටියහ. අමායා සහ ඇගේ දෙමාපියන් උසාවියෙන් පිටත් කරන්නට කටයුතු කළේ තීක්ෂණය.
“මං හිතන්නේ සත්‍ය ජයගත්තා. අමායා කියලා කියන්නේ අපේ තරුණ පරපුරේ යුවතියන්ට හොඳ ආදර්ශයක්. තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණයක්, වරදක් සඟවාගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ තව තවත් වැරදිකරුවන්ට අනුබල දීමක්. අද මේ ලැබුණු නඩු තීන්දුව ඒ නිසාම ඉතිහාසගත නඩු තීන්දුවක් වේවි.”
කෙටි වදන් කිහිපයක් මාධ්‍ය හමුවේ පැවසූ යුගාශ් ඉක්මන් අධි තැබුවේ තම කාර්යාලය වෙත යාමටය.
“උඹ දක්ෂයෙක් පුතා. උඹ මට වඩා දක්ෂයෙක්. අවබෝධයෙන් ගමනක් යන මිනිහෙක්.”
ඔහුට ඉදිරියට හමු වූයේ පුෂ්පානන්දය. එවේලෙහි ඔහුව මගහැර යාමේ උවමනාවක් යුගාශ්ට වුවත් මද සිනහවකින් එකතැන නතර වූවේය.
“මම යන්නම් අප්පච්චි..”
අවසන යුගාශ් එතැනින් ඉවත් වූයේ එපමණක් පවසමින්ය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)