ආදිත්‍යය නුවරඑළියේ චාරිකාව යාම හේතු කොට ගෙන මහ ගෙදරට ගොඩ වැදුණු ෂෙහාරා ආදිත්‍ය නිවසට පැමිණි පසුව නැවත නිවසට ආවේ නැත. එය ඇය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව ආදිත්‍යය තේරුම් ගත්තේ පළමු වන නඩු වාරය පැවැත්වුණු දිනයේ ය. ඇය මානසිකව සහ කායිකව අයහපත් තත්ත්වයක පසු වන බවට සහ මේ වන විට ඇය රෝහල් ගතව සිටින බවට සහතිකයක්ද සමඟින් ඇයගේ නීතිඥවරයා උසාවිය ඉදිරියේ පෙනී සිටියේ තම සේවාදායකයා ගේ සෞඛ්‍යමය තත්ත්වය යහපත් වන තුරු කාලයක් අවශ්‍ය බවට ඉල්ලුම් කරමිනි.
ආදිත්‍ය පසු වූයේ කම්පාවෙනි. දින දෙකකට පමණ පෙර ෂෙහාරාගේ මිතුරියක විසින් මුහුණු පොතට එකතු කරන ලද සාදයක ඡායාරූපයක ෂෙහාරා සිටි අතර නීතිඥවරයා පැවසූ පරිදි ඇය සෞඛ්‍යමය අතින් අයහපත් තත්ත්වයක නොසිටින බව ආදිත්‍යය දැන උන්නේය. උසාවියෙන් නික්මුණු ආදිත්‍ය දෙහිවල පිහිටි ෂෙහරාගේ මහ ගෙදර දෙසට වාහනය පැදවූයේ වෙහෙසකර බවිනි. මේ දුක් සහිත විවාහයෙන් ෂෙහාරා තමාට පහසුවෙන් ගැලවීමට නොදෙන බව ආදිත්‍ය ඒ වන විට පසක් කර ගෙන සිටි අතර ආදිත්‍ය ගේ සිත තුළ ෂෙහාරා පිළිබඳව වූ කලකිරීම දෙගුණ තෙගුණ වෙමින් තිබුණේය.
වාහනය පාර අද්දරින් නතර කළ ආදිත්‍ය නිසොල්මනේ ගේට්ටුව විවර කර ගෙන නිවස දෙසට පැමිණ විවෘත කර තිබූ ප්‍රධාන දොර අසල නැවතුණේය. ෂෙහාරා සෝෆාවේ වාඩිවී ටීපෝව මත දෙපා තබා ගෙන චිත්‍රපටයක් නරඹමින් උන්නාය. ආදිත්‍ය මොහොතක් නිහඬව ඒ දෙස බලා හුන් අතර රූපවාහිනිය දෙසට දෙනෙත් යොමා ගෙන සිටි ෂෙහාරා ආදිත්‍ය පැමිණ සිටින බව දුටුවේ නැත. ශීලා පලතුරු යුෂ වීදුරුවක් ගෙන සාලයට පැමිණියේ ඒ මොහොතේය. ප්‍රධාන දොර අසල සිට ගෙන ෂෙහාරා දෙස බලා සිටින ආදිත්‍ය දැක ශීලා එතනම නතර වූවාය. ශීලා පුදුමයෙන් මෙන් නතර වී සිටිනු දැක ෂෙහාරා ප්‍රධාන දොර දෙස හැරී බැලූ අතර දොර අසල සිටගෙන සිටින ආදිත්‍යව ෂෙහාරා දුටුවේ එවිටය.
ෂෙහාරා වාඩිවී හුන් තැනින් ඉබේටම නැගී සිටියාය. ආදිත්‍ය නොසෙල් වී බලා සිටි අතර ෂෙහාරා ආදිත්‍ය අසලට පැමිණියේ අඩියට දෙකටය.
” ආදිත්‍ය ”
” ඔයා මගේ ජීවිතේ එක සෙල්ලම් කරන එක නතර කරන්නේ කවද්ද ෂෙහාරා ? ”
ආදිත්‍ය ඇසුවේ කෝපයෙන් නොවේ.එහෙත් දරා ගත නොහැකි කලකිරීමෙනි. මේ වංචනික විවාහයේ අවසානයක් තිබිය යුතුය.ඉන් තමාට ගැලවීමක් ලැබිය යුතුය. අඩුම තරමේ සැනසීමේ ජීවත් වීමේ අයිතිය වත් තමා හට ලැබිය යුතුය.එහෙත් ෂෙහාරා කරන්නේ තමාගේ ඒ අයිතිය ද උදුරා ගැනීමය.
” පුතා ඇවිල්ල වාඩි වෙන්නකෝ “
ශීලා ඉදිරියට පැමිණියාය.ෂෙහාරා මේ සියල්ල කරන්නේ දෙමව්පියන්ගේ අනුදැනුම සහ සහාය ඇතිව බව අමුතුවෙන් කිව යුතු නැත.ඔවුන් තිදෙනාටම අවශ්‍ය මේ විවාහය රැක ගැනීමටය.එහෙත් එය රැක ගැනීමට දැන් ප්‍රමාද වැඩිය. අනෙක් අතට විවාහයක් රැකගත යුත්තේ මේ ආකාරයට වංචා කිරීමෙන් නොවේ.
” අම්මා මං ආවේ ෂෙහාරාත් එක්ක කතා කරන්න ”
ශීලා නිහඬ වූවාය. ආදිත්‍යය යනු දැඩි ඉවසීමක් සහිත තරුණයකු වුවද මේ මොහොතේදී ඔහු ආවේගශීලී වීමට ඉඩ ඇත. තම දියණිය සහ සැමියා එක්ව ව්‍යාජ ලෙස ලියකියවිලි සකස් කර නීතිඥවරයා මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු සැලසුම් කලේ දින කිහිපයක් තිස්සේ බව ශීලා දැන උන්නාය.
” මට චීට් කලේ ඔයා ෂෙහාරා. ඔයාගෙයි මගෙයි මැරේජ් එක තුට්ටු දෙකට දාලා වැඩ කළේ ඔයා. එහෙම එකේ ඔයාගෙන් ඩිවෝස් වෙලා පැත්තකට වෙන්නේ නැතුව මට වෙන මොනවද කරන්න කියන්නේ ? ”
ෂෙහාරා බිම බලා ගත්තාය. ආදිත්‍ය තමා සොයා මහ ගෙදරට පැමිණේ යයි සිතුවේ නැත. තමාගේ සෞඛ්‍ය තත්ත්වය සහ මානසිකත්වය ඉතා අයහපත් බවට ප්‍රකාශ කරමින් නීතිඥවරයා ලවා උසාවිය නොමඟ යැවීම සිදු කළේ දික්කසාද නඩුව තවත් කල් දමනු පිණිසය.ඒ කාලය අතරතුර ආදිත්‍ය ගේ තීරණය කෙසේ හෝ වෙනස් කර ගැනීම තමාගේ අරමුණ වුවත් ආදිත්‍ය එයට සූදානම් නැති බව ෂෙහාරා වටහා ගනිමින් උන්නාය.එහෙත් ආදිත්‍ය ගෙන් දික්කසාද වීමෙන් පසුව සිදු වන ලැජ්ජාව විඳ ගැනීමට තරම් තමා ශක්තිමත් නැත.
” පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ ආදිත්‍යය ”
ෂෙහාරා උත්සාහ කළේ ආදිත්‍යව සන්සුන් කිරීමටය. එහෙත් එසේ කිරීමට ආදිත්‍ය නොසන්සුන් වී සිටියේ නැත.ඔහු උන්නේ දැඩි කලකිරීමකිනි.
” මට හරි මහන්සියි ෂෙහාරා. ඔයා වැරැද්දක් නොකර නං මං කොහොම හරි ඉවස ගෙන ඉන්නවා.ඒත් මට මේක තවත් අල්ල ගෙන ඉන්න බැහැ.දැන්වත් මට සැනසිල්ලේ යන්න දෙන්න. ඔයා ඔයාගේ පවුලෙ සල්ලි වලින් උසාවියත් රවට්ටලා මේ කරන සෙල්ලමෙන් ඔයාට වත් මට වත් හොඳක් වෙන්නෙ නැහැ. දැන් වත් ඒක තේරුම් ගන්න. ජීවිතේ ඔයා හිතන තරම් සැහැල්ලු දෙයක් නෙවෙයි ෂෙහාරා “
ආදිත්‍ය කීවේ අසරණවය. එහෙත් පසු බැසීමට ෂෙහාරා සූදානම් වූයේ නැත.
” ඔයාට බැරි ඇයි එකපාරක් මට සමාව දෙන්න ? ”
” එක පාරක් නෙමෙයි සිය දහස් පාරක් මම ඔයාට සමාව දිදී තමයි ඒ ගෙදර ඇතුලේ දුක් වින්දේ. ඒත් ඔයා මට කරේ සමාව දෙන්න පුළුවන් තරමේ වැරැද්දක්ද ෂෙහාරා ? මේ දේ මම ඔයාට කළා නම් ඔයා මට සමාව දෙනවද? ඔයාට පුළුවන්ද එහෙනම් හිත හදා ගෙන මාත් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න? ”
ෂෙහාරා නිරුත්තර වූවාය. තමා කලේ වරදක් බව ඇත්තකි. ඒ වරදම ආදිත්‍ය තමා හට කළා නම් තමාට බොහෝ සේ විඳවන්නට සිදු වන බවද ඇත්තකි. එහෙත් ඒ ඇත්තට තමාට මුහුණ දිය නොහැක. කළ හැකි එකම දෙය නම් පියාගේ මුදල් බලය පාවිච්චි කර හෝ මේ දික්කසාදය කල් දමා ගැනීමය.
” මට අද මේ වගේ දෙයක් කරල මේ නඩුව කල් දා ගන්න සිද්ධ වුනේ මං ඔයාට ආදරේ නිසා ආදිත්‍ය. අනිත් එක මේ මැරේජ් එක මට ඕන නිසා “
ෂෙහාරා මේ තරම් ආත්මාර්ථකාමීව කටයුතු කරන්නේ කෙසේ දැයි ආදිත්‍ය හට සිතා ගැනීමට නොහැකි වූයේය. කිසිදු බැඳීමක් බලෙන් ලඟ තබා ගත නොහැක යන සත්‍ය තේරුම් නොගන්නා ෂෙහාරා ඇය අතේ වරද තබාගෙනත් තමාව විවාහයක බලෙන් රඳවා තබා ගැනීමට උත්සාහ කරයි. එය නොකළ යුතු බව අඩුම තරමේ ඇයට ඇය ගේ දෙමව්පියන් වත් තේරුම් කර දෙන්නට සූදානම් නැත.ඒ වෙනුවට ඔවුන් පවා සිදු කරන්නේ ඇගේ ඒ වැරදි වලට තවත් අනුබල දීමය.
” ඔයා දන්නවද උසාවියට බොරු කළා කියලා ඔප්පු කලොත් වෙන දේ ? “
ආදිත්‍ය හිතට ධෛර්ය ගත්තේය.ෂෙහාරාට මේ ආකාරයෙන් තමාගේ ජීවිතය සමග සෙල්ලම් කිරීමට දිය නොහැක. තමා මේ උත්සාහ කරන්නේ වංචනික විවාහයෙන් තම ජීවිතය ගලවා ගැනීමටය. අංශු මාත්‍රයක වරදක් වත් තමා අතින් ෂෙහාරාට සිදුවී නැත.එවන් තත්ත්වයකදී මේ තරම් ඉවසා දරා හිඳීම තමා ගේ නිවටකම යයි ෂෙහාරා තේරුම් ගෙන ඇත.
” ඕන නම් මට පුළුවන් ඔයාවයි ,ඔයාගේ මේ වැඩ වලට උදව් කරන ඔයාගේ අම්මවයි තාත්තවයි තුන්දෙනාවම ඇතුළට දාන්න වැඩ කරන්න “
ආදිත්‍ය කීවේ තදිනි.ෂෙහාරා ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු වූයේම නැත. ඒ නිසාම ඇය තරමක් තැති ගත්තාය.ආදිත්‍ය ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් යම් හෙයකින් තමාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔහු පෙළඹුණ හොත් තමා මෙන්ම තම දෙමව්පියන්ද නීතියේ රැහැනට හසු වනු ඇත.
” හරි හරි ආදිත්‍ය ඔයා කලබල වෙන්න එපා. මං කියන්නේ ඔයා තව ටිකක් කල් අරගෙන මේක ගැන හිතන්න. මට ඇත්තටම මෙහෙම දෙයක් කරන්න උනෙත් ඔයාට මේ ගැන හිතන්න කල් ඕන නිසා “
” ෂෙහාරා මේ ?මට මේ ගැන හිතන්න තවත් කල් ඕනේේ නැහැ.මං අන්තිම වතාවට මේ හොඳින් කියන්නේ. කරුණාකරලා මගේ ජීවිතේ එක්ක මේ විදිහට සෙල්ලම් කරන එක නවත්තන්න .ඔයා හිතන්න එපා මං තවදුරටත් ඉවසගෙන ඉඳී කියලා.ඒක ඔයා ඔයාගේ අම්මටයි තාත්තටයිත් කියන්න. මං මේ දේටත් ඔයාට සමාව දෙනවා.හැබැයි මේ වතාවට විතරයි. ”
එසේ කියූ ආදිත්‍යය යන්නට හැරුණේය.
” ආදිත්‍ය ”