” අපරාදේ බං . මට ඇත්තටම අමතක උනා. නැත්තන් මගේ ඇඳුමක් දෙකක් හරි ගේන්න තිබ්බා. “
” ප්‍රශ්නයක් නෑ විමූ. මොනවා කරන්නද ? මටත් ඇත්තටම ඒක අමතක උනා. හෙට ඩිස්චාර්ජ් කරයි කිව්වනේ. හෙට උදේට අමාවි ඇඳුම් ටිකක් ගෙනත් දෙන්නං කිව්වා. “
එසේ පැවසූ සඳැස්වි කුඩා මේසය මත තිබූ වතුර වීදුරුව ගෙන පානය කළාය.
” ඔයා ඔය කාලා ඉවරද ?”
” ඔව් සයුල් ඇති “
” අනේ යකෝ.. එක ආප්පයක් කාලා ඇතිද ? “
” ඇති අනේ. කන්න බෑ. මගේ කට තිත්තයි. “
” හරි ශෝක් මෙයා. “
” මේ සඳා .. ඒක නෙමෙයි. දැන් මේ ප්‍රයිවට් හොස්පිට්ල් එකේ බිල් එක එහෙම ඔෆිස් ගෙවනවද ?”
” හ්ම්ම්.. ශාක්‍යා අක්කා කිව්වා ගෙවනවා කියලා. “
” මේ සයුල් .., අපි දෙන්නා දැන් යන්ද ? හතත් පහු උනා. “
” හ්ම්ම්.. යං. “
” රෑට කවුරුහරි එනවද සඳා ?”
” එන එකක් නෑ විමූ. ශාක්‍යා අක්කා බබාව අම්මලගේ ගෙදරින් දාලා එන්නං කිව්වා. මං ඒත් එපා කිව්වා. පව් නේ. උදේ ඉඳන් ඔෆිස් එකෙත් වැඩ කරලා , මෙතනත් මාත් එක්ක පැය ගාණක් ඉඳලා ගියේ. අනික මට ඇඳෙන් බැහැලා ඇවිදගන්න බැරි අමාරුවක් නෑනේ. ඇඳුම් ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. “
” නිකමට හරි මතක් උනානං අපිට බෝඩිමට ගිහින් අමාවිගෙන් සඳාගේ ඇඳුම් ටිකක් අරන් එන්න තිබ්බා නේද විමූ. ?”
” ඒකනේ.. අනික..”
විමර්ෂාගේ කතාවට බාධා කරමින් රෝහල් කාමරයේ දොරට තට්ටුවක් නැඟුණු අතර ඉන් අනතුරුව විවර වූ දොර තුළින් අතින් කටින් බෑග් මලු කිහිපයක් එල්ලා පැමිණි ගන්කන්ද දැක සඳැස්විගේ මුව මත සිනා රැල්ලක් ඇඳුණි .
” ගන්කන්ද මාමේ.. ! ”
” දැන් කොහොමද දරුවෝ..?”
” උදේට වැඩිය හොඳයි. මොනවද මේ උස්සන් ආවේ ?”
රෝහල් කාමරය පසෙක තිබූ පැන්ට්‍රිය මත රැගෙන ආ මළු කිහිපය තැබූ ගන්කන්ද ඉන් ගමන් මලු දෙකක් රැගෙන සඳැස්වි සිටි යහන මතින් තැබුවේය.
” මේ ඔක්කොම පහන්‍යා මැඩම් එව්වේ . මේ බෑග් දෙකේ තියෙන්නේ ඇඳුම්. “
සැනසුම් සුසුමක් හෙළූ යුවතිය විමර්ෂා දෙස බැලුවාය.
” කැනියුලා එක තෙමා ගන්නැතුව වොශ් එකක් දාගනින් එහෙනං. මෙයා මේ නහයෙන් අඬ අඬ හිටියේ ඇඳුම් නැතුව. “
” හදිස්සියට ඉතිං හැමදේම මතක් වෙන්නෑනේ ළමයෝ. දැන් යාලුවෝ ගෙනාපු ආප්ප කෑවේ ලුණු මිරිස් එක්කද ? ”
” ඔව් මාමේ. “
” නොකා ඉඳලා ඉඳලා සැර කන්නත් එපා. දැන් මෙන්න මේක කාලා ඉන්නකෝ. “
කැපූ පළතුරු , වියළි පළතුරු හා අයිස් ක්‍රීම් දැමූ විනිවිද පෙනෙන වීදුරු බඳුනක් සඳැස්විගේ අත මත තැබූ ගන්කන්ද එසේ පැවසුවේය.
” අනේ .. මාමේ .. මේ ?”
” ඔය අයිස් ක්‍රීම් ටික දිය වෙන්න කලින් කන්න. “
ඔහු එසේ පවසා රැගෙන ආ අනෙක් මළු කිහිපයේ ඇති බඩු බාහිරාදියත් පැන්ට්‍රිය මත තබන්නට වූ අතර විමර්ෂාද ඔහුට සහය වූවාය.
” හප්පේ.. සුපර් මාර්කට් එකක්ම ගෙනල්ලා.. “
එසේ පැවසූ විමර්ෂා බෑගයකින් ගත් සබන් , ෂැම්පූ වැනි ආලේපන කිහිපයක් පැන්ට්‍රිය යට තිබූ කබඩය විවර කොට ඉන් තැබුවාය.
” හෙට මාව ඩිස්චාර්ජ් කරනවා කිව්වා මාමේ.”
ගන්කන්ද හා විමර්ෂා එකතුව අස් පස් කරන බඩු බාහිරාදිය දෙස බලා සඳැස්වි පුදුම සහගත උවනින් පැවසුවාය.
” අම්මටසිරි. ටොෆි , චොක්ලටුත් තියනවා. “
අතට ගත් ටොෆියක් සයුල් වෙතට විසි කළ විමර්ෂා තවත් එකක කොළය ගලවා තම මුවට දමා ගත්තාය.
” බේත් බොද්දි තිත්ත වෙයි කියලා ඕවා දුන්නේ.. “
” අඤේ… චූචි පැටියනේ අපේ… චොක්ලට් එකක් කඩලා දෙන්නද මැණික..?”
විමර්ෂා වෙත මුව ඇද කළ සඳැස්වි හිස දෙපසට සළා එපා යැයි පැවසුවාය.
” හොස්පිට්ල් එකෙන් තේ , කෝපි ඕන වෙලාවක දෙයි. ඒ උනත් තේ එකක් බොන්න ඕන උනොත් කියලා මෙතන ඔක්කොම බඩු තියනවා. ප්ලාස්ක් එකට උණු වතුර විතරක් මෙහෙන් ගන්න. “
ගන්කන්ද රැගෙන ආ සියලු බඩු බාහිරාදිය ඇසුරූ විමර්ෂා සයුල් සමඟ ඉන් මොහොතකට පසුව යුවතියටත් , ගන්කන්දටත් සමුදී රෝහලෙන් පිටව ගියාය.
” මාත් එහෙනම් ගිහින් එන්නද දරුවෝ ? නර්ස් කෙනෙක්ට එන්න කියලා වොශ් එකක් දාගන්න. “
” ඕනෙ නෑ මාමේ. මට තනියම පුලුවන් . මාමේ..!”
” ආ..?”
” පහන්‍යා අක්කා කොහොමද දන්නේ යාලුවෝ දෙන්න ආප්ප ගෙනාපු කතාව ?”
දීමට පිළිතුරක් නොමැති වූ ගන්කන්ද නිහඬ බව රකිද්දී ඈ සියල්ල තේරුම් ගනිමින් උන්නාය.
” දැන් කෝ..?”
” එළියේ ඉන්නවා. “
” ඇයි ඇතුළට නොඑන්නේ ?”
” මං හිතන්නේ යාලුවෝ දෙන්නා හිටපු නිසා. “
” හ්ම්ම්.. !”
ඉදින් යුවතියට විසල් සුසුමක් හෙළුණු අතර ඒ සැණින් රෝහල් කාමරයේ දොර විවර විය. ලැප් ටොප් බෑගයක් හා තවත් බෑග් ද්විත්වයක් රැගෙන කාමරය තුළට පැමිණි දේහදාරියා නිහඬවම රැගෙන ආ ලැප් ටොප් බෑගය හා අනෙක් මළු සියල්ල කාමරයෙ පසෙක තිබූ සෝෆාවක් ඉදිරියේ ඇති ටීපෝව මතින් තැබුවේය. සැහැල්ලු කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු තුළ කාර්‍යල පරිසරයේදී පෙනෙන හැඩිදැඩි බව බොහෝ දුරට පලා ගොස් තිබුණේය.
” මං ගිහින් එන්නං දරුවෝ.. “
” හොඳයි මිස්ටර් ගන්කන්ද . බොහොම ස්තූතියි ආවාට “
” මං යන්නං සර්. “
” හ්ම්ම්.. ”
ගන්කන්ද පිටව ගියේය. තත්පර කිහිපයක් පුරා කාමරය පුරා පැතිර ගියේ දැඩි නිහඬ බවකි. යහන මත හිඳ උන් තරුණිය ඇඳුම් සහිත ගමන් මළු දෙකෙන් අවශ්‍ය ඇඳුම් පැළඳුම් හා කුඩා තුවායක් රැගෙන සෙමින් නාන කාමරය වෙත අඩි තැබුවාය.
කිසිදු අඩු පාඩුවක් නොවන්නට උඩු ඇඟලුම් සේම යටි ඇඟලුම්ද සම්පූර්ණව තිබූ ඇඳුම් මල්ල දැක තමා කෙරෙහිම උපන් අනුකම්පාවෙන් විසල් සුසුමක් අත හැරි තරුණිය සෙමින් සෙමින් පිරිසිදු වීමට පටන් ගත්තාය.
නාන කාමරයෙන් පිටතට පැමිණි ඈ සෝෆාව මත හිඳ ටීපෝව මත විවර කර ඇති ලප් ටොප් පරිගණකය වෙත දෑස රඳවා උන් තරුණයා දෙස යටැසින් බැලුවාය. පරිගණකයට අනෙක් පස අඩක් ආහාරයට ගත් බර්ගර් එකක් තිබූ අතර ඉන් අනෙක් පස විවර කරන ලද බියර් කෑනයක් තිබිණි . සියල්ල දෙස රහසින් බැලූ යුවතිය සෙමින් පැමිණ යළි යහන මත හිඳ ගත්තාය.
මඳ වේලාවකින් කාමරය වෙත පැමිණි හෙදියක් රාත්‍රී බෙහෙත් වේලද ඈ හට ලබා දී නැවත වතාවක් රුධිර සාම්පලයක් ලබා ගත්තාය.
” කෑවා නේද ?”
” ඔව් මිස්. “
” හ්ම්ම්.. හොඳට නිදාගන්නකෝ එහෙනං . “
එසේ පැවසූ හෙදිය නැවතත් රෝහල් කාමරයෙන් පිටව ගිය අතර ඈ නැවතත් කාමරයේ පසෙක සෝෆාවේ හිඳ උන් තරුණයා දෙස බලා ජංගම දුරකතනය අතට ගෙන පහන්‍යා වෙත කෙටි පණිවිඩයක් තැබුවාය.
” අක්කේ..”
” අපේ එක්කෙනා ඉන්නවා නේද ?”
පහන්‍යා හට පැවසීමට ගිය කාරණාව ඈ තරුණියට පෙර ඇගෙන් විමසුවාය.
” ඔව්. ඒත් ඇයි මේ ? මට ප්‍රශ්නයක් නෑ. තනියම ඉන්න පුලුවන් . “
” නංගි , මල්ලි ඔයා ගැන බය වෙලා ඉන්නේ හොඳටම. ඔයා ෆේන්‍ට් වෙච්ච වෙලේ කෑගහලා , ඔයාව උස්සන් දුවලා තියන හැටි අහගන්නකෝ ශාක්‍යාගෙන්. “
නැවත වතාවක් පරිගණකයට මුහුණ ඔබා සිටිනා ඔහු දෙස හොරැහින් බැලූ ඈ අත රැඳි දුරකතනය පසෙකින් තබා නිදන්නට සැරසුණාය. නමුදු ක්ෂණිව හිඳ සිටි සෝෆාවෙන් නැඟී සිටි ඔහු වහා පැන්ට්‍රිය වෙත ගොස් ගන්කන්ද රැගෙන ආ සුප් බඳුන ගෙනවිත් යහන අසල කුඩා මේසය මතින් තැබුවේය.
” මේක බීලා නිදාගන්න “
වැරදීමකින් හෝ ඈ වෙතට යොමු නොකළ ගැඹුරු දෑස වෙනතක තබා පැවසූ ඔහු දෙස හිස ඔසවා බැලූ ඈ නැවත හිස බිමට බර කර ගත්තාය.
” කාපුවා ඇති . තව නං බෑ.. “
කෙඳිරිලි හඬකින් පිළිතුරක් පිටවූ අතර කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතට ගත් ඔහු ඉන් ඇමතුමක් ලබා ගත්තේය.
” ශාක්‍යා..! මිස් සඳැස්විගේ ගෙදර නම්බර් එක මට දාන්න. එයාගේ අම්මට කියන්න වෙනවා දුව හොස්පිට්ල් ඉන්නේ කියලා. “
” අනේ.. එපා.. ඒ මනුස්සයව බය කරන්නෙපා. “
ඇමතුම විසන්ධි කළ තරුණයා ප්‍රථම වතාවට අසරණ උවන දෙසට තම දෑස විතැන් කළේය . ඉන්පසුව නිහඬවම මේසය මත තිබූ සුප් බඳුන ගෙන ඈ වෙතට දිගු කළ අතර ඈ නිහඬවම එය අතට ගත්තාය . යළි කිසිවක්ම දෙඩීමට උත්සාහ නොගත් ඔහු හිඳ සිටි සෝපාවටම බර වී නැවතත් පරිගණකය වෙතට දෑසට විතැන් කළ අතර ඈ දිගටම ඔහු වෙත නෙතු රඳවාගෙන සිටියාය.
” මෙතන පෙරහැරක් යන්නෑ. ඕක බීලා නිදාගන්න “
හිස හෝ දෑස නොඔසවාම එසේ පැවසූ ඔහු යළිත් බියර් කෑනයෙන් උගුරක් පානය කළ අතර සුප් බඳුන යළි මේසය මත තැබූ ඈ යහනෙන් බැස ඔහු වෙතට අඩි තැබුවාය.


