“සුදු මහත්තයා පාන්දරම නැගිටලා ගිහිල්ලා..”
නන්දනී එසේ පැවසූයේ තමාරාගේ උදෑසන කිරි වීදුරුව ඇගේ කාමරයට ගෙන යමින්ය. ඔහු මේ ගිය ගමන ගැන තමාරා හොඳින් දනී. පෙර දින සැඳෑවේ අපූර්වා කතා කරමින් පැවසූයේ අද විශ්ව විද්‍යාලයට යන බවය. තමාරා කිසිත් නොකියා සුබ පැතුවේ සාමාන්‍ය අයුරෙන්ය.
මේසා ලෙන්ගතු බැඳීමක් දෙදෙනා අතර ඇති වූයේ කෙසේදැයි සිතමින් තමාරා කුඩා මේසය මත තබා තිබූ කිරි වීදුරුව සිය දකුණතින් අල්ලා ගත්තාය. පුෂ්පානන්ද අකාරුණික ලෙස තමාව හැරදා ගියත් තමාරා නිරතුරුවම උත්සහ කලේ වඩා වැදගත්ම දේ යුගාශ්ට ලබා දෙන්නටය. මිනිසුන් ඔහු ගැන කතා කරන්නේ ආදරයත් ගෞරවයත් එක් වූ හැඟීමකින්ය. ඒ ගෞරවයට හානි වනවාට තමාරා කොහොමටවත් කැමති වූයේ නැත.
මවක ලෙස තීරණ ගැනීමේදී එක් පාර්ශවයක් පිළිබඳව පමණක් සලකා තීරණ ගැනීමෙහි හැකියාවක් නොවේ. එනිසා සුදුසු තීරණය මිස හදවතට, හැඟීම්වලට වහල්ව තීරණ ගන්නට ඈ නොසිතුවාය.
***********
හේෂානිගේ මව අපූර්වාගේ නිවසට පැමිණියේ දහවල කෑමට පොළොස් ව්‍යාංජනයකුත් රැගෙනය. අලුතින් ඉදි වෙමින් තිබූ නිවසෙහි කපරාරු කිරීමේ කටයුත්තක් නිම වීමට ආසන්නය.
“කෙල්ල උදේ පාන්දර තනියමද ගියේ පියසීලි නැන්දේ..”
“නෑ බං. අර මහත්තයා ඇවිල්ලා එක් කරගෙන ගියා.”
“ආ……”
“කලින් කිව්වලු පාර ගාවට එන්න කියලා. ආපහු ඒ මහත්තයාට හිතුනලු එහෙම පිට මඟම එක්කරගෙන යන එක හොඳ නෑ කියලා. මේ ගේ දොරකොඩ ළඟට එනකං අපි දන්නේ නෑ බං. හොඳ උස මහත ඉලංදාරියා. ඇත්තමයි දැක්කහම ලෝබකමේ බෑ. මට විහිලුත් කරලා මගේ කකුල් දෙක අල්ලලා වැඳලා තමයි ගියේ.”
“අපේ කෙල්ලත් කිව්වා නැන්දේ හරි හොඳ මහත්තයෙක් කියලා. ඔය මේ දවස් වල මොකක් හරි නඩුවකට හරි ප්‍රසිද්ධයි. අපූරුර්වට හරි ආදරෙයි කියලා හේෂානි කිව්වා. කෙල්ලගේ වාසනාව”
“මගේ කෙල්ලට හරියන්න ඕනේ. කාලාන්තරයක් තිස්සෙම ඒකි වතුර වෙනුවට කඳුළු බිබී දුක් වින්දා.”
“ගේ හදල ඉවර වෙච්ච ගමන් අපි ඒව එකලාසයක් කර ගමු නැන්දේ. ඒ මහත්තයාගේ ගෙවල් දොරවල් වල විස්තර කොහොමද දන්නේ නෑ නේද. ඒ කොහොම වුණත් ඉතින් මහත්තයා එක හිතකින් ඉන්නවනං එච්චරයි. දැන් ඉතින් ගේ දොර තියෙන එකේ මෙහෙ උනත් ඇවිල්ලා නතර වෙන්න බැරියැ.”
පියසීලි කිසිත් නොකියා හිස වැනුවේ ඇයව අනුමත කරමින්ය. ඒ වියපත් දෑස් තෙත් කරමින් කඳුළු දෙපේළියක් ගලා යන්නට විය.
“නිදහසේ මැරෙන්න තිබුනොත් මට ඇති බං..”
අවසන ඕ එසේ මුමුණා නැගී සිටියාය. හේෂානිගේ මව වෙනුවෙන් පිළියෙල කළ තේ කහට කෝප්පයත් හකුරු කැබැල්ලක් කුඩා බන්දේසියක තබාගෙන රැගෙන ආ පියසීලී යළිත් ඈ ඉදිරිපසින් අසුන් ගත්තේ මඳක් පහතට නැවී චීත්ත රෙද්දෙන් දෑස් පිස දා ගෙනය.
“මේ හිටිය වගේ ඉස්සරහ කටයුතු වලදිත් උඹල ඒකි එක්ක ඉන්න ඕනේ. වෙන කවුද ඉන්නේ..පුංචි කාලෙ ඉඳලම මුන් දෙන්න කුළල් කා ගත්තට මං හිතුවේ නෑ උස් මහත් වුණාට පස්සෙත් මේ ඉඩ කඩන් වලට ගහ මරාගෙන දෙන්නා දෙපැත්තකට වෙයි කියලා. අන්තිමට මේ කෙල්ලත් තමන්ට කියලා කිසි කෙනෙක් නැතුව තනි වුණා.”
“ඒවනං සංසාර පුරුදුු නැන්දේ..එහෙම නැතුව නැන්දවත්, මාම ජීවත් වෙලා ඉන්න කාලෙදිවත් තණ්හාවෙන් දේවල් එක් රැස් කරපු මිනිස්සු නෙමෙයි නේ. අදටත් මිනිස්සු කතා වෙනවා මාම ජීවත් වෙලා හිටිය කාලේ ඔය සොල්දර ගෙදර වත්තේ කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් හැදුනත් ඒව මිනිස්සුත් එක්ක බෙදා ගතපු හැටි. තණ්හාවෙන් අයිති කරගත්තට අද උන්ට ඒවයේ ඉන්න බැරුව ගියානේ. ඒක තමයි ස්වභාව ධර්මයේ නියමය.”
“හැබෑද බං ඊයේ පෙරේදා ලොකු තොවිලෙකුත් කරා කියන්නේ.”
“ඔව්….අප එක්කෙනා ඒ ළඟින් එද්දි සද්දෙත් ඇහුනලු. ඕවා ඔක්කොම හිත තමයි. නැන්දේ අර දංගොල්ලෙ ගෙදර මිනිස්සු සෝල්දර ගෙදර වත්තේ පොල් ගෙඩියක් වැටුනත් දුවගෙන ගිහිල්ලා ඇහිඳන් එනවා. ඊයේ පෙරේදා ඔය ගස්වල රඹුටන් පිරිලා තිබුනලු. අපේ එක්කෙනා කිව්වා දංගොල්ලෙ ගෙදර මිනිහා රඹුටන් ගෝනි දෙකක් කළුතරට ගෙනිච්චා කියලා. එහෙනම් ඉතින් ඒ මිනිස්සුන්ටත් හොල්මන් අවතාර පේන්න එපැයි.”
“අනේ බං ඒකෙන් උනේ අර මැරිල ගියපු කොල්ලට අවනම්බුවක් විතරයි.”
පියසීලි එපමණක් පවසා නැගී සිටියේ ‘අර ළමයින්ට තේ ටික දෙන්න වෙලාව හරි’ යැයි පවසමින්ය. අපූර්වා ඊයේ ගෙනවිත් තබා ගිය බිස්කට් පැකට්ටුව කඩා පීරිසියක තැබූ ඕ එය හේෂානිගේ මව අතට දුන්නේ මං තේ ටික වක්කරන් එනකල් ඕක උන්ට කන්න දීපන් යනුවෙන් පවසමින්ය.
************
අධ්‍යන කටයුතු නිමාවී විශ්ව විද්‍යාල භූමියෙන් පිටතට පැමිණෙත්ම අපූර්වා දුටුවේ ගේට්ටුවෙන් මදක් එහාට වන්නට නවතා තිබූ යුගාශ්ගේ විසෙල් වර්ගයේ ජීප් රථයයි. ඕ නැවතත් හැරී විශ්ව විද්‍යාලය දෙස බැලුවේ පාර පැන ඔහු වෙත යන්නට ප්‍රථමය. මේ යළි සැබෑ කරගන්නට නොහැකි වේ යැයි සිතූ සිහිනයකි.
තමාව විශ්ව විද්‍යාලය අසලට ඇරල වූ යුගාශ් පැවසූයේ මිතුරෙකු හමුවන්නට යන බවය. යුගාශ් යනු කාලය ඉතා වටිනා පුද්ගලයෙකු බව අපූර්වා දැන් දනී. එහෙත් ඔහු තමාට ඒ ජීවිතයේත්, දෛනික කාල සටහනේත් ඉඩක් වෙන් කරන්නට දෙවරක් සිතන්නේ නැත.
කාන්ති වෙනදාටත් වඩා සුවයක් ලබා සිටියාය. ඇය උන්නේ ක්‍රොස් ස්ට්‍රිච් මැහුම් ක්‍රමයේ මලක් මසමින්ය. මේ ඈ මානසික සෞඛ්‍යය විද්‍යාතනයට පැමිණියාට පසුව ඉගෙන ගත් මැහුම් ක්‍රමයකි. කාන්තිව රෝහල් ගත කර මාස හයකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් තිබිණ. මේ උන්නේ එදා බලෙන් මෙන් ඇදගෙන ආ අම්මා නොවන බව විශ්වාසය.
වෙනදා සේ අපූර්වා දෙස බලා සිටියා පමණක් නොව ඇය යුවතියගේ දෑත් අත ගෑවාය. ඒ මුහුණ සිප ගත්තාය. යුගාශ් දෙස දෑස් විසල්කර බලා සිටියාය.
“කාන්ති දුව ඇවිත් නේද…”
හෙදියක පැමිණ එසේ අසද්දී ඕ ‘ඔව්’ යැයි පවසන්නට හිස වැනුවාය.
“කාන්ති ආසයි නේද ඉක්මනට ගෙදර යන්න..”
එවරත් ඇය හිස වැනුවේ ‘ඔව්’ යැයි පවසන්නටය.
“එහෙනම් අපි ඉක්මනට සනීප වෙමු නේද. කාන්ති හොඳ ළමයෙක්. අපි දෙන බෙහෙත් බොන්න බෑ කියන්නෙත් නෑ. විසි කරන්නෙත් නෑ. කාන්ති දන්නවා එහෙම බෙහෙත් බීලා සනීප වුණොත් විතරයි ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා. මේ දුව බලාගෙන ඉන්නවනේ කාන්ති නේද?”
හෙදිය තවදුරටත් පවසද්දී කාන්ති අපූර්වා දෙස බලා හිනැහුණාය.
“හැබැයි කාන්ති ඉක්මනට ගෙදර යන්නනම් ඉතින් කතා කරන්නම වෙනවා. දොස්තර මහත්තයත් කාන්තිට එහෙම කිව්ව නේද. කතා නොකර අපිට ගෙදර ජීවත් වෙන්න බෑනේ. පවුනේ කාන්ති මේ දුව. එයා ආසයිනේ ඔයා එක්ක කතා කර කර ඉන්න”
යළිත් කාන්ති හිස වැනුවේ හෙදිය එසේ පවසද්ධීය.
“කාන්ති ඔළුව වන වන ඉඳලා හරියන්නෙ නෑ. ඉස්සර කාන්ති හොඳට කතා කරපු කෙනෙක් තමයි. කාන්තිට කතා කරන්න පුළුවන් බැරි කෙනෙක් නෙමෙයි. දුවත් එක්ක ටික වෙලාවක්ක් ඉන්නකො එහෙනම්.”
කාන්තිගේ හිස අත ගෑ හෙදිය නික්ම ගියේ රෝහලින් බැහැර වන්නට පෙර වෛද්‍යවරයා හමුවන්න යැයි අපූර්වාට පවසමින්ය.”
“ඔයා අම්මත් එක්ක කතා කරලා එන්න. මං අතනින් ඉන්නම්.”
රෝහලට පැමිණි සෑම දිනකම සේ යුගාශ් කාන්තිත් අපූර්වාත් පෙනෙන මානයක වූ බංකුවක් වෙත ගියේ එසේ පවසමින්ය.
“අනේ අම්මා ඩොක්ට කියන විදිහට ඉක්මනට කතා කරන්න. පොඩි කාලයක් නෙමෙයි ඔයා මෙහෙට ඇවිල්ලා දැන් මාස හයකටත් වඩා වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා. ඔයා අපිත් එක්ක එක වචනයක්වත් කතා නොකර ඉඳපු කාලේ ඊටත් වඩා දිගයි. ඔයත් එක්ක කියන්න මට ගොඩක් දේවල් තියෙනවා. මං දන් නෑ අම්මේ ඔයාගේ ඇඟේ එල්ලීගෙන ඉඳපු මම ගෙවිලා ගියපු කාලෙ කොහොම හුස්ම ගත්තද කියලවත්..මට ඔයාව ඕනෙම කාලෙ තමයි ඔයාව මට නැති වුණේ. ඒ තනිකම, පාළුව, වේදනාව වචන වලට හරවන්න මං දන්නේ නෑ අම්මේ. අපි දෙන්නට ඉස්සර කරන්න කොච්චර වැඩ තිබුණද. මං පන්ති ගියත් ඔයා බලාගෙන ඉන්නවා මං එනකල්. ඉස්කෝලෙ යන්න කොණ්ඩෙ ගොතනකොට, මොන්ටිසෝරියට යද්දි සාරියෙ කටු ගහනකොට අම්මා මට කියනවා ඔයා එනකල් හරි පාලුයි කියලා. අම්මට ඒවා මතකද?
එක දවසක් ඔයා කිව්වා අපරාදෙ අපිට තව දරුවෙක් අරන් හදාගන්න හරි තිබුණා කියලා. මං ඇයි ඒ කියලා අහද්දි ඔයා කිව්වා දවසක කුමාරයෙක් ඇවිල්ලා ඔයාව ගෙනිච්චට පස්සේ තාත්තයි මමයි ආච්චියි තනිවෙයි කියලා. ඒ වෙලාවේ මං කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ කියලා ඔයාව බදාගෙන ඇඬුවා. ඔයා හිතන්න මං කොහොමද ඔයා නැතුව ගොඩක් කල් ජීවත් උනේ කියලා. ඇත්තටම මගේ ජීවිතේට කුමාරයෙක් ඇවිත්. ඒ ගැන මං ඔයාට කියන්නේ කවදද අම්මේ…
ඉස්සර මං එක්සෑම් වලට පාඩම් කරද්දි කොච්චර එපා කිව්වත් ඔයා නිදි කිරා වැටි වැටි මං ළඟට වෙලා පත්තර කියවනවා. මොන්ටිසෝරිය උගන්නන්න යද්දි පරක්කු වෙලා නැගිටලා කඩි මුඩියේ සාරි අඳිද්දි ඔයා මට බැන බැන බත් කවනවා. මං ගොඩක් ලොකු වෙලත් අසනීප වෙද්දි ඔයා මගේ ළඟට වෙලා සුදු හඳුන් දියකරපු වතුරේ පොඟවල ගන්න රෙදි කෑලි මගේ නළල උඩින් එළනවා. කොච්චර කන්න බෑ කිව්වත් මට බලෙන් හරි කවන්න ඕන තරම් ක්‍රම ඔයා දන්නවා. ඔයා සමහර දවස් වලට මං වෙනුවෙන්ම හදන සැමන් සම්බෝලෙ, ගොටුකොළ මැල්ලුම, වැටකොළු කිරි කිරිහොද්ද ඒවයෙ රස මට තවමත් දැනෙනවා අම්මේ….”
අපූර්වා කියවූයේ කාන්තිගේ දෑත් වලින් අල්ලාගෙනය. ඒ දෑස් වල පිරී තිබුණේ කඳුලකි. අඩ හෝරාවකටත් වඩා වැඩි කාලයක් ඕ එසේ කියවූවත් කාන්ති දෑස් විසල් කරගෙන බලා සිටියා මිස එකඳු වදනක්වත් කතා නොකළාය. එහෙත් වරින් වර වෙනස් වන ඇගේ මුහුණේ ඉරියව්වලිනුත්, සමහර තැනක සංවේදී වන කඳුළුත් යුවතියගේ සිතට ගෙන ආවේ අලුත් බලාපොරොත්තුවකි. අවසන ඈ දෑස් පිස දා ගෙන නැඟී සිටියදී යුගාශ් ඒ දෙසට ඇවිද ආවේ අඩියට දෙකටය.
“ඔයාට යං කියලා කියන්න විදිහක් නැතුව මම හිටියේ. රෑ වෙනවනේ..ඩොක්ටර් හම්බ වෙලා කතා කරලා යමු.”
යුගාශ්ට එකඟව හිස වැනූ යුවතිය. කාන්තිගේ දෙපා මුල දණ ගසා වැන්දාය.
“ඉක්මනට ගෙදර එන්න අම්මේ..දැන් මට ඔයාව ගොඩක් ඕන වෙනවා..”
කාන්තිගේ දෑත් මුදා හැර අවසන අපූර්වා යුගාශ්ගේ වතට බර වූවාය. වෛද්‍යවරයා පවා පැවසූයේ ඉක්මනින්ම අම්මා නිවසට කැඳවාගෙන යාමට හැකියාව ඇති බවයි. ඒ වදන් අපූර්වාගේ රිදී තිබූ සිතට පිරිත් පැන් පොදක් ඉසින්නට විය.
“හැබැයි ඉතින් අවුරුදු දෙක තුනක්වත් යනකල් දිගටම අම්මව සායන වලට එක්කරගෙන එන්න වෙයි. ඒක ලොකු අපහසුකමක් බව දන්නවා. ඒත් ඒක කළ යුතුම දෙයක්. එහෙම නොවුනොත් ආයේ මුලටම යන්න පුළුවන්”
වෛද්‍යවරයා එසේ පවසද්දී.
“කිසි ප්‍රශ්නයක් නෑ ඩොක්ටර් අපිට ඒක දිගටම කරන්න පුළුවන්. අම්මව සනීප කර ගන්න එකයි අපිට වැදගත් වෙන්නේ..”
යනුවෙන් පැවසූයේ යුගාශ්ය. යුවතිය ඔහු දෙස බැලුවේ විසල් කරගත් දෑස් වලින්ය. ඔහු මේ ජීවිතයේ අමාරු අසීරු තැන්වලදී තමාව අල්ලා ගන්නා සැටි, පුදුම සහගතය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)