තටු සිඳුණු සමනලියෝ -1

අපි ඇයට සමන්ති කියමු. සමන්ති ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් දැකපු, ජීවිතේ ගැන ලස්සන බලාපොරොත්තු තිබුණ කෙල්ලෙක්. පාසල් කාලේ සමන්තිගේ ජීවිතේ කිසිම බරක් පතලක් තිබුණේ නැහැ. ලංකාවේ ප්‍රධාන බාලිකා පාසැලකින් උසස්පෙල විභාගයත් අවසන් කරලා, සමන්ති රැකියා හොයමින් ඉන්න කාලේ තමයි කපිල සමන්තිගේ ජීවිතේට ආවේ. ඒ මිස් කෝල් එකකින්. දෙමාපියන්ගේ කාර්‍යබහුල ජීවිත එක්ක සමන්තිට කපිලට නතු වෙන්න ඕනෑ තරම් වෙලා තිබුණා.

ඒ වෙනකොට සමන්තිට තිබුණේ බට්න් ඔබන පොඩි ජංගම දුරකතනයක්. ඉතින් උදේ, දවල්, හවස වෙනසක් නැතුව සමන්ති කපිල එක්ක කතා බහ කරන්න ගත්තා. කපිල සමන්තිට රීලෝඩ් අඩු නැතුව එව්වා. ඒ වයසට සමන්තිට ඒක දැනුණේ මහ ලොකුවට. ටික කාලයක් යනකොට දෙන්නාට දෙන්නා නැතුව බැරි වෙන ගානට ඒ කතා බහ ඇබ්බැහියක් වුනා.

කපිල කිව්වේ කොළඹ අවන්හලක සූපවේදියෙක් විදියට වැඩ කරලා, දැන් ඔහුගේම අවන්හලක් අරඹන්න සැලසුම් හදමින් ඉන්න බව. ඒ වෙනුවෙන් තව මුදල් හොයමින් සැලසුම් හදන බව. සමන්තිත් ඒ හීනේට හරි ආස වුණා.

“අපි දෙන්නම එකතු වෙලා ලස්සන රෙස්ටෝරන්ට් එකක් දාමු…”

සමන්ති හීන් බැලුවා. කපිලත් හරි හරියට ඒ හීන වලට පාට තැවරුවා. මාස තුන හතරක් යනකොට සමන්තිගේ අම්මට මේ සම්බන්ධේ ඉව වැටුණා. සමන්තිගේ ජංගම දුරකතනය කුඩු පට්ටම් වෙන්න විසි වුණා. සමන්ති නිවාස අඩස්සියට වැටුණා.

අම්මලා කොහොම කිව්වාත් සමන්තිට කපිලව අහිමි කරගන්න හිතුනේම නෑ. ඒ හින්දාම සමන්ති තීරණයක් ගත්තා. ගෙදර තිබුණ මුදල් ටිකකුයි, රණ්භාණ්ඩයි, ඇඳුම් කිහිපයකුයි අරගෙන සමන්ති කොළඹ ආවා. ස්ටේශන් එකෙන් බහිනකොට සමන්තිට ඇඬෙන්නත් එනවා. ඒත් කපිලව දකිනකොට ඒ කඳුළු ඉවර වුණා. ජීවිතේ මල් යායක සතුට දැනුණා.

සමන්තිව දකින්න හිතාගෙන ස්ටේශන් එකට ආවට, ඉන් එහාට සිද්ද වෙන කිසිම දෙයක් ගැන කපිලට අදහසක් තිබුණේ නෑ. එහෙම වුනත්, කපිල සමන්තිව මඟ හැර නොගන්න තීරණය කරලයි තිබුණේ.

“මට එකපාරටම ඔයාව ගෙදර එක්කන් යන්න බෑ. … තේරෙන්නේ නෑ මොනවද කරන්න ඕනි කියලා ..”

තාවකාලික ලැඟුම්හළක ගෙවමින් උන්න දෙවෙනි පැයේදි කපිල එහෙම කියනකොට සමන්ති හිස ඔසවලා බැලුවා.

“ඒක මම දන්නවා කපිල.. ඔයා මට පොඩි බෝඩිමක් හොයලා දෙන්න. මට ජොබ් එකකුත් හොයගමු… ඔයාගේ හොටෙල් එකේම හරි පොඩි ජොබ් එකක් ..”

කපිල සමන්තිගේ යෝජනාවට එකඟ වුණේ අකමැත්ත පෙන්නගෙන. ඒ අකමැත්තේ ව්‍යාජ බව සමන්තිට වැටහුණේ නෑ. සතියට දවස් තුනක් වත් කපිල සමන්ති ළඟ ඉන්න එනවා කියලාත් පොරොන්දු වුණා. අනෙක් දවස් වලත් වැඩ බව ගෙදරට කියලා හරි සමන්ති ළඟින් ඉන්න එන්න තියෙන උවමනාව කපිල තදින්ම පෙන්නුවා.

සමන්තිට දැණුනේ මුලු ජීවිතේ ම පිරිලා තියෙන හැඟීම. කපිල සමන්තිට හොයලා දුන්නේ යම් පහසුකම් තියෙන බෝඩින් කාමරයක්. කපිලටත් ඇවිල්ලා යන්න පුලුවන්කම තියෙන්න ඕනි නිසා වෙනම ඇතුළුවීම් තියෙන තැනක් මිතුරෙකුගේ මාර්ගෙන් හොයාගන්න දවස් දෙකක් ගියා. ඒ දවස් දෙකත් දෙන්නා එක්ක තාවකාලික ලැඟුම්හලේ හිටියේ.

ඒ ළඟක තිබුණ කඩේකින් සමන්තිට කෑම ගන්න පුලුවන් විදියට පහසුකම් සපයලා කපිල වැඩට ගියා. සමන්ති ගෙදරින් එනකොට අරගෙන ආව රත්තරන් බඩු ටිකත් කපිලගේ අතේ මිට මෙළෙව්වා.

එදා හවස කපිල ආයෙම ආවේ සමන්තිට ඇඳුම් පැළඳුම්, අවශ්‍ය දේවල් අරගෙන. ටිකෙන් ටික සමන්තිගේ හිතේ කපිල ගැන විශ්වාසය නම් වැඩි වුණා.

මාස දෙක තුනක් යනකල් හැමදේම හොඳින් සිද්ද වුණා. ඒත් එක පාරටම හැමදේම වෙනස් වුණා. එදා කපිල සමන්තිව හොයාගෙන ආවේ හරි කලබලේකින්. ඒ ඇවිල්ලා කලේ තමන්ව හඹාගෙන එන කිසිවෙක් ගැන විමසිල්ලෙන් බයෙන් හිටපු එක. ඒ ගැන විමසපු සමන්තිටත් කෑ ගහලා බැන්නා. සමන්ති වේදනාවෙන් පැත්තකට වුණා. ඒත් වැඩි වේලාවක් යන්න කලින් බෝඩිම ළඟට ආව පොලිස් ජීප් එකක් නිසා සමන්තිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම එහා පැත්තට පෙරලුණා.

‘මෙයාද බිස්නස් පාර්ට්නර්….”

පොලිස් නිළධාරීන් සමන්තිගේ දිහා ඉතාම විමසිලිමත් බැළ්මක් හෙලුවා. ඇය කිසිම දේකට සම්බන්ධ නැති වග පැහැදිළි කරන්න සමන්ති උත්සාහ කලත් බෝඩිමේ කුස්සියේ අස්සක සඟවලා තිබුණ මත් කුඩු පැකට්ටුවක් නිසා ඒ පැහැදිළි කිරීම් වලංගු නැතුව ගියා.

සමන්තිවත් කපිල එක්කම අත් අඩංගුවට ගත්තා. පොලිස් නිළධාරීන් ඉස්සරහ කලපිලගෙන් කිසිම දෙයක් අහගන්න බැරුව සමන්ති සිහි මුර්ජා වුණා. ආයෙම සිහිය එනකොට සමන්ති හිටියේ රෝහලේ. ඊටත් පස්සේ නැවතත් සමන්තිව අත් අඩංගුවට ගත්තා.

කපිලගේ පැටිකිරිය ගැන දැනගන්න ලැබුණේ ඔවුන් උසාවියට ඉදිරිපත් කලාම. කපිල කියන්නේ මත් ද්‍රව්‍ය වෙලඳාම බොහෝම සරුවට කරගෙන ගියපු තරුණයෙක් බව කියවෙද්දී සමන්තිගේ හුස්ම හිර වෙන්න ආවා. හෝටලයක කරන රැකියාව සහ මධ්‍යම පාන්තික දෙමාපියන් ගැන කීව කතා සිහිවෙලා සමන්ති හඬා වැටුණා.

ඒ හැමදේම දරාගෙන කපිලට ආදරේ කරනවමයි, ඔහුව විවාහ කරගන්නවමයි, ඔහුව යළි යහමඟට ගන්නවමයි කියලා සමන්ති හිතා ගත්තේ විත්ති කූඩූවේදීමයි. ඒත් ඒ හැම බලාපොරොත්තුවක්ම කුඩු පට්ටම් වෙලා ගියේ, කපිලගේ බිරිඳ යැයි කියා ගත්ත කෙනක් ඔහුට ඇප ඉල්ලමින් නීතීඥවරයෙක් ඉදිරිපත් කරලා බව දැනගත්තාම. සමන්ති බින්දුවෙනුත් පහළට වැටුණා.

කපිලට කොහොම හරි ඇප ලැබුණා. සමන්තිව රක්ෂිත බන්ධනාගාර ගත කලා. ඒ මත් කුඩු වෙළඳාම සිදු කිරීම චෝදනාවට. ඇය සිටින තැනක් නොදැන උන්න නිසා ඇය වෙනුවෙන් පෙනී ඉන්න දෙමාපියන්වත් උන්නේ නැහැ.

සමන්ති දැඩි මානසික පීඩනයකට සහ කායිකව දුර්වල තත්වයට පත් වෙලා බන්ධනාගාරය තුළඳීම ප්‍රතිකාර ලබන්නට පවා සිදුවුණා. අවසානයේදී ඇය මානසික වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වුණා. ඒ වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම මත සමන්තිට ඇගේ දෙමාපියන් අමතන්න ඉඩක් ලැබුණා

මාස හයක් තිස්සේ හොයාගන්න බැරි වුණ දියණියගේ හඬ ඇහෙන්නේ බන්ධනාගාර බිත්ති හතරක් ඇතුලෙන් වීම ඒ දෙමාපියන් උපේක්ශාවෙන් දරාගත්තා. පහුවෙනිදාම සමන්තිව දකින්න ඔවුන් ආවා. සමන්තිට මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්නට දඬුවම් ලැබිලායි තිබුණේ. සමන්තිව නිදහස් කරගන්න ඔහුගේ මාපියන් දැරූ සියළු උත්සාහයන් ව්‍යර්තව ගියත්, ඔවුන් සමන්තිට නොවැටී සිටින්නට ධෛර්‍ය්‍ය සැපයූවා.

ඒ අතරේ දවසක් සමන්තිව හමුවෙන්න කපිලගේ මිතුරෙක් ආවා. සමන්ති කපිලට කිසිවක් පවසන්නට නැතැයි කියමින් ඔහුට තමා දකින්නටවත් නොපැමිණෙන්නයි තරයේම කියලා මිතුරාටත් සමුදුන්නා.

මාස හයකට පස්සේ සමන්ති නිදහස් වුණා. අවුරුදු විසි දෙකක් වෙනකොට සමන්ති ජීවිතේ ඍ ණ අඩියකට වැටිලා හිටියේ. ඒත් ඇයව අත් නොහරින දෙමාපියන් ඇගේ දෙපසින් හිටියා. ඔවුන් ඉතා වෙහෙස උත්සාහයන් කිහිපයකට පස්සේ සමන්තිවත් කැටුවම විදෙස් ගත වුණා.

” දැන් එයාට අවුරුදු තිස් තුනක් … තවමත් අවුරුදු දාට, මගේ උපන්දිනේට, මගේ බබාලගේ උපන්දින වලට සමන්ති මට කතා කරනවා…දැන් සමන්ති උපාධිධාරිනියක්.. ඪ දෛවයේ සරදමට මෙන් ඇය සේයව කරන්නේ හෝටලයක ගිණුම් කටයුතු සම්බන්ධව.. එ වගේම ඇය දැන් පෙම්වතියක්… ඔවුන්ගේ සම්බන්ධයට වසර දෙකක් පමණ වන බව ඇය මට කිව්වා…. ජීවිතේ නොකල වරදකට දඬුවම් ලැබීම ඝැන ඇයට කිසිඳු පසු තැවීමක් නැහැ.. ඇය කජීවිතය ගැන , මිනිසුන් ගැන , සමාජය ගැන අවබෝධයෙන් ජීවත් වෙන්නට ඉගෙන ගත්තේ අවුරුදු වීස්සත් විසි දෙකත් අතර කාලේ ජීවිතේ වුණ හැලහැප්පීම් එක්ක කියලා ඇය කියනවා…”

එහෙම කියන්නේ, සමන්ති බන්ධනාගාරගතවෙලා ඉන්නකොට ඇයට කරුණාව දක්වපු ජේලර්වරියක්.

ජීවිතේ කියන්නේ කාඩ් පැක් එකක්. අපි සෙල්ලම් කරන විදියට තමයි ජය පරාජය තීරණය වෙන්නේ කියලයි ලියුම්කාරියට හිතෙන්නේ. හැම තුරුම්පුවම ලොස් වෙලා ගියාට පස්සේත්, වාසනාව එක්ක උත්සාහ කරොත්, තුරුම්ප්පු පාද ගන්න පුලුවන් වේවි

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles