ආදර සැලසුම් – 45

0
2655

” මට මිස්ටර් අභිමන් ගැන තියෙන්නේ මගේ බොස් කියන හැඟීම විතරයි. මට එතනින් එහා කිසිම දෙයක් හිතන්න බැහැ. හිතෙන්නෙත් නැහැ “

තමා දුන් පිළිතුර ඍජු වැඩි යැයි මෞර්යාට සිතුනේ නිවසට ආ පසුය.එහෙත් ඒ පිළිතුර දෙන්නට හැකි වෙනත් ආකාරයක් මෞර්යා දැන සිටියේ නැත. නියපොත්තෙන් කපන්නට ඇති දේ පොරවෙන් කපන්නට ඉඩ නොතැබිය යුතුය. කුඩා හෝ බලාපොරොත්තුවක් අභිමන් තුළ ඇති වන සේ තමා හැසිරුනා නම් එය කොතනින් කොහොම කෙලවර වේ දැයි දන්නේ ද නැත. සිදු වූයේ විය යුතු හොඳම දේ යැයි සිතා මෞර්යා හිත හදා ගන්නට උත්සාහ කරමින් මෙතැන් පටන් අභිමන් ගේ ප්‍රතිචාරය කුමක් වේදැයි මෞර්යා තව දුරටත් සිතුවාය.

මෞර්යා උදෑසන පහට අවදි වී කාර්යාලයට යන්නට සූදානම් වූවාය. ඒ කවරදාක වත් නොතිබූ කුමක්දෝ මැලිකමකිනි. තමා මේ තාක් ජීවත් වූයේ ඉතා සැහැල්ලුවෙනි. ඒ සැහැල්ලුවට යන්තමින් හෝ හානි වූයේ තම පියා හා අශිකා අතර වූ අතීතය දැනගැනීමෙන් පසුවය. ඒ අතරතුරදීම අභිමන් තමා වෙත ගෙන ආ යෝජනාවද සිතට එකතු කළේ විශාල බරකි. 

මෞර්යා තරප්පු පේළිය බැස පහත මාලයට පැමිණෙද්දී චන්දික සහ නිල්මිණී උන්නේ කෑම මේසයේය. මෞර්යා කිසිදු කතාබහකින් තොරව කෑම මේසයේ කෙළවරකින් අත් බෑගය තබා පුටුවක් ඇද වාඩි වී රවුම් දීසිය මත තිබූ රොටියක් පිගානට බෙදාගෙන කුකුල් මස් වෑංජනෙන් ස්වල්පයකුත් ලුණු මිරිස් ස්වල්පයකුත්ත් බෙදා ගෙන හෙමින් සීරුවේ කෑම ගැනීම ආරම්භ කළාය. චන්දික සහ නිල්මිණී මුහුණෙන් මුහුණ බලා ගත්තේ මෞර්යාගේ ඒ හැසිරීමටය.කෙදිනකවත් මෞර්යා මෙසේ හැසිරෙන්නේ නැත.විශේෂයෙන්ම උදෑසන කාලයේදී ඇය සිටින්නේ ප්‍රබෝධයෙන් යුතුව තොරතෝන්චියක් නැතිව කියවමිනි.

” පුතේ ” 

චන්දික මෞර්යා දෙස උනන්දුවෙන් බලමින් ඇහෙන නෑහෙන ගානට ඇයට කතා කළේ කිසිවක් සිතා ගන්නට නොහැකිවය. චන්දිකගේ හඬට මෞර්යා හිස ඔසවා බැලුවේ තමා අතින් යම් වරදක් වූ බවට හැඟීමෙනි.

” good morning තාත්තා “

මෞර්යා එසේ කී විට චන්දික නැවතත් නිල්මිණී දෙස බැලුවේය. 

” මොකද පුතේ මේ ? ” 

” ඇයි තාත්තා ? ” 

චන්දික ඉවසීමෙන් බලා උන්නේය.මෞර්යා හිඳින්නේ හොඳින් නොවන වග තේරුම් ගැනීමට ඔහුට අපහසු වූයේ නැත.

” ඇයි තාත්තා කියලා අහන්නේ ?මොකද ළමයො ඔයාට වෙලා තියෙන්නේ ? කිසිම කතාවක් බහක් නැතුව වාඩිවෙලා කන්න පටන් ගත්තේ මෙතන කවුරුත් නෑ වගේ ?වෙනදට ඔයා ඔහොම නෑනේ මෞර්යා “

එවර හඬ අවදි කලේ නිල්මිණී ය.මෞර්යා දෙදෙනා දෙසම බැලුවේ ඇත්තටම සිදු වූයේ වරදක් නිසාය.

” සොරි අම්මා මං වෙන කල්පනාවක හිටියේ “

මෞර්යා සමාව අයදින ස්වරයෙන් කීවත් නිල්මිණී ගේ මුහුණෙහි වූ කෝපාන්විත ඉරියව් පහව ගියේ නැත.

” ඒක පුදුම කල්පනාවක් නේ ? ඒ උදේ පාන්දර කිසිම හාවක් හුවක් නැතුව මොනවද ඔයාට කල්පනා කරන්න තියෙන්නේ ? ” 

” පොඩ්ඩක් ඉන්න නිල්මිණි ඒ ළමයට කතා කරන්න දීලා කවුද දන්නේ මේ ළමයට අසනීපයක්ද කියලා ?” 

මෞර්යා බලා සිටියාය.දෙමව්පියන් සනසනු පිණිස කුමක් හෝ කිව යුතුය. පසුගිය දින දෙක තුන උල සිදු වූ දේවල් තමාව සැබවින්ම කලබලයට සහ නොසන්සුන් භාවයට පත් කර ඇත.එය කෙදිනක වත් සිදුවූ දෙයක් නොවේ.කුමන තත්ත්වයක් යටතේ වුවද තමා සංසුන්ව සියලු දේවල් වලට මුහුණ දුන් බව මෞර්යා කල්පනා කළාය. වයසින් වැඩෙන විට, සමාජ ඇසුර ලබද්දී සහ අත්දැකීම් ලබද්දී ජීවිතය සංකීර්ණ වන බව තේරුම් ගත යුතුය. ඒවාට සැලිය යුතු නොවේ.

” මේ ටිකේ ටිකක් වැඩ වැඩි තාත්තා.මං ඒ ගැන කල්පනා කරේ.අදත් මට ඉවර කරන්න ගොඩක් වැඩ තියෙනවා. වෙන කිසි අවුලක් නැහැ අනේ “

මෞර්යා සිනාසෙන්නට වෙර දරමින් කීවත් චන්දික සහ නිල්මිණී එවදන් පිළිගත්තේ නැත.මෞර්යා යනු ඕනෑම මොහොතක සරලව සහ සැහැල්ලුවෙන් ජීවත් වන්නට උත්සාහ දරන්නියකි. මේ අවුරුදු විසි පහ තුළදී මෙවැනි හැසිරීමක් කිසි දිනක ඇගෙන් දැක නැත. 

” ඉතිං මොකට මැරී ගෙන වැඩ කරනවද මෞර්යා ඔය අනුන් ගෙ තැන් වල ? යස අගේට මේ තාත්තත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙද්දි උදේ හවස එහාටයි මෙහාටයි ගිහින් මොකක්ද ඔය කරන වැඩේ තේරුම ? “

” එහෙම තමයි අම්මා ඕනම ඔෆිස් එකක.බලන්නකෝ අනුත්තරා කොච්චර මහන්සි වෙනවද කියල.සමහර වෙලාවට එයා ගෙදර ගිහිල්ලත් වැඩ කරනවා.මට එහෙම නෑනේ “

චන්දික මේ සංවාදය බලා උන්නේය. මෞර්යාගේ මේ අමුතු හැසිරීමට තමාත් හේතුවක් විය හැකි බව අනුමාන කරමින් ඔහු අසුනින් නැගී සිටියේය.

” ඔයා ඔය කාලා ඉවරද ? ” 

නිල්මිණි ඇසුවේ පුදුමයෙනි.චන්දික යනු කිසිම හේතුවක් උදෑසන ආහාරය මඟ හරින කෙනෙකු නොවේ. 

” පුතාට පරක්කු වෙන්නෙ නැත්නම් විනාඩි දහයක් ඉන්න මම ලෑස්ති වෙලා එන්නම්. මං ඔයාව ඔෆිස් එකෙන් ඇරලවන්නම් ” 

මෞර්යා එයට අවනත වූ අතර නිල්මිණීද කිසිවක් නොකීවාය. චන්දික ඉක්මනින් තරප්පු පේළිය නැග ගොස් සූදානම් වන්නට පටන් ගත්තේ මෞර්යා පිළිබඳව සිතට දැනුණු අමුත්ත නිසාමය.

චන්දික සූදානම් වී ආ පසුව මෞර්යා ඔහු සමග වාහනයට නැඟුණේ නිල්මිණී ට සමු දීය. මින් පෙර රැකියාවක් කර කාර්යබහුල වී මෞර්යාට පුරුද්දක් නැති නිසා පෞරා රැකියාවක් කිරීම පිළිබඳව නිල්මිණී උන්නේ බොහෝ කෝපයෙනි.එහෙත් මෞර්යා රැකියාවක් කිරීම පිළිබඳව චන්දික දරන්නේ වෙනස්ම අදහසක් නිසා නිල්මිනී ඉන් එහාට කිසිවක් නොකියා උන්නාය.

” මොකක්ද පුතේ ප්‍රශ්නේ ? ” 

චන්දික ඇසුවේ වාහනය ප්‍රධාන මාර්ගයට දමන අතරේය. තමා නිල්මිනීටද කිව නොහැකි කාරණාවකට සංවේගයෙන් සිටින මොහොතේ එය හඳුනාගෙන සිත සැහැල්ලුවට පත් කරේ මෞර්යා ය. ඒ නිසා ඇය එවන් තත්ත්වයක හිඳිනා බව පෙනෙන මොහොතේ පියෙකු වශයෙන් තමාට ඇයව තනිකර තැබීම කිසි සේත්ම කළ නොහැක.

” මට තේරෙන්නේ නෑ තාත්තා ” 

” ඔයා හිතේ ඔයා හිතේ කරදරෙන් වගේ ඉන්නේ එදා මං කියපු දේවල් නිසාද ? ” 

චන්දික ඇසුවේ වරදකාරී හැඟීමෙනි. අතීත කතා වර්තමානයට කොහෙත්ම අදාළ නැත. ඒවා හාරා ඇවිස්සීමෙන් සි දුවී ඇත්තේ තම එකම දියණිය ගේ සිතේ සාමය නැති වීමය.

” එහෙම දෙයක් නෙමෙයි තාත්තා ” 

” එහෙනම් ? ඔයා මෙහෙම ඉන්නව දැකලා අපිට පුරුදු නෑ පුතේ ” 

චන්දික කීවේ ශෝකයෙනි. 

” මම රස්සාවෙන් අස් වෙන්නද තාත්තා ? ” 

චන්දික අත් ඔරලෝසුවෙහි වෙලාව බැලුවේය. එහි උදෑසන හතයි හතළිස් පහ ලෙස සටහන් වී තිබුණි. පාර දෙපස බැලූ චන්දික මද දුරක් ඉදිරියට ගොස් පාර අයිනට කර වාහනය නතර කළේය.

” ඇයි පුතාට එකපාරටම රස්සාවෙන් අස් වෙන්න හිතුනේ ? එතන හොඳ නැද්ද ? ” 

” හොඳයි තාත්තා. ඒත් මට දැන් එතන හිටියා ඇති වගේ කියලා හිතෙනවා ” 

මෞර්යා ජීවිතය පිළිබඳව තීරණ ගන්නේ බොහෝ දුරට සිතා බලාය. ඇය ගන්නට සූදානම් වන මේ තීරණයට පවා සාධාරණ හේතුවක් තිබිය යුතු අතර ඇය ශෝකයෙන් මෙන් සිටින්නේ ඒ නිසා විය යුතු යැයි චන්දික අනුමාන කළේය. 

” හේතුව මොකක්ද කියලා මං අහන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ ඔයාට හොඳයි කියලා හිතෙන ඕනෙම දෙයක් කරන්න පුතේ ” 

මෞර්යා තව දුරටත් කල්පනා කළාය. ගෙවුනු රාත්‍රියේ දී පවා දීර්ඝ ලෙස කල්පනා කළේ මේ රැකියාව පිළිබඳවය. තමා අභිමන්ව ප්‍රතික්ෂේප කළ පසුව අද සිට ඔහු ගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි සිතා ගත නොහැක.ඊටත් වඩා ආදිත්‍යය මේ පිළිබඳව කුමන ආකාරයකින් හෝ දැන ගතහොත් ඔහුගේ ප්‍රතිචාරය ද වෙනස් එකක් විය හැකිය.මෞර්යා සිතුවිලි අතර අතරමං වී තව දුරටත් කල්පනා කළාය.

” ඔයා ගන්න ඕනම තීරණයක් ගැන දෙපාරක් හිතන්න මෞර්යා. හැබැයි ඔයා ඒ ගන්න කිසිම තීරණයකට මම නම් විරුද්ධ වෙන්නේ නැහැ ” 

චන්දික කීවේ මෞර්යා නිහඬව හුන් නිසාය.

” මට ඔයාට තව දෙයක් කියන්න තියෙනවා තාත්තා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here