රැකියාවෙන් ඉවත්වීමට තීරණය කිරීමට පෙර අභිමන් ගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි තව දුරටත් සලකා බලන ලෙස චන්දික කියූ නිසා මෞර්යා හිත හදා ගෙන කාර්යාලයට පැමිණියාය.ඉක්මන් වී ගන්නා තීරණ බොහෝ දුරට සාර්ථක නොවන බව චන්දික මෞර්යාට පහදා දුන්නේ කාර්යාලයට එන අතර මඟදීය.එම නිසා තව දුරටත් කාර්යාලයේ රැඳෙන්නට තීරණය කළ මෞර්යා කාර්යාලයට පැමිණ සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු ආරම්භ කලාය.
අභිමන් සහ ආදිත්‍ය වේලාවල් දෙකක දී කාර්යාලයට පැමිණි අතර අභිමන් කිසිවක් නොවූ ආකාරයෙන් සාමාන්‍ය ලෙස සියලු සේවකයන් අතර ගැවසෙමින් කටයුතු කළේය.මේ යැයි කියා කිව නොහැකි මෞර්යා ගේ කුමක් දෝ වෙනසක් වරින් වර කැමරාව ඔස්සේ නිරීක්ෂණය කරමින් ආදිත්‍ය කාර්යාලයට වී දවස ගෙව්වේය.
චන්දික හිත හැදූ නිසා මිසක මෞර්යාගේ තීරණය වූයේ රැකියාවෙන් ඉවත් වීමය. තමා පිළිබඳව අභිමන් තුළ එවැනි බලාපොරොත්තුවක් ඇති වූයේ කවදා කෙසේ දැයි දන්නේ නැත. සමහරවිට තමා කාර්යාලයට සේවයට පැමිණි මුල් දිනවල සිටම එය තිබෙන්නට ඇත.විනෝද චාරිකාවේදී පවා ඔහු නිතරම තමා සමීපයට පැමිණ සිටීමට උත්සාහ කළේ ඒ නිසා විය හැකිය. ඒ මොහොතේ තමාට එවැන්නක් සිතුනේ නැති නමුත් අභිමන් තුළ ඒ වන විටද තමා පිළිබඳව අදහසක් තිබෙන්නට ඇත. ඒ කෙසේ වුවත් එය තව දුරටත් වර්ධනය වීමට ඉඩ දිය යුතු නැතැයි මෞර්යා නැවත සිතුවේ දහවල් ආහාරය ගැනීමට ප්‍රමාද වී යන අතරේය.
දහවල් ආහාරය ලබා ගෙන කෑම කාමරයෙන් එළියට පැමිණෙන විට කාර්යාල කාමරයෙන් පිටතට පැමිණෙන අභිමන්ව මෞර්යා ට මුහුණට මුහුණ මුණගැසුණු නමුත් අභිමන් ආයාසයෙන් මවා ගත් හිනාවකින් මෞර්යාට සංග්‍රහ කරා මිස ඉන් එහාට කිසිවක් සිදු වූයේ නැත. අභිමන් එසේ හැසිරුණේ සිතා මතාම බව තේරුම් ගන්නට මෞර්යාට අපහසු වූයේ නැත.
” අයියා , මං අද ටිකක් කලින් ගෙදර යනවා “
අභිමන් ආදිත්‍ය ගේ කාර්යාල කාමරය වෙත පැමිණ කීවේ සවස හතරට ආසන්නව තිබියදීය. ආදිත්‍ය අභිමන් ගේ මුහුණ දෙස විමසිල්ලෙන් බැලුවේ සාමාන්‍යයෙන් ඔහු කිසිම හේතුවක් මත කාර්යාල වේලාව තුළදී මෙවැනි කතාවක් නොකියන නිසාය.
” ඇයි මල්ලි ? අම්මට සනීප නැතුව වත්ද ? ”
ආදිත්‍ය ඇසුවේ වැරදීමකින් හෝ අශිකා ගෙන් මග හැරුණු ඇමතුමක් ඇති දැයි බැලීමට දුරකථනය පරීක්ෂා කරමිනි. අශිකා ගේ තත්ත්වයද එතරම් හොඳ නැති නිසා ආදිත්‍යයට එසේ බිය වීමට කාරණාවක්ද තිබිණි.
” නෑ අයියා.එච්චර හදිසි වැඩක් නැති නිසා මම යන්න හිතුවේ. පහුගිය දවස් ටිකේ මට ටිකක් වැඩ වැඩි නිසා ටිකක් රෙස්ට් කරා නම් හොඳයි ”
අභිමන් පිටව ගියේය. ආදිත්‍ය බලා උන්නේ අමුතුවටය. අභිමන් කියා ගිය දෙයට වඩා යමක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. එහෙත් අභිමන් කිසිදු හේතුවක් මත හෝ පෞද්ගලික කාරණා සමග වෘත්තීය පටලවා ගන්නා ආකාරයේ කෙනෙකු නොවේ. ඔහු මේ ආයතනයේ වැඩ භාර ගත් දිනයේ සිට එවන් සිදුවීමක් කිසි දිනක සිදු වී නැත.
අභිමන්ගේ පිටව යාම සාමාන්‍ය සිදුවීමක් ලෙස සිතන්නට උත්සාහ දරමින් ආදිත්‍ය නැවත තම ලැප්ටොප් පරිගණකය වෙත දෑස් යොමු කළේය.හදිසියේ ඇති වූ සිතුවිල්ලක් මත ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරන යොමුව වෙත පිවිසුණු ආදිත්‍ය මෞර්යා සිටින ස්ථානය නිරීක්ෂණය කළේය. මෞර්යා අද කාර්යාලයට පැමිණ තිබුණේ ඇගේ වාහනයේ නොවන බව ආදිත්‍ය දුටුවේ උදෑසන තම වාහනය වාහන අංගනයේ නතර කරන විටය.වෙනදා මෞර්යා වාහනය නතර කරන තැන ඇගේ වාහනය නොතිබූ නිසා සම්පූර්ණ වාහන අංගනය පරීක්ෂා කළද ඇගේ වාහනය එතැන දක්නට තිබුණේ නැති බව ආදිත්‍යයට නැවත මතක් වූයේ මේ මොහොතේය.
” මගේ ඔෆිස් එකට එන්න ”
ආදිත්‍ය මෞර්යා හට වට්සැප් පණිවිඩයක් තැබුවේය. විනාඩි පහක් පමණ ගතවන විට මෞර්යා කාර්යාල කාමරයට පැමිණියාය.
” ඇයි මිස්ටර් ආදිත්‍යය ? ”
මෞර්යා අසුන අසල සිටගෙන ඇසුවේ ආදිත්‍ය කිසිවක් නොකියා බලා සිටින නිසාය. සමහරවිට අභිමන් කාර්යාලයෙන් පිටව ගිය නිසා ආදිත්‍ය තමා කැඳවන්නට ඇත.
” ඇයි කියන්න කලින් වාඩිවෙලා ඉන්නකෝ මෞර්යා ”
මෞර්යා ආදිත්‍ය හට අවනත වෙමින් අසුන් ගත්තාය. අනතුරුව බලා උන්නාය.
” කෝ වාහනෙ ? ”
” වාහනේ ? ”
” ඔව්? ඇයි අද වාහනේ ආවේ නැත්තේ ? ”
මෞර්යා පුදුම වූවාය. ආදිත්‍ය දිනපතා කාර්යාලයට පැමිණෙන්නේ තමා කාර්යාලයට පැමිණ බොහෝ වේලාවක් ගත වූ පසුවය.එසේ නම් තම වාහනය වාහන අංගනයේ නැති බව සමහරවිට ඔහු නිරීක්ෂණය කරන්නට ඇත.
” මං ආවේ තාත්තා එක්ක මිස්ටර් ආදිත්‍ය ”
” හේතුව ? ”
මෞර්යා එකවර පිළිතුරු නොදුන්නාය.ආදිත්‍ය මේ ප්‍රශ්න අසන්නේ පිළිතුරු නොදී සිටීමට නොහැකි වන ආකාරයටය. ඊටත් වඩා නොපෙන්නුවාට ඔහු තමා පිළිබඳව විමසිල්ලෙන් හිඳින බව දැන් පැහැදිලිය.
” තාත්තා කිව්වා මාව ඇරලවන්නම් කියලා . ඒකයි ”
” වෙන හේතුවක් නෑනේ ? ”
ආදිත්‍ය සෘජුව මෞර්යා දෙස බැලුවේය.මෞර්යා ඒ දෑස් මග හැරියේ දුන් පිළිතුර ඇත්තටම ඇත්තක් නොවන නිසාය.
” නෑද ? ඔව් ද ?”
මෞර්යා බලා උන්නාය. ආදිත්‍ය දෙස බලා ගෙන බොරු කියන්නට නොහැක. එහෙත් සිදුවූ දෙයද පැවසීමට නොහැක. දෙගිඩියාවෙන් තමා දෙස බලා හිඳින මෞර්යාගෙ සිතැඟි තේරුම් ගැනීමට ආදිත්‍ය උත්සාහ කළේය.
” බොරු නේද කිව්වේ ? මොකක් හරි හොරයක්වත් ගෙදරට මාට්ටු කර ගත්තද? “
” මාට්ටු කරගන්න හොරයක් තියෙන්න එපැයි ”
මෞර්යා කීවේ සිනහ අතරිනි.ඇයට උවමනා වූයේ කතාව මග හැරීමටය. එහෙත් ආදිත්‍යය එයට සූදානම් වූයේ නැත.
” කතාව මගාරින්න එපා මෞර්යා.මං අහපු දේට උත්තරයක් දෙන්න.ඇයි කවදාවත් නැතුව තාත්ත එක්ක ඔෆිස් ආවෙ ? ”
” නිකන් ඉතින්. තාත්තයි මායි චැට් එකක් දාගෙන ආවා ”
මෞර්යා සන්සුන් වන්නට උත්සාහ දැරුවාය.ආදිත්‍ය තමාට වඩා වසර දහයකින් වැඩිමල් ය.ඒ නිසා ඔහුව නොමඟ යැවීම පහසු නැත.අනෙක් අතට තමා ඔහුව කියවනවා මෙන් ඔහුද තමාව කියවීම පටන් ගෙන ඇත.
” හරි ඔයා යන්න ”
ආදිත්‍ය එකවරම කීවේ තරමක් තද ස්වරයකිනි. මෞර්යා පුදුමයෙන් බලා උන්නාය. තමා කීවේ ඇත්ත නොවන බව ආදිත්‍ය හට හැඟෙන්නට ඇත. ඔහු මේ කෝපයට පත්වී මෙන් සිටින්නේ එම නිසා විය හැක.
” ආදිත්‍ය ”
මෞර්යා එවර තරමක් හඬ බාල කර ආදිත්‍ය ඇමතූ අතර ඉවසා ගත් කෝපයෙන් ඉවත බලාසිටි ආදිත්‍යය හිස හරවා මෞර්යා දෙස බැලූවාය.
” මං දෙයක් කියන්නද ? ”
” මොකක්ද ? ”
” ඇත්තටම මම හිතාගෙන හිටිය රිසයින් වෙන්න කියලා. ඒක උදේ තාත්තාට කිව්වම තමයි තාත්තා මාව එක්ක ගෙන ආවේ.එයාට මාත් එක්ක කතා කරන්න ඕන උනා. මොකද අපේ අම්මත් එක්ක කතා කරනවට වඩා තාත්තත් එක්ක කතා කරන එක හරිම ලේසියි “
ආදිත්‍ය පුටුවෙන් නැගිට්ටේ කලබලයෙනි.අනතුරුව ඔහු මෞර්යාට එහා පසින් වූ පුටුව ඇද වාඩි වූයේය.
” රිසයින් වෙන්න ? මෙහෙන් ? මේ කම්පනි එකෙන් ? ”
මෞර්යා බිම බලා ගත්තාය.මෙය ආදිත්‍යයට කියන්නට සිටි දෙයක් නොවේ. එහෙත් ඔහුට සැඟවීමද කළ නොහැක.ඔහු ඔහුගේ ජීවිතයේ කිසිම දෙයක් නොසඟවා තමාට පැවසූ නිසා කුඩා යමක් හෝ ඔහුට සැඟවීම අසාධාරණ බව මෞර්යා සිතුවාය. අභිමන් තමාට විවාහ යෝජනාවක් ගෙන ආ බව ආදිත්‍ය හට කිව හොත් ඇති වන්නේ විශාල ගැටලුවකි.සහෝදරයන් අතර ගැටලු ඇති කිරීම කිසිදු හේතුවක් මත කළ යුතු නොවේ. මේ මොහොතේදී මේ ගැටළුව විසඳිය යුතු වන්නේ වෙනත් ආකාරයකටය.විශේෂයෙන්ම ආදිත්‍ය සිටින මානසික තත්ත්වය මත මෙවැනි ගැටලුවක් ඔහුට ගෙන එන්නේ තවත් පීඩාවකි. එපමණක් නොව කුමක් වුවත් එය කතා කළ යුතු වන්නේ මේ කාර්යාලය තුළදී නොවේ.අභිමන්ද කාර්යාලයේ නැති මොහොතක තමා මෙතරම් වේලාවක් ආදිත්‍ය ගේ කාර්යාල කාමරයේ රැඳී සිටීම එතරම් හොඳ නැත.
” කතා කරන්න මෞර්යා ? ”
” මට ඔයාට දෙයක් කියන්න තියෙනවා “