(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“තමුන් අම්මා කෙනෙක් නේද? දරුවො ඉන්න? ලැජ්ජ නැද්ද ඕයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න” කියලා විහඟ කෑගහද්දි උනත් අනුශිගෙ ඇස්වලින් එක කඳුලු බිංදුවක්වත් වැටුණේ නෑ. “එහෙම අඬන්න මං වරදක් කරේ නෑ” කියලා තමයි අනුශි හිතාගෙන හිටියෙ.
අනුශියි ධනුකයි කසාද බැන්දෙ හරිම තරුණ වයසෙදි. දෙන්නට බබාලා තුන් දෙනෙක් උන්නට මොකෝ දෙන්නම තාම තරුණයි. තුන්වෙනි බබා හම්බුනාට පස්සෙ තමයි අනුශිට නිකන් හැමදේම එපා වෙච්ච, කවුරුවත් මට ආදරේ නෑ වගේ එක එක විදියෙ දේවල් හිතුනෙ. ධනුක කොහොමත් උදේ රස්සාවට ගිහින් එන්නෙ හවස හන්දයි තමන් ගෙදර එන්නෙත් හවස හන්දයි අනුශියි ධනුකයි දෙන්නට තමන් දෙන්නා වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් තිබ්බෙ නැති තරම්.
අම්මා කෙනෙක් විදියටයි, බිරිඳක් විදියටයි ගෙදර වැඩ දාහක් කරන ගමන් පවුලෙ හතර දෙනා වෙනුවෙන් ඕනවට වඩා ආදරේ වපුරද්දිත් අනුශිගෙ හිත නිතරම කිව්ව එක කතාවක් තිබ්බා. ඒ තමයි “මං කාට කොච්චර ආදරේ උනත් කට්ටිය මට එච්චර ආදරේ කරන්නෙ නෑ” කියන එක.
ඔය ෆීලින් එක තමයි අනුශිවයි සේනියවයි ලං කරේ. සේනිය කියන්නෙ අනුශි ඉස්කෝලේ යන කාලෙ ඉඳලා දන්න කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙත් හිතවත් වෙලා උන්න දෙන්නා ආයෙ අවුරුදු ගාණකට පස්සෙ කතා බහ කරන්න ගත්තෙ ෆේස් බුක් එකෙන්. මුලින් මුලින් “හායි, හෙලෝ කොහොමද?” කියලා පටන් ගත්ත යාලුකම කාලයක් යද්දි දෙන්නට දෙන්නගෙ පවුල් වල තිබිච්ච ප්රශ්න විසඳගන්න කතාබහක් උනා.
“ධනුක හරි හොඳයි. ඒත් මට හැමතිස්සෙම හිතෙනවා මං කොච්චර කරත් මං වෙනුවෙන් කිසිම දෙයක් කරන්න කවුරුවත් නෑනෙ” කියලා.
“මෙහෙත් එහෙමයි. මං මධූශා ආස හැමදේම අරන් දෙනවා. මධූශා ගෙදර වැඩ එහෙම ඔක්කොම හොඳට කරනවා. ඒත් මොකක් හරි අඩුවක් තියෙනවා. නිකන් ඉන්නවට ඉන්නවා වගේ” කියලා සේනිය කියද්දි සේනිය ඉන්නෙත් තමන් ඉන්නවා වගේම තැනක තමයි කියන එක අනුශිට තේරුණා.
සම්බන්ධෙ පටන් ගත්තෙ ඒ විදියට. තමන්ගෙ පවුල් ජිවීතේ අස්සෙ නොලැබිච්ච ආදරේ අනුශි සේනියගෙනුත්, සේනිය අනුශිගෙනුත් ලබාගත්තා. දෙන්නා ඒක සාධාරණීකරණය කරේ “අපි දෙන්නා කතාකරනවා විතරනෙ. කවදාවත් හම්බවෙන්නෙ නෑනෙ” කියලා හිතලා.
අනුශා සේනිය එක්ක කෝල් එකකින් කරන ආදරේ පිරිච්ච සංවාදයක් ධනුකට ඇහුනෙ කලින්ම කියන්නෙ නැතුව ගෙදර ආව දවසක. ගින්න පත්තු උනේ එතනින්.
“තමුන් අම්මා කෙනෙක් නේද? දරුවො ඉන්න? ලැජ්ජ නැද්ද ඕයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න” කියලා ධනුක අහද්දි අනුශි කිව්වේ,
“අපි දෙන්නා කතා කරා විතරයි. කවදාවත් හම්බෙලා නෑ. මට මේ පවුල ඇතුලෙන් ලැබෙන්න ඕන ආදරේ ලැබෙන්නෙ නැතුව තියෙද්දි මම පිටින් හරි ආදරේ ලබාගන්න හිතුව එක වරදක් ද?”
මෙන්න මේ කතාවෙන් පස්සෙ තමයි අනුශි කවුන්සලින් එන්නේ.
“මට ධනුකව නැතිකරගන්න ඕන නෑ. මට මගේ ෆැමිලි ලයිෆ් එක නැතිකරගන්න ඕන නෑ. මට සේනිය එක්ක කතාකරන එක නතර කරන්න පුලුවන්. හැබැයි මට ඕන ආදරේ. මට ඕන ධනුක මං ගැන ඉස්සර අපි යාලුවෙලා ඉන්න කාලෙ හෙව්වා වගේම හොයන්න”
අනුශිගේ කතාව අපිට පෙන්නුම් කරන්නේ විවාහයකදී ආදරය කියන එක ලිංගික බැඳීමකට විතරක් සීමා වෙන්නේ නැති විත්තිය.
ඇත්තටම, හුඟක් වෙලාවට ශාරීරික බැඳීමකට වඩා වැදගත් වෙන්නේ මානසික බැඳීමක්. විශ්වාසය, සෙනෙහස සහ එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීම කියන දේවල් නැති වුණාම, ඒ හිස්තැන් පුරවන්න මිනිස්සු එක එක පාරවල් වල යනවා.
මේ කතාවේ වැරදිකාරයෝ කවුද කියලා තීරණය කරන්න අමාරුයි. අනුශි ද? ධනුක ද? නැත්නම් මේ දෙන්නාගේම ජීවිතවලට රිංගපු තනිකම ද? මේ ප්රශ්නයට උත්තර දෙන්න අපිට ඉක්මන් වෙන්න බෑ.
අනුශිගේ හඬින් ඇහෙන්නේ ගොඩක් ගෑනු අය නොකිව්ව කතාවක්. ඒ කතාවේ හැඟීම් ගොඩක් එක්කහුවෙලා තියෙනවා. තමන්ගේ පවුල වෙනුවෙන් සියල්ල කැප කරපු, ඒත් අවසානයේ තමන්ට කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැයි කියලා හිතෙන තැනකට ගොඩක් ගැහැණු අය කාලය, වැඩ අධික වීම වගේම postpartum depression වගේ දේවල් එක්ක එනවා. ඒක තාවකාලික ප්රශ්නයක් උනත් අපිට එවෙලෙට ඒක තේරෙන්නෙ නෑ.
අනුශිගේ කතාව අපිට කියන්නේ, පවුලක ආදරය රැක ගන්න, එකිනෙකාට විවෘත වීම කොච්චර වැදගත් ද කියන එකයි. දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන්, වගකීම් වෙනුවෙන් දුවන මේ ජීවිතේදී, තමන්ගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන කතා කරන්න, ඔවුන්ගේ හදවත් තේරුම් ගන්න, ඔවුන්ට ආදරේ කරන්න පුළුවන් නම්, අනුශි සහ ධනුක අතර මේ වගේ ගැටලු ඇති නොවී තියෙන්න තිබ්බා.
අනුශිගේ කතාවෙන් අපිට තවත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි, තමුන් විවාහක වුණත්, නැතත්, තමන්ගේ සහකරු/සහකාරිය සමඟ විවෘතව කතා කිරීම කොච්චර වැදගත් ද කියන එක. ඒ වගේම, තමන්ගේ සහකරු/සහකාරියට තනිවෙන්න ඉඩ නොදී, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එතකොට මෙවැනි ගැටලු නැවත නැවත ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඇත්තටම, අනුශිගේ කතාව කියවද්දි අපිට පේනවා, විවාහ ජීවිතයේ ඇතිවෙන මානසික හිස්තැන් පුරවන්න එයා තෝරගත්ත පාර වැරදි බව. මෙතනදි අනුශිගේ ක්රියාව සම්පූර්ණයෙන්ම වැරදියි කියලා කියන්න පුළුවන්. මොකද, තමන්ගේ පවුල, දරුවන් සහ සැමියා ඉද්දි, පිටස්තර සම්බන්ධයකට යන එක මේ වගේ ප්රශ්නවලට උත්තරයක් නෙවෙයි. ඒක තාවකාලික විසඳුමක් විතරයි.
අපේ ජීවිතේට මූණ දෙන්න වෙන හැම ප්රශ්නයක්ම තාවකාලිකයි. ඒත් ඒ වගේ ප්රශ්නවලට විසඳුම් හොයන්න අපි ගන්න තීරණත් තාවකාලික වෙන්න බෑ. අනුශි තමන්ට දැනුණු තනිකම සහ නොලැබුණු ආදරය වෙනුවෙන් පිටතින් ආදරය සොයා ගියත්, ඒකෙන් උනේ හිතේ වගේම පවුල් ජීවිතය ඇතුලෙ තිබ්බ අවුල තව වැඩිකරන එක විතරයි.
මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන අයට කියන්නම ඕන දේ තමයි, විවාහයෙන් පිට සම්බන්ධයක් කියන්නේ කිසිසේත්ම “survival solution” එකක් නෙවෙයි. පවුල් ජීවිතයේ ගැටලු ඇති වුණාම, ඒවාට විසඳුම් සොයන්න ඕනේ ඒ පවුල ඇතුලෙන්මයි. උපදේශන සේවාවක් වගේ දේකට යොමු වෙන එකෙන් තමන්ගේ ප්රශ්නයට නිසි විසඳුමක් සොයා ගන්න පුළුවන්.
අපි කොච්චර අමාරුවෙන් හැමදෙයක්ම ගොඩනඟා ගත්තත්, සමහර වෙලාවට එන තාවකාලික සැනසුම් සහ පහසුකම් නිසා අපි අතරමං වෙනවා. ඒ මොහොතේ දැනෙන සැනසීම මුළු ජීවිත කාලෙටම ඇති වෙයි කියලා හිතනවා. ඒත් ඇත්තටම ඒ සැනසීම තාවකාලිකයි. අපිට දැනෙන්නේ නැතුවම, ඒ තාවකාලික සතුට වෙනුවෙන් අපි අමාරුවෙන් ගොඩනගා ගත්ත දේවල් ටික ටික නැති වෙලා යනවා.
මතක තියාගන්න, තාවකාලික සතුටක් කියන්නේ කවදා හරි ඉවර වෙන දෙයක්. හැබැයි අමාරුවෙන් ගොඩනගා ගත්ත දේවල් වලට තියෙන්නේ ස්ථිර වටිනාකමක්. ඒ නිසා, මොන ප්රශ්නයක් ආවත්, මොන අභියෝගයක් හමුවුණත්, ඒ හැමදේම ජය ගන්න ශක්තිය තියෙන්නේ අපිටමයි. ජීවිතේ වටිනාම දේවල් ආරක්ෂා කරගන්න, තාවකාලික සැනසුමක් වෙනුවෙන් ඔයා අමාරුවෙන් ගොඩනගා ගත්ත දේවල් උගසට තියන්න එපා.
ඉතින් මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!