ආදිත්‍ය අභිමන් සහ අශිකා ජීවත් වන නිවසට පැමිණියේ ටික දිනක් ගත කිරීම සඳහාය. නඩුව අවසාන වීමෙන් පසුව දින කිහිපයක් ගත කිරීම සඳහා මහ ගෙදර නැවතී සිටීමේ අදහස ලබා දුන්නේ අශිකා විසිනි. ඒ ආදිත්‍ය තවමත් කම්පන සහගතව සිටිනවා යැයි ඇය අනුමාන කළ නිසා නමුත් ඇත්තටම ආදිත්‍ය උන්නේ පෙර නොවූ සැහැල්ලුවකිනි.
වසරක කාලයක් වුවද ගත කළ විවාහ ජීවිතයේ තමා සෙවූ ජීවිතය නොතිබී ඇති බව ආදිත්‍ය වටහා ගත්තේ ෂෙහාරා ගෙන් දික්කසාද වීමෙන් අනතුරුවය.ෂෙහාරා යනු විවාහ යෝජනාවකින් තම ජීවිතයට පැමිණි තැනැත්තියකි. ඉන් පසුව තම ජීවිතය තුළ සිදු වූයේ බොහෝ විට ෂෙහාරාට අවැසි දේවල්ය.විවාහ මංගල්‍යය උත්සවය පවා පැවැත්වූයේ ඇය කැමති වූ ආකාරයටය. ඒ අනුව සිතා බලන කල පහුගිය අවුරුද්ද තුළ එක මොහොතක් වත් තමා තමාට උවමනා ආකාරයට ජීවත් වී නැත.
ආදිත්‍ය පැයක් පමණ පුරාවට දිය නාගෙන සැහැල්ලු කමිසයකින් සහ කොට කලිසමකින් සැරසී මුළුතැන්ගෙය වෙත පැමිණියේය. අශිකා ඉඳිආප්ප සකස් කර ආදිත්‍ය කැමතිම ආකාරයට මාළු ඇඹුල් තියල් සහ අල වෑංජනයක් මෙන්ම කොච්චි එකතු කර සකස් කර තිබූ පොල් සම්බෝලයක්ද රාත්‍රී ආහාරය සඳහා සූදානම් කර තිබුණාය. රාත්‍රී කෑම මේසය දුටු ආදිත්‍යයට දැනුනේ ජීවිතය පිළිබඳ නව හැඟීමකි. තමා මෙතැන් පටන් ජීවිතය අලුතෙන් ආරම්භ කළ යුතු බවත් , තමාට වැරදි ගිය තැන් පිළිබඳව පසුතැවීම නොකළ යුතු බවත් ආදිත්‍ය සිතුවේය.
” පුතා ආස කෑම ටික හැදුවා ”
ආදිත්‍ය කෑම මේසය අසල සිට ගෙන බලා සිටිනු දුටු අශිකා කීවේ පිඟන් තුනක් මේසය මත පිළිවලින් තබන අතරතුරේය. අභිමන්ද මුළුතැන්ගෙයට පැමිණියේ ඒ මොහොතේදීය. නිවසේ පෙර තිබූ නොසන්සුන් භාවය පහව ගොස් ඇති නිසා ඔහු උන්නේ ද වෙනදාට වඩා සතුටිනි.
” ශා. අයියගේ ආසම මෙනූ එකක්නෙ අම්මා හදල තියෙන්නේ “
” කොච්චර කාලෙකින්ද පුතේ අයියා මේ විදිහට සැනසිල්ලේ කෑම ටිකක් කන්න හදන්නේ ? ”
ආදිත්‍ය මේසයෙන් වාඩි වූ පසු අශිකා ඔහු වෙත පිඟානක් දිගු කළාය. ආදිත්‍ය ඉඳිආප්පත් ව්‍යාංජනත් බෙදා ගත්තේ ඉතා ආසාවෙනි. කෑම මේසයක වාඩි වී ආදරණීයන් සමග රාත්‍රී ආහාරයක් ගැනීමට හැකි වීම මොන තරම් සැහැල්ලුවක් දැයි ආදිත්‍ය කල්පනා කළේය.
” අයියට අද ඉඳලා මේ වගේ තුන් වේලටම ඉස්සර වගේම හොඳට කන්න හම්බවෙයි. දැන් තියෙන්නේ හැමදේම අමතක කරලා ඔයාගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතන එක ”
අභිමන් කීවේ ආදිත්‍ය කෙරෙහි වූ සහෝදර ප්‍රේමයෙනි. මෞර්යා පිළිබඳව දැන ගත් විට මේ ප්‍රේමයට කුමක් විය හැකිදැයි යන දෙගිඩියාවක් ආදිත්‍ය ගේ සිත තුළ විය. මේ මොහොතේදී පවා අභිමන් සිතන්නේ තම එකම සහෝදරයාගේ සතුට පිළිබඳව නිසා සමහරවිට ඔහු මේ පිළිබඳව උපේක්ෂාවෙන් බලනු ඇතැයි ආදිත්‍ය බලාපොරොත්තු වූයේය. සියල්ලම රඳා පවතින්නේ අභිමන් මේ පිළිබඳව දැනගන්නා ආකාරය අනුවව නිසා අවස්ථාවක් පැමිණි විගස මේ පිළිබඳව අභිමන් හට පවසන්නට ආදිත්‍ය සිතා ගත්තේය. තමා ගේ ජීවිතයේ මෙවන් අසීරුම මොහොතක තම එකම සහෝදරයා ලෙස අභිමන් තමා වෙනුවෙන් පෙනී සිටි ආකාරය නිසා ඔහු ගේ සිත රිදෙන යමක් කිරීමට ආදිත්‍ය බිය වූයේය.
” අච්චර ලොකු වැරැද්දක් ඔයාට කරපු ෂෙහාරාට වුණත් ඔයා වැරැද්දක් කළේ නැති නිසා දෙවියෝ ඔයා දිහා බලයි පුතේ. ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඔයාගේ ජීවිතේට එයි. ඔයා බලාපොරොත්තු වෙච්ච ජීවිතේ ඔයාට ඉක්මනින් ලැබෙයි ආදිත්‍යය ”
අශිකා කීවේ තවත් ඉඳිආප්ප දෙක තුනක් ආදිත්‍ය ගේ පිඟානට එකතු කරමිනි.තම පුතුන් දෙදෙනා සමග සැනසිල්ලේ රාත්‍රී ආහාර වේලක් ගන්නේ බොහෝ කාලයකට පසුවය. මෙය වඩාත් සර්ව සම්පූර්ණ රාත්‍රී ආහාර වේළක් බවට පත් වන්නේ දේවක ද මේ මොහොතෙහි මේ කෑම මේසයෙහි සිටියා නම් ය.
” තාත්තාත් මෙතන හිටියනං කොච්චර හොඳද නේද අම්මා ? ”
ආදිත්‍ය එකවරම කීවේ අශිකා ගේ සිතැඟි හඳුනා ගත්තා මෙනි. අශිකා සිතුවිල්ලේ කෑම කෑවා මිස එයට පිළිතුරු දෙන්නට ගියේ නැත.දේවක මේ වන විට සිටින්නේ තමා අතින් සිදු වූ බොහෝ වැරදි තේරුම් ගෙනය. ඒවා නිවැරදි කර ගැනීම සඳහා ඔහුට ඇත්ත වශයෙන්ම උවමනාවක් ඇත්නම් නුදුරේදීම ඔහු නැවත මේ නිවසෙහි ජීවත් වීමට පැමිණෙනු ඇත. එහෙත් එය තීරණය කළ යුත්තේ ඔහුමය. මේ තාක් කල් මේ නිවසෙහි සිදු වූ සෑම දෙයක්ම තීරණය කළේ ඔහු නිසා දෙපුත්‍රයන් පිළිබඳව සිතා හෝ ජීවිතය පිළිවෙලක් කර ගැනීමට ඔහුට සිතෙනවා නම් එය ජීවිත ගණනාවක් වෙනස් කරන බවට නොඅනුමානය.
ආදිත්‍ය ටික දිනකට හෝ නිවසේ නතර වන්නට පැමිණීම ගැන අශිකා උන්නේ බොහෝ සතුටිනි.ඔහුට අහිමි වී ගිය පහුගිය කාලවකවානුව අමතක වී යන්නට මවක ගේ සෙනෙහස ඔහුට නොඅඩුවම ලබා දෙන්නට අශිකා කටයුතු කරමින් උන්නාය. විවාහයට පෙර ආදිත්‍යයව රැක බලා ගත්තා සේම අශිකා සෑම මොහොතකදීම ආදිත්‍යය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට වෙහෙසුනාය.
” අනේ අම්මා මං පොඩි බබෙක් නෙමෙයිනේ. ඇයි මේ ? ”
අශිකා උදෑසනම කෝපි කෝප්පයත් වතුර වීදුරුවකුත් කාමරයට රැගෙන ආ විට ආදිත්‍ය කීවේ තම මව අනවශ්‍ය ලෙස තමා වෙනුවෙන් වද වෙන ආකාරය බලා සිටින්නට බැරිම තැනදීය.
” ඔයා කොහොමත් පහළට එන එකේ මං මේක උඩට ගෙනල්ලා දුන්නහම මොකක් වෙනවද ආදිත්‍යය ? අනිත් එක මං මගේ පුතාලා දෙන්නට මේව කරන්නේ නැතුව කාට කරන්නද ”
අශිකා ආදිත්‍ය ගේ කමිසයේ කොළරය සකස් කළාය. අනතුරුව ඔහු හිස මුදුනට වන්නට බැඳ තිබූ කොණ්ඩයේද අඩු පාඩු සකස් කළාය. බිරිඳක වශයෙන් තම මව අසාර්ථක වී ගියද මවක වශයෙන් ඇය බොහෝ සාර්ථක බව ආදිත්‍ය සිතුවේ අශිකා තුල වූ අසීමිත ආදරය සහ කරුණාව නිසාය.
යම් දිනයක මෞර්යාද මේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත විය යුතුය. තම ජීවිතයට ඊළඟට පැමිණෙන ගැටලුව එයය. අශිකා මෞර්යාව කෙසේ පිළිගත්තත් අභිමන් මෙය කුමන ආකාරයට පිළිගනී දැයි ආදිත්‍ය තුල වූ දෙගිඩියාව නැවතත් හිස ඔසවමින් සිටියේය.
” ඔයා මොකක්දෝ කල්පනා කරනවා පුතා ”
ආදිත්‍ය ගේ මුහුණේ ඉරියව් වෙනස් වූ ආකාරය අශිකා නිරීක්‍ෂණය කළාය. ඔහුට හිත හදා ගැනීම පහසු නොවන නමුත් මේ නිවස තුළ ඔහුට එය තරමක් හෝ පහසු වනු ඇත. දික්කසාදයක් යනු ජීවිතයකට ඇති වන සදාකාලික කම්පනයකි.එවැනි කම්පනයක වේදනාව තරමක් දුරට හෝ සමනය කළ හැක්කේ තදබල ආදරයකට පමණි. එහෙත් ආදිත්‍යය එවැන්නක් පිළිබඳව සිතා වී යැයි විශ්වාසයක්ද මේ මොහොතේ නැත. ඒ නිසා මවක වශයෙන් තමා කළ යුතු වන්නේ ඔහුගේ ජීවිතයට ශක්තියක් වීමය.
” එහෙම මුකුත් නෑ අම්මා. ඒත් වෙලාවකට හිතෙනවා පහුගිය අවුරුද්ද ජීවිතෙන් මකල දාන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියල ”
ආදිත්‍ය සුසුමක් හෙළුවේය. එය හදවතින් නැගුනු එකකි. පහුගිය අවුරුද්දක කාලය ජීවිතේ නොතිබුනානම් යැයි කියා උදෑසන අවදි වූ විටද ආදිත්‍ය හට සිතී තිබුණි. එහෙත් ජීවිතය ඕනෑම මොහොතක වෙනස් විය හැකිය. තමාට සිදු වූයේද එවැන්නකි. සිදුවන අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙමින් ජීවිතය පිළිගැනීමට තරම් තමා පරිණත විය යුතුය.
” වෙන්න තියෙන දේවල් වලක්වන්න අපිට බැහැනේ පුතේ. දැන් තියෙන්නේ ඔයාගේ ජීවිතේ ගැන හිතන එක. මං දන්නව මගේ පුතාට කොහොමත් වරදින්නේ නෑ කියලා. මේ කාලේ ගෙවා ගන්න කොච්චර අමාරු උනත් ඔයා හිතේ හයියෙන් ඒ ටික ගෙවා ගත්තොත් ඔයාට ඉස්සරහ අමාරු වෙන එකක් නැහැ ”
” තාත්තා මැදිහත් නොවෙන්න මේක මේ විදිහට විසදෙන්නෙ නැති වෙන්න තිබුණා අම්මා . කොච්චර උනත් තාත්තා මේ වෙලාවේ මං වෙනුවෙන් පෙනී හිටපු එකම ලොකු දෙයක් “
දන්නා කාලයක සිටම දේවක කළේ ප්‍රශ්න වලින් පලා යාම වුවත් ආදිත්‍ය ගේ ප්‍රශ්නය ඉදිරියේ ඔහු හැසිරුණු ආකාරය සහ ක්‍රියා කළ ආකාරය පුදුම සහගතය. ඇත්ත වශයෙන්ම ඒ සඳහා දේවකට ස්තුතිවන්ත විය යුතුය.
” ඔයාගේ ජීවිතයට ගැලපෙන කෙනා ඔයාම තෝර ගන්න පුතේ.ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි ”
අශිකා එකවරම කීවේ හදිසියේ සිතට පැමිණි සිතුවිල්ලකට අනුවය. ආදිත්‍ය මේ ගෙවන්නේ ඔහුගේ ජීවිතයේ තිස් පස්වෙනි වසරය. ඔහු නිසි විවාහයක් කරගෙන දරු මල්ලන් සාදාගෙන ජීවිතය විඳිය යුතුය. මේ ආකාරයේ විඳවීමක් ඔහුගේ උරුමය නොවේ.
” අම්මා එහෙම හිතනවද ? ”