මිනීමරුවෙක් වරදකාරයා කරන්න ඉස්සරහට ආව අවතාරය

අලුතින් කසාද බැන්ද තරුණ බිරිඳක් හදිසියේම මැරෙනවා.

 ඒ මරණෙ ගැන එයාගේ මහත්තයා කියන්නෙ  ඒක ස්වභාවික හේතුවක් නිසා වෙච්ච මරණයක් කියලා. ඒ වගේම හරි ඉක්මනටම තමන්ගෙ මේ අලුත විවාහ කරගත්ත, මැරිච්ච බිරින්දෑව  වළ දාන්නත් මේ මහත්තයා කටයුතු කරනවා. හැබැයි සති කීපයකට පස්සේ, එයගේ අම්මා කියනවා මහ අරුම පුදුම කතාවක්.

එතනින් තමයි මෙන්න මේ කතන්දරේ පටන් ගන්නේ.

“අපේ දුවගේ අවතාරය මං ඉස්සරට ඇවිත් මට කිව්වා. එයා මැරුණෙ නෑ. මරලා දැම්මා” කියලා. 

කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක තවත් අවතාර කතාවක් කියලා. ඒ උනාට මේක 1897 දී බටහිර වර්ජිනියාවේ සිදුවුණු ඇත්ත මිනීමැරුම් සිද්ධියක් ගැන කතාවක්. ඒ වගේම මේක ඇමරිකානු ඉතිහාසයේ අවතාරයක සාක්ෂියක් මිනීමරුවෙක්ව වරදකරු කරන්න උදව් වුණු එකම නඩුව විදියටත් සලකනවා.

ඉතින් මොකද කියන්නෙ අවතාරයක සාක්කි එක්ක අහපු නඩුවක අමුතුම කතාවක් අද කියවමුද?

ලස්සන මනාලියක් සහ කඩවසම් ආගන්තුකයෙක්

එල්වා සෝනා හීස්ටර්, කෙටියෙන් කිව්වොත් සෝනා, බටහිර වර්ජිනියාවේ ග්‍රීන්බ්‍රයර් ප්‍රාන්තයේ ජීවත් වෙච්ච තරුණියක්. එයා හරිම ලස්සන, කරුණාවන්ත, වගේම හරිම පිරිච්ච මනුස්සයෙක්. දවසක් ටවුන් එකට යන සෝනාට හරිම කඩවසම් මනුස්සයෙක්ව හම්බෙනවා. මෙයාව මීට කලින් තමන් දැකලා නෑ කියන එකත් සෝනාට මතක් වෙනවා. මේ තමයි එරැස්මස් ස්ට්‍රිබ්ලිං ට්‍රවුට් ෂූ. එයා කම්මල්කරුවෙක්. හරිම උස, කඩවසම්, සහ ආකර්ෂණීය හාදයෙක්. ඒ හැමදේම හේතුකරගෙන එරැස්මස් එක්ක ආදරෙන් බැඳෙන්න සෝනාට මහ කාලයක් යන්නේ නෑ. ඇත්තටම සෝනාගෙ අම්මා මේ සම්බන්ධෙට මොකක් හරි හේතුවක් නිසා අකමැති වෙනවා. සෝනාගේ අම්මා, මේරි ජේන් හීස්ටර්, එරැස්මස්ව කවදාවත් විශ්වාස කරන්න කැමති උනේ නැහැ. අම්මට එයා ගැන දැනුනෙ මහ නරක අමුතු හැඟීමක්. ඒත් සෝනා මේ කිසිම දෙයක් ගැන තකන්නෙ නැතුව එරැස්මස්ව කසාද බඳිනවා. 

හැබැයි ඒ වෙද්දිත් සෝනා දැනගෙන උන්නේ නෑ එරැස්මස් ඒ වෙද්දිත් දෙපාරක් කසාද බැඳලා උන්නා කියන එක. ඒ වගේම එයාගෙ පලවෙනි බිරිඳ එයාව අතැරල ගියා කියලා දික්කසාද උනා කියන එක. එයාගෙ දෙවනි බිරිඳ “ගඩොලක් ඔලුවට වැටිච්ච අමුතු අනතුරකින්” මැරුණ විත්තිය.

මොකෝ සෝනා ආදරයෙන් අන්ධ වෙලා හිටියේ.

 එයා කසාදෙට ලස්සන ඇඳුමක් ඇන්දා. ඒ ඇඳුම හයි නෙක් ඇඳුමක්. පස්සෙ සෝනා මැරුණම සෝනාට එරැස්මස් ඇන්දුවෙත් ඒ ඇඳුමම තමයි.

හදිසි මරණයක්

1897 ජනවාරි මාසයේදී, ඒ කිව්වෙ මේ දෙන්නගෙ විවාහයෙන් මාස කීපයකට පස්සේ, එරැස්මස් පොඩි කොල්ලෙක්ව එයාලගෙ ගෙදරට යවලා සෝනාට කඩෙන් මොනවා හරි ඕනද කියලා අහන්න කියලා කියනවා. මේ කොල්ලා ගෙදරට යනවා සෝනව හම්බෙන්න.

හැබැයි සෝනා වෙනුවට ඒ කොල්ලට දකින්න ලැබෙන්නෙ මහ භයංකාර දෙයක්.

ඒ බිම වැටිලා මැරිලා උන්න සෝනාව. මේක අහන එරැස්මස් ගෙදරට දුවගෙන ඇවිත් ඩොක්ටර් කෙනෙක්ව ගෙන්නුවා, හැබැයි සෝනා ඒ වෙනකොටත් මැරිලා. මේ මරණෙ ළඟදි ඩොක්ටර්ට අමුතු දෙයක් දකින්න ලැබුනා. එරැස්මස් තමන්ට සෝනාව හරියට පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ කියන එකත් ඒ වෙනුවට එයා සෝනාට හයි නෙක් එකක් තියෙන රතු ඇඳුමක් අන්දලා බෙල්ල වටේට තද වෙන්න වැස්මක් බැන්දා කියන එකත් ඩොක්ටර්ස්ට තේරෙනවා. 

පස්සෙ නඩු විභාගෙ කරද්දි, එරැස්මස්ට විරුද්ධව සාක්කි දෙන අය කිව්වෙ “සෝනාගේ ඔළුව “බුරුල් වෙලා” වගේ තිබුණා, සහ ආධාරකයක් නැතුව වමටත් දකුණටත් පැද්දුණා” කියලා.

 හැබැයි සෝනාගෙ මරණයට හේතුව “හෘදයාබාධයක්” කියලා තමයි මරණ සහතිකේ ලියවෙන්නේ.

අවසන් කටයුතුවලින් පස්සෙ හැමදේම අවසන් කියලා හිතුවට එතනින් තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ..

අවතාරය 

කවුරු මොනවා කිව්වත් සෝනාගෙ අම්මාට හිතෙන්නෙම “එරැස්මස් සෝනාව මරලා දැම්මා” කියලමයි. ඒත් ඒක ඔප්පු කරගන්න කිසිම සාක්කියක් හොයාගන්න එයාට පුලුවන්කමක් නෑ. මෙහෙම ඉද්දි තමයි සෝනාව වළ දාලා සති කීපයකට පස්සේ, මේරි කියන්නේ එයා සෝනාගෙ අවතාරෙ දැක්කා කියලා.

“මම මගේ දුවව එක දිගට දවස් හතරක් දැක්කා. එයා මට කිව්වා එරැස්මස් කියන්නේ මහ දරුණු මිනිහෙක් කියලා. එය මැරිච්ච දවසෙ රෑ කෑමට මස් ඉව්වෙ නෑ කියලා එරැස්මස් උන්නෙ හරිම කේන්තියෙන්ලු. ඒ කේන්තියට එරැස්මස් සෝනාට හොඳටම ගහලා තියෙනවා. ඉන්පස්සෙ බෙල්ල කඩලා මරලා දාලා තියෙනවා. ඒක හීනයක් නෙවෙයි.එයා ආපහු ඇවිත් මට මොකද වුණේ කියලා කිව්වා.” කියලා මේරි කියනවා.

ඒ වගේම මේ සෝනාගේ අවතාරය එයාට කැඩිලා තිබුණු බෙල්ල පෙන්නලා, තමන් මැරුණු හැටි හරියටම විස්තර කළා කියලත් මේරි කියනවා

ඇත්ත එළියට ගැනීම

මේරි එයාගෙ කතාව අරගෙන ප්‍රාන්තයේ නීතිඥවරයා ළඟට යන්නෙ ඔන්න ඔය සිද්දියෙන් පස්සෙ. පුදුමයට වගේ, එයා ඒකට ඇහුම්කන් දීලා ප්‍රශ්න අහන්න ගන්නවා. එයා ඩොක්ටර් නැප් එක්ක කතා කළාම, එරැස්මස් කොහොමද ඩොක්ටර්ට ඇඟ පරීක්ෂා කරන්න නොදී හිටියේ සහ කොච්චර සැක සහිත විදියට වළ දැම්මද කියලා දැනගන්න පුලුවන් වෙනවා.

ඒ අනුව තමයි නීතිඥයා සෝනාගේ මළ සිරුර එළියට ගන්න නියෝග කරන්නෙ. ඉන්පස්සෙ ආයෙ වතාවක් සෝනාට පශ්චාත් මරණ පරීක්ෂණයක් කරනවා. ඒකෙන් එලිවෙනවා මේරි කිව්ව කතාව ඇත්ත බව.

සෝනාගෙ බෙල්ල කැඩිලා. මැරිලා නෙවෙයි එයාව මරලා දාලා.

නඩු විභාගය

ඒ අනුව තමයි එරැස්මස්ව අත් අඩංගුවට ගන්නේ

නඩු විභාගයේදී මේරි හීස්ටර් නිර්භීතව සාක්ෂි දෙනවා. එයා ජූරි සභාවට කිව්වා එයාගෙ දුවගේ අවතාරය එයා ළඟට ඇවිත් එයා මැරුණු හැටි හරියටම විස්තර කළා කියලා.

ජූරි සභාව මේකට ඇහුම්කන් දෙනවා. එයාලා මේ වෙද්දිත් එරැස්මස් කියන්නෙ මොන වගේ මිනිහෙක්ද කියන එක වගේම මිනිහගෙ අතීත කතාත් හොයාගෙන තිබ්බා. ඒ නිසාම එරැස්මස් වැරදිකරු කියන තීන්දුව දෙන්න ගත වුණේ පැයක් විතරයි. ඒ අනුව එයාව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට නියම කරනවා.

අදටත්, කවුරුවත් එරැස්මස් සෝනාව මැරුවේ ඇයි කියලා හරියටම දන්නේ නැහැ. සමහරු හිතනවා ඒක එයාගෙ පාලනය කරගන්න බැරි තරහා නිසා වෙන්න ඇති කියලා. 

මේ නඩුව අමතක කරන්න බැරි නඩුවක් වෙන්නේ මිනීමැරුම නිසා විතරක් නෙවෙයි අවතාරයක් ඇවිත් සාක්කි දුන්න නඩුවක් හන්දා. බටහිර වර්ජිනියාවේ දැන් මේ සිද්ධිය සිහිපත් කරන්න පාරේ සලකුණක් තියෙනවා. ඒකේ මෙහෙම ලියලා තියෙනවා:

“අවතාරයක සාක්ෂියක් මිනීමරුවෙක්ව වරදකරු කරන්න උදව් වුණු එකම සිද්ධිය.”කියලා

සෝනා ව දැන් හඳුන්වන්නේ ග්‍රීන්බ්‍රයර් අවතාරය කියලා. ඒක ඇමරිකානු ඉතිහාසයේ තියෙන අමුතුම ඇත්ත අපරාධ කතාවලින් එකක්. තරුණ මනාලියකට එ‍යාගෙ ජීවිතය නැති උනා, නපුරු සැමියෙක්ට දඬුවම් ලැබුණා, සහ දුක් විඳින අම්මා විශ්වාස කළා එයාගෙ දුව සොහොනෙන් ඇවිත් යුක්තිය වෙනුවෙන් කතා කළා කියලා.

අවතාර කතා විශ්වාස කරත් නැතත් මෙන්න මේ කතාව නම් අපිට පිළිගන්නම වෙනවා. ඒ තමයි “මැරුණාට පස්සේ වුණත්, ඇත්ත කවදාවත් වළලන්න බැහැ” කියලා.

Related Articles

Don't Miss


Latest Articles