ආදර සැලසුම් – 67

0
2417

කිසිවෙකුටත් නොපවසා නිවසින් පිට මං වී යන්නට තරම් ආදිත්‍ය හට තිබූ ගැටලුව කුමක් දැයි සිතා ගත නොහැකිව මෞර්යා කාර්යාල අසුනට වී දැවෙමින් උන්නාය.

” අද පාන්දර ඉඳලා අයියා ආ ගිය අතක් නැහැ මෞර්යා “

අභිමන් පැවසූ වචන මෞර්යා ගේ දෙසවනෙහි රැව් පිළි රැව් දෙන්නට විය.කාර්යාලය තුළ මෞර්යා නොහඩා උන්නේ අසීරුවෙනි.

” ආගිය අතක් නැහැ කිව්වේ ? ” 

මෞර්යා නැවතත් ඇසුවේ අභිමන් විසින් පැවසූ දෙය පැහැදිලි කර ගන්නටය. ඔහු මේ පවසන්නේ විශ්වාස කළ හැකි දෙයක් නොවේ. අනෙක් අතට මේ ගෙවෙන්නේ ආදිත්‍යය තමාට නොකියා නිවසින් පිටතට පියවරක් හෝ තබන කාලයක් ද නොවේ.

” මොකක් හරි හේතුවක් නිසා අයියා අද පාන්දර ගෙදරින් ගිහින්. මොකක්ද උනේ කියලා අපිටත් තාම හිතා ගන්න බැරුව ඉන්නේ මෞර්යා ” 

මෞර්යා ගේ දෙපා සීතල වී ගිය අතර ඇය ඉදිරියෙන් පෙනෙන laptop පරිගණකයේ තිරය දෙස මොහොතක් දෑස් දල්වා බලා උන්නාය. පියවි සිහියට පැමිණීමට තවත් තත්පර ගණනාවක්ම මෞර්යාට ගත විය.

” හෙලෝ මෞර්යා ” 

මෞර්යා වචනයක් හෝ නොපැවසූ බැවින් අභිමන් හඬ අවදි කළේය.

” කි.. කියන්න මිස්ටර් අභිමන්. මං අහගෙන ඉන්නේ ” 

” දැන් තමයි මෞර්යා අපි මේ විස්තරේ තාත්තාට කියලා තාත්තා ගෙදරට ආවේ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒක නෙමෙයි ” 

” එහෙනම් ? ” 

” අයියට එහෙම ගෙදරින් යන්න හේතුවක් තිබුණෙ නැහැ.දෙයක් වුනා නං වෙන්න ඕනෙ ඊයේ රෑ. අයියා ඊයේ ගෙදර එන වෙලාව වෙනකොට මට නින්ද ගිහිල්ලා. මොකක් හරි උනානං ඒ මොකක්ද කියලා අම්මා කියන්නේත් නැහැ. එයා ඉන්නෙත් ෂොක් වෙලා වගේ “

” ඊයේ හවස මිස්ටර් ආදිත්‍ය මාත් එක්ක ඉන්න වෙලාවෙ අශිකා මැඩම් කෝල් කරලා ගෙදර එන්න කිව්වා. මැඩම් ටිකක් කලබලෙන් කතා කළා කියලා තමයි මිස්ටර් ආදිත්‍ය කිව්වේ. අශික මැඩම් එහෙම කලබල කරන කෙනෙක් නෙමෙයි නිසා ගෙදර ගිහින් වෙච්ච දේ බලලා මට කෝල් කරන්නම් කියලා තමයි මිස්ටර් ආදිත්‍යය ගෙදර ගියේ. ඒත් කිසිම ආරංචියක් නැත්තෙ ඊට පස්සේ තමයි ” 

අභිමන් මොහොතක් නිහඬව උන්නේය. මෞර්යා මේ කියනා ආකාරයට ගැටලුවක් ඇති වුණා නම් ඇති වී ඇත්තේ තම සහෝදරයා නිවසට පැමිණීමටත් පෙරය. ඔහු සහ මෞර්යා අතර ඇති සම්බන්ධය පිළිබඳව දැන ගැනීමෙන් පසුව අශිකා අසාමාන්‍ය ලෙස කලබල වීම සහ ඔහුගේ අතුරුදහන් වීම අතර කුමක් හෝ සම්බන්ධයක් ඇතැයි අභිමන් හට දැනුනේ ක්ෂණිකවය.

” හැබැයි මිස්ටර් අභිමන් , ඊයේ හවස තව දෙයක් සිද්ධ වුණා ” 

මෞර්යා කීවේ හදිසියේ යමක් සිහි වීමෙනි 

” මොකක්ද මෞර්යා ? ” 

” ඊයේ අපිට ෂෙහාරාව හම්බ වුණා ” 

මෞර්යා පෙර දින සවස් යාමයේ දී ෂෙහාරාව මුණගැසුණු තැන සිට සිදු වූ සිදුවීම අභිමන් වෙත පැහැදිලි කළාය.සියල්ල සාවදානව අසා උන් අභිමන් බොහෝ දේ තේරුම් ගැනීමට උත්සාහ දැරුවේය.

” අයියා මෙහෙම අතුරුදහන් වෙච්ච එකයි ෂෙහාරායි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවද මෞර්යා ? ” 

” එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මිස්ටර් අභිමන්.මොකද ෂෙහාරා එතනින් ගිහින් ටික වෙලාවකට පස්සේ තමයි අශිකා මැඩම් ගෙන් කෝල් එකක් ආවේ. සමහරවිට අපි ගැන ෂෙහාරා අශිකා මැඩම්ට කිව්වා වෙන්නත් පුළුවන්. ඒක නිසා අශිකා මැඩම් කලබල වුනා වෙන්නත් පුළුවන් ” 

” ඔය දෙන්න ගැන ඇහුවා කියලා අපේ අම්මට අමුතුවෙන් කලබල වෙන්න දෙයක් තිබුණෙ නැහැ මෞර්යා. මොකද මම දවල් අම්මට ඔය දෙන්න ගැන කියල තිබ්බේ ” 

එය අලුත් පුවතකි. සමහරවිට ආදිත්‍යය ද ඒ පිළිබඳව නොදැන සිටින්නට ඇත.

” ඒක අහපු වෙලාවේ අපේ අම්මා ඇත්තටම හරි අමුතු විදිහට කලබල උනා මෞර්යා. ඒක මේ තමන්ගෙ පුතාට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තම අම්මා කෙනෙක් කලබල වෙන විදිහේ දෙයක් නෙමෙයි ” 

මෞර්යා මෙන්ම අභිමන්ද මොහොතකට නිහඬ වූයේ පෙර දිනයේදී සිදු වූ සිදුවීම් ආදිත්‍යය ගේ අතුරුදහන් වීමට සම්බන්ධ වන ආකාරය ගළපා ගැනීමට නොහැකිවය.කාර්යාලයේ හුන් නිසා හැඟීම් පිට කර ගත නොහැකිව සන්සුන් වීමට උත්සාහ දැරීමට මෞර්යා විශාල සටනක යෙදුණාය. 

” අපි දැන් මොකක්ද කරන්නේ මිස්ටර් අභිමන් ? ” 

” තාත්තා කියන්නේ පොලිසියට ඉන්ෆෝම් කරමු කියලා. අයියා පාන්දර දෙකහමාරට විතර ගෙදරින් ගිහින් තියෙන්නේ. එක්කෝ එයා කාව හරි ගෙන්න ගෙන ගියා නැත්තං ටැක්සි එකකින් ගියා. ඒ මොකක්වත් කැමරාස් වල නැහැ. මොකද අයියා ගේ ළඟ ඉඳලා යන්නේ පයින් ” 

එසේ නම් ආදිත්‍යයට වුවමනා වී ඇත්තේ මේ හැර යාම කිසිවෙකුටත් හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වන ලෙස සිදු කිරීමටය.අඩුම තරමින් තමාට හෝ නොපවසා මෙසේ පිටව යන්නට තරම් ආදිත්‍යයට ඇති වූ කම්පනය කුමක් දැයි මෞර්යා කල්පනා කළාය.

” අභිමන් , ලෑස්ති වෙන්න පොලිසියට යන්න ” 

දේවක නිවසින් පිටතට පැමිණෙමින් පැවසූ අතර අශිකාද ඔහු පසු පසින් පැමිණියාය.

” මං ඔයාට ගන්නම් මෞර්යා ” 

අභිමන් දුරකථන ඇමතුම අවසන් කරමින් දේවක වෙත හැරුනේය.

” කවුද කතා කළේ? ” 

දේවක ඇසුවේ ඔහු පැමිණෙන විටම අභිමන් දුරකථන ඇමතුම අවසන් කරන දුටු නිසාවෙනි.

” office එකෙන් තාත්තා ” 

” මේ ප්‍රශ්න office එකට කිව්වේ නැහැනේ ? ” 

” නෑ තාත්තා. අයියයි මායි එන්නේ නෑ කියලා ඉන්ෆෝම් කළා විතරයි ” 

” ලෑස්ති වෙලා එන්න ඉක්මනට යමු ” 

අභිමන් නිවස තුළට පැමිණියේ පොලිසියට යාමට සුදුසු පරිදි සූදානම් වීමට බලාපොරොත්තුවෙනි.ඔහු තරප්පු පේළිය නගින විට අශිකාද ඔහු පසු පසින් පැමිණියේ කාමරයට යාමටය. අශිකා පසුපසින් පැමිණෙන බව දැනුණු නිසා අභිමන් කාමරයට නොයා තරප්පු පේළිය කෙළවරේදී නතර වූයේය.

” අම්මා ඔයාට තාමත් වෙලා තියෙනවා දෙයක් උනා නම් ඒක මට කියන්න ” 

අභිමන් කීවේ අනතුරු අඟවන විලාසයෙනි. අශිකා හැසිරෙන ආකාරයට අනුව පෙරදා රාත්‍රියේ දී තම සහෝදරයා සහ මව අතර  කුමක් හෝ සිදු වී ඇති බවට කිසිදු සැකයක් නැත. 

” පුතා මෙතන ඔයා දන්නැති දේවල් ගොඩක් තියෙනවා ” 

අවසානයේදී අශිකා මුව විවර කළාය. ඒ , වෙන කිරීමට කිසිවක් නොමැති තැනය. 

” ඒ දන් නැති දේවල් දැන ගන්න තමයි අම්මා මම උදේ පාන්දර ඉඳලා ඔයා ගෙන් මේ අහන්නේ. කී සැරයක් නම් මං ඔයාට කිව්වද වෙච්ච දෙයක් දැන ගන්නේ නැතුව අපිට මේක විසඳන්න බෑ කියලා ? අයියත් එක්ක අන්තිමට කතා කළේ ඔයා. මොකක්ද උනේ කියලත් දන්නේ ඔයා. දැන් පොලිසියට ගියාම අපි මොනවද කියන්නේ? ” 

” මං මොනවද පුතේ කියන්නේ ? ” 

අශිකා නැවතත් කඳුළු අලුත් කර ගත්තාය.මෙය මේ මොහොතේදී හැඟීම් වලට වහල් වී විසඳිය හැකි ගැටලුවක් නොවේ. එහෙත් හදවත ඇත්තේ මව් සෙනෙහසින් බර වී ය. ඊටත් වඩා පසුතැවීමකින් තැවෙමින්ය.

” අම්මා ඔයාට මාත් එක්ක කියන්න බැරි දෙයක් නෑ නේද ? ” 

ආදිත්‍ය සමග පැවසූ සත්‍යය අභිමන් සමගද පවසා හිත නිදහස් කර ගැනීමට මොහොතක් එළඹ ඇති බව අශිකා සිතුවාය. සිදුවන දෙයක් සිදු වන්නට හැර අභිමන් හට සත්‍ය පවසා ආදිත්‍යය ගිය මඟක් සොයා ගැනීම හැරුණු කොට දැන් කල හැකි යමක් නැත. සියල්ලටම වඩා වටින්නේ ආදිත්‍ය ගේ ජීවිතය ය.

” මට පොරොන්දු වෙන්න අභිමන් ඔයා කවදාවත් අම්මා ගැන වැරදියට හිතන්නෙ නෑ කියලා ” 

අශිකා කීවේ අභිමන් ගේ දෑතින්ම අල්ලා ගනිමින් ඉතා බැගෑපත්වය.ඇගේ දෑස් වල පැහැදිලිවම දක්නට වූයේ විශාල පසුතැවිල්ලකි. තම සහෝදරයා නිවස හැර ගිය කම්පාවට වඩා යමක් එතන ඇති බවත් තමා නොදන්නා කතාවක් තම මව සතුව ඇති බවත්  ඒ බැල්මෙන්ම අභිමන් තේරුම් ගත්තේය. 

” පුතේ ඔයාගේ අයියාටයි මෞර්යාටයි කසාද බඳින්න බැහැ. ඒ දෙන්නා සහෝදරයෝ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here