දෑත දරා – 14

0
313

අවසානයේ මනුජව වාට්ටුවෙන් පිටතට රැගෙන ගියේ ආරක්ෂක අංශයේ නිළධාරීන් තිදෙනෙකි එක් විගෙනය. ඉන් එක් අයෙක් මනුජව හඳුනාගත්තේය.

”  මේ කෑම්ප් එකේ සර් කෙනෙක් ….”

ඔහු අනෙක් අයට පැවසූවේය. අනෙක් අය මනුජව අත් හැර පසෙකට වූවේ ඉන් පසුවය. මනුජ තිදෙනාටම කිසිවක් නොපවසා අම්මාට ඇමතුමක් ගත්තේය.

දෙවතාවක් නාද වෙද්දී පිළිතුරු ලැබුණි.

” ඇයි පුතේ ?.”

“අම්මේ… අම්මේ… දෝණි ඇඩ්මිට් කලා… මට තේරෙන්නේ නෑ මොකක් වුනාද කියලා…”

“අනේ.. මහත්තයා.. මහත්තය… මේ ලොකූ …දෝණි ඇඩ්මිට් කරලාලු ….මහත්තයා…”

අම්මාගේ හඬ මහ හඬින් ඇසෙද්දී, මනුජ අම්මා කලබලයට පත් කල යුතු නොවන බව සිතමින් සන්සුන් වෙන්නට උත්සාහ කලේය.

” ලොකූ …”

තාත්තාගේ හඬ ඇසුණි.

” දෝණිට මොකක් හරි වෙලා තාත්තේ… මට තේරෙන්නේ නෑ…”

“සිහියෙන් ඉඳන් වෙච්චදේ කියනවාකෝ ළමයෝ … මොකක්ද වුනේ..?”

මනුජ සිදුවීම විස්තර කලේ කොරිඩෝවේ ඒ මේ අත ඇවිදිමිනි.

” අන්නාසි කැවුනද ?”

පළතුරු සලාද කෑ බව පවසද්දී තාත්තා මනුජගෙන් එලෙස විමසුවේ එක්වරමය.
මනුජට ඒ  වගක් සිහියේ වූයේ නැත.

” සැලඩ් එකේ තියෙන්න ඇති..  මට මතකයක් නෑ…”

“කෙල්ලට අන්නාසි ඇලර්ජික් … ඒක ඩොක්ටර්ට කියන්න.. නිර්ධා ඒ විත්තිය කිව්වා …. කලබල වෙන්න දෙයක් නෑ.. උඹ ඔතන පෙරලන්නේ නැතුව සිහියෙන් ඉන්නවා ලොකූ … මං උදේම එන්නම් …”

මින් පෙර දෙවතාවක් දියණියට අන්නාසි අසාත්මිකතාවය ඇති වූ කාලයන්ද ඔහු මනුජට කීවේය.

මනුජ ඇමතුම විසන්ධි කලේ තමා ගැනම කෝපයෙන් ය. තම ලෙයින් උපන් දියණියගේ එවන් අපහසුවක් නොදන්නා තම අප්පච්චීකමෙහි ඇති පලක් කුමක්ද ? මනුජ දෑත් තෙත පිසදා හැරියේය. යලි වාට්ටුව වෙතට යන්න හැරුනේය.

” සර් .. ඇතුලට යන්නෙපා…”

මනුජව හඳුනාගත් ආරක්ෂක නිළධාරීයා ඔහු හා සමාන්තරව ඇවිද එමින් කීවේය. මනුජ ඔහුට හිස සැලුවේ කලබල ඇති නොකරන බවට පෙන්වමිනි.

ආරක්ෂක නිළධාරීයාද මනුජ හා ම ඇවිද ගියේය.

” මිස්… බබාට අන්නාසි ඇලර්ජික් …”

ඔහු හෙදියට පැවසුවේය. හෙදිය මනුජ දෙස බැලුවාය.

” ඉතින් අන්නාසි  කැවුනාද බබාට ?”

” රෑ සැලර්ඩ් එකක් ඕර්ඩර් කරලා කෑවා අපි… මං හිතන්නේ ඒකේ අන්නාසි තියෙන්න ඇති කියලා…. මට හරිම විශ්වාසෙන් කියන්න බෑ.. මම ඕර්ඩර් කරපු තැනට කෝල් කරලා ඒක කන්ෆර්ම් කරගන්නම් ….”

මනුජ හෙදිය හමුවේ පාපොච්චාරණයල් ලෙසින් කීවේය.  ඒ අතර වාරයේ සැලඩ් ඇණවුම් කෙරු වෙළඳසැලේ අංකය සෙව්වේය.

” ආහ්.. ඔන්න දැක්කානේ තාත්තලාගේ තරම… මෙච්චර පොඩි දරුවෙක්ගේ , ඒ වගේ ඇලර්ජි එකක් ගැන දන්නේ නෑ තාත්තා.. ඒ මදිවට සැලඩ් දීලා තියෙන එකේ විස්තරයක් දන්නේත් නෑ…. එලි වෙනකල් මෙහෙම හිටියා නම්, දරුවා වර්ස් වෙන්නත් තිබුණා. …..”

එක්වරම වෛද්‍යවරියගේ කෝපාග්නිය පිරුණු හඬ ඇසුණි. මනුජ ඕ දෙස හැරි බැලුවේය. ඇගේ මුවෙහි වූයේ සරදමකි. දෑස් වල වූයේ කෝපයය.

” කෝ බබාගේ අම්මා…”

වෛද්‍යවරිය ඉන් පසුව විමසුවාය.

”  ගෙදර …”

” අම්මාව ගෙන්නගන්න … මේ මිස්ටර් බබා ගැන විස්තරයක් දන්නේ නෑනේ.. මීට කලින් ඇලර්ජි හිස්ට්‍රි එක අම්මා දන්නවා ඇතිනේ….”

මනුජ වෛද්‍යවරිය දෙස බලා උන්නේය. ඇය හා ගැටෙන්නට කිසිඳු කරුණක් තමා සන්තකයේ නැති අසරණ බව ඔහුට දැනුනේය.

එහෙත් රැකියාවෙන් ලද දරාගැනීම මත මනුජ සිහියට එලැබුණේය. ඔහු දියණියගේ ආසාත්මිකතා  අතීතය වෛද්‍යවරියට පැවසූවේය. හෙදිය එම කරුණු ලියාගත්තාය. ඉන් පසුව මනුජට පිටතින් සිටින ලෙස පැවසුවාය

මනුජ කිසිවක් නොපවසාම වාට්ටුවෙන් පිටතට ගියේය. සාරතී ඇමතුවේය

” අපේ මහත්තයෝ…”

“සාරතී නැන්දේ …. දෝණි අසනීප වෙලා හොස්පිට්ල් ගෙනාවා… එන්න පුලුවන් ද ? මම වාහනයක් එවන්නම්..”

“හත් ඉල්ලවයි රත්තරන් මහත්තයෝ … මොකෝ වුනේ… අනේ බබා වැටුණාද ?…”

” වාහනයක් එවන්නම් මම .. එන්නකෝ..”

මනුජ සාරතී වෙනුවෙන් වාහනයක් සූදානම් කලේය. වෛද්‍ය මිතුරා අමතන්නට සිහිවූයේ ඉන් පසුවය.

” අද මම ඔන් කෝල් නෑ බං… මං එන්නම් .. උඹ එවෙලෙම කෝල් එකක් දෙන්නෙපැයි බං…”

“මෙතන ඉන්නේ පිස්සු ගෑණියෙක් බං.. ඒකි දරුවාව ගනන් ගත්තේවත් නෑ.. උඹ වරෙංකෝ පොඩ්ඩක් ..”

“පිස්සුද බං.. මොකක්ද උඹ ඔය කතා කරන විදිය… සින්දූපා ඩොක්ටර් එහෙම කෙයාර්ලස් කෙනෙක් නෙවෙයි…. උඹ පැටලෙන්න යන්නේ නැතුව  හිටහං… ඇලර්ජි එකක් නම්, එච්චරට සීරියස් වෙන්නේ නෑ…”

“උඹ දකින්නෙත් නැතුව අංජනම් එලි යවන්නේ නැතුව ඇවිල්ලා හිටහංකෝ…  කෙල්ල හුස්ම ගත්තෙත් අමාරුවෙන් බං….මට තේරෙන්නේ නෑ මොකක්ද කරන්නෝනා කියලා… ම්ං දැනන් උන්නේත් නෑ බං එහෙම එකක්…”

“හරි හු*&… හරි… කලබල නොවී හිටහං.. එහෙම අමාරු සිද්දියක් නම් මට කෝල් එකක් එනවා … දරුවා සේෆ් සෝන් ඇත්තේ … ඒකේ ආයේ කලබල වෙන්ම දෙයක් නෑ… උඹ ඔතන නාට්‍යක් හදන්නේ නැතුව හිටහංකෝ..”

මනුජ සිදුවීම් කිසිවක් විස්තර නොකර ඇමතුම විසන්ධි කලේය.

මිතුරා පැමිනෙන තෙක් කොරිඩෝවේ වු ලී අසුනකට බරව උන්නේය. නිර්ධා අමතන්නටද සිතුවේය. එහෙත් වගකීමක් නැති පියෙකු ලෙසින් ඇය ඉදිරියේ වන හංවඩුවට සාක්ෂි එකතු කරන්නට ඔහුට අවැසි වූයේ නැත. එනිසා  මනුජගේ තීරණය වෙනස් විය.

මිතුරා වාට්ටුවට ගොස් දියණියගේ සුව දුක් විචාරා අවසන මනුජ හමුවූයේය.

” තෝ මොකද්ද බල්ලෝ ඩොක්ටර් ව හැරස් කරේ ??”

“ඒ ගෑණි දරුවා ව බැලුවේ නෑ බං….මං ඇදගෙන ආවේ…”

” පිස්සුනේ බං උඹට.. සින්දූපාට මල පැනලා ඉන්නේ.. ඒකි ඕක ලොක්කට කම්ප්ලේන් කලොත්, වැඩේ චොරනේ හු*$&…”

” දරුවාට කොහොමද කියපං…”

“අවුලක්  නෑ දැන් …. උදේට ඩිස්චාර්ජ් කරාවී…”

“එහෙම පුලුවන් ද බං… අන්ඩර් ඉන්ස්පෙක්ෂන් පැය විසි හතරක්වත් තියාගන්නෝනි නැද්ද ? හරි කමක් නෑ… ඩිස්චාර්ජ් කරහං…මං ඇඩ්මිට් කරන්නම් ආරෝග්‍යා එකේ….”

මනුජ උස් හඬින් කියෙව්වේය.

” තෝ නම් …”

මනුජ මිතුරාට කිසිත් නොපවසා පසෙකට ඇවිද ගියේය

” මචං …. උඹ පොඩ්ඩක් ඩොක්ටර්ට කතා කරලා සොරි කියහං… මේක මෙතනින් ඉවර කරලා දාගන්න පුලුවන් එතකොට… උඹ එයට කෑ ගහලත් එක්කනේ බං…. අපේ ලොක්කත් එක විදියක්නේ බං.. ඊළඟට ඕක කෑම්ප් එකට උනත් රිපෝර්ට් වෙන්ම පිලිවන් … එහෙමම කුණු ගොඩක්නේ බං….”

මනුජ මිතුරා වෙත හැරුණේය. වෛද්‍යවරිය වෙත එතරම් ලයාදර හැසිරිම් පෙන්වන්නට අවැසි නැත. ඇයට පෙර ක්‍රියාත්මක වන්නේ තමාය.

මනුජ සිය ෆේස්බුක් ගිණුමට පිවිස, දියතලාව රෝහලේ වෛද්‍යවරියන්ගේ සැබෑ තත්වය ලෙසින් ලියා දැමුවේ ඒ කෝපය එක්කමය. මිතුරා එවගක් නොදැන දෙදෙනා අතර සාමය වෙනුවෙන් උත්සාහ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here