අපේ සමාජයේ ඉන්න සමහරු සමහර වෙලාවට විහිළුවට වගේ කියනවා “ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි” කියලා.
ඒත් ඇත්තටම ඉතිහාසය දිහා බැලුවොත්, ඒ වගේ පටු අදහස්වලට අභියෝග කරමින්, තමන්ගේ දක්ෂකම්වලින් මුළු ලෝකයම පුදුම කරපු කාන්තාවෝ ගොඩක් ඉන්නවා. විද්‍යාවේ ඉඳන් කලාවට, දේශපාලනයේ ඉඳන් සමාජ සේවයට, යුද්ධ පිටියේ ඉඳන් සාම සාකච්ඡා දක්වා මේ කාන්තාවො විශාල මෙහෙවරක් කරලා තියෙනවා.
සමහර කාන්තාවෝ තමන්ට තිබුණ අභියෝගවලට බය නොවී, සාම්ප්‍රදායික රාමුවලින් එළියට ඇවිත්, මේ ලෝකය අද තියෙන තත්ත්වයට ගේන්න උදව් කළා. Marie Curie, Florence Nightingale වගේ චරිත අදටත් අපිට මතක් කරලා දෙනවා, ගැහැනියකගේ ශක්තිය, ධෛර්යය සහ බුද්ධිය කොයිතරම් බලවත්ද කියලා. මේ හැමෝම පෙන්නලා දුන්නා, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා.
අද කතාවත් අන්න ඒ වගේ කාන්තාවක් ගැන.
රුසියාව කියනවා එයාලා හදපු අලුත් පිළිකා එන්නතක් වන Enteromix එන්නතේ මූලික පර්යේෂණ (preclinical trials) සාර්ථකයි කියලා. රුසියානු නිලධාරීන් කියන විදිහට, මේ පර්යේෂණවලදී එන්නත ආරක්ෂිත බවත්, ඉතාම සාර්ථක බවත් තහවුරු වෙලා තියෙනවා.
මේ එන්නත තමයි මේ දවස්වල මේ ලෝකෙ හැමෝම වගේ කතාකරන්නේ. මොකද පිළිකාව තුරන් කරන්න පුළුවන් එන්නතක් කියන්නෙ ඇත්තටම දෙයියො දුන්න තෑග්ගක් වගේ දෙයක්. මේ ලෝකෙ දවසකට කී දෙනෙක් නම් පිළිකාව හන්දා වේදනා විඳිනවද නේද?
මේ එන්නත හදන්නේ රුසියානු ෆෙඩරල් වෛද්‍ය-ජීව විද්‍යා ඒජන්සිය (FMBA) මගින්. පහුගිය සෙනසුරාදා දවසක ව්ලැඩිවොස්ටොක් වල තිබිච්ච නැගෙනහිර ආර්ථික සමුළුවට (EEF) සහභාගී වෙලා FMBA ප්‍රධානී වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා මේ ලස්සන ආරංචිය මුළු ලෝකෙටම කියනවා.
එයා පැහැදිලි කරනවා මේ ගැන පර්යේෂණ අවුරුදු කීපයක් තිස්සේම කරගෙන ගිය බවත්, අන්තිම අවුරුදු තුන පුරාම අවශ්‍ය මූලික පර්යේෂණ කළ බවත්. “එන්නත දැන් භාවිතයට සූදානම්. අපි දැන් නිල අනුමැතිය ලැබෙනකම් බලාගෙන ඉන්නවා,”කියලා.
අද හැබැයි මේ ආටිකල් එකෙන් අපි කතාකරන්න යන්නෙ මේ එන්නත ගැන නම් නෙවෙයි. ලෝකෙ වෙනස් කරන්න පියවරක් ඉස්සරහට තිබ්බ තව එක කාන්තා චරිතයක් ගැන.
ඒ තමයි වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා.
වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා කියන්නේ රුසියාවේ ඉන්න ගොඩක්ම ගෞරවනීය වෛද්‍යවරියක් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නායිකාවක් වෙච්ච කෙනෙක්. එයා වෛද්‍යවරුන් පිරිච්ච පවුලක ඉපදුණු පස්වැනි පරම්පරාවේ වෛද්‍යවරියක්. 1977 දී පාසලෙන් රන් පදක්කමක් දිනාගත්තාට පස්සේ වෙරෝනිකා මොස්කව් වෛද්‍ය විද්‍යායතනයේ ඉගෙන ගෙන, වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබාගන්නවා.
වෙරෝනිකාගෙ වෘත්තීය ජීවිතය හැමදාම සෞඛ්‍ය සේවය දියුණු කරන්න සහ රෝගවලට එරෙහිව සටන් කරන්න කටයුතු කරපු එකක් වුණා. 1988ත් 1997ත් අතර කාලයේදී එයා රසායනාගාර සහායිකාවක් විදිහටත්, පසුව සහකාර මහාචාර්යවරියක් විදිහටත් වැඩ කලා. 1999 දී එයා ආඝාතයට (stroke) එරෙහි සටන සඳහා ජාතික සංගමයක් හදන්න පවා උදව් කරලා තියෙනවා. 2005 වෙනකොට වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා ආඝාත පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරිය බවට පත් වෙනවා.
2008 දී එයා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය විදිහටත්, 2012 දී සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහටත් පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි 2017 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සමුළුවේ සභාපති විදිහටත් තේරී පත් වෙන්න වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවාට පුළුවන් වෙනවා. අද වෙද්දි එයා රුසියාවේ ෆෙඩරල් වෛද්‍ය-ජීව විද්‍යා ඒජන්සියේ (FMBA) අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කරනවා.
ලෝක සෞඛ්‍යයට දායකත්වය
වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවාගෙ වෘත්තීය ජීවිතය පුරාම, එයා සෞඛ්‍ය සම්පන්න ජීවන රටා සහ හෘද රෝග, ආඝාතය, පිළිකා වැනි බෝ නොවන රෝග ගැන මිනිසුන්ව දැනුවත් කරන්න මහන්සි වෙච්ච කෙනෙක්. විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 400කට වඩා ලියලා තියෙනවා වගේම එයාගේ නායකත්වය නිසාම වෙරෝනිකාට පුලුවන් වෙනවා රුසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසදායකම චරිතයක් බවට පත් වෙන්න.
Enteromix පිළිකා එන්නත
මේ අතරේදි තමයි වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා මේ වැදගත් පිළිකා එන්නතේ වෛද්‍ය ප්‍රගතිය ගැන හෙලි කරන්නෙ. එයා කියන විදිහට පර්යේෂණ අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ගිහින් තියෙනවා වගේම, අන්තිම අවුරුදු තුනේදී අනිවාර්යයෙන් කළ යුතු මූලික පර්යේෂණ කරලා තියෙනවා. ප්‍රතිඵල ඉතාම බලාපොරොත්තු තැබිය හැකි ඒවා වෙලාත් තියෙනවා. Tumour වල ප්‍රමාණය සහ වර්ධනය 60% ත් 80% ත් අතර ප්‍රමාණයකින් අඩු කරන්න එන්නතට පුළුවන් වුණා කියලාත් වෙරෝනිකා තමන්ගෙ මාධ්‍ය හමුවෙදි කියනවා. සමහර වාර්තා වලට අනුව සතුන් යොදාගෙන කරපු පර්යේෂණවලදී 100% ක සාර්ථකත්වයක් පවා පෙන්නුම් කරලා තියෙනවා. වැදගත්ම දේ තමයි, මේ එන්නත නැවත නැවතත් ලබා දුන්නත් ආරක්ෂිත බව තහවුරු වෙලා තියෙනවා කියන එක.
මේ එන්නතේ පළමු සංස්කරණය හදලා තියෙන්නේ මුලින්ම මහා බඩවැලේ පිළිකා (colorectal cancer) සඳහා. මේක ලෝකයේ බහුලවම තියෙන පිළිකා වර්ගයක්. ඒ වගේම, පර්යේෂකයෝ තවත් පිළිකා වර්ග සඳහාත් එන්නත් හදන ගමන් තමයිලු ඉන්නෙ. ඒ අතර ග්ලියෝබ්ලාස්ටෝමා (glioblastoma) කියන මොළයේ පිළිකා වර්ගය සහ සමේ පිළිකා වර්ග කීපයක් (මීලෝමා ඇතුළුව) සඳහාත් එන්නත් හදනවාලු. මේවාත් දියුණු මට්ටමේ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නෙ.
මේ ප්‍රතිඵල සතුටු වෙන්න පුළුවන් ඒවා වුණත්, විශේෂඥයෝ මතක් කරලා දෙනවා මේවා තවම මූලික පර්යේෂණ විතරයි කියලා. ඒ කියන්නේ, මේවා පර්යේෂණ කරලා තියෙන්නේ සතුන් මත විතරයි. එන්නත මිනිසුන්ට භාවිතයට දෙන්න කලින් තව ගොඩක් පර්යේෂණ සහ මිනිසුන්ගේ සායනික පරීක්ෂණ කරන්න ඕනේ බවත් එයාලා කියනවා.
ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් ජේම්ස් පිනාටෝ වැනි වෛද්‍යවරුන් පැහැදිලි කරලා තියෙනවා සතුන්ගෙන් ලැබෙන ප්‍රතිඵලවලින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැසිරීම සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැහැ කියලා. ඒත් ඔහු එකඟ වෙනවා මේ සොයාගැනීම් ඉතාම වැදගත් බවත්, අනාගතයේදී මේක අලුත් ප්‍රතිකාර ක්‍රමයක් වෙන්න පුළුවන් බවත්.
මේ වගේ සොයාගැනීම් එක්ක වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා වගේ අය නැවත නැවතත් ඔප්පු කරලා පෙන්නනවා, විද්‍යාවට තවම මිනිසුන්ගේ ජීවිතවලට ලොකු බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් කියලා.
Enteromix එන්නත තාම රෝගීන්ට ලබා දෙන්න බැරි වුණත්, මේකෙන් අපිට තේරෙනවා විද්‍යාව කොච්චර ඉක්මනට පිළිකා වගේ මාරාන්තික රෝගවලට විසඳුම් හොයනවාද කියලා. මේ එන්නත මිනිසුන්ගේ සායනික පරීක්ෂණත් සාර්ථක වුණොත්, ලෝකයේ මිලියන ගණන් මිනිස්සුන්ට අලුත් ජීවිතයක් ලැබෙන්න පුළුවන්.