කෙල්ලො කැමති නෑ ආදරේ කරන, ලඳ බොළඳ කොල්ලන්ට, උන් කැමති දාහකට උනත් ගහන ජාතියෙ කොල්ලන්ට තමා,කියල සමහරු කියනවා.
මන් සෑහෙන පොත් කියවන සහ අන්තිම නසරානි විදියට වගේම ඉතාම මනස්කාන්ත විදියටත් හිතන කෙනෙක් නිසා වෙන්නැති මම ආදරේදි හොයන්නෙත් ඒ වගේම බොහොම කලාත්මක, සෞන්දර්යාත්මක අදහස් තියෙන කෙනෙක්.
හරියට ඔයා කියවල තියෙනම් මාවතේ ගීතයේ පොත් සෙට් එකේ තුන්වෙනි පොත අපූගේ ලෝකය පොතේ අපූ හදිසියේ කසාද බඳිනව.අපර්ණාව. එයා පොහොසත් ලමේක්.මිල මුදල් වගේම අදහස් අතිනුත්. අපූ මිල මුදල් වලින් දුප්පතෙක් උනත් අදහස්, කලාකාමී හැඟීම් වලින් හරිම පොහොසත්. කෙලින්ම මම ඔයාට ආදරේ කියල නොකිව්වට ඒ දෙන්න අතර හරිම කලාත්මක අදහස් සන්නිවේදනයක් තිබුනා.
ඒකෙ එකතැනක මෙහෙම කියනව.
“තවත් එකක් තියෙනව, ඔයා දැක්කෙ නෑනෙ. පෙන්නන්නද?”
අපූගේ මුළු සිරුරම සතුටින් ඔකඳ වී ගියේය. අපර්ණා ඔහුගේ ආශාව තේරුම් ගෙන කොහෙන්දෝ කුඩා සපු පැළයක් ගෙනැවිත් පැළ කර ඇත.
“මෙතන හොඳ ද? පැළවෙයි නේද?”
“මොකද පැළවෙන්නෙ නැත්තෙ? මෙච්චර මල් තියෙද්දි සපු පැළයක් ම හිටෙව්වෙ මොකද?”
අපර්ණා ලැජ්ජාවට පත් වූවා ය.
“දන්නෙම නෑ නේද? යන්න අනේ”
පොත කියෙව්ව නැති කෙනෙක්ට නම් හිතෙන්න ඇහැකි ඇයි යකෝ සපු ගහක් හිටෙව්ව එකට ඔච්චර නටන්න ඕන ද කියලා.
හැබැයි එතෙන්දිත් කතුවරයා උත්සාහ කරේ නිහඬව පාඨකයාට කියල දෙන්න ආදරයෙදි සන්නිවේදනය, ආදරේ කරන කෙනාගෙ හැම ඉරියව්වක්ම තේරුම් ගන්න එක පට්ට වැදගත් කියල.
සපු ගහත් එක්ක බැඳිච්ච ලස්සන අතීතයක් අපූටයි, අපර්ණාටයි තිබුනා. උන් දෙන්නට බඳින්න උනේ අහම්බෙන්.අපූ හීනෙන්වත් කසාදයක් ගැන නොහිතපු වෙලාවක, යාලුවෙක්ගෙ නංගි කෙනෙක්ගෙ කසාදෙට ගිහින් උන්නු වෙලාවක, නංගි බඳින්න ආව මෑන්ස්ට පිස්සු නිසා ඒ කෙල්ලව බඳින්න වෙච්ච දෙයක් තමා උනේ.
අහම්බෙන් උනත් බඳින්න වෙච්ච කෙල්ල එක්ක, අපූට මදුසමේ ගත කරන්න උනේ වෙන මිනිහෙක්ට වෙන් කරපු කාමරේක.කවදාවත් වචනයක් කතා නොකරපු කෙල්ලෙක් ව කසාද බැඳගෙන.
එදා රෑ ඒ කාමරේ ඇඳට දාලා තිබුනෙ සපු මල්. ඉන්දියාවෙ තාමත් එහෙම ඇඳට මල් දානවලු. ඒ මල් පෙති ඇඳට දාන එකේ ඇත්ත කතාව තමයි ඒ මල් වල සුවඳ පස්සෙ කාලෙක කොහේ කොතනදි දැනුනත් තමන්ගෙ ආදරණීය බිරින්දෑ මතක් කරන්න.
හෙන ලොජිකල් විදියට, ස්ට්‍රැටජික් විදියට ප්ලෑන් කරපු හනිමූන් වුනත් ඒකෙ තියනව යං ආකාරෙක ආටිස්ටික් ගතියක්. අපූගේ හිතේ ඒ සපුමල් සුවඳ රැඳිල තිබුණා.අපර්ණා ඒ සුවඳ තේරුන් අරන් තිබුනා.
තමන්ගෙ හනිමූන් එක දවසෙ ගෑණි වර්ජින් ද කියල විතරක් බලන, එහෙන නොවුනනම් ඒක මතක තියන් පස්සෙ ඒ ගෑණිව මරන් කන්න හදන මිනිස්සු ඉන්න ලෝකෙක, ඇඳට දාල තිබුණ සපු මල් වල පෙති අපර්ණාගේ ඇඟට පොඩි වෙලා, ඇඟේ තැවරිලා ආව සුවඳත් මතක තියන් ඉන්න අපූ වගේ පිරිමින්ට ඇත්තටම ගෑණු ආදරෙයි.
මොකෝ උන් මක්ක හරි විදියකට ආදරේ පෙන්නනවා.ලොකු සීන් දාන්නෙ නෑ.
අච්චර සල්ලි කාරයෙක් හම්බුවෙලත්, ඌ හෙන වටින දියමන්තියක් අල්ලපු මාලයක් දීල තියෙද්දිත් ටයිටැනික් එකේ රෝස් සල්ලි කාරයව අත් ඇරල, හිඟන්නෙක් වෙච්ච ජැක් එක්ක නැටුවෙ ඌ ආදරේ පෙන්නපු හන්ද.
රෝස් නැවෙන් පැනල මැරෙන්න හදද්දි බේරගන්න වගේම, චිත්‍ර ටික පෙන්නල තමන් හෙන කලාකාරය කියල නොකිය කියල, ෆන් එකේ ඉඳල එක එක තැන්වල එක එක විදියට හැසිරිලා ජැක් පෙන්නුවෙ තමන් හරි රහ මිනිහෙක් විත්තිය.
අපේ ගෙවල් වල එක දවසක හදන ඔක්කොම කෑම එක රහක් උනොත් අපිට එපා වෙන්නෙ නැද්ද? එකම කෑම කොයිතරම් රහ උනත් හැමදාම කන්න ඇහැකිද? බෑනෙ.ඒක තමයි අද බිත්තර බුල්ස් අයි කලොත් හෙට බිත්තර කිරි හොදි හදන්නෙ.අනිද්දට ඔම්ලට් දාන්නෙ.
ගෑණු පිරිමි වෙනසක් නෑ එක එක දවසට එක එක විදියට ඉන්න ඕන. ඇයි ඕයි අනිත් පාර්සවේ හැමදාම එකම විදියට ඉන්නකොට මොකෙක්ට උනත් එපා වෙනවනෙ.ලොකු සීන් දාගෙන ඉන්නකොටත් එපා වෙනව.
ඒකටතමයි සෝමතිලක ජයමහ මහත්තය කිව්වෙ “මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි” කියල.
මන් උනත් කැමති පට්ට රහ පිරිමියෙක්ට.ඌ පැණිරහ වෙන්න ඕන, ඇඹුල් රහ වෙන්න ඕන, තිත්ත රහ වෙන්න ඕන.නැත්තම් මන් උනත් වෙන රහක් හොයන් යාවි.ඒක වරදක් කියන්න බෑ. දැන් ඔය “අනේ මන් ඒකිට මෙච්චර කරා අච්චර කරා”, ” මන් මගේ හැම දේම දීලත් ඇයි සුදු තාත්ති ඔයා මාව දාල ගියේ” කියන කෙල්ලො කොල්ලො මෙන්න මේක මතක තියාගන්න, හැමදාම එකම විදියට ඉන්න එපා. එකම මනුස්සය එක්ක එක එක විදියට ඉන්න.
හැමදාම එකම විදියට ඉන්න එක ආතල් නම් වාත්ස්‍යායන පණ දාගෙන අර කාම සූත්‍ර වගේ පොතක් ලියන්න ඕන නෑනෙ.උඹ දන්න විදියට උඹ ඉඳහන් කියල නිකන් ඉන්න තිබ්බනෙ.
මොන දේ උනත් කාලයක් කරන් යද්දි එපා වෙනව.අපි පෘථග්ජන මිනිස්සු.අපි ආස කරන්නෙ එක එක විදියෙ දේවලට.ඉතින් ඒක ආදරේදි වෙනස් වෙන්න විදියක් නෑනෙ.හැබැයි එහෙමයි කියල පලවෙනි ලමය මුගේ, දෙවනිය අරූගේ, මිනිහ මැරුනට මන් මැරුනේ නෑනෙ මහත්තය සීන් වැඩක් නෑ. දිගු කාලීන විවාහ දිවියකට, ප්‍රේමයකට බේත තමයි හැම විදියටම ඉන්න එක.
කොල්ලෙක් තමන්ගෙ කෙල්ල ලඟ බොළඳ උනා කියල මැරෙනවද? අනේ සුදූ මාව තුරුල් කරගන්නකො කිව්වොත් උගෙ පිරිමිකම නැතිවෙනවද? නෑනෙ. එහෙනම් ඉතින් ලොකු සීන් දාන්නෙ නැතුව, ඔක්කොම ඒව හිතේ හිරකරන් ඉන්නෙ නැතුව ඒක ගෑණිට කියන්න. නැත්තම් බුම්මැට්ට වගේ ඉඳල ගෑණි දාල ගියාට පස්සෙ ” මන් මෙච්චර කරලත් ඒකි මාව දාල ගියා” කියල මැරෙන්න හදන්න එපා. මොකද අන්තිමේ එහෙම නාහෙන් අඬන උන් සින්දු ලියල ඒව ජනප්‍රිය වෙලා, ඒවට ටික්ටොක් හදල මේක අස්සෙ දාගෙන මැරෙන්න හදනව “අනා ඔයාට තේලෙනවද තුදූ මගෙ වේදනාව, ඇයි නංග පැට්ටො එයා මට එහෙම කලේ” කියල.
නමුත් අද වෙලා තියෙන්නෙ ගොඩක් පිරිමි තමන්ගෙ තියන ලොකු සීන් නිසා හරි, පණ්ඩිත කම නිසා හරි මොන මගුලක් නිසා හරි ආදරේ කියන දේ පෙන්නන්නෙ නෑ. එයාල හිතන්නෙ ගෑණු දැනගන්න ඕන තමන්ගෙ හිත අස්සෙ තියන ඒව තේරුන් ගන්න ආදරේ තියෙන්නෙ කිය කිය ඉන්න නෙවි කියල.
හැම පිරිමියම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ.ගෑණු කැමති සමහර වෙලාවල් වලදි බොලඳ වෙන, තව තැනකදි හරියට හුරතල් වෙන, ප්‍රශ්නයක් කරදරයක් ආවම මහ ගහක් වගේ හෙවන දෙන, තමන් වෙනුවෙන් නිකන් අතපය හොල්ලන්න උනත් ලෑස්ති පිරිමියෙක්ට.
අපි කොයිතරම් අරකෙන් මේකෙන් ඉස්සරහට ගියා කිව්වත් අපේ තාම තියනව අර හෝමො සේපියන්ල හැදිච්ච මුල් කාලෙ ලක්ශන. ඉස්සර වැද්දො, නැත්තම් ඊටත් එහා උන්න ආදි මානවයො ගෑණි ගෙදර ඉද්දි මෑන් දඩයමේ ගිය ඩයල්.
ගෑනි කලුවරේ ඉද්දි, මිනිහ ගල් දෙකක් පූට්ටු කරල ගින්දර හෙව්ව ඩයල්.
ස්ත්‍රීවාදය, කාන්තා අයිතිවාසිකම් ගැන මොන අටමගල කිව්වත් ගෑණුන්ගෙ හිත්වල තාම ඒවයි නස්ටාවසේස ඉතිරිවෙලා තියනව.උන් බලාපොරොත්තු වෙනව තමන්ගෙ මිනිහා ගැන අනිත් ගෑණු පිරිමි ඉස්සරහ ” උඹල මොක්කුද යකෝ මගේ එකා තමා මිනිහ” කියල කියන්න.
බොරු කියන්න ඕන නෑනෙ මම ආසයි මගෙ මනුස්සයත් තරහත් යන, හයියට ඉන්න, බොහොම ප්‍රේමණීය, කලාත්මක අදහස තියන, සංවේදී කියන හැම දේම ලස්සනට ගලපගෙන ජීවත් වෙන මිනිහෙක් වෙනවට.
ඌට බැරිනම් මට කරදරයක් උනාම මාව බේරගන්න උගෙන වැඩක් නෑ. ඌට බැරිනම් මට කට ඇරල ආදරෙයි කියන්න ඌව වැඩකුත් නෑ.ඌට බැරිනම් ඇඳේදි “ඔයාගෙ ඇඟ හරි හැඩයි බබා” කියන්න ඒකගෙන් වැඩකුත් නෑ.
ආදරේදි ආදරෙයි කියන්න බැරි නම්, ආදරේ පෙන්නන්න බැරි නම් වැඩක් නෑ.
ඇයි ඕයි කොල්ලෙක් නේද? කෙල්ලෙක් නේද? පොඩ්ඩක් ලැජ්ජාව පැත්තක තියල ඕක කියල දානවකො.මැරෙන්නෙ නෑනෙ ආදරෙයි කිව්ව කියල.
මන් කැමති සමාජය ඉස්සරහ මාව පරිස්සම් කරන්න පුලුවන්, පාර පනිද්දි අතින් අල්ලන් යන, වහිද්දි කුඩේ එකාතකින් අල්ලගෙන අතින් අතින් මාව තුරුල් කරන් යන වගේම, ඔය පාරෙ ඉන්න විසිල් කරන කොල්ලො ඉන්න තැන් වලින් යද්දි මාව සේෆ් සයිඩ් එකට ගන්න වගේම රෑට නිදාගන්න ආවම මගෙ උකුලෙන් ඔලුව තියන් හුරතල් වෙන මිනිහෙක්ව.
මේ හැම දේම තියන “මිනිහෙක්” මට ඕන.
අර මනමේ කුමාරය වගේ තියරියට කඩු සටන් කරන්න ඉගෙන ගත්ත මිනිහෙක් එක්ක ඉඳපු මනමෙ කුමාරිට හිතෙන්න ඇති වැද්ද හොඳයිනෙ යකෝ මුට වඩා කියල.
ඇයි ඌ සටනත් දින්නා, අරූ මලාට පස්සෙ ප්‍රේමණීය විදියට කවි කියල ලස්සනට කුමාරිත් අරන් ගියේ.
වෙන උදාහරණ ඕන නෑ. මන් ඇහුවොත් ඔයා කැමති සල්මන් කාන්ටද ධනුෂ්ටද කියල අති බහුතරේ උත්තර දේවි ධනුෂ්ට කියල.
ඇත්ත ජීවිතේ මොක උනත් ෆිල්ම් හැම එකේම වගේ ධනුශ් ඔය වේලි වේලි ඉන්නෙ නැතුව ආදරෙයි කිව්ව.ආදරෙ පෙන්නුව.
සල්මන් කාන් එහෙමද රෝස පාට ඌරු තඩියෙක් වගේ හැම ෆිල්ම් එකේම එකම විදියට නට නට ගොන් ඇක්ශන් දදා ඉන්නෙ.
ධනුශ් කෙල්ලව දැකල, ටෝක් කරල, කෙල්ලව දාගෙන ඒකිව කසාදත් බැඳ ගන්නකම් සල්මන් කාන් කලිසමේ බෙල්ට් එක හොල්ල හොල්ල නට නටා ඉන්නව.
අනේ මට බොරු කියන්න ඕන නෑ.හරි හමන් මිනිහෙක් තමා ඕන.නැතිව මේ ලොන්තපොරොස් ලෑතරයෙක් වගේ ඉන්න, යාලුවො ඉස්සරහ “අඩෝ මට අරක පුලුවන්”කියල ,ගෑනි ඉස්සරහ ගොන්තය වගේ ඉන්න ඔය සමහර ලෝඩ් ලා වගේ පුස් කෑලි එපා.
නියම මිනිහෙක් තමා හොඳ.පිරිමිකම උතුරන එකෙක්.ආදරේ දන්න එකෙක්.ආදරේ පෙන්නන එකෙක්.ආදරේ කියන එකෙක්.
එහෙම නැතුව උගෙ හිත අස්සෙ ඔක්කොම රෙද්දවල් හංගගෙන ඉඳල, “පුළුවන් නම් දැනගනින්” කියල ගෑණිට සද්ද දාන එකෙක්ට නම් වැද්දට කලින් ගෑණි මුල් වෙලා කඩුවෙන් කොටල දාන්න ඕන.
මට පරචිත්ත විජානන නුවන නෑනෙ උගෙ හිතේ තියන ඒව දැනගන්න.
ඇත්තටම මනමෙ කුමාරි වැරදිත් නෑ.
මොකෝ වැද්ද වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිහෙක්.එල ඩයල් එකක්.
එහෙම එකෙක් වෙන්න බැරි නම් සද්ද නැතුව ඉන්නො.නිකන් අනිත් උන් සන්තෝසෙන් ඉන්නවට ඉරිසියා නොකර.
ආදරේ කියන්නෙ කලාවක්.එක්කො සංගීතයක් වගේ ඇහෙන්න ඕන, නැත්තම් චිත්‍රයක් වගේ පේන්න ඕන.කවියක් වගේ කියන්න ඕන. ඒක එහෙම එලියට දැම්මොත් විතරනෙ ඒක කලාකෘතියක් වෙන්නෙ.අපි කලාකාරයෙක් වෙන්නෙ.නැතුව හිත අස්සෙ තියන් උන්නට ඒක කලාවක් කියල කාටවත් පේන්නෙ නෑනෙ.
ඉතින් ඒ කලාව විඳින්න ඒක හිතෙ හිරකරන් ඉන්නෙ නැතුව එළියට දාන්නම වෙනව.