ආදර සැලසුම් – 72

0
2135

” අශිකා කියනවා ආදිත්‍යය කියන්නේ මගේ දරුවෙක් කියලා ” 

චන්දික එසේ පැවසූ විට නිල්මිණී කිසිවක් නොකියා දිගු සුසුමක් පමණක් හෙලා මොහොතකට නිහඬ වූවාය. චන්දික සහ අෂිකා අතර වූයේ දුර දිග ගිය බැඳීමක් බව නොරහසකි. දෙමව්පියන් හට අවනත වී එකල මිල මුදල් යහමින් නොතිබූ චන්දික ගෙන් ඈත්ව අශිකා හට වෙනත් විවාහයක් කර ගන්නට සිදු වූයේ අසරණකමටය. එවැනි තත්ත්වයකදී මෙවැන්නක් සිදු වී තිබීමට ඇති සම්භාවිතාවයද වැඩිය. එහෙත් මෙතන ඇති ගැටළුව එය නොවේ. චන්දික තමා සමඟ පවුල් ජීවිතයක් ආරම්භ කර තිබීමත් චන්දික ගේ සහ තමා ගේ එකම දියණිය චන්දිකගේ යයි සැක කරන පුත්‍රයා සමගම ප්‍රේම සම්බන්ධතාවයකුත් අරඹා තිබීමය. 

” ඔයා කියලා තියෙන විදිහට අශිකා කියන්නේ පුංචි දේටත් කලබල වෙන කෙනෙක්නෙ චන්දික. ඒත් ඉතිං අපි වැඩිහිටියෝ විදිහට මේ ප්‍රශ්නෙ විසඳන්න ඕනේ. මං කියන්නේ මේක ඔයයි අශිකයි ආදිත්‍යයි එකතු වෙලා විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඇත්තටම ඔය කතාව ඇත්ත නම් ඊට පස්සේ අපි මෞර්යාට මොකද කරන්නේ කියලා බලමු. ” 

හදවතේ ඇති කලබලකාරී බව සාමකාමී තත්ත්වයකට හරවා ගන්නට උත්සාහ දරමින් නිල්මිණී පිළිතුරු දුන්නාය. මෙය ඉතා සංවේදී ගැටලුවකි. තම කුසින් බිහිකල දියණියද එහි කොටස්කාරියකි. ඇයට හානියක් වීමට ඉඩ තැබිය නොහැකි නිසා තවදුරටත් ඉවසීමෙන් මේ ගැටලුව දෙස බලන්නට නිල්මිණි තීරණය කළාය.

” ඔය කතාව දැන ගත්ත දවසෙ ඉඳලා ආදිත්‍යය අතුරුදහන් නිල්මිණි. දැන් දවස් දෙක තුනකට කලින් තමයි ඒ ළමයා කෝල් කරලා කියලා තියෙන්නේ හොඳින් ඉන්නවා කියලා ” 

චන්දික මෙන්ම නිල්මිණී ද ආදිත්‍යය පිළිබඳව සත්‍ය වශයෙන්ම කම්පා වූහ. දෛවයේ හමුවීම් පුදුම සහගත බවත් දෛවය විසින් ආදර කතා සැලසුම් කර ඇති ආකාරයද පුදුම සහගත බවත් නිල්මිණී බැල්කනියට පා තබන අතරතුර කල්පනා කළාය. අශිකා ගෙන් වෙන්වූ පසු චන්දික ගත කළේ අතිශය පීඩාකාරී කාලයකි. යෝජනාවක් මගින් තමාට චන්දිකව මුණගැසුනේ ඉන් පසුවය. ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම ජීවිතයේ අඳුරු අතීතය අමතක කර ජීවත් වීමටද තමා චන්දික හට සවියක් වූයේ සදාකාලිකවම ඔහු සමග ජීවත් වීමේ අරමුණෙනි. ඒ අතරතුර කාලයේදී කිසිම දිනක චන්දික තමාට අවැඩක් නොකළ බව සහ වංචාවක් නොකළ බව පැහැදිලිය. එසේ වූවා නම් ඔහු තමා ඉදිරියේ මේ ආකාරයට පාපොච්චාරණය කරන්නේද නැත. 

නිල්මිණී මැදහත් සිතින් යුතුව මේ ගැටළුව දෙස බැලීම චන්දිකගේ සිතට එකතු කළේ වචනයෙන් කිව නොහැකි තරමේ සහනයකි. එහෙත් සැබැවින්ම ආදිත්‍ය තමාගේ ලෙයින් උපන් දරුවෙකු නම් මෞර්යාට ඇති වන තත්ත්වය අතිශය ශෝකාකූල එකක් වනු ඇතැයි චන්දික කල්පනා කළේය.

තවදුරටත් කාර්යාලයට යාමට හිත හදා ගැනීමට නොහැකිව මෞර්යා තම සේවා කාලය තුළ ලබා ගත් පළමු නිවාඩුව සඳහා අයදුම් කළාය. මෞර්යා සිටින තත්ත්වය හොඳින්ම දන්නා නිසා අභිමන් එයට අනුමැතිය ලබා දුන් අතර මෞර්යා උදෑසනම සූදානම් වී අනුත්තරා මුණගැසීම සඳහා ගල්කිස්ස වෙරළ තීරයේ පිහිටි අවන්හලක් වෙත පැමිණියාය.

” ඔයාටත් මං නිසා ලීව් දාන්න උනා නේද අනූ “

මෞර්යා සුළඟට අකීකරු වන හිස කෙස් රොද එකට කර ගනිමින් කීවේ තමා වෙනුවෙන්ම කඩිමුඩියේ පැමිණි තම හොඳම මිතුරිය දෙස බලන අතරේය.

” අපි දෙන්නට හුඟ දවසකින් හම්බ වෙන්නත් බැරි උනානේ මෞර්යා.අනිත් එක මෙහෙම වෙලාවක මං ඔයා ළඟ නැත්නම් අපි දෙන්නගේ යාළුකමෙන් ඇති වැඩේ මොකක්ද ? ” 

මෞර්යා ඈතින් පෙනෙන ක්ෂිතිජය දෙස බලා උන්නාය. සයුරේ ඈත කොන සහ අහස එක්ව ඇති බව පෙනෙන්නට තිබුණද සැබවින්ම එය මායාවකි.මේ මොහොතේ තමා සහ ආදිත්‍යය අතර ඇති බැඳීම ද එවැන්නකි. ආදිත්‍ය සහ තමා එකට එක්ව ගමනක් යන බව පෙනෙන්නට තිබුණද එය දැන් තිබෙන්නේ ඉතාම අවිනිශ්චිත අවස්ථාවකය. ආදිත්‍ය තමාගේම සහෝදරයා වීමටත් නොවීමටත් ඇත්තේ එකම ඉඩ කඩකි. එය එසේ නොවේවා යැයි කෙතරම් ප්‍රාර්ථනා කළද එය එසේ වීමට ඇති අවස්ථාවද වැඩිය. එය සිහිපත් වන සෑම මොහොතකම මෞර්යාගේ හදවත රිදුම් දුන්නේ දරා ගත නොහැකි වන ලෙසය. 

මෞර්යා ගේ දෑස් වලට කඳුළු උනා ආවේ අනුත්තරා බලා සිටියදීමය.මෞර්යා යනු පහසුවෙන් සැලෙන්නියක නොවේ. ඇය ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයගේම ආකාරයකට අනුවය. ඒ කුමන තත්ත්වයක් යටතේ වුවද මේ ආකාරයට කඳුළු සලන්නට මෞර්යා පුරුදුව උන්නේ නැත.ඒ නිසාම අනුත්තරා හට මෞර්යා පිළිබඳව දැනුනේ ශෝකයකි.

” තාම ආදිත්‍යය ආවේ නැහැනෙ මෞර්යා. එයා ආවහම මේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා යයි ” 

අනුත්තරා කීවේ මේසය මත ඇති මෞර්යාගේ අත තදකර අල්ලා ගන්නා අතරේය.

” එයා මෙච්චර කල් ගන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ අනුත්තරා. අඩුම ගානේ එයාට තිබුණා මට කතා කරන්න හරි ” 

” එයා මොන වගේ තත්වෙක ඉන්නවද කියලා අපි දන්නේ නැහැනේ මෞර්යා.මේ දේ ඔයාට වගේම එයාටත් ෂොක් එකක්. මොනව උනත් එයත් ඔයාට ඇත්තටම ආදරේ කරානේ.අනිත් එක එයාට කොච්චර ලොකු බලාපොරොත්තුවක් ඔයා ගැන තියෙන්න ඇතිද ? මොකද එයා එක පාරක් ජීවිතේ වැරදිච්ච කෙනෙක්. එයාට කොච්චර ලොකු බලාපොරොත්තුවක් තියෙන්න ඇතිද ඔයත් එක්ක ඉස්සරහට ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න ” 

අනුත්තරා කියන්නේ සැබෑවකි. තමා මෙන් නිතර දෙවේලයේ වචනයෙන් නොපැවසූව ද ආදිත්‍යය තමාට ආදරය සහ රැකවරණය නොඅඩුවම ලබා දුන්නේය. ඒ ආදරය සහ රැකවරණය තුළ තිබුණේම ජීවිතය පිළිබඳව විශාල බලාපොරොත්තුවකි. මේ මොහොතේ වියකෙමින් තිබෙන්නේ ඒ බලාපොරොත්තුවය.

” එයාගේම අම්ම ගෙන් ඒ වගේ දෙයක් දැන ගත්තට පස්සේ එයාට හොඳයි කියලා හිතුන දේ වෙන්නැති එයා කරන්න ඇත්තේ.හිත හදාගෙන එයා එනකම් බලා ගෙන ඉන්න තමයි මෞර්යා අපිට තියෙන්නේ.දැන් ඉතින් මේ ගැන හැමෝම දන්න එකේ වැඩිහිටියෝ කීප දෙනා එකතු වෙලා මේක හොඳ විදිහකට විසඳයි. ඇත්තටම ආදිත්‍යය ඔයාගෙම සහෝදරයා වෙන්න තරං ඔයා අවාසනාවන්ත නෑ කියල මං හිතනවා මෞර්යා.ඔයත් ඒ විශ්වාසයෙන් ඉන්න. “

අනුත්තරා කෙසේ පැවසුවද මෞර්යා උන්නේ දෙගිඩියාවෙනි. මේ සිදු වෙමින් පවතින්නේ තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දේවල්ය. මේවා ජීවිතය තුළ ඇති විය හැකි ඉතා සංකීර්ණ ගැටළුය.ජීවිතයට කෙතරම් ශක්තියකින් මුහුණ දුන්නද මේ ගැටළුව ඉදිරියේ තමා දිය වී යනවා වැනි හැඟීමක් මෞර්යාට දැනෙමින් තිබුණි.

” ආදිත්‍ය පව් අනුත්තරා. මං දන්නවා එයාට ඇත්තටම ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා කියලා. ෂෙහාරා නිසා එයා කොච්චර විඳෙව්වද කියලා ඔයාට මං කියලා තියෙනවනේ. මං එයා ගේ ජීවිතේට ආවට පස්සේ එයා ජීවත් වෙන්න කොච්චර ආස කරාද කියල මං දවසින් දවස දැක්කා. ෂෙහාරා එයාට කරපු දේ උනත් එයා සමාව දීලා අත ඇරියේ ඒ ආසාව හින්දා. ආදිත්‍ය කියන්නේ පුදුම අහිංසක මනුස්සයෙක් අනුත්තරා . එයාටම මේ දේවල් වෙන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. ඇත්තටම අපි දෙන්නා සහෝදරයෝ නං දෙවියො ඇයි අපිව මුණගැස්සුවේ කියලා හිතෙනවා ” 

මෞර්යා කම්මුල් දිගේ රූරා යන කඳුළු දෑතින්ම පිස දා ගත්තාය. මේ ආකාරයටම ආදිත්‍යය ද මේ අහස යට කොහේ හෝ තැනක මෙවැනි ආකාරයටම ශෝකයෙන් සිටිනවා ඇතැයි මෞර්යා සිතුවේ අලුත් වන කඳුළු වලට ඔහේ ගලා යන්නට ඉඩ හරින අතරේය.

” ආදිත්‍යයට එයා ගන්න මේ කාලෙ ගන්න දෙමු මෞර්යා. ඇත්තටම එයා එනකම් හරියටම මේ ප්‍රශ්නය විසඳන්න බැහැනේ. හැබැයි එතකං ඔයා ඉවසීමෙන් ඉන්න ඕනේ. මං දන්නවා ඔයා ඉන්නේ හිතේ ලොකු ගින්දරකින් කියලා. මොකද මේ ප්‍රශ්නේ විසඳෙන විදිහ ගැන අපි කාටවත්ම කියන්න බැහැනේ.ඒක ඔයා බලාපොරොත්තු වෙන විදිහට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ඒ මොන දේටත් ඔයා හිත හදා ගෙන ඉන්න ඕනේ මෞර්යා. මේ වෙලාවේ ඔයාට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැහැ ” 

අනුත්තරා මෞර්යා හට කාරුණිකව පහදා දුන්නේ මෞර්යා වෙත මේ මොහොතේ උදා වී ඇති තත්ත්වය පිළිබඳවය. මෞර්යා කිසිවක් නොකියා මහ සයුර දෙස ඔහේ බලාගෙන හිඳිනා අතරේ ඒ නිහඬියාව බිඳිමින් ඇගේ දුරකථනය නාද විය.

” අනේ ආදිත්‍ය කෝල් කරනවා ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here