දෑත දරා – 19

0
1149

සින්දූපා ගේ වෛද්‍ය මිතුරාගෙන් සින්දූපා ට විසුමක් වුයේම නැත. අවසානයේ සින්දූපා මිතුරා මඟ හැර සිටින්නට තීරණය කරගත්තාය. ඔහු දකිද්දී ආපසු මඟ හැර අන් මඟක ගියාය.

”  බලමුකෝ කොච්චරක් දවස් ඔහොම මාව මඟ අරින්නද කියලා ඈ….”

දින දෙකකට පසු වෛද්‍ය මිතුරා සින්දූපා පසුපස හඹා විත් එලෙස පවසා, සින්දූපා ට කිසිවක් පවසන්නට ඉඩනොදීම පසෙකට ගියේය. සින්දූපා  පිටුපස හැරී යන මිතුරාට  උස් හඬින් කෑ ගැසුවාය.

”  ඔයාගේ මේ විකාර නිසා මර ඩිප්‍රෙශන්වත් හැදේවි හොඳේ… මට ඔයාව දකින එකත් ආතතිය වෙලා දැන්…”

මිතුරාගෙන් එයට පිළිතුරු නොලැබීම , සින්දූපා යම් පීඩාවකට ඇද දැම්මේය. ඕ නවාතැනට යන්නට පිටත් වූයේ තම නොසැලකිලිමත් බව නිසා නිරපරාදේ උර මතට පටවා ගත් බර ගැනද සිතමිනි.

ඇය නිවසට ළඟා වන විටත් සාරතී පැමිණ උන්නාය.

” අද වේලපහම ඇවිල්ලා…”

“එහෙමයි දොස්තර නෝනා.. අපේ මහත්තයයු බබයි අද කොළබ ගියා… එහෙ මහත්තයාගේ අම්මලාගේ දිහා … වේලපහ පිටත් වුනා..”

” දැන් ඔය අපේ මහත්තයාගේ මහ ගෙවල්ද කොළඹ…”

“ඔව් නෝනා… “

සින්දූපා ඉන් එහා කිසිත් විමසුවේ නැත. ඔහු බිරිඳගෙන්  නීත්‍යානුකූලවම වෙන්වී සිටින බව දැනගත් මොහොතට පසු යම් මොහොතක පටන් තමන්ගේ සිතට දැනෙන සැනසීම ගැන සින්දූපා ට දැන් දැන් බයක් දැනේ. ජීවිතයට අවැසිම වූයමක් අතැර ජීවත් වීම තීරණය කලේ වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටියදීමය. එයට හේතුව වූයේ අන් කිසිවක් නොව, එක දිගටම සිදුවූ විශ්වාසයේ කඩවීම් ය. සමාව දීම්, වටහා ගැනීම්, අවස්ථාව ලබා දීම් සෑහෙන්න ප්‍රමාණයකට පසු සින්දූපා පසෙකය වූවාය. සිව් වසරක ප්‍රේමයක් තිබුණ වගක් නැතිව ඉන් දෙමසකට පසු, සින්දූපා ගේ පෙම්වතා ඔවුන්ට පහල කණ්ඩායමක සිසුවියක හා සම්බන්ධතාවය ප්‍රසිද්ධ කලේය.

සින්දූපා ගේ සමාසික විභාග යෙදී තිබුනේද ඒ අතර කාලයේමය.

” ඌ මේ දවස් අල්ලලාම පබ්ලිශ් වුනේ උඹට රිදෙන්න … උඹ එතකොය ඔක්කොම අනාගන්න බව දන්න නිසා… ඒ නිසා හය්යෙන් ඉඳපං සින්දූ…”

බිතු සිතුවම් වැනි මිතුදම් දරා උන් මිතුරියන් කිහිප දෙනා සහ මිතුරන් කිහිප දෙනා සින්දූපා ගේ තනිවට අසලින්ම උන් හැටි ඇයට අමතක නැත 

” ඌ හිතුවේ ආයේ ආයෙම උඹ පස්සෙන් ඒවි කියලා… ඒකයි බ්‍රේක් අප් වෙමු කියලා සතියක් විතර යනකල් ඌ ගානක් නැතුව උන්නේ… ඉන් පස්සේ නේ ආයේ කියව කියව එන්න ගත්තේ…. සින්දූ…. ජීවිතේ අපට මීට වඩා අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා … ඒ නිසා හිත අධෛර්යමත් කරගන්න එපා කොහොමටවත්… තේරුම් ගන්න … උඹට උරුම කෙනා.. උඹ එක්ක ජීවිතේ බෙදාගන්න කෙනා තවම හමුවුනේ නෑ…”

මිතුරියන් නොනවත්වාම ඇය ට යථාර්ථය වටහා ගන්නට උදව් කරමින් උන්න බවද සින්දූපා ට මතකය.

” හරි හමං ආදරයක් තිබ්බ මිනිහෙක් නම්, උඹව ඒ විදියෙන් යූස් කරන්නේ නෑ සින්දූ… අනෙක, එකක් දෙකක්ද … කීයක් නම් කතන්දරද ? කී පාරක් උඹ සමාව දුන්නද ? …ආයේ ආයේ ඔන් නෑ… ආදරේ කියන්නේ කොහොම හැඟීමක්ද කියලා සමහරවිට ඌ දාක දැනගනීවි… එහෙම දවසක් එනකල්, ඌ ඔහොම නට නටා ඉඳපුදෙන් …. අන්න ඒ දවසට, උඹ කොන්ද කෙලින් තියාගෙන  ඌ පහු කරලා යන්නෝනි සින්දූ…”

අතීතයේ ඇතැම් සිදුවීම් මෙතරම් එකිනෙක හා ඇලෙමින් තමාට සිහිපත් වන්නේ ඇයිදැයි ගලපා ගන්නට නොහැකිව මෙන් සින්දූපා අවධානය වෙනතකට හරවා ගත්තාය. ප්‍රේමය ජීවිතයට අඩුවක්ව නැතැයි කිව නොහැක. ඇතැම් රාත්‍රීන් හී පපුවේ ඇතුලක, කියා ගන්නට නොදැනෙන ඉමක සියුම් රිදීම් නැඟේ. ඒ රිදුම් පිරිමදිමින්, ප්‍රේමණීය සුසුම් හී උණුසුම ගෙල පාමුලට දනවන්නට අයෙකු නැති වීමේ අඩුව  දැනේ.

දියණිය වෛද්‍යවරියගේ තොරතුරු අම්මා හා දොඬමලු වනු මනුජට ඇසුණේ අහම්බයෙනි.

” ඒ ඩොක්ටර් ඇන්ටි බබාට ටෙඩියෙක් ගෙනලා දෙන්නම් කිව්වා…”

“ආනේ….ශෝක් ඇන්ටි කෙනෙක්නේ.. ඒ නිසානේ බබාට ඌවා කරේ නැතුව, බබා සනීප කලේ…”

“නැ.. බබාට ඌවා වුනා.. අතේ මෙතනට කටු ගැහුවා.. ඒ වෙන් ඇන්ටි කෙනෙක්…”

“ඒකනේ.. ඒකනේ….ඩොක්ටර් ඇන්ටි අපේ මැණික් කැටේට ඌවා කලේ නෑනේ…”

අම්මාද ඔහේ කියවන්නීය. මනුජ  නැවතී  තවත් අසා උන්නේය.

” මේ දෝණි කියන්නේ අර පුතා එක්ක රණ්ඩු කරගත්ත ඩොක්ටර් ගැනද මහත්තයා…”

“පුතා එක්ක රණ්ඩු කලා නෙවෙයි … පුතා රණ්ඩු කලා…ඉන්නේ ෆෝර්සස් වුනාට ඌටත් මෙලෝ ඉවසීමක් නෑ… ඒ ඩොක්ටර් නිකමට හරි කම්ප්ලේන් එකක් දැම්මා නම් ඩියුටි එකට බාධා කරා කියලා ඊට වඩා ප්‍රශ්නයක් නේ…. අනෙක ලේඩි ඩොක්ටර් කෙනෙක් …”

මනුජ අම්මලාට නොපෙනෙන්නට පසෙකටම වූයේය. එහෙත් කතා බහට මාතෘකාව දොස්තර නෝනා වීමේ මිහිරියාව නිසාම ඔහු කතා බහට සවන්දීම අත් හැරියේ නැත. ඒවා මෙයයැයි කියා හරි අර්ත නිරූපණ දිය නොහැකි හැසිරීම් ය.

” දැන් කොහොම හරි මුකුත් ප්‍රශ්නයක් නෑනේ.. ඊයේ සාරතී කිව්වනේ, සාරතී ඔක්කොම පැහැදිළි කරලා දුන්නා කියලා ඒ ඩොක්ටර්ට …. එයා ඒවා තේරුම් ගත්තා කියලත් කිව්වනේ…”

“ඒකත් වෙලාවට සාරතී ඒ ඩොක්ටර් ළඟ වැඩටත් සෙට් වෙලා තියෙන්නේ… සාරතී කොහොමටත් පුතාට ලෙංගතුයි… වැඩේ කියන්නේ අම්මා කෙනෙක් වගේ ඉන්න ඒ ගෑණි පිටිනුත් මූ තරහ යවන එකනේ…”

දියණිය තනිව මොනවාදෝ කියවමින් සෙල්ලම් කරන හඬ ද මනුජට ඇසුණේය. අම්මා සහ තාත්තාගේ දෙබස් ඇයට එතරම් වැදගත්කමක් නැති ලෙසය.

” ලොකූ ඉන්නේත් සුලු පටු පීඩනේකද මහත්තයා…?”

“එව්වා අපි කියලා කරපු දේවල් නිසා නෙවෙයිනේ.. තම තමන් වපුරගත්ත දේවල් වල, අස්වැන්නත් තම තමන් බාරගන්නෝනා…”

“ඒ කොහොම වුනත්, මට ත්ව ඩිංගක් සනීප වුනාම මේවා වහලා දාලා හරි, අපත් එහෙටම වෙමු මහත්තයා… ලොකූ මේ දරු පැටියා එක්ක තනියෙන් දුක් විඳින එක මට ඉවසගන්න බෑ….”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here