අහිමි ආදරය නිසා බිහිසුණු පිම්මකින් ජීවිතය අවසන් කල තරුණිය

ආදරේ කියන්නේ ජීවිතේ වෙනස්ම පාරකට අරගෙන යන්න පුළුවන් විදියෙ බැඳීමක්. 

සමහර වෙලාවට ආදරෙ ලස්සන පැත්ත දුක් විඳින මිනිස්සුන්ව සතුටට අරගෙන එනවා. ඒත් ආදරේ අනිත් පැත්ත එහෙම නැත්තම් වේදනාබර පැත්තට පුළුවන් මනුස්සයෙක්ගෙ ජීවිතේ එහෙම් පිටින්ම නැති කරලා දාන්න. ඔලුව අවුල් කරලා, ජීවිතේ තේරුමක් නැහැ වගේ හැඟීමක් හිතට අරගෙන එන්න. මේ  දුන නිසාම ගොඩක් හොඳ මිනිස්සු පවා සමහර වෙලාවට වැරදි තීරණ ගන්න පුළුවන් තැනකට ඇද වැටෙනවා.

අද අපි කතාකරන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.

එයාගෙ නම ජේඩ්. ජේඩ් ඩැමරල්. එයාගෙ වයස අවුරුදු 32. කොහොමහරි මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙදි ජේඩ් ජීවිතේ නැති කරගන්නවා. ඒ එයා ආසම දේ කරන ගමන්. ඒ තමයි skydiving. ජේඩ් කියන්නෙ marketing manager කෙනෙක්.  ඒ වගේම ජීවිතේ විඳින්න ආස කරපු, ගොඩක් දක්ෂ ස්කයිඩයිවර් කෙනෙක්. එයා අහසින් පැනලා තිබුණා මීට කළින් 500 වතාවකටත් වඩා. ඒත් අප්‍රේල් 27 වෙනිදා ගත්ත අන්තිම පිම්ම එයාගෙ ජීවිතේ අවසානය ලියන්න හේතු වුණා.

එච්චර දක්ශ ස්කයි ඩයිවර් කෙනෙක්, ස්කයි ඩයිවින් අතරවාරයෙදිම මැරෙන්න පුළුවන්ද?

ඔව් ඒ සැකේ ඔයාලට වගේම ජේඩ්ගෙ මරණය දැනගත්ත ගොඩක් අයට තිබ්බා. කතාව වෙනස් වෙන්න පටන් ගත්තෙ අන්න ඒ පරීක්ෂණේ එක්ක.

අහසට තිබුණ ආදරය

ජේඩ්ගේ ලොකුම ආසාව තිබුණෙ ස්කයිඩයිවින් වලට. එයාට ඒක ක්‍රීඩාවක් විතරක් නෙවෙයි, නිදහසක් වෙච්ච දෙයක්. එයා යාළුවෝ එක්ක පවා කියලා තිබ්බා “මට අහසේ පාවෙනකොට හිතට මාරම ලොකු නිදහසක් දැනෙනවා” කියලා. ජේඩ් ස්කයි ඩයිවින් යන හැම වෙලාවකම වගේ පිම්ම පනිනකොට එයාගෙ හෙල්මට් එකට කැමරාවක් සවි කරගෙන ඒ මතකයන් පටිගත කරගත්තා.

අහස ඇත්තටම පෙරළා ජේඩ්ට අහස තරම්ම ආදරේ කරා. තමන්ට ආදරේ කරන ආදරබර හිතක් අහස ආදරෙන් දරාගත්තා

ඒත් අහසට තිබුණ ආදරය වගේ නෙවෙයි, බිම මත තිබුණ ආදරය දරාගන්න ජේඩ්ට එච්චර ලේසි උනේ නෑ.

අප්‍රේල් 26 වෙනිදා රෑ, ජේඩ් එයාගේ පෙම්වතා එක්ක තිබුණ සම්බන්ධය නතර කරනවා. එයාලා දෙන්නා එකතු වෙලා හිටියේ ස්කයිඩයිවින් වලට තිබුණ ආසාව නිසා. ඒත් කාලයත් එක්ක එයාලා අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා එදා රෑ තමන්ගෙ සම්බන්ධෙ නතර කරන්න මේ දෙන්නම කතා කරගන්නවා. එවෙලෙ එයාගෙ ප්‍රේමවන්තයට නොපෙනුනාට ජේඩ්ට මේ වෙන්වීම දරාගන්න බැරි තරම් දෙයක් වෙලා තිබෙන බව තේරෙන්නෙ පස්සේ. ආදරය හිත සතුටින් පුරවනවා වගේම, ඒක නැති වුණාම හිත හිස් වෙලා යනවා. ජේඩ්ට ඒ වේදනාව දරාගන්න බැරි වෙලා තියෙනවා කියලා මුලු ලෝකයක්ම දැනගන්නෙ ජේඩ්ගෙ මරණයෙන් පස්සෙ.

ජේඩ්ගෙ කතාවෙ දුක්බරම කොටස තමයි බ්‍රේක් අප් එක වෙච්ච දවසට පස්සෙ දවසෙත් එයා කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව සාමාන්‍ය විදිහට හිටපු එක. අප්‍රේල් 27 වෙනිදා, ජේඩ් යාළුවෝ එක්ක ස්කයිඩයිවින් යන්න සෙෂන් එකකට එකතු වෙනවා. එයා හොඳටම හිනා වෙවී, සාමාන්‍ය විදිහටම ඉඳිය නිසාම එයාගේ හිතේ තිබුණ දුක කවුරුවත් දකින්නෙ නැහැ.

සන්තෝසෙන් ඉපිළෙමින් ජේඩ් ප්ලේන් එකට නගිනවා. හැමෝම හිතුවේ ඒක සාමාන්‍ය දවසක් කියලා. ඒත් ජේඩ්ගේ හිතේ තිබුණේ වෙනම තීරණයක්. ඒත් ඒ තීරණේ ඒ වෙලාවෙ දැනගෙන උන්නෙ ජේඩ් විතරමයි

අන්තිම පිම්ම

අඩි 15,500ක් (මීටර් 4,600ක්) උඩ ඉඳලා ජේඩ් අහසට පනිනවා. මේක ජේඩ්ට නුපුරුදු දෙයක් නෙවෙයි ඒත් හැමදාම කරනවා වගේ ජේඩ් පැරෂූටය ඇද්දේ නැහැ. එයා ප්‍රධාන පැරෂූටයත්, හදිසි පැරෂූටයත් පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ තමන්ට බිම වැටෙන්න ඉඩ දුන්න එක. පැරෂුට් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා හිතලා මේ මරණයෙන් පස්සෙ පරීක්ෂා කරනවා. ඒත් ඒ පරීක්ෂණවලින් තහවුරු වුණා ජේඩ්ගෙ පැරශුට් එකේවත් අනිත් උපකරණවලත් කිසිම අවුලක් තිබ්බෙ නෑ කියලා. කිසිම දෝෂයක් තිබුණේ නැති පැරෂූට් එකේ ඉබේම විවෘත වෙන උපකරණය පවා එයා ක්‍රියා විරහිත කරලා තිබුණා. ඒ කියන්නේ, මේක ජේඩ් සැලසුම් කරලා තිබුණ දෙයක් කියන එක පස්සෙ මේ පරීක්ෂණයෙන් තේරුම් යනවා.

සමුගැනීමේ පණිවිඩ

පොලිසිය ජේඩ්ගේ ෆෝන් එක චෙක් කරද්දී එයා එයාගෙ පවුලේ අයට ලියපු පණිවිඩ කීපයක් හම්බවෙනවා. ඒ පණිවිඩවලින් ජේඩ් එයාලට එයාලා දුන්න ආදරයට ස්තුති කරලා තිබුණා. ඒ වගේම එයාලා නිසා තමන් මෙහෙම දෙයක් කරගත්තෙ නැහැ කියලා කියලාත් කියවිලා තිබුණා. එයා ෆෝන් එක අන්ලොක් කරන විදිහ පවා කියලා තිබුණා. ජීවිතේට සමු දෙන්න කලින් ජේඩ් හැමදේම හොඳට සැලසුම් කරලා තිබුණා කියන එක ඒ හැම දේකින්ම හැමෝටම හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කම ලැබුණා.

ජේඩ්ගේ කතාවෙන් අපිට මතක් කරලා දෙනවා, ලෝකේ ශක්තිමත්ම අය පවා ආදරය නැති වුණාම දුකට පත් වෙනවා කියලා. ජේඩ් කියන්නෙ හරිම නිර්භීත, වික්‍රමාන්විත කෙනෙක්. ඒත් එයාටත් හදවතේ වේදනාව දරාගන්න බැරි තැනක් ඇවිත් තිබුණා.

ජේඩ්ගෙ කතාව අපිට කියනවා, අපි අවට ඉන්න මිනිස්සු දිහා හොඳින් බලන්න කියලා. එයාලාගේ දුක ඇත්තටම තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. සමහර වෙලාවට ලස්සන හිනාවක් පිටිපස්සේ මරණීය දුකක් හැංගිලා තියෙන්න පුළුවන්. හිනාවක් පිටිපස්සේ කඳුළු තියෙන්න පුළුවන්.

ජේඩ්ගේ අන්තිම පිම්ම ස්කයිඩයිවින් ගැන නෙවෙයි. ඒක විරහවේ වේදනාව දරාගන්න බැරිවෙච්ච හිතක් ඒ වේදනාවෙන් ගැලවෙන්න අරගත්ත පිම්මක්.

ජේඩ් අපිට මතක් කරලා දෙනවා ආදරය කියන්නේ ගොඩක් බලවත් දෙයක් කියලා. ආදරේට අපේ ජීවිත හදන්න පුළුවන් වගේම, නැති වුණාම ඒක අපේ හිත කඩලා දාන්නත් පුළුවන් කියන එක.

Related Articles

Don't Miss


Latest Articles