මගහැරුණු හීන

රවී කඩිමුඩියේ දහවල් ආහාරය අරගෙන ආපහු තමන්ගේ අසුනට ඇවිත් වාඩි වුනේ වෙහෙසකර බවකින්.ඒ වෙනකොට වෙලාව හතරයි තිහත් පහු වෙලා.ඉවර කරන්න තිබුණ වැඩ කන්දරාවත් එක්ක රවි දහවල් ආහාරය සඳහා යනකොට හවස හතරයි.අවුරුදු තිස් දෙකක අවිවාහකයෙකු වුණු රවී සේවය කළේ පෞද්ගලික අංශයේ ආයතනයක ගිණුම් අංශයේ. මේ ආයතනයේ සේවයට ඇවිල්ල අවුරුදු පහකට ආසන්න කාලයක් ගත වුණත් රවී ගේ වැටුප වැඩි වුණේ අවස්ථා දෙකකදී විතරයි. උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන් රැකියාව කරන්න නියමිත වෙලා තිබුණත් ගොඩක් වෙලාවට රවී වැඩ අවසන් වෙනකොට හවස හයත් පහු උනා.

පුංචි කාලයේම රවීගේ තාත්තා අවසන් ගමන් ගියාට පස්සේ රවීගේ අම්මා ගේ එකම හීනය වුණේ ඔහුට හොඳට උගන්වලා හොඳ රැකියාවකට යන තැනට ඔහුව පත් කරන්න. අම්මගේ ඒ හීනේ හැබෑ කරන්න ඕන නිසාම රවී ගණන් මිනුම් වලට කොටුවෙච්ච රැකියාවක් තෝර ගත්තට ඇත්තටම රවීට ඕන උනේ ලේඛකයෙක් වෙන්න. පාසල් කාලයේ ඉඳලම ලේඛනයට දක්ෂකම් දක්වපු රවී සමස්ත ලංකා තරග වලින් පවා ජයග්‍රහණ ලබා ගෙන තිබුණා.

වාණිජ අංශයෙන් උසස් පෙළ කළත් රවි ලිවීම අත හැරියේ නැහැ. පත්තර වලට සඟරා වලට යවපු කවි සහ කෙටි කතා වලට හුඟක් හොඳ ප්‍රතිචාර රවීට නිතරම වගේ ලැබුණා. උසස් පෙළින් පස්සේ ලිවීමට අදාළ රැකියාවක් හොයා ගන්න උත්සාහ කළත් රවීට ඒකට අවස්ථාවක් සහ අම්මා ගෙන් අවසරයක් ලැබුණේ නැති නිසා රවීට සිද්ද උනේ ගිණුම් අංශයේ රැකියාවක් තෝරා ගන්න. ඒ ගැන රවී ගෙ අම්මා හිටියේ හුඟක් සතුටින්.තමන්ගේ එකම දරුවා තමන්ගේ හීනය හැබෑ කරා කියන සතුටින් රවී ගේ අම්මා ජීවත් උනත් තමන් කරන රැකියාව ගැන රවී කවදාවත්ම තෘප්තිමත් වුණේ නැහැ.

හැමදාම හවසට ඕනෑවටත් වඩා වෙහෙසට පත් වෙලා ගෙදර එන රවී සමහර දවස් වලට රාත්‍රී ආහාරය වත් ගන්නේ නැතුව නින්දට වැටුනා. රවී මොනතරම් වෙහෙසට පත්වෙලා හිටියද කියනවා නම් ඔහුට ඔහුගේ අම්ම වත් මග ඇරුනා. තමන්ට තිබුන පුංචිම පුංචි පපුවේ වේදනාවක් නොසලකා හැරපු රවීගෙ අම්මා ජීවිතය අතෑරලා යන්න ගියේ නොහිතපු වෙලාවක.

අම්මාගේ මරණයෙන් පස්සේ රවී ජීවිතය ගෙව්වේ ඕනෑවට එපාවට වගේයි. අම්මගේ හීන හැබෑ කරන්න අවුරුදු 32ක්ම මහන්සි වෙච්ච රවී විවාහ වෙන්නවත් නොහිතුවේ ජීවිතය ගැන පැහැදිලි අරමුණක් තිබුනෙ නැති නිසයි. පුරුද්දට වගේ රැකියාවට ගිහින් මාසයේ අවසානයට වැටුප අතට අරගෙන එයින් ජීවත් වෙච්ච රවී ගේ ජීවිතය හරිම ඒකාකාරී විදිහට ගලාගෙන ආවා.

මාසයේ අන්තිම දවස් ඉතාම කාර්යබහුල නිසා එක දවසක් රෑ රවී කාර්යාලයේ වැඩ ඉවර කරනකොට රාත්‍රී දහයට ආසන්න වුණා. ප්‍රධාන පාරෙන් යන බස් රථයට නැගුණු රවී නිවසට මදක් නුදුරින් තියෙන බස් නැවතුමෙන් බැහැල නිවසට යන පාරේ බස් රථය ඒ වෙනකොට ගමන් අවසන් කරලා තිබුන නිසා නිවසට පයින්ම යන්න තීරණය කළා.

කෙටි පාරකින් යන්න හිතපු රවී ප්‍රධාන පාරෙන් හැරිලා මදක් ඉදිරියට එනකොට බාගෙට වහල තිබුන පුංචිම පුංචි පොත් කඩයක් දැක්කා.ඒ පොත් කඩේ ඉදිරිපිට මිටි බංකුවක වයසක පුද්ගලයෙක් වාඩි වෙලා හිටියා. මතක ඇති කාලයකින් පොතක් කියවලා නැති නිසා පොතක් මිලදී ගන්න ඕන කියලා රවීට හදිසියේම සිතුවිල්ලක් ඇති වුනේ අන්ධකාරයෙන් වෙළිලා තිබුන ඒ පොත් කඩේ දැක්කට පස්සේ. 

” පුතා පොතක් ගන්නද ආවේ ? ” 

රවී පොත් කඩේ දෙසට එනවා දැක්කම අර වයසක පුද්ගලයා වාඩිවෙලා හිටපු මිටි බංකුවෙන් නැගිට්ටා.

” එහෙම තමයි හිතුවේ ” 

අර වයසක පුද්ගලයා පොත් කඩයට ඇතුළු වෙලා තවත් විදුලි පහනක් දල්වන කොට රවීත් පොත් කඩයට ඇතුළු වෙලා පොත් කඩේ පුරාම බැල්මක් හෙලුවා. පුංචි ඉඩ කඩක පිහිටලා තිබුන හුරුබුහුටි පොත් කඩය තරමක පාළු ස්වභාවයක් ගත්ත වගේම සමහර පොත් වල මතුපිට දුහුවිලි රැඳිලා තියෙනවාත් රවී දැක්කා.

” ඉස්සර වගේ දැන් පොත් විකිණෙන්නේ නැහැ ඉතින්.මිනිස්සුන්ට පොත් කියවන එකත් අමතක වෙලාද කොහෙද ” 

වයසක පුද්ගලයා මුදල් ගෙවන පුංචි කවුන්ටරය ළඟින් වාඩි වෙන අතරේ කිව්වා. කාලෙකට පස්සේ පොත් කඩයකට ගොඩ වුන ආසාවෙන් රවී රාක්ක අතරේ එහා මෙහා ඇවිදිමින් ඇඟිලි තුඩු වලින් පොත් අත ගෑවා. පොතක් දෙකක් අතට අරගෙන ඒවායේ තියෙන නැවුම් සුවඳ විඳින කොට රවීට හිතුනෙම තමන් ආස කරපු විදිහට ලේඛකයෙක් වුණා නං මේ වෙනකොට තමන්ගේ නමිනුත් මේ පොත් රාක්ක අතරේ පොත් තියෙන්න තිබුන නේද කියලා.

කියවන්න එකම එක පොතක් හරි මිලදී ගන්නවා කියලා හිතපු රවී හරිම උනන්දුවෙන් පොත් රාක්ක අතර තිබුණ පොත් එකින් එක අරගෙන බැලුවා. ඒ අතරේ ලස්සනම ලස්සන කඳු පන්තියක සහ තරුණ ගෑනු ළමයෙකු ගේ සේයාරුවක් පින්තාරු කරලා තිබුන පිට කවරයක් සහිත පොතක් රවීගේ ඇහැ ගැටුණා. ඊට පස්සේ රවීගේ ඇස් නතර වුනේ ඒ පොතේ නම ලඟ.

” මඟ හැරුනු හීන “

රවී ඒ වචන තුන දිහා විනාඩි කිහිපයක් බලා ගෙන හිටියා. ඊට පස්සේ ඔහු ඒ පොත එහා මෙහා පෙරලලා බැලුවා. පිටු තුන්සියයකින් විතර සමන්විත වෙච්ච නවකතාව කියවන්න රවීට ලොකු ආසාවක් ඇති වුණේ ඒ වෙලාවෙදියි.

පොත මිලදී ගත්ත රවී වයසක පුද්ගලයාටත් ස්තුති කරලා පයින්ම ගෙදර ආවා. මොකක්දෝ හේතුවක් නිසා වෙහෙස මහන්සිය පැත්තක දාලා පොත කියවන්න ආරම්භයක් හරි ගන්න ඕනේ කියලා රවීට හිතුන නිසා මහන්සිය නිවෙනකන් නාපු රවී කෝපි කෝප්පයකුත් හදා ගෙන පොත කියවන්න වාඩි උනා.

නවකතාවට පාදක වෙලා තිබුණේ ගුරුවරියකුගේ ජීවිත කතාවක්. රට රටවල්වල සංචාරය කරන්න හීන මවමින් හිටපු තරුණ ගෑනු ළමයෙක් ගුරු වෘත්තියට කොටු වෙලා ජීවිතය ඒකාකාරී වුණාට පස්සේ වෙහෙසට පත් වෙලා තමන්ගේ හීනය වෙච්ච සංචාරක ජීවිතය ආරම්භ කරපු හැටි නවකතාවේ හරි අපූරුවට ලියලා තිබුනා.

පාන්දර දෙක විතර වෙනකම් එක හුස්මට නවකතාව කියවල ඉවර කරපු රවී පොත වහල පැත්තකින් තියලා කල්පනාවට වැටුණා. තමන්ගේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙදි ඇගේ හීනය හැබෑ කරපු නිසා දැන් වත් තමන් තමන්ට මග හැරුණු හීන හැබෑ කර ගන්න ඕන නේද කියලා රවීට හිතෙන්න පටන් ගත්තා. 

කාමරයට ආපු රවී පරණ පොත් කබඩ් එකක් ඇරලා ඒ පොත් අතරේ තිබුණ බොහොම පරණ පොතක් එළියට ගත්තා.ඒ පොතේ තිබුණේ කාලෙකට කලින් රවී විසින් ලියපු කෙටි කතා සහ කවි.පොතේ පිටු එකින් එක පෙරලලා බලපු රවී කල්පනා කළේ තමන් ඇතුළේ මොන තරම් නිර්මාණශීලී මනුෂ්‍යයෙක් ජීවත් වෙලා ඉඳලා තියෙනවද කියලා. ඒ නිර්මාණශීලී මනුෂ්‍යයාට තවමත් හුස්ම ගන්න පුළුවන් කියලා රවීට හිතුනෙ එතකොටයි.

තමන් අකමැතිම රස්සාවක් අත හැරලා තමන් කැමතිම වෘත්තියක් තෝර ගන්න රවී තීරණය කරා. තවත් මාසයකින් පමණ රැකියාවෙන් ඉල්ලා අස් වෙනවා කියලා ආයතනයට දැනුම් දීපු රවී ඒ අතරතුර කාලයේ දී සඟරා සහ පුවත් පත් ආයතන කිහිපයකටම අයදුම් පත්‍ර යොමු කළා. රවී ගේ වාසනාවට වගේ ඒ ආයතන කිහිපයකින්ම රවීට සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවුම් ලැබුණා.

සම්මුඛ පරීක්ෂණ වලට සහභාගි වුණ රවිට ආයතන දෙකකින්ම රැකියා අවස්ථාව හිමි වෙද්දී රවී ඒ දෙකෙන් හොඳම එක තෝර ගත්තා.තවත් මාසයකට පස්සේ රවී ඉතාම සතුටෙන් අලුත් රැකියාවට යන්න පටන් ගත්තේ හරිම තෘප්තිමත් හිතකින්. රැකියාව කරන අතරතුරේදී තමන්ගෙම කියල නවකතාා පොතකුත් කවි පොතකුත් සැලසුම් කරපු රවී මාස කිහිපයක් ඇතුළත ඒ පොත් දෙකම එළි දක්වන්න සූදානම් කළා.

” මග ඇරිච්ච හීන හැබෑ කරගන්න අපි කවදාවත් පරක්කු නැහැ. අපි හිතුවොත් අපිට ඕනම වෙලාවක අපිට මග හැරුණු හීන හැබෑ කරගන්න පුළුවන් ” 

රවී එහෙම හිතුවේ තමන්ගේම නමින් මුද්‍රණය වෙලා අවසන් වුන අළුත්ම නවකතා පොත අතට ගන්න ගමන්.

More Stories

Don't Miss


Latest Articles