ළතෙත් ආදර හැඟුම් ගංගා – 16

“බඩු ගෙනත් දොරකඩෙන් තියන්නෙ මං මට ඕන හන්දා මිසක්කා මේ නංගිගෙන් වෙන මුකුත් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මං නංගිගෙන් අර කතාව ඇහුවෙ ඇත්තටම. ඒකෙ කිසි බොරුවක් තිබ්බෙ නෑ. මං නිකන් මේ මං හෙන බෝදිසත්ත්වයා කියලා පෙන්නන්න හිතාගෙන දැම්ම ටෝක් එකක් නෙවෙයි ඒක.හැබැයි නංගි වැඩේට අකමැති හන්දා මං ඒක හිතෙන් අයින් කරලා දැම්මා. ඒක නෝ වොරීස්. හැබැයි නංගි මං මේ බඩු ගෙනත් මෙතන තියන එකට නම් එපා කියන්න එපා. මොකද මං ඒක ගෙනත් දෙන්නේ අපේ ඇස් ඉස්සරහා මේ පොඩි දරුවෙක් හම්බෙන්න ඉන්න ගෑනියෙක් බඩගින්නෙ ඉන්නෝන නැති හන්දා. මට තව තිබ්බා නම් මං තව ගෙනත් දෙනවා නංගි” කියලා මංජු කියද්දි “ඔය කොච්චර කිව්වත් පිරිමි දෙයක් කරන්නෙ තව එක්ක හිතේ තියාගෙන” කියලා මට නොහිතුනා නෙවෙයි.

සමහර විට මං වැරදි ඇති. හැබැයි ඉතින්. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණා මැදිරි එලියටත් බයයි කියන එකේ මං මංජු දිහා වර ඇහෙන් බලපු එකෙ කිසි වරදක් නෑ කියලා මමම මටම කියාගත්තා. අනික ඉතින් උට ප්‍රශ්නයක් නැත්තම් මට කන්න දෙන එක මට තියෙන්නෙ කන්නනෙ? නේද?

අපි ඒ ප්‍රශ්නෙ විසඳගත්තෙ අන්න ඒ විදියට. ගහමරාගන්නවට වඩා කතා බහ කරලා වගේම තේරුම් අරගෙන ප්‍රශ්න විසඳගන්න එක ලේසියි කියලා හිතෙද්දි, ඉස්සර අම්මා දේවල් කියද්දි අම්මා එක්ක කට ගහගෙන යන්නෙ නැතුව ඉඳියනම් අද මං මේ වගේ තැනකට ඇද නොවැටෙන්න තිබ්බා නේද කියන එකත් මට හිතුනා. හැබැයි ඒ කිසිම දෙයක් අද කල්පනා කරා කියල මට සෙතක් අත්පත් වෙන්නෙ නෑ කියලා තේරිච්ච තැන ඇත්තටම කිව්වොත් මම ඒ චැප්ටර් එක හිතේ කෙලවරකටම ඇදලා දැම්මා. 

“අපි මංජුට ආය ඔය බඩු මලු ගේන්නෙ නැතුව ඉන්න කියමු අක්කෙ” කියලා මං එදා කාන්ති අක්කගෙ ඔලුවට අයිඩියා එක දාද්දි මලානික වෙච්ච ගැනිගෙ හිනාව ආය පිපුණෙ මංජු ඇවිත් දුන්න කැපකරු පියා ටෝක් එකෙන් පස්සෙ.

“නංගි ආවෙ කොහෙන්ද කින්ද මන්ද ජාතිය ආගම මොකද්ද කියන එක අපිට අදාලම නෑ දැන් නේද කාන්ති අක්කේ? අපේ බජාර් එකේ ඉන්නවා නම්, නිදියන්නෙ අපි නිදියන පොළොව උඩ නම්, ගන්නෙ අපි ගන්න හුස්ම නම්, කන්නෙ අපි කන ඒවම නම් ආය මේ නංගි වෙනයි අපි වෙනයි සීන් එකක් ඕන නෑනෙ. මං කැමති වෙච්ච එක අමතක කරලා අපි එක බජාර් එකේ සෙට් එක වගේ ඉමු. එච්චරයි, මං බඩු ගෙනත් තියන්නේ නංගිට විතරක් නෙවෙයි. දරුවටත් එක්ක. මොකෝ ඔය දරුවා නංගිගෙ බඩේ ඉන්න කම් නංගිගෙ දරුවා උනාට, ඉපදුණාට පස්සෙ අපේ බජාර් එකේ, අපෙ වත්තෙ දරුවෙක් නිසා” කියලා මංජු ටුක් එකේ යතුර කරකව කරකව කියද්දි මං චුට්ටක් විතර හෙල්ලුනා.

මිනිහා කිව්ව දේ ඇත්ත. මේ දරුවා මගෙ දරුවා විතරක් වෙන්නෙ ඒ දරුවා මගෙ බඩේ ඉන්න තාක් කල් විතරයි තමයි. ඉන්පස්සෙ, ඉපදුණාට පස්සෙ ඒ දරුවා මගෙ දරුවා විතරක් නෙවෙයි මේ වත්තෙ මිනිස්සුන්ගෙත් දරුවා වෙනවා නේද කියන එක මතක් වෙද්දි මගෙ හිත රිදුණා රිදෙන්න පුළුවන් උපරිමේටම. මොකෝ මාත් අම්මා කෙනෙක්. තමන්ගෙ දරුවාට මේ ලෝකෙ දෙන්න පුලුවන් හොඳම දේවල් දෙන්නෝන කියල හිතන අම්මා කෙනෙක්. දෙමව්පියන්ට දරුවන්ට දෙන්න පුළුවන් හොඳම දේවල් මොනවද කියලා ඇහෙන් දැක්ක, අත්වින්ද කෙනෙක්. අන්තිමේ ඒවා දාලා, මෝඩයෙක් වගේ මෙහෙම වත්තක් අස්සෙ ලගින්න උනාට මට ඕන මගේ අම්මල මට දුන්නට වඩා සැප මගෙ දරුවට දෙන්න. ඒ උනාට මං වැටිලා උන්න තැන, මේ වත්ත කවදාකවත් මට ඒකට ඉඩ නොදෙන විත්තිය මං දැනං උන්නා. 

“මොකෝ ඔය දරුවා නංගිගෙ බඩේ ඉන්න කම් නංගිගෙ දරුවා උනාට, ඉපදුණාට පස්සෙ අපේ බජාර් එකේ, අපෙ වත්තෙ දරුවෙක් නිසා”  කියලා මංජු කිව්ව වචන හිත අස්සෙ කන් අස්සේ ආයෙ ආයෙ දෝංකාර දෙද්දි මං මගේ හිතටම කියාගත්තා “මං කවදාවත් මගෙ දරුවට මේ වත්තෙ හැදෙන්න ඉඩ දෙන්නෙ නෑ” කියන එක. මංජු වගේ, කාන්ති අක්කා වගේ වත්තෙම ඉපදිලා වත්තෙම හැදිච්ච වැඩිච්ච උන් ඉස්සරහා ඒ සිතුවිලි එලියට දාගන්න බැරි උනාට මම හිතෙන් හිතන්නෝන හැමදේම හිතුවා.

“මං කොහොමද මගෙ දරුවව මේ කුණු ඇලේ ගඳ, ගන්න හැම හුස්මක් පාසාම පෙණහල්ල පුරවගන්න වත්තක හදන්නේ? මගේ දරුවගෙ ඇඟේ දුවන්නෙ මගේ ලේ. එහෙම එකේ මං කොහොමද එහෙම අසාධාරණයක් මගෙ දරුවට කරන්නෙ?

මාත් අම්මා කෙනෙක්. මේ වත්තෙ තව මං වගේම අම්මලා ඉන්න විත්තිය ඇත්ත, එහෙව් අම්මලට පවා මේ වත්තෙම හැදිච්ච වැඩිච්ච උස්මහත්වෙච්ච දරුවො ඉන්න බව ඇත්ත. ඒ උනාට ඒ දරුවො උන්ගෙ මව් දෙමව්පියො වගේම මේ වත්තෙන් එහා ලෝකයක් දැකලා, එක්ස්පීරියන්ස් කරලා නෑ. ඒ හන්දා මේ වත්ත තමයි ලෝකෙ හතරමායිම කියලා හිතාගන්න එක ඒ ළමයින්ට ලේසියි.

මගේ දරුවා එහෙම කෙනෙක් නෙවෙයි. මං එහෙම කෙනෙක් නෙවෙයි. මං කොච්චර හොඳ පවුලක ළමේක්ද? මං කොච්චර හොඳට ඉගෙන ගත්ත ළමේක්ද? එහෙම එකේ මගෙ ළමයාට මේ වගේ තැනක, තමන්ගෙ තත්ත්වෙට නොගැලපෙන මිනිස්සු එක්ක, නොගැළපෙන වටපිටාවක උස් මහත් වෙන්න ඉඩ දෙන්න මට පුළුවන්ද? මං හරිහමං අම්මා කෙනෙක් විදියට මේ වෙද්දි හරිනං ඒවා හිතලා තියෙන්නෝන නේද?” කියලා හිත තිබ්බෙ මටම බැන ගන්න ගමන්.

සමහරවිට මේ කතාව කියවන ඔයාලට හිතෙන්න පුළුවන් “අම්මා කෙනෙක්ට ඕන දරුවෙක් එකයි” කියලා. ඒ උනාට අම්මලා වෙච්ච මිනිස්සු දන්නවා “දරුවො දාහක් ඉන්න තැනකදි උනත් අම්මා කෙනෙක්ගෙ ඇස් මුලින්ම හොයන්නෙ තමන්ගෙ දරුවව” කියන එක. දාහක් දරුවො ඉන්න තැනකදි උනත් “අම්මා කෙනෙක් මුලින්ම දෙන දෙයක් දෙන්නෙ තමන්ගෙ දරුවට” කියන එක. දරුවෙක්ට කරදරයක් වෙනවා දැක්කම අම්මලට ඇඬෙන්නෙ, කිරි එරෙන්නේ තමන්ගෙ දරුවට ඒ කරදරේ උනා නම් කියලා මතක් වෙන හන්දා නෙවෙයිද?

මං ආත්මාර්තකාමි අම්මා කෙනෙක් විදියට දකින්න මං හිතපු දේවල් මිනිස්සුන්ට හේතු වෙන්න පුලුවන් කියලා දැනගෙන උන්නා උනත් ඒ හිතපු හැමදෙයක්ම මම මගේ ගාව තිබ්බ පොඩි ඩයරියක ලියලා තිබ්බා. මට ඕන උනා කවදහරි දවසක මගේ දරුවා උස් මහත් වෙලා එයා ඉපදෙන්න ඉද්දි එයාගෙ අම්මා එයා ගැන හිතපු හැටි මුල ඉඳලම කියවන්න. මුලින් බඩේ ඉන්න දරුවට වෛර කරපු කෙනා පස්සෙ අම්මා කෙනෙක් විදියට වෙනස් වෙච්ච හැටි තේරුම්ගන්න. 

අනික් අතට මගෙ හිත අස්සේ මටවත් නොතේරෙන ලොකුම ලොකු බයක් තිබ්බා. ඒක හරියට හිත ඉස්සරහට වෙන දෙයක් දැනගෙන උන්න වගේ දෙයක්. මගේ දරුවා මේ ලෝකෙට ආවේ මටත් හොරෙන් විත්තිය ඇත්ත.

හැබැයි මගෙ හිත බය උනේ ඒකට නෙවෙයි.

මගෙ හිත බය උනේ කවදහරි මගෙ දරුවටත් නොකියම, හැමෝටම හොරෙන්, මට “හැමදේම” කියලා කියන්න පුළුවන් දරුවව දාලා යන්න වේවිද කියන එක ගැන.

මං ඩයරි එක ලිව්වෙ ඒ බය එක්ක, මොකද ඒ “යන්න වෙන දවස” වැඩි ඈතක වෙන්න බෑ කියන හිතුවිල්ල තිබ්බෙ මගෙ හිත අස්සෙ දෝංකාර දිදී.

ඒ වගේම ඒ දවස ආවෙ මං හිතුවෙ නැති විදියකට හිතුවෙ නැති වෙලාවක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles