ළතෙත් ආදර හැඟුම් ගංගා – 18

“අහස් හිරු රැස් සල්වතුර” 

මං මගේ දරුවට නම තිබ්බෙ ඒ විදියට. බොරු කියන්නෝන නෑනෙ “මට ඕන දරුවෙක් එකයි” කියලා මුලින් කිව්වට මං වගේම මෝඩකම් නොකරන්න, මං වගේ ඔලමොට්ටල තාලෙට මිනිස්සු විස්වාස කරලා කරදරේ නොවැටෙන්න දුවෙක් වෙනුවට පුතෙක් ඉපදිලා කියලා දැනගත්තම මං සන්තෝස වුණා. අම්මලා වැඩිපුරම ආදරේ පුතාලට කියනවට වඩා එතන තිබ්බේ දුවෙක් හම්බුනොත් එයාව ඩැහැ ගන්න මේ සමාජෙ වෙර දරාවි කියන බය. ඒ හන්ද පුතෙක් ඉපදිච්ච එක ගැන මං බොක්කෙන්ම සන්තෝස උනා.

මං එයාට අහස් කියලා නම දැම්මෙ අම්මා කෙනෙක්ට පුතෙක් අහසක් වගේ වෙන හන්දා නෙවෙයි ඇත්තටම මං එයාට අහසක් තරම් ආදරේ කර හන්දා. ඒ උනාට කාන්ති අක්කා හිතලා තිබ්බේ වෙන එකක්.

“මං හිතුවෙ නංගි අහස් කියලා නම දැම්මෙ ඔය ළමයා නංගිගෙ බඩට ආවෙ ඉතින් අහසින් කඩා පාත්වෙනවා වගේනේ. අනික ඉතින් මොන අහස පොළොව නුහුලන අපරාධයක්ද නේද අර මිනිහා කරන්න ගියේ මේ ලස්සන දරුවව නැති කරලා දාලා” කියලා ගෑනි කියද්දි ඒක ඒ ගෑනිගෙ මෝඩකම කියලා හිතනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. අනික ඉතින් එකාතකින් ඒ ගෑනි කිව්ව එකේ ඇත්තක් නැත්තෙමත් නෑනෙ.

“හිරු රැස් කිව්වම නිකන් පොඩ්ඩක් සැර වැඩි නැද්ද? අව්ව කියලනෙ ඔය කියන්නේ. කවුද නංගි අව්වට කැමති” කියලා ඇහුවෙත් කාන්ති අක්කා.

“රෙදි අඳින මිනිස්සුනෙ අක්කේ”

“රෙදි අඳින මිනිස්සු මොකද්ද?”

“නෑ මං කිව්වෙ අව්වට ආස ඉතින් රෙදි අඳින මිනිස්සුනෙ?”

“ඇයි ඒ?”

“ඉතින් අඳින රෙදි හෝදලා වේලන්න ඉතින් අව්ව ඕනනෙ අක්කේ” කියලා මං හිනාවෙද්දි නම් කාන්ති අක්කා කරේ ගස්සන එක. 

“මං හිරුරැස් කියලා නම දැම්මෙ අක්කෙ ඇත්තටම මේ දරුවා කවදහරි ඉරක් වගේ පායලා, තමන්ගෙ ඒ ඉර අව්වෙන් අපි ගිලිලා ඉන්න දුක් කන්දරාව පුච්චලා දාවි කියලා හිතලා”

“මිනිස්සු ඒ උනාට අහවි නේද නංගිගෙන් ඔහොම නමක් දානවද දරුවෙක්ට හරිහමං අම්මෙක් නම් කියලා” කිව්වේ කාන්ති අක්කා. මං ඒකට නම් උත්තර දුන්නෙ හිනාවෙලා.

“මං ඉතින් හරිහමං අම්මෙක් නෙවෙයිනෙ අක්කේ. කසාදයක් කරගන්නෙ නැතුව මිනිහෙක් එක්ක නිදාගත්ත, අන්තිමේ ඒ හන්දා ප්‍රෙග්නන්ට් වෙලා තාත්තෙක් නැති දරුවෙක් මේ ලෝකෙට ගෙනාව මං කොයිම විදියකින්වත් හරිහමං අම්මෙක් වෙන්න විදියක් නෑනෙ. ඒ හන්දා මිනිස්සු ඕන දෙයක් කියපු දෙන් අක්කෙ අපිට කමක් නෑ. මගේ දරුවා මාව ජජ් නොකරොත් මට ඒ හොඳටෝම ඇති”

“මංජු ඇහුවා නංගිගෙ අකමැත්තක් නැත්තම් මිනිහා කැමති කියලා මිනිහගෙ වාසගම දරුවට දෙන්න” කියලා කාන්ති අක්කා කියද්දි මං හිනා උනේ හරියට ඒ කතාව මට කොයිම වෙලාවක හරි අහන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් උන්නා වගේ.

“ඕන නෑ අක්කේ. මංජු දැන් ඕක සද්භාවයෙන් කරනවා වගේ පෙන්නුවට මං හරිම බයයි අක්කෙ මට ඕවට මොන විදියට අන්තිමේ පස්සෙ ණය බේරන්න වෙයිද කියලා. අනික මම හරිම බයයි ආයෙ වතාවක් මිනිස්සුන්ව විශ්වාස කරන්න අක්කේ. අනික මගෙ නම දුන්නා කියල මගෙ දරුවට ඒකෙන් අවැඩක් වෙයි කියලා මම හිතන්නෙ නෑ. නම කියන්නෙ මනුස්සයෙක්ගෙ තත්ත්වෙ මනින එකක් නෙවි අක්කේ. අපිව මිනිස්සු කරන්නෙ අපේ නම ගම නෙවෙයි අපි ජීවත්වෙන විදියනෙ. මං මගෙ දරුවව හදන්නෙ කවදහරි හොඳ මනුස්සයෙක් වෙන්න. ගයාන්ලා වගේ මිනිස්සු නොවෙන්න”

මං අම්මා කෙනෙක් උනේ අන්න ඒ විදියට. දරුවව මාරුවෙන් මාරුවට බලාගන්න ගමන්, කාන්ති අක්කයි මමයි දෙන්නා හෙමින් සැරේ අපේ ලන්ච් ක්ලබ් වැඩේ පටන් ගත්තා. උදේට කෑම අරගෙන යන වැඩෙයි ආය දවාලට කෑම එක දෙද්දිම උදේ කෑම පෙට්ටි එක්කාසු කරගෙන එන වැඩෙයි මංජු භාරගත්තා හන්දා වගේම මිනිහා සුපිරියටම වැඩේ කරපු හන්දා ඇත්තටම අපි හිතුවට වඩා ඉක්මනට වැඩේ ගොඩ දාගන්න අපිට අමාරු උනේ නෑ. පටන් ගනිද්දි 15 දෙනෙක් විතර උන්න අපේ ලන්ච් ක්ලබ් එක මාස දහයක් වගේ යද්දි දවසකට 40කට 50කට කෑම දෙන තරම් ලෙවල් එකකට ආව හන්දා මටයි කාන්ති අක්කටයි අපි දෙන්නා නොහිතුව විදියට වැඩට තව කට්ටියව සෙට් කරගන්න පුළුවන් වුණා. හැබැයි එන්න එන්න මිනිස්සු වැඩිවෙන එකත් එක්ක අපිට ඇතිවෙච්ච ලොකුම ප්‍රශ්නෙ තමයි මංජුට විතරක් මේ ඩිලිවරි වැඩේ කරන්න බෑ නේද කියන එක. ඒකට පිළියමක් විදියට තමයි අපි මුල ඉඳලම අපි එක්ක උන්න පහළොස් දෙනාගෙ ඕඩර්ස් ඇරෙන්න අනික් ඒවා පික් මී සහ ඌබර් ෆුඩ්ස් ඇප් වලින් ඩිලිවර් කරන තැනකට අරගෙන ආවෙ. අපේ ලන්ච් ක්ලබ් සබ්ස්ක්‍රිප්ශන් එකෙන් අපිට බලාපොරොත්තු උනාට වඩා හොඳ ගාණක් අතට ආව හන්දත් ඔය උයන පිහන බඩු මුට්ටු ගන්නවා ඇරෙන්න වෙන ලොකු ඉන්ඩස්ට්‍රියල් කිචන් සෙට් අප් එහෙකට එහෙම යන්න උවමනාවක් අපිට ආවෙ නැති හන්දා සල්ලි අපි ගාව ඉතුරු උනා. අහස් එන්න එන්න ලොකු වෙද්දි “වත්ත දාලා හොඳ තැනකට යන්න තිබ්බා නම් හොඳයි” කියලා හිත කොච්චර කිව්වත්, ඒ දේ කරන්න ඕන කරන සල්ලි ප්‍රමාණෙ මගෙ අතේ තිබ්බත් “කාන්ති අක්කලා, මංජුලා මං ගාවම හැමදේටම උන්නා, මොක උනත් අපි දැන් මේ වත්තෙ මුල් ඇදලා ඉවරයි, මේ මිනිස්සු නැත්තම් මගෙයි දරුවගෙයි මැරිච්ච ඇට කෑලි තමා හොයාගන්න වෙන්නෙ” කියලා හිත කිව්ව කතන්දර ඒ ගමන දවසෙන් දවස් පහු කරා.

මොකෝ අපි කොච්චර සල්ලි හම්බ කරත් අපේ ජීවිතේදි අපිට වාරුවක් වෙන්න නම් අපි හම්බ කරන්නෝන මිනිස්සුන්ව කියලා මං ඒ වෙද්දි තේරුම් අරගෙන උන්න හන්දා.

“අපේ වගේම කට්ටිය දැන් කෑම පැකට් දෙන මේ වගේ බිස්නස් පටන් අරගෙන” කියලා මංජු පණිවිඩයක් අරගෙන ආවෙ ආන් ඒ කාලෙ.

“කෑම පැකට් බිස්නස් එක නම් මිනිස්සු ඒ කාලෙ ඉඳලම කෙරෙනවනෙ මල්ලි” කියලා මංජු අක්කා කිව්වේ පස්සෙන්දට ඕන කරන කැරට් එහෙම සුද්ද කරන ගමන්.

“නෑ අක්කේ කෑම පැකට් බිස්නස් එකක් නෙවෙයි අපේ වගේම මේ උදේට දවල්ට රෑට කෑම ගෙනිහින් දෙන සස්පෙන්ශන් එකක්ලු” කියලා මංජු කියද්දි මගෙ කටෙන් හීනියට හිනාවක් පැන්නා.

“සස්පෙන්ශන් නෙවි අනේ සබ්ස්ක්‍රිප්ශන්”

“හරි බං මොකක් හරි අන්න ඒ වගේ එකක්. මට කිව්වෙ ඒ කෑම බෙදන්න ආව වාහනේ මනුස්සයෙක්. ඉස්සෙල්ලා කේටරින් එකක් කරන තැනකින්ලු දැන් මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ”

“කේටරින් කරන උදවියට වෙලාව තියෙද අප්පා මේ වගේ පොඩි පොඩි බිස්නස් කරන්න”

“කේටරින් එක දැන් නෑලු”

“අර මොකෝ?”

“කෑම හරි නෑ කියලායි, බිස්නස් කේස් වෙලයි වැඩේ නතර කරන්න වෙලා. ඒ තියෙන බඩු ඒව විකුණගන්න බැරුවලු මේ වැඩේ පටන්ගෙන තියෙන්නෙ”

“කෑම හොඳ නැත්තම් ඉතින් මේකත් දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද කවුද දන්නේ?” කියලා එවෙලෙ කිව්වට මොකෝ “ඕනම බිස්නස් එකකට කම්පිටිටර්ස්ලා බිහිවෙන විත්තියත්, එයාලා මැද්දෙත් අපේ ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටේන් කරන් යන්න ලොකු කට්ටක් කන්න වෙනවා කියන එකත්” මට නොතේරුනා නෙවෙයි.

“තාරානාත් දහම් වංශනායක”ගෙ බිස්නස් එක වෙච්ච “ගුඩ් ෆුඩ්ස්” එකෙන් අපිව හොයාගෙන ආවෙ අන්න ඒ විදියට.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles