දෑත දරා – 49

මනුජ නිවසට පැමිණෙන තෙක් අවදියෙන් උන් දියණියගේවැඩ කටයුතු මනුජ වෙනදා නොවූ බරකින් සිදු කලේය. ඇය වෙනුවෙන්ද යම් බලාපොරොත්තුවක් නැඟි ඇති බව දැනෙන්නේය

සින්දූපා ගේ දෙමාපියන් ගේ පලමු දෝස්මුර වූයේ විශ්ව වෙතය. විශ්ව නිහඬව සියල්ල අසා උන්නේ සින්දූපා දෙස හෝ නොබලමිනි. මින් ඉදිරියට තමා කොහොමටත් වැරදිකරරු වන බව සිතමිනි.

“දෝණි.. ඔයා ඉල්ලුවේ අවුරුද්දක්. දැන් කාලේ හරි.. “

“හරි තාත්තේ හරි…. ඉස්සෙල්ලම මට සනීප වෙන්න දෙන්නකෝ…”

“අච්චර සැපට ඉඳගෙන වැඩ කරන්න පුලුවන් කම තියෙද්දී, මේ ඇට කටු කුඩු වෙන සීතලේ මෙහෙට වෙලා දුක්විඳින එකේ තේරුම කියන්නකෝ දරුවෝ… ම්ම්ම්ම්… අපිට කොච්චරක් සල්ලි තිබුනත්, අතට පයට වැඩකාරයෝ හිටියත්  වැඩක්ද ? ඔයා මෙහෙම දුක් විඳිනකොට… විශ්ව පුතා …. ඔයා මේ වතාවේ නම් එක වචනයක් මෙයාගේ පැත්තට කතා කරන්න සූදානම් වෙන්නෙපා…. මං ආයේ නොකිව්වා කියන්නත් එපා…”

” මං දන්නේ නෑ මාමේ …”

විශ්ව ඉදිරියේදී  කෙතරම්  නම්  ගිණි කඳු පුපුරා යෑමට නියමිතදැයි සිතමින් කීවේය. සින්දූපා ද යම් තිගැස්මක් සහිතව විශ්ව දෙස බැලුවාය.

”   ඒක නෙවෙයි….රාජ් අංකල් ගේ පුතා රට  ඉඳලා ඇවිල්ලා… යන්න කලින්  පුතාව ඔයාට මුන ගස්වන්න ඕනිම කියනවා පුතේ…  මේ තත්වෙන් ඒක කරන්න බෑ කියලා මම ඊයේ කතා කරලා කිව්වා…. පස්සේ …. එයා කියනවානේ කමක් නෑ හොස්පිට්ල් එකට එන්නම් කියලා… ඒකට කමක් නැද්ද ?”

“ඒ  මොන එකකටද මාව මුණ ගැහෙන්න එන්නේ ?”

” හරි හරි… ඕවා පස්සේ කතා කරගමු… පුතේ… මම රාණිව එක්කගෙන ආවේ.. ඔයා පොඩ්ඩක් සෝදගමූ…. කකුල නොතෙමෙන්න…”

විශ්වගේ හදෙහි ඇවිලුණේ සින්දූපා ගේ හදෙහි ඇවිලුණාට වඩා ප්‍රබල ගින්නකි. මේ ගැටෙන්නට යන තත්ව දෙක කෙලෙසදැයි හොඳින්ම දන්නේ විශ්වය. මනුජ ඔහු යමක් වෙත ආසක්තව සිටීමේ ප්‍රබලතාවය විශ්ව දනී. නිර්ධා කෙරෙහි වූ ප්‍රේමය ඉක්මවා යන අයිතිකරගැනීමේ ලෝබකමක් ඔහු සතුවිය. ඒ අයිතියෙන් පසු ඔහු දැරූ වගකීම් ක්ෂය විය.  දෙදෙනා අතර වූ ප්‍රේමය සිඳී යන්නට හේතු වන්නට ඇත්තේ එයය. නිර්ධා මනුජ කෙරෙහි ප්‍රේමය ඉතා උස්ව දැරුවාය. එහෙත්, ඇය දෙදරා ගියේ මනුජ නිසාය.

දැන්, මනුජගේ වචනය සින්දූපා කෙරෙහි වී හමාරය. සින්දූපා ගේ වචනය මනුජට ලැබීද හමාරය. අනෙක් අතට ඔවුන් සමාජය තුල යම් වගකීම් දරනා වැඩිහිටියන් ය. තීරණ පිළිබඳව දැඩිව සිතනා අයය. සියල්ල එලෙස තිබෙද්දී සින්දූපා ගේ මාපියන් කෙබඳු අයදැයි විශ්ව දනී.

සින්දූපා ගේ දෙමාපියන් පැමිණෙන බව දන්නා නිසා සින්දූපාගෙන් ඇමතුමක් එන තුරු ඇය දැකීමට නොයන්නට මනුජ තීරණය කර තිබුනේය.  එහෙත් රාත්‍රී අට පසුවෙද්දීත් ඇයගෙන් ප්‍රතිචාරයක් නොවෙද්දී මනුජට කිසිත් නොකර බලා සිටින්නට හැකි වූයේ නැත. ඔහු  ඇයට  ඇමතුමක් ගත්තේය. හද ගැස්ම ඉහල ගියේ ජංගම දුරකතනය විසන්ධිව තිබූ නිසාය. ඔහු යලි දෙවතාවක් ඇමතුම් ගත්තේය.  පටිගත කල පණිවිඩය පමණක් ඇසුණි.

විශ්ව අමතන්නට සිතුනේ නැත. සාරතී නිවසේ නැත. එනිසා දියණිය තවම සෙල්ලමේය. ඇය කැටුව නිවසින් පිටව යාම පහසු වුවද, ඇය රෝහලට රැගෙන යන්නට මනුජට සිත් දුන්නේ නැත. ඔහු කලබලය අවම කරගන්නට උත්සාහ කලේය.

විශ්වගේ ඇමතුම ඉන් පැය භාගයක් ගෙවෙන්නට පෙර පැමිණෙද්දී මනුජගේ හදවත තත්පර කිහිපයකට නැවතුනේය.

” කියහං…”

” සින්දූපා නංගිට කියහං අම්මලා කියන එක අහලා කොළඹ යන්න කියලා බං..  ඒකි හිතුවක්කාර වෙන්න වෙන්න මාමා ගලක් වෙනවා…. “

” මොකක්ද බං වුනේ ? සින්දූ අද දවසේම සයිලන්ට්…. දැන් බලන් ඉඳලා ඉඳලා මම ගත්තම ෆෝන් ඕෆ්….”

“මාමලා සින්දූපා ට එහෙ යන්න කතා කරනවා… සින්දූපා කියන්නේ ගවර්මන්ට් සර්විස් අයින් වෙනවාද කියලා තීරණය කලේ නෑ කියලා…  මාමාලා සින්දූපා ව එව්වේ අවුරුද්දක් එක්ස්පීරියන්ස් අරන් අයින් වෙලා , කින්ග්ස් එකේ මැනේජ්මන්ට් එක බාරගන්නවා කියලා  ….. මමයි බලාගන්නම් කියලා වග වුනේ…”

මනුජ කුඩුපට්ටම් ව යමින් තිබුණේය.  සමාජ තත්වය තමන් දෙදෙනාටම සම යැයිසිතන්නට හැක. එහෙත් ජීවන තත්වය සැලකූ විට දෙදෙනා ඉන්නේ දෙඅන්තයකය. ඒ දෙඅන්තය තුල අවධානම් අන්තයේ සිටින්නේ තමාය. තමා  සිටින අන්තයට ඇය කැඳවා ගැනීම…….

” දැන්.. මොකක්ද වෙලා තියෙන්නේ ?”

“මෙවෙලේ සින්දූපා ට මුකුත් කරගන්න බැරි නිසා මාමාලා හදන්නේ මෙහෙමම සින්දූපා ව කොළඹ එක්ක යන්න…. ඒ වුනාට ඒකි යන්න ලෑස්තිනෑ.. උඹ පොඩ්ඩක් මැදිහත් වෙලා …. මචං… මේක ගිණි අරගත්තම මුකුත්ම පේන්නේ නැ … ඒ හින්දා අවුලවගන්නේ නැතුව විසඳගන්න බලමූ බං… උඹට තේරෙනවානේ බං…”

“උඹ ඔහොම පින්සෙණ්ඩු වෙන්නෝන් නෑ විශ්ව… මං ගිහින් කතා කරන්නම්…”

“පිස්සුද යකෝ…උඹ හදන්නේ ගින්නට පෙට්‍රල් දාන්නද ? උඹ කාට කතා කරන්නද යන්න හදන්නේ ?”

“වෙන්න තියෙන දේ කොහොමටත් වෙනවා විශ්ව…. කවදා වුනත් වෙනවා… සින්දූගේ අප්පච්චී එක්ක ..කතා කරන්නම් මම…. එතකොට … තිරණයක් ගන්න පුලුවන් …”

“මනුජ … මේ අහපං බල්ලෝ… තීරණයක් ගන්න කලින් මෙතන තියෙන ප්‍රශ්න ටික හරියට අයිඩෙන්ටිෆයි කරන් ඉමුකෝ  යකෝ…. උඹ ගිහිල්ලා ඔය නැතිම ප්‍රශ්නයක් හදන්න යන්නේ බං… දැනට එතන සෑහෙන්නම ප්‍රශ්න තියෙනවා…”

“සමහරවිට, මේ ප්‍රශ්නේ විසඳගත්තොත් උඹ ඔය කියන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඔටෝම  ලැබෙන්නත් පුලුවන් … උඹ අතෑරපං.. මං උදේම සින්දූගේ අප්පච්චී හම්බෙන්නම්…..”

මනුජ දැඩි හඬකින් කීවේ ස්ථාවරයද එතරම්ම බව අඟවමිනි. විශ්ව ඇමතුම විසන්ධි කලේය. ඇය ජංගම දුරකතනය විසන්ධි කර ඇත්තේ ඇයිදැයි මනුජට  වැටහේ. ඇය දෙමාපියන් සමඥ දැඩි මතවාද ගැටුමක විය යුතුය.

මනුජ සිගැරට්ටුවක් දල්වාගෙන බැල්කනියට බැස්සේය. දියණිය  පෙනෙන  සේ දොර හැර තැබුවේය.

කඳවුර තුළ උද්ගතව තිබූ ගැටලුවක්ද ඔහුට සිහියට නැඟුනේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles