එදින රාත්‍රිය සිතුවාට වඩා දිගු වන බව මනුර්‍යා දැන උන්නේය. අම්මා සහ තාත්තා ගේ කාමරයට ඇය ගියේ ඔවුන් පසුපසෙන්මය.
” ගිහින් නිදාගන්න පොඩී….”
මනුර්‍යාගේ අම්මාගේ හඬෙහි වූයේ නොරිස්සුමකි. නොරිස්සුමක් ඉක්මවා යන වේදනාවකි. මනුර්‍යා අම්මා අසලින් යහනේ හිඳ ගත්තාය
” මට මෙහෙම කරන්නෙපා අම්මා…”
” යස කතාව ඒක පොඩී … අපිද දැන් මොකක්වත් කලේ ??”
“විමුක්තිලගේ ගෙදරින් විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවා අම්මා… ඒ නිසයි එයා මේක යෝජනා කලේ… අර ඇවිල්ලා ඉන්න අක්කා.. එයා විමුක්ති ට ගෙදරින් ප්‍රපෝස් කරපු ගර්ල්…”
“මොකක් ??..”
මනුර්‍යාගේ අම්මා උන්නේ දෙසවන් අදහා ගන්නට නොහැකිවය. මේ සිදුවන්නේ සමාජයේ ගල් පහර එල්ලවෙන දෑ නොවේද ?
” නෑ නෑ අම්මේ… ඒ අක්කා අද මෙහෙ ආවේ ඒ විදියට නෙවෙයි…”
” ඒ අයියාගේ මොකක් හරි හුටපටයක් තියෙන ළමයෙක් කියලා නම් කියන්නෙපා….”
මනුර්‍යාගේ අම්මා , තාත්තා දෙසද බලමින් එලෙස කීවේ, මනුජගේ ඇස් එම තරුණිය වෙත ඇලී ඇති අයුරු කිහිප වතාවක්ම සාක්ෂි සහිතවම දැක තිබූ නිසාය. ඒ ඇරත් නිර්ධා මේ පිළිබඳව පවසා මනුජගේ පියාට ඇමතුමක් දී ඇති බවද අම්මා දැන උන්නාය. එම කතාව නිර්ධා ගේ හිතලුවක් ලෙස හිතා බැහැර කලා වුවද, අවසාන දිනවල මනුජගේ ක්‍රියා කලාප සහ අද දිනයේ ඔහුගේ හැසිරීම් නිසා කොහොමටත් අම්මගේ සිතට දැනෙමින් තිබුණේ ගින්දරක සෙය්‍යාවකි.
” අම්මේ…”
මනුර්‍යා අම්මාගේ කතාවෙන් විමතියට පත් වූ බව අඩු නැතිවම පෙන්වමින් කීවාය.
“දෙයියනේ… මොනවාද මහත්තයා මේ ළමයි මේ කරන්නේ … සැනසීමක් නෑනේ දෙයියනේ.. අර කිරි සප්පයෙක් ඉන්නවා, ඒ ගැන වගක් නෑනේ….. එපා එපා..කියද්දී..ඕනිමයි කියලා කරගත්තා කසාදයක්…. ඒ ගෑණි එක්ක හරහටම ජීවත් වෙන්න ගත්තා… ඒ ගෑණි දාලා ගියාම.. දරු පැටියා ගැන වගේ වගක් නැතිව හිටියා… මං හිතේ සැනසීමෙන් උන්නේ මේ මිනිහා වගකීමක් ඇති පියෙක් විදියට හැසිරේවී කියලා…. මගේ අසනීපේ වුන හොඳට වෙච්ච දෙයක් කියලා හිතුවා… අනේ.. මේක අපි සංසාරේ කරපු පවක් මහත්තයා…අනේ…”
” අනේ අම්මේ.. ඒ අක්කා එහෙම නෑ.. එයා ඩොක්ටර් කෙනෙක්… එයා දෝණිට ආදරෙයි…”
“ඔය චරිත සහතික දෙන්නේ කී කොයි දවසක් ආශ්‍රය කරලාද මනුර්‍යා…?”
මනුර්‍යාට ඉන් එහා ඒ වෙනුවෙන් කිසිත් පවසන්නට ඉඩක් වූයේ නැත. එහෙත් ඕ ඉන් පසුව තමා සහ විමුක්ති වෙනුවෙන් හැකි සෑම පැහැදිළි කිරිමම කලාය. විමුක්ති ගේ මාපියන් හමුවී විමුක්ති මේ සියල්ල විසඳාගන්නට කුමක් හෝ ක්‍රමයක් සොයාගනු ඇති බවද ඒත්තු ගැන්වූවාය. යලි විදෙස් ගත වීමට පෙර මේ සියල්ල විසඳාගන්න බවටද පොරොන්දු වූවාය.
ඉන් පසුව ඕ මනුජ වෙත ගොස් අම්මා සියල්ල දන්නා බවද, අම්මා සහ තාත්තා සමග ඍජුවම කතා කිරීම වඩා සුදුසු බව කීවාය.
මනුජ පසුදා උදෑසන තෙක් නොරැඳී අම්මා වෙත ගියේය. ඒ යනවිටත් අම්මා සහ තාත්තා නිර්ධා ගේ ඇමතුමක් පිළිබඳව කතා කරමින් උන් බව ඇසෙද්දී මනුජගේ ඉවසීම ඉක්මවා ගියේය.
ඔහු නිර්ධා සමඟ සම්බන්ධතා තමා ගැනීම වෙනුවෙන් අම්මා සහ තාත්තා සමඟ අමනාපයෙම්, උස් හඬින් වචන හුවමාරු කරගත්තේය. අම්මාද මනුජට බැණ වැදුනේය.
” ඒ කෙල්ල දෝණිගේ අම්මා.. ඒක කොහෙනවත්, කොහොමවත් හංගන්න බැරි ඇත්තක්… ඕනි වෙලාවක දරුවා ගැන අයිතියක් නිර්ධා ට තියෙනවා.. දරුවා දාලා යන්න ගිය එක් ඇත්ත… ඒත් උඹ කරපු කියපු දේවල් වලට වඩා නිර්ධා කල දේ හොඳයි…. උඹ වගේ පවුකාරයෙක් අර කිරි සප්පයාගේ අප්පච්චී නොවෙන්න තිබුණේ ලොකූ… උඹ දියතලාවට වෙලා ගෑණු එක්ක නටපු නාඩගම් නොදැන නෙවෙයි අපි දෙන්නා හිටියේ.. ඒක උඹේ තෝරගැනීම.. උඹේ ජීවිතෙ හින්දා අපි අපේ පාඩුවේ හිටියා.. දරු පැටියා අපි දෙන්නා ලඟ හදාගන්න තීරණය කරා… ඒත් උඹ .. උඹ තවම මේ නාඩගම් නටන්නේ දරුවාවත් ඔඩොක්කුවේ තියාගෙන ලොකූ….”
අම්මා වේදනාව ඉක්මවා යන කෝපයකින් කෑ ගැසුවාය.මනුර්‍යා යලි කාමරය වෙත ආවේ ඒ හඬටය. අය්යා ට ඉවසීම සිහිපත් කරන්නටද එක්කය.
“ආහ් එහෙමද අම්මේ.. ඒකද කියන්නේ ?? මමද වැරදි දැන් ඔක්කොටම ?? මමද ?? හරි… වැරදිකාරයා මමනේ…. මම…. ඕකේ… පවුකාරයත් මම…වැරදිකාරයා ත් මම …සාරතී නැන්දා …..ලෑස්ති වෙන්න…. අපි ගෙදර යනවා…. “
මනුර්‍යා උස් හඩින් කෑ ගසන අයියාව සන්සුන් කිරීමට උත්සාහ කලාය. අම්මා ගේ වචන යනු අම්මාගේ වේදනාවය. අය්යා ඒ වචන හා එල්ලීම කල යුතු දෙයක් නොවේය
” පැත්තකට වෙලා ඉන්නවා ඕයි…”
මනුජ මනුර්යාටද බැණ වැදුනේය. එහෙත් මනුර්‍යා ඔහුගේ බාහුවෙන් අත් හැරියේම නැත.
ඒ අතර, කිසිවක් නොපවසා නිහඬවම යහනේ වැතිරී සීලිම දෙස බලා සිටිම තාත්තාගේ රුව දුටු ම්නුර්යා පලමු වතාවට තමන් කල දේ පිළිබඳව පසුතැවීමක් ඇති කරගත්තාය. එහෙත් ඒ ගැන වැඩියෙන් කිසිවක් සිතන්නට පෙරම, මනුජගේ උස් හඬ යලි ඇසුනේය.
” ආයේ මේ පවුකාරයා මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. ආයේ මාව හොයන්න ඕනිත් නෑ.. එක එක ගෑණුන්ගේ තෝල්ක කම් කර කර මට කතා කරන්න ඕනිත් නෑ.. ගිය එකී ගියා.. ඒක වෙනස් වෙන්නෙ නෑ… දරුවා ඉන්නේ මගේ ලඟ… ඒක එච්චරයි.. ආයේ ඒ ගැන කවුරුවත් අහන්න එන්න ඕනි ත් නෑ.. හොයන්න ඕනිත් නෑ.. අනෙක මම සින්දූපා ව මැරි කරනවා.. ඒකත් එච්චරයි.. ආයේ මට කාගෙවත් අවසර ඕනි නෑ…”
ඉන් පසුව මනුජ පසෙකට විසිව යන තරමේ අතුල් පහරක් වැදුණේය. මනුජගේ පියා කිසිදිනෙක නොවූ කෝපයක් සමඟින් මනුජ ඉදිරියේ උන්නේය. මනුජට කුමක් පවසා බැණ වැදුනා වුවද, මනුජ පැවසූ වචන වලින් ඊට වඩා රිදවාගෙන උන් මනුජගේ අම්මා උන්නේ ඉකි ලමිනි.
” පලයං… ගිහිල්ලා ඕනි එකක් කරගනින්… ඔක්කොමලා…කැමති කැමති දෙයක් කරගනින්.. මේ ලෙඩ ගෑණිට ඔලුව උස්සගෙන ඉන්න දීලා දෙන්නම වහාම එලියට බැහලා යනවා… නෑයෝ අරන් ආවා මෙතන මඟුල් කතා කරන්න….. නල්ල මලේ අය්යයි නංගියි….. ආත්මාර්තකාමි ළමයි උඹළා.. උඹලා උඹලාගේ අම්මා අප්පට ආදරෙත් නෑ.. උඹලාගේ දරුවන්ට ආදරෙත් නෑ.. උඹලාට ඉන්න හොඳ කොහොමද ඒක තමයි උඹළාගේ සැලැස්ම… කමක් නෑ… අපි දෙන්නට මෙහෙම ඉඳලා මැරිලා යන්න පුලුවන් ….අන්න අර කිරිසප්පයා ගැන තමයි මගේ හිත කකියන්නේ…”
මනුජගේ තාත්තාගේ උස් හඬ මුලු නිවසම දෙදරන තරමින් විය. සින්දූපා සහ විමුක්ති ද මනුජලා උන් දෙසට ඇවිද ආවෝය.
” යන්නම්.. යන්නම්.. මම…ආයේ එකෙක් මගේ ගැනවත් මගේ දරුවා ගැනවත් හොයන්න ඕනි. නෑ.. මම පවුකාරයා නේ .. පවුකාරයා නේ ….”
මනුජ තාත්තා ඉක්මවා යන හඬකින් කෑ ගැසුවේය. ඉන් පසුව ඔහු මනුර්‍යා අතැර ආපස්සට හැරුණේය. සින්දූපා ගේ ඇස් වල වූ කෝපය සහ විමතිය මුසුවූ බැල්ම දැක නැවතුනේය.
” ඔයා? මෙහෙම ??”
සින්දූපා එලෙස විමසා මනුජ දෙස හෙලුවේ කලකිරීම මුසු බැල්මක් ය.











