විමුක්ති සහ මනුර්‍යා , මනුජ සහ සින්දූපා ට ඉඩ දී අනෙක් මේසයට වූහ. සින්දූපා මවා උන්නේ යම් අමනාප මුහුණකි. මනුජ කෙරෙන් වූයේද යම් වෙහෙසකි.
” ඇයි මෙහෙම දේවල් කරන්නේ ? මං කිව්වනේ අපි තීරණයක් ගන්න ඕනි.. මං කිව්වනේ, මට මිනිස්සු එක්ක ෆයිට් කර කර සම්බන්ධතා රකින්න බෑ.. එච්චරට ශක්තිමයක් මට නෑ.. මං මගේ ජොබ් එකට ෆෝකස් කරනවා… ඒක දියතලාවේ නෙවෙයි, නම් …, කොළඹ කිංග්ස් එකේ හරි……”
මනුජ හිස සැලුවේය. සින්දූපා ඔහු දෙස නොබලා සිටීමට උත්සාහ දැරුවාය. මනුජ ඉදිරියේ දිය නොවී සිටීමට සිතාගෙන පැමිණියා වුවද, දැනටම තම අභ්‍යන්තරය කෙතරම් ඔහු කෙරෙහි නැවී ඇතිදැයි ඇයට දැනේ.
” එකඟයි…. මේ… මිනිස්සු එක්ක ෆයිට් කර ජර රිලේශන්ශිප් රැකගන්න ඕනි වයසක් නෙවෙයි…”
මනුජගේ දැඩි හඬ සින්දූපා තුළ ඇති කලේ යම් තිගැස්මක් ය. යම් තිගැස්මක් කීවාට, මනුජ මෙතරම් පහසුවෙන් වෙන් වීමක් පිළිගනීවි යැයි සින්දූපා ගේ සිත පිලි නොගැනීමේ හැඟීම එයට එක්ව තිබුණි. සින්දූපා හිස සැලුවාය.
” මං ලීව් ගන්න ට්‍රයි කරනවා අවුරුදු පහකට… ඒ බැරි උනොත් රිසයින් වෙන්නම් … මාත් එක්ක අබ්‍රෝඩ් යන්න එනවාද ?..”
සින්දූපා යලි තිගැස්සුණාය. ඕ එවර මනුජ දෙස ඉතා උවමනාවෙන් බැලුවාය. තීක්ෂණාත්මක බැල්මක් තැවරුවාය. මනුජ සිටින්නේ වෙහෙසින් බව ඕ දුටුවේ එවෙලෙහිය. එසේම ඔහු සිටින්නේ හොඳ සිහියකින් බවද ඕ නිරීක්ෂණය කලාය.
” සින්දූ … දෝණිව රටෙන් පිටට අරගෙන යන්න නම්, නිර්ධා ගේ කැමැත්ත ඕනේ වෙනවා… ඔයා ඒකට එයා එක්ක කතා කරන්නෝනි… ඔයාටයි ඒත්තු ගන්වන්න පුලුවන් , දෝණිට ඔයාගෙන් ආදරේ අඩු නැතුව , රැකවරණය අඩු නැතුව ලැබෙනවා කියලා…”
මනුජ සැලසුමේ ඊළඟ පියවරද කියා දැම්මේය.
සින්දූපා උන්නේ ඇසෙන්නේ සත්‍යක්දැයි සිතාගන්නට නොහැකිවය. මොහු කෙතරම් පහසුවෙන් නම්, මේ සියල්ල පවසනවාදැයි වටහා ගන්නට නොහැකිවය.
“වට් ?..”
ඕ අවසානයේ එලෙසින් විමසුවාය.
” ඔයාගේ අම්මලා ඔයාව මට දෙන්නේ නෑ ?? …”
“එහෙමයි කියලා මට අම්මලාව රවටල්ලා ඔයා එක්ක එන්න බෑ කියලා ඔයාට තේරෙන්නෝනි මනුජ.. දැක්කනේ ඔයාලාගේ අම්මලා නංගිගේ ප්‍රශ්නේට රිඇක්ට් කල විදිය.. අපේ අම්මලා ඕට වඩා සෑහෙන්නම වෙනස්.. ඔයාගේ තාත්තා පුදුමාකාර ඉවසීමක් තියෙන කෙනෙක්.. අපේ තාත්තා එහෙම නෙවෙයි..”
“උපරිම මාව මරලා දාන එකනේ කරන්න පුලුවන් ?”
මනුජ එලෙස විමසුවේ හිතුවක්කාර දැඩි හඬකින් ය. සින්දූපා එයට කෝපය පෙන්වූවාය.
” මැරෙන්නද ඕනි ? එතකොට හරිද ?”
“විමුක්තිව බැඳගෙන අම්මලාට කීකරු දුවෙක් වෙන්නද ඕනි ? …”
“විකාර කියන්න එපා මනුජ.. එයා ඔයාගේ මස්සිනා… “
“ඌ ඒ බවක් මතක නැති ගානට තමයි වැඩ ඒ උනාට…”
මෝටර් රථයෙන් බසිද්දී තමා අඩිය පැකිලි වැටෙන්න ගිය බවත්, විමුක්ති වහාතමා අල්ලා ගත් බවත් සින්දූපා ට සිහිවිය. එවෙලෙහි මනුජගේ දෑස් වූයේ සිදුවීම මත බවද සින්දූපා ට සිහිපත් වූවාය.
” ජෙලස් ??..”
” විකාර…. ඌ මගෙන් කන්න නියමිතයි කොහොමටත් … මගේ නංගිව දැලේ දාගෙන මදිවට, මගේ ගෑනි වටෙත් කැරකෙනවා…”
මනුජ කියවමින් උන්නේ පියවි සිහියෙන් ඔබ්බට ගොස් මෙන් ය. සින්දූපා එතෙක් වේලා හිස මත වූ බර බිමට වැටෙන්නට දුන්නාය. සැහැල්ලුවෙන් සිනාසුණාය.
” සීරියස්ලී ? මනුජ නිම්නෙත් ප්‍රේමනාථ … කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ …. ආර් යූ ෆීල් ජෙලස් ඔන් යුවර් බ්‍රදර් ඉන් ලෝ…??”
සින්දූපා වඩා පැහැදිළි සහ ගැඹුරු ස්වරයකින් විමසුවාය
” එහෙමටම මිනිහා…. “
සින්දූපා උස් හඬින් සිනාසුණාය.
“ඇත්තටම… විමුක්ති මාරම හොඳයි.. මාරම ඩීසන්ට් …. එහෙම කොල්ලෙක් ඉතින් ඕනි කෙල්ලෙක් ඇට්‍රෑක්ට් වෙන ජාතියෙන්…”
මනුජ ඒ වර්ණනාව අවඥාවෙන් බැහැට කලේය ඇයට ඕනෑ දෙයක් පැවසීමට ඉඩ දිය හැක. ඉන් ඇය සැහැල්ලුවෙයි. ඇය මවාගෙන සිටින්නට උත්සාහ කරන ස්වරූපය දියවී යයි.
” සෝ…ගෝ ඔන්… “
“ලෙට් මී ?.”
” වයි නොට් ?? ……. බට්… මනුර්‍යා ප්‍රේමනාථ ගැන වග වෙන්න බැහැ… එයා මම වගේ ඉවසන්නේ නැහැ…”
සින්දූපා යලි උස් හඬින් සිනාසුනාය. තමා පොඩි කෙල්ලෙක ලෙසින් මනුජගේ වචන වල එල්ලෙමින් යන බව දැනෙද්දී පවා එය නවතා ගන්නට නොහැකි අරුමය.
යම් අත් හැරීමක් සඳහා වන සිතුවිල්ල කෙතරම් නම් ප්‍රබල විය යුතුද ?
” සින්දූ …”
සින්දූපා සිනහව දිය වන්නට හැරියාය.
” ඔයා ඇත්තටම මොකක්ද හිතාගෙන ඉන්නේ ?? ම්ම්ම්ම් …??..”
” දන්නේ නෑ… තේරෙන්නේ නෑ.. කකුල තවම සනීප නෑ…. එහෙන් … ඔයාගේ නිර්ධා ඇවිල්ලා… ඔයාගෙ අම්මලා මගේ දිහා බලන්නේ, ඔයාව අල්ලගන්න ආව කෙනෙක් ගානට… ඔයාගෙයි, නිර්ධාගෙයි අතරට එන්න බලන් ඉන්න හැදියාවක් නැති කෙල්ලෙක් ගානට..”
“වට් ?”
” දරුවා එයාගේ අම්මාව ඩිසර්ව් මනුජ… අපේ හැඟීම් කොහොම උනත් අපි දරුවා ගැන නේ ඉස්සෙල්ලම හිතන්නෝනි ? නේ ??…”
මනුජ නිරුත්තර වූයේය. එය පිළිතුරු නැති ප්‍රශ්නයක් නොවේද ?
” මෙහෙම සැරෙන් සැරේ වෙනස් වෙවී , මාව අතාරින්නේ ඇත්තටම ඔයාට මාව ඕනි නැති නිසාද සින්දූ ??”
සින්දූපා සරදම් සිනහවක් නැඟුවාය. සැබැවින්ම තමා අත් හැරීමට අවශ්‍යව ඇත්තේ ඔහු සහ ඔහුගේ පවුලේ අයට නොවේද ?
” මටද හිනාවෙන්නේ ?”
“ප්ලීස් මනුජ… අපිට දරුවාවත් අරගෙන මේ පටලැවිල්ලට බහින්න බෑ… අපේ අම්මලා මේක අල්ලගන්න යන්නේ මම හීනෙකින්වත් නොහිතපු තැනකින්.. මට නිර්ධා එක්ක හැප්පෙන්න හය්යක් නෑ.. මං දන්නවා ඔයාලා ආදරෙන් උන්න අය බව… යම් කාලෙකදි නැතිඋනාට ඒ ආදරේ ආයෙම ඇති වෙන්න පුලුවන් කියලා මට තේරෙනවා…”
“අහනවා සින්දූ … මාව මේකට ඇදලා අරගෙන, දැන් ඔහොම කතා කියනෙක කොච්චරක් සාධාරණයිද හිතනවා ඕයි… මමද පටන් ගත්තේ මේක ? මමද ?? අන්තිමේදි මමද වික්ටිම් ? මටද පිස්සු හැදෙන්නේ ?..”
මනුජ උස් හඬින් කෑ ගසා විමසුවේය. මනුර්‍යා සහ විමුක්ති වහා නැගිට ඔවුන් දෙදෙනා වෙත ආවෝය. අසල වුන් කිහිප දෙනෙක්ගේම අවධානය ඔවුන් වෙත විය.
” ගෙදර කියලා හිතුවාද ?.. කෑම්ප් එක කියලා හිතුවද ?? පිස්සුද ?”
“ඔව් යකෝ… මට පිස්සු.. හරිනෙ…පිස්සු……”
මනුර්‍යා මනුජ අසල අසුනේ හිඳගත්තාය. විමුක්ති උන්නේ සින්දූපා අසල සිටගෙනය. මනුජ ඔහු දැව් යන බැල්මක් හෙලුවේය. එහෙත්, විමුක්ති එය පෞද්ගලිකව ගත්තේ නැත.
” ඔය දෙන්නාට කතා බහ කරලා තීර්ණයක් ගන්න බැරිද හෙමින් සීරුවේ ??”
“හෙමින් කතා බහ කරන්නේ කොහොමද? මේ උද්දච්ච දොස්තර නෝනා කියන්නේ වෙන වෙන කතානේ. වෙන මඟුල් නේ..”
“මමද උද්දච්ච ?..”
විමුක්ති සිනාසෙමින් සින්දූපා අසල වූ අසුනෙ හිඳගත්තේය. මනුජ යළි ඔහු වෙත හෙලුවේ දැවී යන බැල්මකි. සින්දූපා එය පැහැදිළිවම හැඳින්නාය.
“අනේ ඔයා මනුර්‍යා ලඟි ඉඳගන්න අය්යේ.. අන්න අර කමාන්ඩර් පුපුරන්න කලින් …”
සින්දූපා විමුක්ති වෙත හැරී කීවාය. විමුක්ති එය පලමුව වටහා ගත්තේද නැත.
” ඈ.. චී අය්යේ… ඉස්කෝලේ යන කොල්ලෙක් වගේ ඇයි හැසිරෙන්නේ කියනවකෝ…හාපෝ.. මේ මනුස්සයා නම් …”
මනුර්‍යා මනුජව සරදමට අල්ලා ගත්තාය.
” [කට වගහන්නවා…”
“හරි ..කට වහ ගන්නම් … ඒ වුනාට, ඔච්චරට ජෙලස් තියාගෙන නම් ජීවත් වෙන්න වෙන්නේ නෑ සින්දූපා එක්ක.. ඇයි යකෝ ඒ මනුස්සයා ඩොක්ටර් කෙනෙක්නේ…”
“මනුර්‍යා…”
“ඕකේ.. ඕකේ… අහනවා අය්යා…කෙලින්ම අපි ගිහින් සින්දූපා ගේ අම්මලාව හම්බෙමු..”
සින්දූපා ඉන් තිගැස්සුණාය.












