ළතෙත් ආදර හැඟුම් ගංගා – 49

*නාද්‍යා සොනාලි සල්වතුර*

සමහර හමුවීම් සිද්ධ වෙන්නේම කවදා හරි වෙන් වෙන්න බලාගෙන තමයි කියන කටුක ඇත්ත මම තේරුම් ගත්තේ ජීවිතේ දෙවැනි වතාවටත්, ‘මගේ’ කියලා හිතාගෙන හිටපු, මගේ ජීවිතේට ගොඩක්ම සමීප වුණු මිනිස්සුන්ව මට දාලා එන්න වෙච්ච දවසෙයි.

 ඒ වෙලාවේ තමයි මට තේරුණේ, කොච්චර ලං වුණත්, කොච්චර බැඳීම් ඇති වුණත්, සමහර අය අපේ ජීවිතවලට එන්නේ තාවකාලිකව විතරයි කියලා. ඒ බැඳීම, ඒ සතුට, ඒ හැමදේම හීනයක් වගේ ඉවර වෙලා, අන්තිමට ඉතුරු වෙන්නේ තනියම ආව පාරෙම ආපස්සට හැරෙන දුකක් විතරයි. ඒ හමුවීම් ලස්සන වුණාට, ඒවායේ අන්තිම මොහොත හැමදාම කඳුළු පිරුණු සමුගැනීමක්මයි කියන එක තේරෙද්දි මම උන්නෙ තාරානාත්ගෙන්, කොළඹින් සෑහෙන දුර ගමනක් යන ගමන්.

ඇත්තටම කියනවා නම්, මම ජීවිතේ ලබපු අතිශයම කටුකම පාඩම් කිහිපයෙන් එකක් තමයි ඒක. 

මං හයියෙන් හුස්මක් හෙලුවෙ ඇත්තටම මගෙ පපුව අස්සෙ තිබිච්ච බර මට දරාගන්න බැරිවෙච්ච හන්දා. සල්ලි එක්කහු කරගෙන තිබිච්ච හන්දයි,මහ ලොකුවට ගෙනියන්න කියලා දේවල් නොතිබ්බ හන්දයි පොඩි වෑන් එකක් කතාකරගෙන කොළඹ ඉඳලා තිස්සමහාරාමෙට යන එක අපිට අමාරු වැඩක් උනේ නෑ. උදේ පාන්දර ඉඳලා අඬ අඬ උන්න අහස්ව නලවගත්තෙ මං බොහොම අමාරුවෙන්.

“කවදාවත් නැතුව මේ දරුවා අඬන්න ගත්තෙ හරියට නංගි ගන්න යන තිරණේට විරුද්ධ වෙන්න වගේනේ” කියලා කියන ගමන් කාන්ති අක්කා අහස්ව නලවන්න හැදුවට අහස් නෙවෙයි වෙනදා වගේ කාන්ති අක්කා අතේදි නැළවුණේ.

“විරුද්ධ වෙලා දැන් කරන්න දෙයක් නෑනෙ අක්කෙ. මේ වෙලාවෙ මං මෙ ගන්නෙ ගන්න තියෙන හොඳම තීරණේ”

“ගන්න තියෙන හොඳම තීරණේ මේක කියලා නංගිනෙ හිතන්නෙ. නංගි බල කරලා මාව මේ ගමන එක්කන් ආව මිසක්කා මං නම් තාම කියන්නෙ අපි ගිහිල්ලා මේ කතාව තාරානාත් මහත්තයට කියමු කියලා. ඇයි නංගියෙ ඒ මනුස්සයට මෙලෝ දෙයක් කියන්නෙ නැතුව ඔයා මේ ගමන ආවයින් අන්තිමේ අපි තුන්දෙනා විතරක් නෙවෙයි ඒ මහත්තයත් දුක් විඳිනවා නේද? 

මං කියන්නෙ නංගියෙ ආයෙ අපි යන්. අපි මේ ගමන එනවනම් එමු තාරානාත් මහත්තයට මේ ප්‍රශ්නෙ කියලා” කියලා කාන්ති අක්කා කිව්වට මං උන්නේ ඒ කතාව අහගෙන ඉන්න මානසිකත්වයක නෙවෙයි. ආපහු යන එකෙන් වෙන්නෙ මට මගේ දරුවව නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවය කියන එක මතක් වෙද්දි මට හිතුනෙ කොලඹ යනවා ඇරෙන්න වෙන ඕන අපායකට යන්න මට පුළුවන් කියලා. අනික කවදාවත් මේ දරුවා නැතුව තාරානාත් මාව භාරගන්නෙ නෑ කියන එක හොඳටම දැනගෙන උන්න එකේ ආපහු හැරෙන්න කිසිමාකාරෙක උවමනාවක් මට ඇත්තටම තිබුණෙ නෑ.

“මේ හැම කරදරයක්ම ඔලුව කඩන් වැටුනෙ මම කරගත්ත එකම එක ගොං කමක් හන්දනෙ අක්කේ. අන්තිමේ ඒකෙන් මේකෙන් කී දෙනෙක්ට නම් දුක් විඳින්න උනාද? මං ගොං කමක් කරගෙන මේ අහිංසක දරුවෙක්ව මෙහෙම කරදර ලෝකෙකට ඇදලා දාපු එකෙන් නතර වෙන්නෙ නැතුව මම තාරානාත්වත් මේකට පටල ගත්ත එක කොච්චර ලොකු වැරැද්දක්ද කියන එක මට තේරෙන්නෙ දැන් අක්කෙ. 

මට තිබ්බා එක පාරක් වරද්දගත්ත එකේ ආයෙ වතාවක් එහෙම නොවෙන්න මොලේ කල්පනා කරලා තීරණයක් ගන්න. එහෙම උනානම් අද මට මේ ගමන එන්න වෙන්නෙත් නෑ ඒ හන්දා තාරානාත්ට දුක් විඳින්න වෙන්නෙත් නෑ. මං මම අම්මා කෙනෙක්, ජිවීතෙ වරද්දගත්ත ගෑනියෙක් කියන එක අමතක කරපු එකයි අක්කෙ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ.

මට මං කවුද කියන එක අමතක වෙච්ච එකයි අක්කෙ මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නෙ”

පාර අයිනෙ තිබිච්ච පොඩි පන්සලක් ගාවින් වෑන් එක ස්ලෝ කරා යනකොට. ඒ වෙලාවෙ තිබිච්ච හීනි පොදේ එක්ක පන්සලේ කවුරුවත් උන්නෙත් නෑ කියන එක මම දැක්කා. ඉඳගෙන උන්න සීට් එකෙන්ම පොඩ්ඩක් ඉස්සිච්ච මං මං ටිකකට ඇස් දෙක පියාගෙන දෙයියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලුවා. කරපු දේ ආපස්සට හරවන්න නෙවෙයි, මට ඉස්සරහට යන්න හයිය දෙන්න කියලා. ඒ ඝණ්ඨාර සද්දෙයි, වෑන් එකේ වහලෙට වැහි බිංදු වැටෙන සද්දෙයි එකතු වෙලා තියෙද්දි මට දැනුනෙ හරියට අහසත් මාත් එක්ක එක්කහුවෙලා ඉවරයක් නැතුව අඬනවා වගේ කියලා.

ජීවිතේ කොච්චර පුදුමද කියලා මං කල්පනා කරා නෙවෙයි මට කල්පනා උනා. 

ඇයි මං ගියේ කියලා තාරානාත්ට කවදාවත් තේරුම්ගන්න, හිතාගන්න පුළුවන් වෙන එකක් නෑ කියන මම දැනගෙන හිටියා. එයා හිතයි මම අත්හැරලා ගියා කියලා හිතෙද්දි හිතේ එක පැත්තක් රිදුණට එහෙම හිතලා හරි තාරානාත් හිත හදාගන්නවා නම් ඒකම මට ජීවිතේ ඉතිරි ටික සැනසීමෙන් ඉන්න හේතුවක් වෙනවා නේද කියන එකත් හිත කිව්වා. අපේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න මට ධෛර්යයක් තිබ්බේ නෑ. මම දැනටම උන්නෙ ජීවිතෙන් හොඳම ෆෙඩප් වෙලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මෙහෙම ඩිසිශන් එකක් ගත්තෙ තාරානාත්ව අත ඇරල යන එක මට එච්චර අමාරු නැති හන්දා කියලා. ඒත් ඒක ඇත්ත නෙවෙයි. මම මෙහෙම තීරණයක් ගත්තෙ මම තාරානාත්ට ආදරේ නැති හන්දා නෙවෙයි මම ඕනවටත් වඩා එයාට ආදරේ කරපු හන්දා. මගේ වැරදිවලින් එයාට කරදරයක් වෙන්න දෙන්න බැරි තරමට මං එයාට ආදරේ කල හන්දා.

ඒක පුදුම වේදනාවක් කියලා ඔයාලා දන්නවද?

කෙනෙකුට ඒ තරම් ආදරේ කරලා, එයාගෙන් ඈත් වෙලා යන්න වෙන එක. ඔයා ඒක කරන්නේ හිතේ තරහක් තියෙන හන්දා නෙවෙයි. ඔයා යන්නේ, නැවතුණොත් එයාට මේ වෙන්වීමෙන් දැනෙන වේදනාවට වඩා වැඩියෙන් රිදෙයි කියලා දැනෙන නිසා. එහෙම වේදනාවක් ආදරේ කරපු හිතකට දෙන්න බැරි තරම් ආදරේ හිත අස්සෙ පුරෝගෙන ඉන්න හන්දා.

මං එහෙව් කල්පනා ලෝකයක් අස්සෙ හිර වෙවී ඉද්දි කාන්ති අක්කා උන්නෙ මගේ ළඟ නිස්සද්දව වාඩි වෙලා, අත් දෙක තදින් අල්ලගෙන. හැම මිනිත්තු කීපෙකට සැරයක්ම එයා මා දිහා හැරිලා බැලුවා, කාන්ති අක්කගෙ ඇස්වල අහන්නේ නැති ප්‍රශ්න ගොඩක් තිබුණා කියලා මම දැක්කත් ඒ ප්‍රශ්නවලට මට දෙන්න උත්තර තිබ්බෙ නැති හන්දා මම සද්ද නැතුව උන්නා. 

සමහර වෙලාවට ආදරේ කියන්නේ අල්ලගෙන ඉන්න එක නෙවෙයි තවත් රිදවන්න කලින් අතහැරලා දාන එක කියලා මම උන්නෙ ඒ වෙලාවෙ විශ්වාස කරගන ගමන්.

සමහර සමුගැනීම් වෙන්නෙ තරහක් වෛරයක් නිසා නෙවෙයි. ඒවා සිද්ධ වෙන්නේ ආදරේ කරන හිත් දෙකකට එකම අවකාශයක ඉන්න බැරි තරමට ආදරේ වැඩි වුණාම. ඒ ආදරේ පරිස්සම් කරගන්න උවමනා උනාම.

තාම වැහිච්ච කඩවල්, බාගෙට වහපු පුංචි රොටි තේ කඩ, දිහා බලාගෙන ඉද්දි මට නිකන් හරියට දැනුනෙ මගෙ ජිවිතේ වෙනස් උනා මිසක මේ ලෝකෙ කිසිම දෙයක් වෙනස් වෙලා නෑ කියලා. 

සමහර වෙලාවට ජීවිතේ අපිට ඕන කරන අවසානය දෙන්නේ නෑ.

ආපස්සට හැරීමක් මෙතන නැති බව ඇත්ත හැබැයි ආදරේ තවමත් කොහේ හරි තැනක හුස්ම ගන්නවා කියලා මම දැනගෙන උන්නා.

“එදා අර සිද්දිය වෙලේ මම බොරුවක් කිව්වා නම් අද මේ ගමන එන්න වෙන්නෙ නෑ නේද නංගිගෙ අපිට?” කියලා කාන්ති අක්කා ලොකු හුස්මක් හෙලලා මං දිහා බලාගෙන හරියට මේ හැමදේම උනේ එයාගෙ වරදෙන් වගේ කියද්දි මං කරේ කාන්ති අක්කගෙ අත අල්ලගත්ත එක.

“වෙන්න තියෙන දේවල් අපිට වලක්වන්න බෑනෙ අක්කෙ. අනික එහෙම වළක්වනවා නම් ඒක කරන්න තිබ්බෙ මම මිසක් අක්කා නෙවෙයි අක්කේ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles