ළතෙත් ආදර හැඟුම් ගංගා – 50

*නාද්‍යා සොනාලි සල්වතුර*

තාරානාත් රට ගියයින් පස්සෙ මං හිතුවෙ නැති විදියෙ පාලුවක් හිතට දැනිච්ච බව ඇත්ත. ඒ උනාට මේ පාලුව දරාගන්න මට සිද්ද වෙන්නෙ උපරිම මාසයක් විතරයිනෙ කියලා මතක් වෙද්දි ඒ හැඟීමෙන් හිත යාන්තමට හරි සනසගන්න පුලුවන් වෙච්ච එක ගැන මං උන්නෙ සන්තෝසෙන්.

ඒත් සන්තෝසෙ කියන්නෙ මේ ලැබිලා මේ නැතිවෙන්න පුලුවන් දෙයක් කියන එක මට තේරුනේ ඉනුත් ටික දවසකට පස්සෙ. ඒ තාරානාත් රට ගිහිල්ලා ගෙවිච්ච හතරවෙනි හරි පස්වෙනි හරි දවස. තාරානාත් නැති හන්ද ලන්ච් ක්ලබ් එකේ ඔක්කොම වැඩ බලන්න කරන්න උනේ මට. අපි කරපු ඇඩ් කැම්පේන් එක වීඩියෝ එකේ ෆස්ට් කට් එක බලන්න තිබ්බෙත් ඒ දවස් ටිකේ. ඒජන්සි එකෙන් කතාකරලා ඒ මීටින් එක අපේ ඔෆිස් එකේ දාගන්නද එහෙම නැත්තම් මට එහෙ එන්න පුලුවන්ද කියලා අහද්දි මම එහෙ එන්නම් කියලා කිව්වේ කවුරුවත් නැති ඔෆිස් එක්කට වෙන පිරිමි ටිකක් ගෙන්න ගන්න මට එවෙලෙ උවමනා උනේ නැති හන්දා.

එදා අමරසූරිය උන්නෙ නැති හන්දා මට ඒ ඔෆිස් එකට යන්න උනේ පික් මී එකක් දාගෙන. අහස්ව කාන්ති අක්කට භාර දීලා තාරානාත්ට මම මෙහෙම යනවා කියලා මැසේජ් එකක් දාලා මම ඒ ඇඩ්වටයිසින් ඒජන්සි එකට ගියා. 

ඒ මිනිස්සු මාව හොඳින් ආදරයෙන් පිළිගත්තා. තේ බිව්වා. කේක් කෑව. ඒ අතරේ තමයි අපි වීඩියෝ එක බල බල වෙන්නෝන චේන්ජස් මොනවද කියලා කතා කරගත්තෙ.

“මට හිතෙන්නෙ මේ මියුසික් පොඩ්ඩක් ෆාස්ට් බීට් වැඩි වගේ නැද්ද? කෑම සම්බන්ධ එකක් නිසා පොඩ්ඩක් සබ්ට්ල් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකට ගියා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?” කියලා මම ඇහුවෙ ඒ වීඩියෝ එකේ ඩිරෙක්ටර් විදියට උන්න මිස්ට බ්‍රයන්ගෙන් උනාට මට ඒකට උත්තරේ හම්බුනේ මම හීනෙකින්වත් බලාපොරොත්තු වෙච්ච කෙනෙක්ගෙන් නම් නෙවෙයි. 

“මියුසික් එක අපි ෆාස්ට් බීට් තිබ්බෙ ඇත්තටම හිතලමයි මිස් නාද්‍යා. මොකද මේ වගේ බිස්නස් එකකින් කෑම ගන්න හිතන්නෙ ඒ වගේම ෆාස්ට් බීට් ලයිෆ් එකක් තියෙන අයට නිසා තමයි අපි මේ වගේ මියුසික් එකක් යුස් කරේ සහ අන්තිම හරියෙදි මියුසික් එක සබ්ට්ල් කරේ. මොකද ඒකෙන් අපි මීන් කරන්න හදන්නෙ ලන්ච් ක්ලබ් එක්ක ඔයාලගෙ ෆාස්ට් පේස් ලයිෆ් එක අපි ලස්සන කරනවා කියලා පෙන්නන්න” කියලා ඒ කටහඬ කලුවර වෙලා තිබුන ස්ටුඩියෝ එකේ එක කෙලවරකින් වගේ මතුවෙද්දි මට ඕන උනා හැරිලා බලලා ඒ කතාකරන්නෙ කවුද කියන එක දැනගන්න.

මොකද හිත තිබ්බෙ මට කියන ගමන් ඒ කටහඬ මට හොඳට පුරුදු කටහඬක් කියලා. ඒ උනාට ඒ කටහඬ අයිති කාටද කියන එක මට ඇස් දෙකෙන්ම බලලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕන නිසාමයි මම හැරිලා බැලුවේ.

ඒ මොහොත මගෙ ජිවිතේට ආවෙ නැත්තම් කොච්චර හොඳද කියල මට හිතුනෙ මම හැරිලා මගේ මේ ඇස් දෙකෙන් දැක ගත්තෙ ආයෙ ජීවිතේ කවමදාකවත් මට දකින්න ඕන වෙච්ච මනුස්සයා නෙවෙයි කියන එක. 

ගයාන්ගෙ ඇස් සම්පූර්ණයෙන්ම තිබ්බෙ මගේ මූණ උඩ. එයාගෙ තොල් අස්සෙ හීනියට දැන ඇඳුනුම්කමක් එක්ක ගැවිච්ච හිනාවක් තියෙනවා කියන එක දකිද්දිත් මට ඇත්තටම දැනුනෙ මම නිකන් කාන්තාරයක් අස්සෙ හිරවෙලා වගේ. අඩුම මෙතන තාරානාත්වත් උන්නා නම් කියල මට පළවෙනි වතාවට හිතුනා උනත් ඒ වෙලාවෙ මට තිබුණෙ මගෙ පිහිට ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නෙවෙයි කියන එක මට මතක තිබුණා.

“මිස් නාද්‍යාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න උනේ නෑ එදා ශූට් එක දවසෙ අපේ ප්‍රඩියුසර්ව. මේ ඉන්නෙ මිස්ට ගයාන්. මිස්ට ගයාන් එදා ශූට් එක දවසෙ ඇවිල්ල ටක් ගාලා යන්න උනා. ඒකයි ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න පුලුවන් උනේ නැත්තෙ” කියලා බ්‍රයන් අපි දෙගොල්ලන්ව ඉන්ට්‍රඩියුස් කරලා දෙද්දිත් මට ඇත්තටම කෑගහලා කියන්න හිතුනා බ්‍රයන්ට “ඔය ඉන්‍ට්‍රඩක්ශන් කිසිම දෙයක් ඕන නෑ. මං මේ මිනිහව හොඳට දන්නවා කියලා”. ඒත් ඒ වචන මගෙ කටෙන් එළියට පැනපු ගමන් මේ මිනිස්සු ඉස්සරහා මම මේන්ටේන් කරන මගේ හොඳ නම වගේම තාරානාත්ගෙ ඉමේජ් එකත් විනාස වෙන බව දන්න හන්දම මට පුලුවන්කම තිබ්බා මීට කලින් කිසිම දවසක ගයාන්ව දැක්කෙ නැති ලෙවල් එකකින් එයාට කතාකරන්න.

“හෙලෝ නයිස් ටු මීට් යූ මිස්ට ගයාන්” කියලා මම කියද්දිත් ගයාන්ගෙ දෙතොල් අස්සෙ තිබ්බ අර හිනාව එයාගෙ හැඩේ වෙනස් කරලා නිකන් හරිම සාකැස්ටික් හිනාවක් එක්ක තමයි මම දිහා බැලුවෙ. හරියට “උඹට ශුවර්ද හොඳටම මේක නයිස් මීටින් එකක් කියලා” කියන්න වගේ.

එතනින් පස්සෙ ඒ ගෙවිච්ච වෙලාවෙ කිසිම තැනක මම උන්නේ ඒ ඇඩ්වටයිසින් ඒජන්සි එකේ මනුස්සයො කිව්ව කිසිම දෙයකට හරියට ෆෝකස් එක දීගෙන නෙවෙයි. මම ඉස්සරහා හැරිලා ස්ක්‍රීන් එක දිහාව බලාගෙන උන්නට මගෙ පිටිපස්සෙ අර කලුවරේ ඉඳගෙන ගයාන් ඉන්නෙ මං දිහාවම බලාගෙන කියන එක මගෙ හිත දැනගෙන උන්නා. මගෙ පිටිපස්සට ඇස් නැති බව ඇත්ත උනත් මගෙ හිත දැනගෙන උන්නා ඒක එහෙමයි කියලා.

මට ඕන උනේ මේ මීටින් එක ඉක්මනටම ඉවර කරල මෙතනින් පැනගන්න උනාට ගයාන්ගෙ සීසීටීවි ඇස් එක්ක මට ඒක කරගන්න පුලුවන් උනේ නෑ. මං ආවෙ පික් මී එකක හන්දා ආපහු යන්න වාහනයක් දාලා ඒ වාහනේ එනකම් බලාගෙන උන්න වෙලාව ගයාන්ට හොඳටම ඇති උනා මං ලඟට ඇවිත් අර ගඳ ගහන අතීතෙ මතක් කරලා දෙන්න.

“බලන්නකො ගහට ගහක් මොරටුවෙදි හම්බෙනවා කිව්ව වගේ අපි දෙන්නා ආයෙ වතාවක් හම්බුනානෙ” කියාගෙන හරියට නිකන් මෙලෝ දෙයක් වෙච්ච නැති, කිසිම වරදක් කරපු නැති කෙනෙක් වගේ මගෙ ඉස්සරහට ඇවිල්ලා කතා කරද්දි අම්මපා අතේ මොකක් හරි තිබ්බනම් මං ඌට ඇනගෙන ඇනගෙන යන තරම් කේන්තියක උන්නේ. ඒ උනාට මේ ගයාන් ඉස්සරහා උන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් ගයාන් ඉස්සරහා උන්න මෝඩ නාද්‍යා නෙවෙයි ඊට වඩා ජිවීතෙන් පාඩම් ඉගෙන ගත්ත, මැචුවර්ඩ්, හදවතට වඩා මොලේට තැන දීලා ප්‍රශ්න වලට උත්තර හොයන නාද්‍යා කෙනෙක් කියන එක මට මතක තිබ්බ හන්දම, “මම වරදක් නොකරපු එකේ මොකටද නිකන් ලැජ්ජ වෙන්නෙ” කියල හිතාගෙන ඔලුව උස්සලා මිනිහා දිහා බලලා උත්තර දෙන්න මට කොන්ද පණ තිබ්බා.

“හිටියටත් වඩා ලස්සන වෙලානෙ ඔයා. කොහොමද ඉතින්? මම කවදාවත් හිතුවෙ නෑ මේ පොඩි කෙල්ලෙක් මෙච්චර දියුණූ වෙලා ඇති කියලා මේ පොඩි කාලෙට?” කියලා ගයාන් ආයෙ කියද්දිත් මං උන්නෙ කිසිම දෙයක් කියන්නෙ නැතුව. මට ඇත්තටම කියන්න දෙයක් තිබ්බෙනෑ. කිසිම දෙයක් කියන්න ඕනකමකුත් තිබ්බෙ නෑ.

“ඒ දවස්වලම මං කිව්ව දේට කැමති උනා නම්, අපි දෙන්නා ඈත්වෙන්නෙත් නෑ එහෙනම් ඔයා අද ඉන්නෙ හැබැයි මෙහෙම තැනක නෙවෙයි මීටත් වඩා උඩක” කියලා ගයාන් ඊලඟට කිව්ව දේ මට ඇත්තටම තේරුණේ නෑ. මං අන්න ඒ හන්දයි මිනිහා දිහා ඇස් කරකවලා බලලා ඇහුවෙ.

“මොකද්ද මං කැමති වුනේ නැති දේ ඒ කාලේ?”

“ඇයි අර මගෙන් දරුවෙක් ලැබෙන්න යනවා ඒ දරුවව හදාගන්නෝන කියල ඔයා නැටුවෙ” කියලා කියද්දි මිනිහා මෙච්චර වෙලා කතාකරපු නෝමල් වොයිස් එක අඩුම කරලා හරිම හොරෙන් වගේ ඒක කිව්වෙ වටපිටේ ඉන්නෙ කවුද කියලත් බලන ගමන්.

“මං ඒ දවස්වලම  කිව්වනෙ පිස්සු නටන්න එපා කියලා. එදා කෑගැහුවට දැන් ඔය හොඳට ඉන්නෙ තනියෙන් හැමදේම කරගෙන. මේ වයසෙදි දරුවෙක් උස්සගෙන ඉන්න උනානම් මෙච්චර දුර එන්න පුළුවන් වෙයි කියලා හිතනවද? කොහොමද වැඩේ කරගත්තෙ? මන්දාරාද සපෝට් කරේ? ඕකි දන්නවා කොහොමත් ඔය වගේ පොට්” කියලා ගයාන් කියද්දිම මං හිතන්නෙ මං අඩියක් ඉස්සරහට තියන්න ඇත්තෙ මිනිහගෙ බෙල්ල මිරිකන්න වෙන්නැති.

ඒත් මාව එහෙම ගැරඩියෙක් මරලා පුරෝගන්න පවකින් බේරගන්න වගේ පික් මී එක එවෙලෙ ආවා. හැරිලා ආපහු එන්න කළින් මම ගයාන්ට ඒ වචනෙ කිව්වෙ සමහරවිට ඌ හිතුවට වඩා තැනක මම ඉන්නවා කියන ලොකුකම පෙන්නන්න වෙන්නැති. එදා එහෙම හිතුවට අද මම ඒ කිව්ව වචන ගැන ඇත්තටම සෑහෙන්න රිග්‍රෙට් කරා.

සෑහෙන්න රිග්‍රෙට් කරා.

“ඒ දරුවා එක්ක මට අදටත් තියෙන එකම ප්‍රශ්නෙ ඒ දරුවගෙ ඇඟේ තමුසෙ වගේ වනචරයෙක්ගෙ ලේ දුවන එක විතරයි

ආයෙ මගෙ දෑහට පේන්න එන්න එපා”

දෙයියනේ මට තිබ්බා නේද ඒ වචන නොකියා සද්ද නැතුව එන්න?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles