ඉඩෝරයක මල් වැස්සක් – 53

මහ වැස්සකට පසුව නිහඬ වූ අහස සේ සියල්ල නිහඬ නිශ්චලව තිබිණ. සුරංග කතා කරමින් දොස් කීවේ පාරින්දටය. කිහිප වතාවක් පාරින්දගේ නිවස තුළ රණ්ඩු ඇතිවූයේ අම්මා ‘රාජිණීට කතා කරන්නට ඕනෑයැයි’  පවසමින් දුරකථනය ඉල්ලා සිටි නිසාය. පාරින්ද සිටියේ කෝපයත් වේදනාවත් අතර අතරමං වීගෙනය. පසුගිය දා සිදු වූ රණ්ඩුවෙන් පසුව ඔහුගේ අත යළිත් පෑරී තිබිණ. 

“ඉලංදාරියා..රණ්ඩු සරුවල් වලට පැටලෙන්න කලින් තමන්ගේ ජීවිතේ  ගැන හිතන්න. ඉස්සර වෙලා තමන් තමන්ට ආදරේ කරන්න පටන් ගන්න. ඔයාගේ අතේ  තත්වෙ දැනගෙනම තවත් රණ්ඩුවක පැටලුනහම මොකද වෙන්නේ කියලා හිතන්න බැරි තරම් මොළයක් ඔයාට නැති වෙන්න විදිහක් නෑනේ.”

වෛද්‍යවරයා පැවසූයේ බලා සිටියා සේය. ඔහුගෙන් කිසිවක් සඟවන්නට පාරින්දට හැකි වූයේ නැත. ඔහු මිතුරා සමග රෝහලට ගියේ වෛද්‍යවරයා ප්‍රශ්න කළහොත් නිවස තුළ ලිස්සා වැටුනායැයි පවසන්නට සිතාගෙනය. 

යළිත් ආවරණයක් දැමූ අත  එල්ලාගෙන ඔහුට දෙසතියක්ම නිවසේ සිටින්නට සිදු විය. 

“මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ බං මම දැන් ඉසුරිට කතා නොකර සති එකහමාරක්  ගෙවිලා ගියා. අඩුගානේ ඒකිට තිබුණා මට කතා කරලා කොහොමද කියලා අහන්න. ඒකිත් මහ උද්දච්ච අම්මණ්ඩියෙක්”

“උඹෙත් වරදනෙ. උඹට  තිබුනේ මාමා  කිව්වා වගේ අම්මට ඇවිල්ල මේ කිසි දෙයක් නොකියා ඉන්න.” 

“ඒ වගේ දෙයක් දැනගත්තහම නොකියා ඉන්නේ කොහොමද බං. අනිත් එක උන් ඔය ගේ මට දෑවැද්දට දෙනවා කියලා පොරොන්දු වෙලා ඉන්නේ.” 

“දැන්නම් බං මම කියන්නේ ඔය ලොකුකම පැත්තකට දාලා ඉසුරි එක්ක කතා කරපන් කියලා.”

“මට ආයේ ඒ ගෙදරට යන්නනම් හිත දෙන්නෙ නෑ බං.”

“ගෙදරට යන්න හිත දෙන්නෙ නැත්තං උඹට පුළුවන්නේ ඒකිගේ  ඔෆිස් එක ළඟට යන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාලා වෙනද හම්බවෙන තැනකට පලයන්.” 

“එතකොට බං නිකම්ම මං  ඒකිට බාල්දු උනා වගේ වෙනවනේ.”

“මතක තියා ගනිං ඉසුරි කියන්නේ ඇහැට කනට පේන ලස්සන කෙල්ලෙක්. උඹට අගයක් නැති උනාට ඒකිගේ අගේ පේන ඕන තරම් කොල්ලෝ ඇති. දැන් ඒ කෙල්ල රස්සාවකට යනවා. බස් වල යනව එනවා. උඹ වෙනදා වගේ කූඩුවකට දාගෙන හිර කරගෙන ඉන්නව නෙමෙයිනේ.”

“ඒක තමයි හෙනේට හිටියේ..”

“මට ඒකි ලඟවත් බාල්දු වෙන්න හිතෙන්නෙ නෑ බං. අනිත් එක මට අරූට දෙකක් අනිනකල්  නින්ද යන්නෙ නෑ.” 

“දැන් ඔය තරහ නවත්තගනිං බං. ඒකෙන් හොඳක් වෙන්නෙ නෑ. උඹ ආපහු ඉසුරුට අත ඉස්සුවොත් ඉසුරි උනත් ඉවසන එකක් නෑ. ඒ කෙල්ල  ඉස්සර ඉඳලම ඔය නංගියි මල්ලියි  වෙනුවෙන් මොනවද නොකෙරුවේ. අන්න නියම සහෝදරියෝ”

පාරින්ද ඉසුරිට කෙටි පණිවිඩයක් යැව්වේ මිතුරා සමග කතා කරමින් සිටිනා අතරේමය. ඔහු එහි සඳහන් කළේ ‘සවස ඇයව හමුවීමට අවශ්‍ය බැවින් කාර්යාලය අසල බස් නැවතුමට පැමිණෙන බවය.’

කතා කරගත් පරිදි විවාහ ලියාපදිංචියට වූයේ තවත් සති දෙකක තරම් කෙටි කාලයකි.

“ඒවා කල් දාන්නේ කොහොමද ඒවා කතා කරගත්ත වෙලාවට සිද්ධනවා. හොඳින් නැත්තං නරකින් හරි. උඹ  ලෑස්ති වෙයන්  හවසට මමත් එක්ක මාමලාගේ ගෙදර යන්න”

අම්මා එසේ පැවසූයේ පාන්දරය. රාජණී දින කිහිපයක්ම එකම වේලාවකට නිවසින් පිටවගොස් යළි සවසත් එකම වේලාවකට නිවසට පැමිණෙන බව පවසා තිබුණේ ඇගේ නිවස අසල උන් අම්මාගේ යෙහෙළියයි. එහි සිදුවන කිසිවක්ම දැනගැනීමට නොහැකි වීම පිළිබඳවත් පාරින්ද තැවෙමින් උන්නේය. 

                                *************

“මල්ලි ඔයා ඉසුරිත් එක්ක අර කාරණය ගැන කතා කළාද. මට ඊයේ තාත්තා කියනවා ඇහුනා නාවල රෙන්ට් එකට  දීල තියෙන අපේ මාමලාගේ ගෙදර ඉන්න කට්ටිය යනවා කියලා. ඔයාට මතකයිනේ නාවල ගෙදර. දැනට නං ඒක රෙන්ට් කරලා තියෙන්නේ විසිපන්දාහකට මල්ලි. මගේ යාළුවෙක්ට කියලා කිව්වොත් තව කීයක් හරි අඩු කරගන්න බැරිකමක් නෑ. ටිකක් ලොකු ගෙයක් නිසා ඉසුරිලට මදිවෙන එකකුත් නෑ. මාමලා ලංකාවේ පදිංචියට එන් නෑ මල්ලි. ඒ නිසා ටික කාලයක් ඉන්නත් පුළුවන්. අනිත් එක ඒ පැත්තෙ ඉන්නේ වැදගත් මිනිස්සු. උදව්වකදී අවශ්‍යතාවයකදී එකතු වෙනවා මිසක් අරයා මොකද කරන්නේ,  මෙයා මොකද කරන්නේ කියලා හොයලා බලන්න ඒ පැත්තෙ මිනිස්සුන්ට කාලයක් නෑ. ඔයා ඉසුරි එක්ක ඒ ගැන කතා කරන්න.” 

සුලක්ෂා බිනරට දුරකථන ඇමතුමක් දී පැවසූයේ ඔහු කාර්යාලයේ සිටියදීය. ඒ වන විටත් ඉසුරිගේ  නිවසේ ඇවිලුණු ගිනිදැල් සෙමින් සෙමින් නිවී යමින් තිබිණ. 

“ඔයා මට නිතරම කියපු දෙයක් තමයි බිනර හැම ප්‍රශ්නයකම අපි නොහිතන පැත්තකුත් තියෙනවා කියන එක. ඔයා දන්නවද අපේ ගෙදර වෙච්ච මේ සිදවීම් වලින් පස්සේ මල්ලි සෑහෙන්න වෙනස් වෙලා. එයා දැන් මම ගැන හිතනවා. නංගි ගැන හිතනවා. අම්මා ගැන හිතනවා. එයා හිතනවා අපිව බලා ගන්න එක එයාගේ වගකීමක් යුතුකමක් කියලා. නංගි වෙනදා වගේ පොතේම ඇලිලා ඉන්නේ නැතුව කාමරයෙන් එළියට ඇවිල්ලා ගෙදර ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. අපි තුන්දෙනා එකට වාඩිවෙලා අපි ගැන කතා කරනවා.”

ඉසුරි පැවසූයේ පෙරදා රාත්‍රියේදී ඈ හා දුරකථනයෙන් කතා කරද්දීය. කාලය මිනිස් ජීවිතවල සිදු කරන්නා වූ වෙනස්කම් පුදුම සහගත යැයි ඔහු සිතුවේ ඉන් පසුවය. සුලක්ශා අක්කා විසින් පැවසූ කාරණය සවස ඉසුරි සමග කතා කරන්නට බිනර තීරණය කළේය. 

“බිනර මට ඔයාව ටිකක් හම්බවෙලා කතා කරන්න ඕනේ..”

අශිකා ඔහුගේ මේසය ඉදිරිපස ඇති පුටුවෙන් වාඩි වූයේ එවේලෙහිය. 

“කියන්න අශිකා…”

“ඇයි ඔයා මට මේ විදිහට වෙනස්කම් කරන්නේ”

“ඇයි  අශිකා  ඔයා එහෙම අහන්නේ. එහෙම දෙයක්…”

“එහෙම දෙයක් වෙනවා බිනර. ඉස්සර ඔයා අපිට කියලා ටවුන් එකෙන් ඩ්‍රොප් කරව ගන්නවා. තාත්ති එනකල් මමත් එක්ක කතා කර කර ඉන්නවා. දැන් ඒ කිසිම දෙයක් නෑ.”

“අනේ ඒ දේවල් මම හිතා මතා කරන දේවල් නෙමෙයි අශිකා. සමහර වෙලාවට ටිකක් වේලාසනින් ඔෆිස් එකෙන් යන්න වෙනවා. සමහර වෙලාවට රෑ වෙනකල් වැඩ කරනවා. ඒ වෙලාවට මට ඔයාලව මිස් වෙනවා.”

“ඇත්ත කියන්න ඔයාට අපිව මිස් වෙනවද එහෙම නැත්නම් කාගේ හරි කීමකට මාව මිස් කරනවද කියලා.”

“ඇයි ඔයා එහෙම අහන්නේ….”

“ඔයාට ඔයාගේ වෙනස නොදැනුනාට මට ඔයාගේ වෙනස පැහැදිලිවම පේනවා. ඔයා මාව ඒ විදිහට මිස් කරන්නේ ඉසුරි නිසාද?”

“නෑ කොහෙත්වම  නෑ…”

“ඔයා එහෙම කලොත් මං මේ කම්ෆැනි එකෙන් අයින් වෙලා යනවා බිනර. මට ඕනේ ඉස්සර වගේ ඔයත් එක්ක ඉන්න. කතාබහ කලාට එකට කෑවා බිව්වට ඉසුරි කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි. එයාගේ ෆැමිලි එකේ අයත් හොඳ මිනිස්සු නෙමෙයි. ඔයාල වගේ ඇහැට කණට පේන කොල්ලෙක් දැක්කහම ඒගොල්ලන්ට තමන්ගේ තත්ත්වය අමතක වෙනවා. අනේ ප්ලීස්….ඔයා මං ගැන වරදවා හිතන්න එපා. මේ හැම දෙයක්ම කියන්නේ ඔයාට තියෙන ආදරේට. බිනර අපි පුළුවන්නම් චුට්ටක් එළියෙදි හම්බවෙලා කතා කරමු.”

“කතා කරමු හැබැයි අද නෙමෙයි. මම මේ දවස් ටිකේ ටිකක් බිසී. අනිත් එක අනවශ්‍ය දේවල් ඔලුවෙ තියාගන්න එපා අශිකා. මම මේ කම්පැනි එකට  ආපු වෙලාවේ ඔයාලා මට කරපු උදව් මට අමතක වෙලා නෑ. ඉසුරි වගේම ඔයත් සහනුත් මට ගොඩක් උදව් කළා. ඔය තුන්දෙනාම අදටත් මට එකයි. ප්ලීස් එහෙම වැරදි වැටහීමක් හිතේ තියාගන්න එපා.”

අශිකා ඔහු ඉදිරිපසින් නැගී සිටියේ හිස වනමින්ය.

 ජයවර්ධනට බිනර ගැන ගතුකේලාම් වූ දෙවන ලිපියත් ලැබී තිබිණ. එනිසාම ඔහු උන්නේ බිනර ගැන විමසිල්ලේය. එම ලිපියෙහි වූයේ කියවන්නට නොසිතෙන තරම්, අසා සිටින්නට බැරි තරම් ඒවාය. එනිසාම ඔහු ඒ කිසිවක් බිරිඳ සමග හෝ හංසිකා සමඟ පැවසූයේ නැත. 

ලොකු අයියාගෙන් ලැබී තිබූ කෙටි පණිවිඩය කියවූවත් ඉසුරි ඊට පිළිතුරු සැපයූවේ නැත. පසුගිය දින කිහිපයේම ඇය නිවසට ගියේ බිනර සමඟ අඩ හෝරාවක් හෝ කාලය ගත කළාට පසුවය. එහෙත් එදින ඈ වේලාසනින්ම කාර්යාලයෙන් පිටවූයේ ඔහුටවත් නොකියමින්ය. ඇයට උවමනා වූයේම පාරින්ද මගහරින්නටය. ඒ මුහුණ පවා අද ඇයට අප්‍රසන්නය.

බස් නැවතුමට වී  හෝරාවක් පමණ බලා උන් පාරින්ද කාර්යාලය අසලට පැමිණියේ ඉසුරිට දුරකථන ඇමතුම් දෙක තුනක්ම ලබා ගත්තාට පසුවය. 

“ඉසුරි මිස් නං දැන් පැය බාගයකට විතර කලින් ගියා.”

එසේ පැවසූයේ ආරක්ෂක නිලධාරියෙකි. අශිකා ආරක්ෂක කුටිය අසලට පැමිණියේ විනාඩි කිහිපයකට පෙර තාත්තා දුරකථන ඇමතුමක් ලබා දුන් නිසාය. 

“අශිකා මිස් ඉසුරි මිස් ගියා නේද…..මේ මහත්තයා ඇවිත් ඉන්නේ ඉසුරි මිස්ව මුණ ගැහෙන්න”

මැදිවියේ උන් ආරක්ෂක නිලධාරියා ඇසුවේ තමා තරුණයාට දුම් පිළිතුර යළිත් තහවුරු කරගන්නට සේය. 

“ඔව්. එයා ගිහිල්ලා කොයි වෙලාවෙද…ඔයා කවුද….”

“මම පාරින්ද…ඉසුරි මැරි කරන්න ඉන්නේ මම..”

“අයියෙ.. අනේ සොරි. ඔයා ගැන අහලා තිබුනට දැකලා තිබුණෙ නෑනේ. ඇයි ඉසරි  ඔයාට කෝල් කරල නෙමෙයිද ගියේ. එයා දන් නැද්ද ඔයා එනවා කියලා”

නෑ නංගී එයාගේ ෆෝන් එක වැඩ කළේ නැති නිසා තමයි මම ආවේ…”

“පාරින්ද උන්නේ ආරක්ෂක කුටියෙන් පිට පැත්තේය. අශිකා උන්නේ අනෙක් පසය. එහෙත් ඈ ඔහු අසලට ගියේ අඩියට දෙකටය. අහඹුවෙන් මේ ලැබුණු අවස්ථාව මඟ හැර ගත හැකි එකක් නොවේ. සහන්ගේ මිතුරා ඔහුට පවසා තිබූ පරිද්දෙන්  පාරින්ද යනු ඉක්මනින් කෝප ගන්නා පුද්ගලයෙකි. මේ දිනවල ඔවුන් අතර ප්‍රශ්න ඇති බවත් ඇයට පැවසූයේ සහන්මය.”

“ඔයාල අතරේ මොනවා හරි ප්‍රශ්නයක්ද ඉසුරින් පහුගිය දවස්වල කල්පනා කර කර හිටියේ.”

“ඔව් අපි දෙන්න ටිකක් තරහ වෙලා හිටියා. දන්නෙ නැද්ද ඉතින් ලොකු දේවල් නෙමෙයි.” 

“අපි හිතුවේ ඉසුරි ඔයාත් එක්ක තියෙන එෆෙයා එක නවත්තලා කියලා. සහන් අයියා මට ඔයා ගැන ගොඩක් විස්තර කියලා තියෙනවා. අයියේ මීට වඩා ඉසුරි ගැන සැලකිලිමත් වෙන්න වෙයි. මං මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. ඔයානෙ එයා මැරි කරන්න ඉන්නේ. නිතර නිතර ඔෆිස් එක ලඟට  එන්න. මේ අනිත් අයගේ බොයි ෆ්‍රෙන්ඩ්ලා එහෙම එනව. මේවයෙත් එක එක විදිහේ පිරිමි ළමයි වැඩ කරනවනෙ අයියේ.”

“නංගි මට මොකක්ද කියන්න හදන්නේ?….”

“එහෙම විශේෂයෙන් මුකුත් නෙමෙයි. ඉසුරි කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. ඒ උනාට ඉතින් ඔයා එයාව මග ඇරලා වගේ ඉන්නකොට එයාට උනත් හිතෙනවනේ වෙන එෆෙයා එකක් පටන් ගන්නේ. ඉසුරි ගැන ඇහැ ගහගෙන ඉන්න කීප දෙනෙක්ම මෙහේ ඉන්නවා. ඔයා ඒකට කරන්න තියෙන්නේ හැමදාම වගේ හවසට මෙතනට මේ වෙලාවට ඇවිත් ඉසුරිව ගන්න.”

“මට ඇත්ත කියන්න නංගි මං ඉසුරිට කියන්නෙ නෑ. එයාට වෙන කෙනෙක් ඉන්නවද…”

“මම හිතන්නෙ නැහැ. ඒ උනාට ඔෆිස් එකේ අය එහෙම කතා වෙනවා.”

“ඌ කවුද….”

“එහෙම කියන්න දන්නෙත් නෑ අයියේ. ඇහුනෙ නැති දැකපු නැති දෙයක් ගැන මට ඔයාට ස්ථිර කරලම කියන්න බෑ. ඔයාගේ අතින් මොනව හරි අඩුපාඩුවක් වෙනවනං ඒක හදාගත්තහම හරිනේ. ඇත්තටම ඉසුරිට බෝයිප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දන්නේ මමයි සහන් අයියයි විතරයි. අයියගේ පැත්තෙන් තමයි ඒක අනිත් අයට අඟවන වැඩේ කෙරෙන්න ඕනේ..ඔයා දැන් මේකට ඉසුරිත් එක්ක රණ්ඩු අල්ලන්න එපා. සමහර විට එයා වැරදි නැතුව ඇති. හැබැයි ඉතින් ඔයා ඉක්මන් නොවුනොත් මේකේ ඉන්න අය එයාගේ පස්සෙන් යන එක නවත්තන එකකුත් නෑ.”

“අපි ළඟදි එන්ගේඡ් වෙන්න ඉන්නේ…”

“ඒක දන්නෙත් ඔයයි එයයි විතරයිනෙ අයියේ. අපේ තාත්ති එනවා. අයිය මං කියපු දේ ගැන චුට්ටක් හිතන්නකෝ. කරදරයක් නැත්නම් ඉසුරව හැමදාම ඔෆිස් එක ළඟට එක් කරගෙන ඇවිල්ලා හවසට ගන්න. එතකොට මේ ඉන්න හැමෝම දැනගන්නවා ඔයා තමයි ඉසුරුගේ බෝයිප්‍රෙන්ඩ්  කියලා.” 

අශිකා එසේ පැවසූයේ ගේට්ටුව ඉදිරිපස නතර කළ කළු පැහැ ඇල්ටෝ  වර්ගයේ රථයට නැග ගැනීමට ප්‍රථමවය. ඉසුරින් බිනරත් කාර්යාලය ඇරී එක්ව බස් නැවතුමට යන බවත් සමහර දිනවල අවන්හලකට ගොස් කෙටි කෑම වර්ගයක් කමින් හෝ පලතුරු යුෂ බොමින් කාලය ගෙවා දමන බවත් දැන් අශිකාට හෝ සහන්ට රහසක් නොවේ.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles