දික්කසාද නීති මඟ හැර සිටි සැමියාට එරෙහිව සටන් කළ බිරිඳක්

(නීතිවේදිනී බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරින් සකසා ඇත. නම් ගම් මනඃකල්පිත ය)

ජනිත දික්කසාදය ලබාගෙන කාලයක් ගෙවී තිබුණා. ඔහු දශක දෙකකට පමණ පෙර විවාහ වූ අතර අනියම් සම්බන්ධතාවයක්  නිසා වෙන් වන්නට සිදු වූ කෙනෙක්. ලංකාවේ ප්‍රමුඛතම පෙළේ මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු ලෙස ඔහු සේවය කරනවා. මොන තරමට හොඳ රැකියාවක් කළත් සමාජය ගැන දැන සිටියත් නීතිය පිළිබඳ හරියට නොදැන සිටීම නිසා ඔහු නොදැනුවත්ව ගැටළුවක පැටලී තිබුණා.

“මගේ දේපල තහනමට අරගෙන විකුණනවා.”

ඔහු අපේ නීති උපදෙස් පතා එන්නේ එවැනි කතාවක් සමඟ. ඔහු සෑහෙන දේපලක් හිමි පුද්ගලයෙක්.

“මගේ විවාහයේ මුල් කාලය හරිම හොඳට ගෙවුණා. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ කාලයේ කිසිම ගැටලුවක් තිබුණේ නෑ.”

ජනිත එහෙම පැවසුවා. ඔහුගේ වැඩිමහල් දුව දැන් අවුරුදු දහනවයක දැරියක්. අනිත් දරුවන් දෙදෙනාම බාල වයස්කරුවන්. ඔහු දරුවන්ට නඩත්තු ගෙවීම් පැහැර හැර තිබුණේ ද නැහැ. 

“ඇත්තටම වරද වුණේ මං අතින්. චූටි පුතාට අවුරුදු තුනක් වගේ කාලයේදී මට වෙන සම්බන්ධයක් ඇති වුණා. මගේ ආයතනයේම කෙනෙක් එක්ක.”

ජනිත අපිට කිසිවක්ම සැඟවූයේ නැහැ. ඇත්තටම ඔබ නීතිඥවරයෙක් ළඟදී අනිවාර්යයෙන් ම කළ යුතුම දෙයක් වන්නේ ද එයයි.

කිසිම මොහොතක කිසිවක්ම ඔබේ නීතිඥයාට සඟවන්නට එපා.

ජනිතගේ අනියම් සම්බන්ධතාවය නිසා බිරිඳ ඔහුගෙන් එකම නිවස තුළ වෙන් වී ජීවත් වී තිබෙනවා. මේ නිසා ජනිත නිවසින් පිට එඊ යන්නට තීරණය කර තිබුණා.ඔහු ඔහුගේ ප්‍රේමවන්තිය වූ අමන්දා සමඟ ජීවත් වීම ආරම්භ කරන්නේ ඉන්පසුවයි.ජනිතගේ බිරිඳ වූ ගයනි ඔහුට නඩත්තු නඩුවක් පවරන්නේ ඉන්පසුවයි. ජනිත නඩත්තු නඩුව ගෙවන අතර බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා තිබුණා.

“නැහැ.මම ඩිවෝස් එක දෙන්නේ නෑ.”

ගයනි එයට තරයේම එරෙහි වී තිබුණා.ඇය අනියම් බිරිඳට සැමියාව නීතියෙන් ලබා දෙන්නට අකමැති වී තිබුණා.

ජනිත හොට පටලාගන්නේ ඉන්පසුවයි. මොනතරම් උගත් කෙනෙක් වුණත් නීතිය ගැන අබමල් රේණුවක්වත් නොසිතා ඔහු අමන්දා සමඟ විවාහ වී තිබුණා. නීතියේ හැටියට එය ශුන්‍ය සහ බලරහිත විවාහයක්. එය ඔහුගේ මුල්ම වරදයි. ඉන් වසර තුනකට පසු ගයනි ඔහුට දික්කසාද නඩුවක් පවරනවා. මේ වෙද්දී ඔහුට දාව අමන්දාට දරු දෙදෙනෙක්ද හිඳිනවා. ඊළඟ වරද වන්නේ ඔහු ගයනිගේ දික්කසාද නඩුවට උසාවි ගොස් නැහැ. සිතාසිය බාරගෙන නඩුවට නොයන්නට ඔහු කටයුතු කර තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව ඒකපාර්ශ්වික නඩුව අසන්නට උසාවිය කටයුතු කර තිබුණා.

මෙහි ඇති බැරෑරුම්කම වන්නේ දික්කසාද නඩුවෙන් ඔහුගේ බිරිඳ ඉල්ලා ඇති සහන ගැන ඔහු නොදැන සිටීමයි. දික්කසාද නඩුව තුළ ගයනි ඉල්ලා ඇති දේවල් වන්නේ දික්කසාදය, දරුවන්ගේ ශාරීරික සහ නෛතික භාරකාරත්වය ඒ වගේම ඔවුන් ජීවත් වූ නිවස සහ ඉඩම් කිහිපයක් වුණා. ඇය දික්කසාද දීමනාවක් ද විශාල මුදලකින් ඉල්ලා තිබුණා.

නඩුව ඒකපාර්ශ්වික විමසා නෛසයි තීන්දුව ලබා දී තිබූ අතර ජනිත එය පිළිගෙන තිබුණා. නමුත් ඔහු අර දික්කසාද දීමනාව ගෙවීම පැහැර හැර තිබුණා. ඔහු වරද්දා ගන්නේ ඉන්පසුවයි. ඒ නිසා ඔහුව දේපල තහනමකට ලක් කර දේපල වෙන්දේසි කර ඒ මුදල ලබා දෙන මෙන් ගයනි නීති ලියවිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඇයට තීන්දුව බලාත්මක කරගන්නට ඕනෑ වුණා.

අන්න එතනදී ජනිත කලබල වී තිබුණා.

නමුත් දැන් කරන්නට කිසිවක් ම නැහැ.ඔහු ඒ මුදල ගෙවිය යුතු වන අතර නැතිනම් ඔහුගේ දේපළ තහනම යටතේ දේපල වෙන්දේසි කර ගයනිට ඒ මුදල ලබා දෙන්නට ඔහුට සිදු වෙනවා. ඔහු දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.

නීතිය නොදැනීම නිදහසට කාරණාවක් නෙවෙයි. අනිත් කාරණාව වන්නේ ඔබ කුමන හෝ නඩුවකට පැටලී ඇති නම් එය ගණනකට නොගෙන සිටීම ඔබව විශාල කරදර ගොන්නකට පටලවන්නක්. ඒ නිසා ඔබ කුමන හෝ නඩුවකට පැටලී ඇති ඇති නම් වහාම නීතිඥ උපදෙස් ගන්නට අමතක කරන්නට එපා.ඊළඟ කාරණාව වන්නේ ඔබ දික්කසාද නඩුවක වින්දිතයෙක් නම් ගයනි මෙන් අවසාන මොහොත දක්වා සටන් කරන්න. සමහර කාන්තාවන් දික්කසාදයෙන් අනතුරුව සැමියා නඩත්තු පැහැර හරින බව සහ දීමනා පැහැර හරින බව පවසන අන්දම අප දැක තිබෙනවා. නමුත් එවැනි අවස්ථාවල කරන්නේ කුමක් දැයි සිතමින් ලතවෙනවාට වඩා නැවත ඇති උපදෙස් ලබාගෙන සාධාරණය ඉෂ්ට වන තුරුම සටන් කරන්නට ඔබට පුළුවන්. ඒ නිසා ඔබ වින්දිතයෙකු වූ කිසිම අවස්ථාවක පසුබට වන්නට එපා. වේදනාව දරාගෙනම සටන් කරන්න.

මේ විශාල නඩු කතන්දරයක් නොවේ.නමුත් සැලකිල්ලෙන් කියවා බැලුවොත් අප මග හරින කාරණා අපට ගෙන දෙන ගැටලු අවබෝධ කරගන්නට පුළුවන්. ඒ වගේම අපට නොනවත්වා සටන් කළ හැකි තැන් ද පැහැදිලි කර ගන්නට පුළුවන්. ඒ නිසා අද අපි ඔබට මේ කතාව කියන්නට සිතුවා.

නැවත නැවතත් ඔබට කියන්නට ඇත්තේ නීතිමය කටයුතු සම්බන්ධයෙන් හිතුමතේ කටයුතු කරන්නට එපා. සෑම විටකම නීතිඥ උපදෙස් පතන්න. නීතිය ඇත්තේ ඔබට සාධාරණත්වය ඉෂ්ට කරන්නටයි. 

Related Articles

Don't Miss


Latest Articles