“ආ…උඹට මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. දැන් උඹට හරි රාජකාරිනේ. මාරුවෙන් මාරුවට ගෑනු දෙන්න නලවන්නත් එපැයි”
නාලනී එසේ පැවසූයේ සුරංග ගෙට ගොඩ වූ හැටියේමය. ඔහු තම සහෝදරිය වෙත හෙළුවේ නුරුස්නා සහගත බැල්මකි.
“උඹ මට රවල වැඩක් නෑ. මේවා රට්ටු කියන කතා. මොනවද බං මේ විලිසංගේ නැති වැඩ. ආයේ දාල ගියපු ගෑණිගෙ අස්සේ රිංගන්න එන්නේ.”
“මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ අක්කේ. මම ආවේ දරුවන්ට මාව ඕන වෙච්ච වෙලාවේ. මේ රට්ටු කියන කතාද අක්කා කියන කතාද කියන්න මම දන්නෙත් නෑ. රට්ටුන්ට ඕන විදිහට ජීවත් වෙන්න ගිහිල්ලා තමයි මමත් ජීවිතේ වරද්ද ගත්තේ. අක්ක හරි නං මට මේ වෙලාවේ කියන්න ඕනේ ඔය ටික නෙමෙයි.”
“මොකක්ද….මොකක්ද මම කියන්න ඕනේ?”
“ඒ අහිංසක දරුවෝ තුන්දෙනා ගැන බලන්න කියලා.”
“උන් ගැන බලන්න උන්ගේ අම්මා ඉන්නවනේ. ඒකිට තනියෙන් ළමයි හදාගන්න පුළුවන් හින්ද තමයි උඹට යන්න කියලා කිව්වේ.”
“දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ. සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවානම් අපි වරදක් කරන්නේ නෑ කියලා අපේ හිත් වලට විශ්වාසනම් රට්ටු මොනවා කිව්වත් අක්ක මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නෑ. කෝ ලොකු පුතා.”
“අනේ මගේ දරුවගේ ජීවිතේ විනාස වුණා. ගෙදරින් එළියට යන වෙලාවක් නෑ ආපහු ගෙදරට එන වෙලාවක් නෑ.”
“ඒක ඉතිං එදා අද කියලා වෙනසක් නෑනෙ අක්කේ. දැන් අත කොහොමද?”
“ඒ ගැන එයා බලන්නෙත් නෑ අපි කිව්වට අහන්නෙත් නෑ. ඉසුරිගේ ප්‍රශ්නේ නිසා ලොකු පුතා සෑහෙන්න දුක් විඳිනවා”
“ප්‍රශ්න ඇතිකර ගත්තේ ලොකු පුතා මිසක් ඉසුරි නෙමෙයි. ලොකු පුතාගේ මේ වැඩ හින්දා කාලෙක ඉඳලා මටත් එයා ගැන කලකිරීමක් ඇතිවෙලා තිබුණේ. අක්කයි මමයි දෙන්නම පවුල් ජීවිත ගත කරන මිනිස්සු විදිහට අපි දන්නවනේ බැඳීමක් ඇතිවෙන්නනම් දෙන්න අතර ආදරයක්, ගෞරවයක් තියෙන්න ඕනේ කියලා. පහුගිය කාලේ ලොකු පුතා හැසිරිලා තිබුණේ එයාගේ තනි මතයට විතරයි. මං හිතන්නේ ඉසුරි ලොකු පුතාට ඒ ගැන කියලා මැසේජ් එකකුත් එව්වා කියලා කිව්වා. ඉසුරි කැමති නෑ ලොකු පුතාව කසාද බඳින්න. ඇත්තටම කිව්වොත් රාජිනීවත්, ඉසුරුවත්, චූටි දුවවත් දැන් ලොකු පුතාට කැමති නෑ.”
“එහෙනම් ඊට වඩා හොඳ අත්තක් අල්ලගෙන වෙන්න ඇති.”
“අක්කේ හිත රවට්ට ගන්න දේවල් කියන එකේ තේරුමක් නෑ. ඉසුරි කියන්නේ එහෙම දරුවෙක් නෙමෙයි කියලා මට වඩා හොඳට අක්කා දන්නවා. ඉසුරියි ලොකු පුතයි එකතු උනා කියලා මේ රණ්ඩු සරුවල්වල කෙළවරක් වෙන්නෙ නෑ. ඒව තව තව වැඩි වෙනවා මිසක්කා. අක්ක චුට්ටක් කල්පනා කරලා බලන්න ඒ දවස්වල රාජිණිත් ඔහොමයි හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. කොයි දේටත් කේන්ති ගන්නවා. වචනෙ වරදින්න බෑ. මට අමාරු උනේම ඒ දේවල් දරා ගන්න. අක්කට උනත් තේරෙනවනේ ඉසුරි වගේ අහිංසක දරුවෙක් කොහොමද ලොකු පුතා එක්ක ජීවත් වෙන්නේ කියලා. මං දුවත් එක්ක ලොකු පුතා ගැන සෑහෙන්න කතා කළා. ඇත්තමයි අක්කේ ඒ දරුවා නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා ලොකු පුතා නිසා. මං මේ විවාහය වෙනවට හරි කැමැත්තෙන් ඉඳපු මිනිහෙක්. අක්ක ඒක නොදන්නවා නෙමෙයිනේ. වැඩිපුරම අපේ නෑකම නිසා. රාජනී පිස්සු නටපු විදිහට මම බලාපොරොත්තු උනා අක්ක මගේ කෙල්ලට අම්මා කෙනෙක් වෙයි කියලා. අක්කයි මමයි දෙන්නම දන්නවා අදටත් මම ඒ පවුලට බැඳිලා ඉන්නේ ඒ කෙල්ල නිසා. ලොකු පුතා හරි වැරදි විදිහට අක්කේ ඒ කෙල්ලට සලකලා තිබුණේ. ඒත් එහෙමයි කියලා නෑ ඒ දරුවා තමන්ගේ ජීවිතේට මොනවා වුණත් ලොකු පුතා කසාද බඳිනවා කියන තීරණයක තමයි ඉඳලා තියෙන්නේ. ඒ ලොකු පුතාටත් වඩා අක්ක ගැන තිබුණු විශ්වාසය ආදරය නිසා. පහුගිය කාලේ අපේ ඇස් පනාපිටම සිද්ධ වුණේ ඒ තරම් හොඳ දේවල් නෙමෙයි. රාජිනී වැරදි කළා තමයි අක්කේ. එහෙම බැලුවහම ඒ හා සමානවම මමත් වැරදියි. අපේ වැරදි වලින් මේ දරුවෝ තුන්දෙනා අසරණ වෙන්න ඕනෙ නෑ අක්කේ. අක්කටත් බොහොම පිං මගේ දරුවෝ ගැන බැලුවට. අක්ක ආපස්සට චුට්ටක් හිතල බලන්න මේ ගෙදර ඉන්න ගෑනු දරුවා දැන දැන ලොකු පුතා වගේ මිනිහෙකුට දෙන්න අක්කා කැමති වෙනවද. ඒ ළමය ගාව පොඩි ඉවසීමක්වත් නැති උනේ කොහොමද අක්කේ….අම්මට තාත්තට උනත් අත උස්සන්න දෙපාරක් හිතන එකක් නෑ. තාත්තා විදිහට මං කැමතිත් නෑ මගේ දරුවට වෙන පිරිමියෙක් අත උස්සනවට”
නාලනී මෙල්ල වූයේ සොහොයුරාගේ උස් හඬටය.
“අනේ මන්ද බං ඒකගෙ හදහන බැලුවහම කිව්වේ හොඳටම අපලයි කියලා. හැමදේම නැත්තට නැතිවෙලා සුන්නත් දූලි වෙලා යනවා කිව්වා. මං ඒත් හිතුවා ඉසුරි වගේ නිවිච්ච ගතිගුණ ඇති ළමයෙක් ළඟවත් මේකා මේච්චල් වෙයි කියලා. අනිත් එක ඕවා අපෙන් අහ අහා පටන් ගත්ත හාදකම් නෙමෙයිනේ බං. මමත් ඔය පවුල අතාරින්නෙ නැතුව හිටියේ ඔය ලොකු කෙල්ල නිසා. උඹ කියන්න වගේ ඒකි හරි ගුණ යහපත් කෙල්ල. මොනව කරන්නද ඉතින් උන් අකමැතිනම් අපිට බලෙන් කසාද කරන්න බැහැනේ. ඇත්තද බං ඔය රාජිනී ගෙවල් අස් කරගෙන යන්න හදනවා කියන්නේ.”
“එහෙම කරන්න තමයි හිතන් ඉන්නේ. ඉසුරු උනත් පාර තොටකදී දැකලා ලොකු පුතා එක්ක පැටලෙන්න බැරි කමක් නෑ. අනිත් එක රාජිනීට වගේම ඉසුරිටත් ගමේ මිනිස්සු එක එක දේවල් කියන්න පටන් ගනී කියලා ඉසුරි හරි බයෙන් ඉන්නේ. අර පොඩි කෙල්ලටත් පාඩම් වැඩක් කරගන්න බෑ කියලා ඉසුරි නිතරම කියනවා. ඒ හැම දේකටම හොඳයි අලුත් පරිසරයකට යන එක”
“අනේ මන්ද බං නොදන්න තැන්වල ගිහිල්ලා ඕකුන්ට හොඳක් වෙයිද. රාජණී කියන්නේ විශ්වාස කරන්න පුළුවන් ගෑනියෙක්ද බං. අන්තිමට කෙල්ලෝ දෙන්නත් නන්නත්තාරේ ගිහිල්ලා නතර වෙයි. අපේ එකා ඉන්න කාලෙ දහසක් නීති දාලා හරි ඒ කෙල්ල ගේ ඇතුලට කරලා තියා ගත්තනේ. දැන් ඉතින් අම්මගෙත් හෙවිල්ලක් බැලිල්ලක් නැති කොට නන්නත්තාරේ යන්න පටන් ගනීද මන්දා. අපරාදේ අපූරුවට හැදීගෙන ආපු කෙල්ලෝ දෙන්නා”
“ඉසුරි එච්චරට මෝඩ ළමයෙක් නෙමෙයි අක්කේ. එයත් හරි පාරක ගිහිල්ලා නංගියි මල්ලියිත් හරි පාරක ගෙනියන්න එයා දන්නවා”
“දැන් ඔය කොහාටද යන්න හදන්නේ.”
“මං හරියට කියන්න දන්නේ නෑ. ඔය රාජිනීගේ අයියා දන්න තැනකට කියලා කියනවනේ.”
සුරංග හිතා මතාම පැවසූයේ මුසාවකි.
“ආ… දැන් ඒ නෑදෑ මිත්‍රකම් ආයේ පටන් අරගෙනද?”
“සහෝදරකම කියන්නේ ඒක තමයි. සැපේදි නැති උනත් උන් දුකේදි අල්ලන් ඉන්නවා.”
සුරංග එවේලෙහි පැවසූයේ බිම බලාගෙනය. බොරුවක් වුවත් ඒ වදන් වලින් සොහොයුරිය රිදවීමේ හැකියාවක් තමාට වූ බව ඔහු විශ්වාස කළේය. නාලනීගේ මුහුණ හේ බා යනවා ඔහු බලාගෙනය.
“මට ලොකු පුතා හම්බවෙලා යන්න තිබ්බනම් හොඳයි අක්කේ. මං මේ ආවේ ලොකු පුතාට කියලා යන්න මීට පස්සේ වචනෙකින්වත් ඉසුරිට කරදරයක් වෙන්න එපා කියලා. එහෙම උනොත් අපිට පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න වෙයි.”
සිතෙහි අපැහැදීමක් වුවත් නාලනීට කියාගන්නට දෙයක් වූයේ නැත. කොහොමටත් ඈ සැමදාමත් තම සොහොයුරාගේ වදන් හමුවේ මඳක් පසු බා ගත්තාය. ඔහු උගත් වූ තරමටම තමා නූගත් ගැහැණියක යන සිතුවිල්ල සැමදාමත් නාලනීගේ සිතෙහි විය. අම්මා තාත්තා පවා මිය යද්දී පැවසූයේ සොහොයුරාට තමා බලාගන්නා ලෙසය. සාමාන්‍ය පෙළවත් සමත් නොවූ නාලනී සිය අධ්‍යාපනය අතහැර දැමුවේ කැමැත්තෙන්මය. සොහොයුරා එසේ නොව විශ්ව විද්‍යාලයට යාමට අවස්ථාවක් නොලැබුණත් ඉගෙනීම අත්හැර දැමුවේ නැත. ඔහු බාහිර උපාධිධාරියෙකු වූයේත් එනිසාය. රාජිනීගේත් ඔහුගේත් දෙවෙනි දියණිය ඉගෙනීමට උපන් හපන්කම් ඇත්තියක බව මුළු ප්‍රදේශයේම ප්‍රසිද්ධය. ඒ සොහොයුරාගේ ජානමයැයි රාජිනී විශ්වාස කළේත් එනිසාය. කුඩාකල සිටම ඔහුත් සියල්ලටම සමතෙකි.
“අකමැත්තෙන් උනත් අපිට ඇත්තට මුහුණ දෙන්න වෙනවා. කවද හරි දවසක නන්නාඳුනන තැනකට අපිට ඉසුරිව යවන්න වෙයි. ඊට වඩා හරි කැමැත්තෙන් ඇස් දෙක පියාගෙන බයක් සැකක් නැතුව ඒ කෙල්ලව මෙතෙන්ට එවන්න තිබුණු අවස්ථාව නැතුව ගියා අක්කේ. පාරින්දට ඉසුරි ගාවදි මනුස්සයෙක් වෙන්න බැරි උනානම් වෙන කා ගාවදිවත් මනුස්සයෙක් වෙන්න බෑ. පුංචි කාලෙත් එයා කේන්ති ගනිද්දි අක්කා කිව්වේ කොල්ලෙක්නේ ටිකක් කේන්ති ගත්තට කමක් නෑ කියලා. ඒ උනාට අක්කේ මූණට හම්බවෙන මනුස්සයෙක් එක්ක පවා ගහ මරාගන්න යන සයිස් එකට දැන් ලොකු පුතා වෙනස් වෙලා. අක්කලට පුලුවන්නම් ඔය දරුවා වෙනස් කරගන්න බලන්න. එහෙම නැති උනොත් අම්මට තාත්තට උනත් අත උස්සන කාලේ වැඩි ඈතක නෙමෙයි. මේ ගමේ කවුරුවත් ලොකු පුතාට හොඳක් කියන්නේ නෑ.”
“මල්ලි කොල්ලගේ රස්සාවෙත් ප්‍රශ්නයක් මල්ලිට පුළුවන්ද ටිකක් ඒ ගැන බලන්න….”
අවසන නාලනී පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව සිටියාට පසුවය. සොහොයුරා මේ පවසන එකදු වදනක්වත් බොරු නොවේ. දුරකථනයෙන් පවා ඔහු ඉසුරිට කෑ ගසන අයුරු නාලනීටත් ඕනෑ තරම් ඇසී තිබිණ. පාරින්දගේ තාත්තා පවා කිහිප වරක්ම ඒ පිළිබඳව අවවාද කර තිබුණත් නාලනී ඒ කිසිවක් කනකට නොගත් තරම්. ඇය සිතුවේ දෙදෙනාගේ ප්‍රශ්න දෙදෙනාට විසඳා ගන්නට ඉඩ දී නිහඬවනවායැයි කියාය. පාරින්දට රණ්ඩු සරුවල් වලින් අඩුවක් වූයේ නැත. පසුගිය කාලයේත් ඔහු දඬුවම් නිවාඩු ලබා සිටියේ පාසලේ උසස් පෙළ සිසුවෙකු හා පැටලෙන්නට ගිය නිසාය. අඩු තරමේ ඒ පිළිබඳව සැමියා හෝ දියණිය දැන සිටියේවත් නැත. ඉසුරිට පවා පැවසූයේ අසනීප නිසා නිවාඩු ලබා ගත් බවය. යම් තරමකින් හෝ ඒ ප්‍රශ්නය සමථයකට පත්කලේ සොහොයුරාගේ මැදිහත් වීමෙන්ය. මෑත කාලයේදී පාරින්ද කිහිප දෙනෙකුම සමග රණ්ඩු සරුවල් ඇති කර ගත්තේ ඉවසීමක් නොවීම නිසාය. ඔහුගේ මිතුරන් පවා ඒ බැව් කිහිප වරක් පවසනු නාලනී අසාගෙනය. ඒ කුමක් කෙසේ සිදු වූවත් තමාට ඔහු අහසේ දිලෙන ඉරක් සේයැයි නාලනීට සිතිණ. අම්මාවරුන් එසේ යැයි ඕ තමාවම සාධාරණීකරණය කරගත්තාය.
“මේ පාර මොකද…”
සොහොයුරා එසේ අසන තුරුම නාලනී උත්සාහ කළේ දෑස් මුලට එකතු වූ කඳුලක් දරාගන්නටය.
“මෙඩිකල් ඉදිරිපත් කරලා සති දෙකයිනෙ නිවාඩු අරගෙන තියෙන්නේ. තවත් සති දෙකක්ම වැඩට ගියේ නෑ. ඒකට…අපි ඕක කිව්වහමත් අපේ ඇඟට ගොඩවුණා.”
“තමන්ගේ රස්සාවවත් ආරක්ෂා කරගන්න මේ ළමයා බලන්නේ නෑනේ. මම ප්‍රින්සිපල්ට චුට්ටක් කතා කරන්නම්. මං හිතන්නේ මධාරා ඒ ප්‍රින්සිපල් එක්ක ටිකක් හිතවත්. අක්කට මතකද රස්සාවල් කීයකට ගිහිල්ලද අන්තිමට මේ රස්සාව හොයා ගත්තේ.”
පුද්ගලික ආයතන දෙකකම රැකියාවට ගිය ඔහු ඒ තැන්වලත් ගැටුම් ඇතිකර ගත්තේ තමාට අභිමත පරිදි රාජකාරිය කල නොහැකි වූ නිසාය. මධාරා සේවය කලේ අධ්‍යාපන අමාත්‍යංශයේය. මේ පත්වීම ඇගේ මැදිහත් වීමෙන් ලබාගත් එකකි.
“අපිට බැරි වෙයිද මල්ලි කාලයක් ගිහිල්ලා හරි ඉසුරිගෙ හිත වෙනස් කරන්න. මේ ළමයා එහෙම වුණාට නරක ළමයෙක් නෙමෙයි. එදා ඉදලම හිත තිබුණේ ඔය කෙල්ලට තමයි.”
“ඒක එහෙම වෙනවනං මමත් කැමතියි අක්කේ. පාරින්ද වෙනස් වුණා කියලා වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න. කෙල්ල ඉන්නෙ සතුටකින් නෙමෙයි. සෑහෙන්න කල්පනා කරනවා කියලා රාජිනී මට කීප වතාවක්ම කිව්වා. සමහරවිට අපි හිතනවට වඩා හරි අමාරුවෙන් එයා මේ තීරණය ගන්න ඇත්තේ. ලොකු පුතා එහෙට යන එන හින්දයි රාජනී මැදපෙරදිග රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉඳපු හින්දයි මේ මංගල්ලේ ඉක්මන් කරන්න තීරණය කළාට දෙන්නම තාම ලෝකෙ ගැන ලොකුවට දැනුම් තේරුම් තියෙන දෙන්නෙක් නෙමෙයි. සමහරවිට කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ ලොකු පුතා ඉසුරිට කරදරයක් නොකර හිටියොත් තමයි අක්කේ. නැත්තං තව තවත් ඒ ළමයාගේ හිතේ කලකිරීමක් විතරයිනේ ඇතිවෙන්නේ. ආයේ අපිට වචනයක් කතා කරන්න බැරි වෙයි”
“මං කකුල් දෙක අල්ලලා වැඳලා හරි කියන්නම්.”
“මං එහෙනම් ගිහිල්ලා එන්නම් අක්කේ. ලොකු පුතාට කතා කරලම මේ ටික කියල යන්න ඕන හින්දයි මම ආවෙ. ලොකු පුතාට කියන්න පුලුවන්නම් මාව හම්බවෙන්න එන්න කියලා. රස්සාව නැති කරගන්න එපා කියන්න. මම මධාරාට කියන්නම් ප්‍රින්සිපල්ට චුට්ටක් කතා කරන්න කියලා. ඉවසීමෙන් ටික කාලයක් ජීවත් වෙන්න කියන්නකෝ අක්කේ.”
සුරංග තම සොහොයුරියගේ දෙපා වැන්දේ එසේ පවසමින්ය. පාරින්ද සේම සොහොයුරියත් කිසිවිටෙකත් තමාගේ වැරදි පිළිගන්නා අයෙකු නොවේ. තමා ඉදිරිපිට මේ අයුරින් කතා කළත් ඊළඟ තත්පරයේදී ඇගේ සිත වෙනස් කරන්නට ඕනෑම කෙනෙකුට හැකියාව ඇති බව විශ්වාසය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)














