ඉඩෝරයක මල් වැස්සක් – 65

“අපේ කිරිඅම්මා කියනවා මේ අපේ හොඳ කාලෙලු ලබලා තියෙන්නේ..මටත් එහෙම හිතෙනවා බිනර. ඔයා හම්බුනේ නැත්තං අද මගේ ජීවිතේ මොන විදිහකට වෙනස් වෙලා තියෙයිද කියන්න මම දන්නේ නෑ. අම්ම ලංකාවෙ නැතුව ඉඳීයි. මල්ලි රස්තියාදුකාර කොළු නඩේට එකතු වෙලා විනාස වෙලා ඉදියි. නංගි සමහරවිට කාත් එක්කවත් කතා කරන්නේ නැතුව කාමරේ ඇතුලට වෙලා ඉඳියි. මං නැන්දලාගේ ගෙදර වලන් පිඟන් හෝද හෝද ලොකු අයියගෙන් ගුටි කකා අඬ අඬා ඉඳියි..”

ඉසුරි පැවසූයේ මද හඬකින්ය. දෙදෙනා සිටියේ අලුත් නිවසට අවශ්‍ය දොර ජනෙල් රෙදි තෝරමින්ය. ඉසුරි සියල්ල සැලසුම් කලේ බොහෝ අර පරිස්සමටය. ඒ බිනර හා කතා කරමින් ඔහුගේ අදහස් විමසුවාට පසුවය. 

“ඔයා හම්බුනේ නැත්නම් මං තාමත් අර ගල් යුගයේ.”

මේසයක් මත තැබිය හැකි කුඩා මල් බඳුනක මිල පරීක්‍ෂා කරන අතරේ ඈ පැවසූයේ සිනහසෙමින්ය. 

“මොකක් ගල් යුගයේ…..”

“අපේ මල්ලි කියන්නේ එහෙම. ඔයාට, හංසිකා මැඩම්ට, ඩොක්ට සුලක්ෂාට වෙනම තෑග්ගක් දෙන්න්න ඕනලු මගේ වල්ගේ කපල ගත්තට.”

“කොල්ල කියන ඒ කතාවනම් බොරුවක් නෙමෙයි.”

“ඊයේ මං  කන්නාඩිය ඉස්සරහට වෙලා පැයක් විතර මගේ දිහා බලාගෙන හිටියා බිනර. සිතුවිලි වලින් විතරක් නෙමෙයි රූපෙනුත් මම වෙනස් වෙලා කියලා මට හිතෙනවා. මිනිසුන්ගේ ජීවිතවල පිරිලා ඉතිරිලා යන්න සතුට තිබුනහම හැම දෙයක්ම ලස්සනට පේන්න ගන්නවා. මේ ගතපු තීරණය නිසා හැමෝම සතුටින්.”

ඇය ඉන්පසු ගොස් නතර වූයේ මුළුතැන් ගෙයට අවශ්‍ය කරන බඩු මුට්ටු වූ තැනකය. ඒවා එකින් එක අල්ලා බැලූ ඈ අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් පමණක් අත වූ රෙදි බෑගයට දමා ගත්තාය. 

“ගෙවල් අස් කරන කොට තමයි තේරුනේ අපේ ගෙවල් වල උවමනා බඩු වලට වඩා වුවමනා නැති දේවල් තමයි ගොඩ ගහගෙන තිබුනේ කියලා. අම්මත් කිව්වා අලුත් ගෙදරට අවශ්‍ය දේවල් විතරක් ගෙනියමු කියලා. හෙමින් හෙමින් ගන්න ඕන බඩු කිහිපයක් තියෙනවා බිනර. හංසිකා මැඩම් පබ්ලිකේෂන් එකට මාව සම්බන්ධ කරගතපු නිසා ලෝන් එකට සැලරි එක කැපුනත් අතේ කීයක් හරි රැඳෙනවා. ඒක මට ලොකු උදව්වක්. පබ්ලිකේෂන්  එකේ වැඩ හරි ඉන්ටර්ස්ට්. කවද හරි දවසක මට ජයවර්ධන සර්, හංසිකා මැඩම් වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ බිනර. තමන්ගේ සේවක සේවිකාවෝ ගැන හිතන ඒ වගේ මිනිස්සු ඉන්නේ හරි කලාතුරකින් තැන්වල. මං දන්නවා සර් ගොඩක් අයට ඒ වගේ උදව් කරනවා කියලා.”

බිනර ඇගේ ඒ වදන් අසා සිටියේ පපුව තුළ මහා බරක් තබාගෙනය. ‘අරක කරන්න එපා මේක කරන්න එපා….’ යනුවෙන් නිතරම නීති දැමූ තාත්තා පිළිබඳව ඔහුගේ සිතෙහි වූයේ එතරම් පැහැදීමක් නොවේ. තමාගේ කාර් සේල් සිහිනයට අකුල් හෙලූ කාලයේදී ඔහුට තාත්තා පෙන්නන්නට බැරි තරම් විය. ඔහු මේ ව්‍යාපාර වලට සම්බන්ධ වූයේත් අම්මාගේ ඉල්ලීමටය. ඒ ඇයව සතුටු කරන්නට මිස හිතකින් නොවේ. එහෙත් තාත්තා පුදුමාකාර මිනිසෙකුයැයි ඔහුට සිතුනේ ඔහු විසින් කරනා වැඩ කොටස දකිද්දීය. ඒ සියල්ලටම වඩා ඊයේ පෙරේදා හඳුනාගත් සුළු සේවකයන් ඔහුව දෙවියෙකුට සමාන කර කතා කරද්දීය. 

යුවතිය තිර රෙදි සේම නිවසට අවශ්‍ය කරන කුඩා කුඩා බඩුබාහිරාදිය කිහිපයක්ම තෝරා ගත්තාය. විශ්වාසය ඈ සිටින්නේ සතුටින්ය. මින් වසර දෙකකට පමණ එහා ගිය අතීතයේදී කඳුළු පිරි දෑස් වලින් තමාට හමු වූ යුවතියගේ රූපය බිනරගේ මතකයේ සටහන්ව තිබුණේ කිසිදාක නොමැකෙන ලෙසින්ය. තමා ඇයට සිනහව පමණක් නොව අලුත් ජීවිතයක් දුන්නාය වන් හැඟීමක් ඔහු එවේලෙහි දරාගෙන සිටියේය. දැන් ඇයව අහමිකර ගතහැකිකමක් ඔහුට නොවේ. මිනිසුන් සතුට සොයා යන්නේ ජීවිතයේ හමුවන පුංචි පුංචි අවස්ථා මගහරිමින්යැයි ඔහුට සිතුනේ ප්‍රථම වරටය. 

                                    ***************

ඊමේල් පණිවිඩයක් මගින්  එවා තිබූ නයනාගේ අලුත්ම වෛද්‍ය වාර්ථා ගැන ඔහු වෛද්‍යවරයා සමඟ කතා කළේ දහවලය. 

“මීට වඩා වැටි වෙනසක් මේ රිපෝට්ස් වල බලාපොරොත්තු වෙන්නනම් හාස්කමක්ම සිද්ධ වෙන්න ඕනෙ මිස්ටර් ජයවර්ධනය. මේ තත්ත්වය නයනට  විතරක් නෙමෙයි මේ සිටුවේෂන් එකේ ඉන්න හැම පේෂන්ට් කෙනෙකුටම පොදුයි. ඇත්තට මුහුණ දෙන එක අසීරු උනත් අපිට ඒ ඇත්තෙන් පැනල දුවන්න බෑ. මං හිතන්නේ මේ තත්ත්වය මං අමුතුවෙන් ම්ස්ටර් ජයවර්ධනට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එයා ජීවත් වෙන්නේ මාසයක්ද, දෙකක්ද, අවුරුද්දක්ද, දෙකක්ද එයාව සතුටින් තියෙන එක තමයි වැදගත් වෙන්නේ. හෙමින් හෙමින් එයාගේ ඇඟ ඇතුලේ පැතිරෙන පිළිකා සෛලය යම් තාක් දුරට පාලනය කරගන්න විතරයි එයාට මේ ලබා දෙන බෙහෙත් වර්ග වලින් පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ මානසිකව දුර්වල නොවීම තමයි වැදගත්ම. මං හිතන්නේ නයනාට ඒ ශක්තිය උපරිමයෙන්ම තියෙනවා.”

දුරකථනය විසන්ධි  කලත් විනාඩි කිහිපයක් ගතව යන තුරුම ජයවර්ධන සිටියේ මෙලොවෙහි නොවේ. අසීරුවෙන් වුවත් මේ ඇත්තට මුහුණ දිය යුතු බව ඔහු දැන සිටියේය. එහෙත් ඇය මේ  ජීවිතයට අහිමිවනවා යන්න සියල්ල අහිමිවීම හා සමානය. සිය උපැස් උපැස් යුවළ ගලවා මේසය මත තැබූ ජයවර්ධන ඇඟිලි තුඩුවලින් දෑස් මුල  මිරිකා ගත්තේ දිගු සුසුමක් මුදා හරිමින්ය. සිතේ යම් කනගාටුවක්, පසුතැවීමක්, බියක් වනවානම් ඒ සියල්ලෙන්ම ඇයව නිදහස් කළයුතුයැයි ඔහු සිතුවේ ඉන් පසුවය.

“බිනර ලංකාවට ආපු කාලෙකට එයාට මේ බිස්නස් භාර දීලා අපි ලොකු දුව එක්ක මාස හයක් විතර ඉන්න යමු මහත්තයා. ඔයා ගොඩක් මේ ජීවිතේ ඇතුලෙ අවිවේකී වුණා. මේ තරම් දේවල් ගොඩනගන්න ඔයා මනසින් කොච්චර වෙහෙස වෙන්න ඇද්ද කියලා මට හිතාගන්නවත් බැරි තරම්. අපේ ජීවිතවල මගහැරුණු දේවල් තිබුනෙ නෑ තමයි. හැබැයි අද අපි දරුවො වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරපු දෙමව්පියෝ. ඊට පස්සෙ කාලෙ ගත වෙන්න ඕනේ මේ මනසෙ සැහැල්ලුවත් එක්ක. තාත්ත පටන් ගනිපු, ඔයා දියුණු කරපු මේ ව්‍යාපාර බිනර එයාට කැමති විදිහට ඉස්සරහට අරගෙන යයි. ආයෙමත් මට ඕනේ ඔයාගේ ලඟට වෙලා ඉන්න. අපි අපිට යන්න බැරි වෙච්ච අපිට ඇවිදින්න බැරි වෙච්ච ලස්සන තැන්වල හෙමිහෙම හිට ඇවිදිමු. මගේ එකම ප්‍රාර්ථනය ඔයාට විනාඩියකට හරි කලින් මං ඇස් පියවෙන්න ඕනේ කියන එක. මගේ ජීවිතයේ සැරසුවේ ඔයාගේ ආදරේ මහත්තයා.”

නයනා එසේ පැවසූයේ අසනීප වන්නට වසර දෙකකට පමණ ඉහතදීය. අදටත් ඇගේ රෝගී තත්ත්වයෙන් තමාගේ ජීවිතය උඩු යටිකුරු වූ බව ඇයට නොපෙන්වා සිටින්නට ජයවර්ධන මහත් වෙහෙසක් දරයි. ඔහු වාහනයේ යතුරත් ගෙන නැගී සිටියේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. අනතුරුව කාර්යාල සංකීර්ණයෙන් පිටවූයේ රියදුරාටවත් නොදන්වමින්ය. 

ජයවර්ධන ලොකු හාමුදුරුවන් වෙනුවෙන් පලතුරු පිරවූ කූඩයක් මිලට ගත්තේ ඒ යන අතර මගදීමය. ඉසුරිලා පිළිබඳව නිවැරදිම තොරතුරු දැනගත හැක්කේ ඇගේ ගමේ පිහිටි රජමහා විහාරයෙන් බව විශ්වාසය. පසුගිය දිනවලදීත් ඔහු වතාවක් දෙවතාවක් ලොකු හාමුදුරුවන්ට කතා කරමින් ඒ පිළිබඳව සොයා බැලුවේය. 

“ඔය ඉසුරි දුව වසර ගණනාවක් තිස්සෙම අපේ දහම් පාසලේ ගුරුවරියක් විදිහට වැඩ කටයුතු කරගෙන ආවා. ඔය පාරින්ද කියන කිසිම හික්මීමක් නැති ළමයා අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ එක්ක ගැටුමක් ඇති කරගත්තා. පාරින්ද කියන්නෙත් මේ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් තමයි. හැබැයි ඒ ළමයා කාලයත් එක්ක බොහොම වෙනස් වුනා. පස්සෙ කාලෙකදී ඒ ළමයා පුරුදු වෙලා හිටියා තමන් යන තැන තමන්ට ඕන පිළිවෙලට හැඩගස්ස ගන්න. තේරෙන භාෂාවෙන් කිව්වොත් ජයවර්ධන මහත්තයා හොඳින් හරි නරකින් හරි එතන මිනිස්සු ක්‍රියා කරන්න ඕන වුනේ එයාගේ විදිහට. අන්තිමට මේ ළමයා ඉසුරි  දුවට දහම් පාසලට එන්න තහංචි පැනෙව්වා. බොහොම දක්ෂ ගුරුවරියක් අපිට නැතුව ගියේ අන්න ඒ විදිහට.”

ලොකු හාමුදුරුවන් පැවසූයේ කෙටි බංකුවක් මත අසුන්ගෙන උන් ජයවර්ධන දෙස බලාගෙනය. 

“ඊයේ පෙරේදා ඔය දරුවා ආච්චි අම්මත් එක්ක පන්සලට ඇවිල්ලා තාවකාලිකව මේ ගම අතහැරලා යන බව අපිට දැනුම් දුන්නා. අපේ දහම් පාසලේ ඉන්න ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තමයි ඉසුරි දුවගේ නංගී. අවුරුදු ගානක් පුරාවටම දහම් දැනුම සමස්ත ලංකා පළවෙනි ස්ථානය දිනා ගත්තේ ඒ දරුවා. අපිට ලොකු පාඩුවක් ජයවර්ධන මහත්තයා. ඒ උනාට ඒ දරුවාගේ යහපතට යන මේ ගමන ගැන අපිට කතා කරන්න අයිතියක් නැහැ.” 

“මට ඉසුරි  දුවගේ තාත්තව මුණගැහෙන ලොකු උවමනාවක් තියෙනවා අපේ හාමුදුරුවනේ. මට එතුමාව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්.”

“මගේ ළඟ ෆෝන් නම්බර් එක තිබුණා. ඉන්න මම මහත්තයට ගෙනත් දෙන්නම්.” 

අඩ හෝරාවක පමණ කාලයක් කතා කරමින් සිටි ජයවර්ධන ලොකු හාමුදුරුවන්ගෙන් සමුගත්තේ ආවාස ගෙයි ප්‍රතිසංස්කරණයට අවශ්‍ය කරන තීන්ත රැගෙන දෙන්නට පොරොන්දු වූවාට පසුවය. ඔහු සිය දකුණතෙහි ගුලි කරගෙන උන් දුරකථන අංකය සටහන් කොළ කැබැල්ල දිගහැර බැලුවේ වාහනයට නැඟුනාට පසුවය. තත්පර කිහිපයක් කල්පනාබරව උන් ජයවර්ධන අවසන සුරංගගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ මේ තමා කල යුතුම දෙයක් යැයි ඇතිවූ විශ්වාසයත් සමගින්ය. 

                                ***************

පාරින්ද විවෘත ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද ගියේ කෝපයෙන්ය. අම්මා තාත්තා සේම නැගණියත්   පිළිවෙලට පුටු තබාගෙන අසුන් ගෙන සිටියේය. ඉසුරිලා ගම හැරදා යන පුවත දැන් සහසුද්දෙන්ම විශ්වාසය. පසුගිය දිනවල ඔහු ඒ පැත්තට නොගියේ හිතා මතාමය. ක්‍රීඩා පිටියේදී හමු වූ ග්‍රාම සේවක මහතා පවා අවවාද කර සිටියේ තවදුරටත් ඔවුන් හා පැටලීම නුවණට හුරු නොවන බවය. 

“මංනං කියන්නේ උඹ මේ වෙලාවෙ පොඩ්ඩක් පැත්තකට වෙලා කරබාගෙන හිටහං. ඔය කෙල්ලගේ හිතේ තියෙන අපැහැදීම හෙමිහිට දුරු වෙලා යයි. මාම කිව්වෙත් ඒ ටික තමයි.”

“උන්ට දැන් අමුතු ලොකු කමක් ගහලා.”

පාරින්ද පැවසුවා නොව කෑ ගැසුවේය.

“උඹට මේ දැනමුතුකම් මීට කලින් දෙන්න බැරි වෙච්ච එක ගැන මට හරි වේදනයි. එහෙම තමයි ලොකු පුතේ මිනිස්සු හැමදාම එකම විදිහට ජීවත් වෙන්නේ නෑ. එකම විදිහට ජීවත් වෙන්න ඕනි ඕනේ කියලා නියමයකුත් නෑ. ළමයි ලොකු වෙන්න, දෙමව්පියෝ තමන්ගේ වැරදි තේරුම් ගන්න, ලෝකෙත් එක්ක ගනුදෙණු  කරන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිස්සුත් කැමතියි පිළිවෙලකට ජීවත් වෙන්න.” 

නාලනීගේ  සැමියා එසේ පැවසූයේ නිවස වටකරගෙන සිටින අඳුර දෙස බලාගෙනය. ඔහු සාමාන්‍යයෙන්ම පාරින්දට අවවාද උපදෙස් ලබා දෙන්නට යන්නේම නැත. වරදක් වේයැයි තමාට හැඟෙන තැනක් පවා ඔහු පෙන්වා දෙන්නේ නාලනීටය. එහෙත් පසුගිය කාලයේදී ඇය දෑස් වසා ගනිමින් තම පුතාව විශ්වාස කරමින් සිටි බව ඔහු දනී. 

“මගේ වැරැද්ද ඕකිට රස්සාවට යන්න දීපු එක. එතනින් තමයි ලොකුකම ගැහුවේ”

“උඹේ ඔය කේන්තිය පාලනය කරගන්න බලහං. මාමා පොරොන්දු වෙලා ගියේ ඉසුරිගේ හිත ටිකක් හැදුනට පස්සේ හෙමිහිට කෙල්ල එක්ක කතා කරන්නම් කියලා. ඔය කිව්වට කෙල්ලට උඹ නැතුව බෑ. 

උඹ ටිකක් යාප්පුවෙන් මැසේජ් එකක් දාපන්.”

“මම යන්නේ නෑ ඕකිගේ කකුල් දෙක ළඟට. ඒකිට තිබුණා යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලා මට කියන්න. දැන් මාමලා, මධාරලා රාජිණීලා ඔක්කොම එකට එකතු වෙලානෙ ඉන්නේ. උන්ට ලැජ්ජ නෑ. මට ඔය මධාරා  ගෑනි පේන්න බෑ. ඒකි තමයි ඉසුරිගේ ඔළුවට විසබීජ දැම්මේ.”

“කාටවත් දොස්  කියලා වැඩක් නෑ ලොකු පුතා. ඒ මිනිස්සු එකතුවෙලා ඉන්න එක හොඳයිනේ.”

“අනේ මේ තාත්තේ නොදන්න මඟුල් ගැන කතා නොකර ඉන්න.” 

“ඔන්න ඕක තමයි උඹට මම දන්න දෙයක් ගැනවත් කතා නොකරන්නේ. මනුස්සයෙක් කියන දෙයක් පිළි අරගෙන ඉවසීමක් සංයමයක් ඇතුව හැදුනනම් අද උඹ තරම් හොඳ කොල්ලෙක් මේ ගමේම නෑ. ඉස්සර වගේම අදින් පස්සෙත් මං උඹට කිසිම දෙයක් කියන්නේ නෑ. හැබැයි නාලනී මෙයා හෙට අනිද්දා හිරේ විලංගුවේ නොවැටුනොත් මගේ නම කියන්න එපා. අම්මල පුතාලා තමන්ගේ හිතුමතේට කරපු දේවල් වල ප්‍රතිඵල එන්න පටන්ගෙන තියෙන්නේ දැන්.” 

සුමනසිරි නිවස තුළට ඇවිද ගියේ එසේ පවසමින්ය. ඔහුගේ සිතෙහි සැමදාමත් පාරින්ද ගැන වූයේ කලකිරීමකි. 

“පුතේ ටිකක් ඉවසීමෙන් ඉදහන් බලන්න. මං ආයේ කොහොම හරි කතා කරලා ඔය මඟුල ලෑස්ති කරලා දෙන්නම්. උඹට ඉසුරි නැතුව බෑ කියලා මම දන්නවා. ඒකිටත් එහෙම තමයි. ඔය උඩ දාගෙන ගියාට හෙට අනිද්දා ඔය කෙල්ල උඹට කතා කරන්න තියෙන ලැජ්ජාවට හරි මට කතා කරයි….එහෙම නැති වුනොත් මම කතා කරලා හරි ඉසුරිට කාරණා කාරණා තේරුම් කරලා දෙන්නම්…ඒකි අම්මා කියන දේට මං කියන දේ අහනවා”

නාලනී නැගිට ගොස් එසේ පැවසූයේ පාරින්දගේ දකුණතින් අල්ලා ගෙනය. හෙට අනිද්දාම ගොස් ඔහුගේ හඳහන බලා අපල සඳහා බෝධි පූජාවක් හෝ පටන් ගත යුතු යැයි ඈ සිතුවාය. පාරින්ද පොඩි හාමුදුරුවන් සමග ප්‍රශ්නය ඇතිකරගත් දා පටන් නාලනී  පන්සලටයාම  සේම සලාක දානයද නතර කර දැමුවාය. 

“බෝධි පූජා කරන්න ගමේ පන්සලටම යන්න ඕනේ කියලා නීතියක් නෑනේ . කකුල් දෙක ගෙවන්නේ නෑ. ටිකක් දුර පයින් ගිහිල්ලා පොල් වත්තේ පන්සලට යනවා.”

අවසන ඈ එසේ සිතුවේත් පාරින්දගේ දකුණත අල්ලාගෙන සිටිනා අතරමය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles