ළතෙත් ආදර හැඟුම් ගංගා – 70

*තාරානාත් දහම් වංශනායක*

“එහෙනම් තාරානාතුත් කසාද බැන්දා නේද?” කියලා ලෝයර් ඇවිදගෙන ඇවිත් මං ඉස්සරහා තිබිච්ච මනුස්සයගෙ පුටුවෙන් වාඩි වුනේ හිනාවකුත් එක්ක.

ආයෙ වතාවක් මම උන්නෙ ලෝයර්ගෙ ඔෆිස් එකේ පුටුවක වාඩිවෙලා අපේ දරුවා ගැන ප්‍රශ්නෙට උත්තර හොයන ගමන්.

අපි දෙන්නා අතර තිබ්බෙ කලින් තිබිච්ච ඔප දැම්ම මහෝගනී මේසෙමයි. කාමරේ පුරාවට එදා වගේම අර පරණ කඩදාසි, තින්ත සුවඳ පැතිරිලා තිබ්බා. හැබැයි මේ වතාවෙ මගෙ හිතට දැනුණේ ඊට වඩා බරක්. අලුත කසාද බැන්ද කොල්ලෙක් කියන සන්තෝසෙ එක්කම මගෙ හිත අස්සෙ තිබ්බා තාත්තෙක් කියන එකේ ලොකු වගකීමක්. ඒ නිසාම වෙන්නැති හිත තිබ්බ ටිකක් බරවෙලා. නාද්‍යාව මගේ කරගත්ත තරම් ලේසියෙන් මට අහස්ව මගේ කරගන්න ලේසි නෑ කියන එක මම දැනගෙන හිටියා. 

“ඔව් සර් මේ ප්‍රශ්නවලට උත්තරයක් හොයාගන්නත් එක්කම අපි දෙන්නා හිතුවා මැරේජ් එක ලීගලයිස් කරන්න. ඒකයි. ලොකු ෆන්ක්ශන් ඒවා එහෙම ගත්තෙ නෑ. අපිත් ඉතින් වයසක මිනිස්සුනෙ දැන්” කියලා මම ලාවට හිනාවක් දාද්දි ලෝයර් නම් ඕනවටත් වඩා හයියෙන් හිනා උනා කියලා තමයි මට හිතුණෙ. 

“හොඳයි. දැන් මම ඔයාට ඉතා පැහැදිලිව දෙයක් පැහැදිලි කරන්න ඕන. ඔයාගේ මැරේජ් එකෙන් මේ දරුවව කුලවද්දාගන්න කතාවට උදව්වක් ලැබෙනවා තමයි. හැබැයි ගොඩක් අය හිතන විදිහට නම් ලේසියෙන් ඕක වෙන්නෙ නෑ.” කියලා ලෝයර් ටික වෙලාවකට තමන්ගෙ කතාව නතර කරේ හරියට ඒ වචනවලට මගෙ හිත අස්සෙ පැලපදියම් වෙන්න, මුල් අදින්න ඉඩ දෙන්න වගේ. 

“එකෙන් ඔයාට නීතියෙන් ස්වයංක්‍රීයව දරුවාගේ භාරකාරත්වය ලැබෙන්නේ නැහැ. ඔයාට තාත්තා වෙන්න බැහැ. ශ්‍රී ලංකා නීතියට අනුව, විවාහයෙන් දරුවෙකුගේ නීතිමය පීතෘත්වය වෙනස් වෙන්නේ නැහැ. අධිකරණයකින් ඉවත් කරන තුරු ජීව විද්‍යාත්මක පියවරුන්ට තවමත් ප්‍රාථමික අයිතිවාසිකම් තියෙනවා.” කියලා ලෝයර් ඉතුරු ටික කියද්දි බොරු කියන්න ඕන නෑනෙ මට දැනුනෙ මගෙ බඩ ඇතුලෙන් පටන් ගත්ත අමුතු හුළඟක් වගේ එකක්, හරියට අර ඔංචිල්ලාවක් උඩට යද්දි එකපාර බඩ කොරවීගෙන යන එකක් මට දැනුනා.

ඒත් මම මුකුත් කිව්වේ නැහැ. මට කියන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ලෝයර් මගේ මූනෙ ලියවිච්ච එක්ස්ප්‍රෙශන්ස් ඒ වෙද්දිත්  කියවලා තිබුණා.

“තාරානාත් මං දන්නවා ඒක පොඩ්ඩක් දරාගන්න අමාරු කතාවක් තමයි කියන එක. ඒත් අපි ඇත්ත දැනගෙනනෙ හැමදේටම මූන දෙන්නෝන. ඔයාගේ ප්‍රශ්නය ඔයා මේ දරුවා සම්බන්ධයෙන් දක්වන ආදරේ, කැපවීම නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි නීතිය. නීතිය මුලින්ම බලන්නේ ජීව විද්‍යාත්මකව දරුවගෙ තාත්තා කවුද කියන එක. ඊට පස්සේ තමයි රැකවරණය දෙන එකට තැනක් හම්බෙන්නෙ. හැබැයි රැකවරණය දෙන එක ගොඩක් වැදගත්. ඒ නිසයි අපිට මෙතන නඩුවකට යන්න ලොකු චාන්ස් එකක් තියෙන්නේ. මොකද මේක නඩුවක් නැතුව අපිට විසඳගන්න තිබ්බා ඔය බබාගෙ බයොලොජිකල් තාත්තා කියන කෙනා ඇවිත් පොලිස් කේස් එකක් දැම්මෙ නැත්තම්.”

“අපේ මැරේජ් එකෙන් කිසිම උදව්වක් මේ කේස් එකට නැද්ද මිස්ට?”

“මොකෝ එකපාර එහෙම එකක් ඇහුවෙ? නෝනව ඩිවෝස් කරන්නවත් ද අදහස?”

“අයියෝ පිස්සුද? අයි ජස්ට් වෝන්ටඩ් ටු නෝ දැට්ස් වයි”

“නෝ නෝ අයි වස් ජස්ට් කිඩින් තාරානාත්. නෑ ඇත්තටම මේ මැරේජ් එකෙන් ලොකු දෙයක් වෙනවා. ඒකෙන් ඔයාව ස්ථාවර කරනවා, එකෙන් අධිකරණයට පෙන්වනවා ඔයාට ගෙදර හොඳ, දරුවෙක්ව ගොඩනගන්න සුදුසු පරිසරයක් තියෙනවා කියන එක. පාට්නර් කෙනෙක් ඉන්නවා. සපෝට් සිස්ටම් එකක් තියෙනවා. දරුවා ඇති දැඩි කිරීමට උදව් කරන්න කෙනෙක් ඉන්නවා කියන එක ඒ විවාහයෙන් අපිට ඔප්පු කරගන්න පුළුවන්. නමුත් ඔයා තවමත් ඔයා ප්‍රාථමික රැකබලා ගන්න කෙනා බව ඔප්පු කරන්න ඕන. ඒ වගේම ජීව විද්‍යාත්මක පියා භයානක හෝ නුසුදුසු බවත් ඔප්පු කරන්න ඕන.”

ලෝයර් වචනයක් කියලා ඉවර වෙන වාරයක් පාස මම උන්නෙ ඒ හැම වචනයක්ම තේරුම් ගන්න උත්සහ කරන ගමන්. ලෝයර් තමන් ඉදිරිපිට මේසෙ උඩ තිබිච්ච ෆයිල් ගොන්නෙන් එකක් ඇදලා අරගෙන අපේ කළින් මීටින් එක වෙලාවෙදි මිනිහා ඒ ෆයිල් එකේ තිබ්බ නෝට්ස් ආයෙ බැලුවා.

“අපි මුලින්ම භාරකාරත්වය සඳහා ඉල්ලුම් කරන්න ඕන. ඒක ටිකක් ලේසි පියවරක්. හැබැයි භාරකාරත්වය විතරක් මදි. ජීව විද්‍යාත්මක පියා ආපහු ආවොත්, තර්ජනය කරොත් දරුවගෙ අයිතිය ගැන කියලා,  මම හිතනවා එයා එයි කියලා, එයාට ඒකට අභියෝග කරන්න පුළුවන්කමක් තියෙනවා. එයාට භාරකාරත්වය ඉල්ලා සිටින්න පුළුවන්. එයාට අතහැර දැමීම හෝ අනුමැතිය නොමැතිකම ගැන චෝදනා කරන්න පුළුවන්. ඒ නිසයි අපි හැම දෙයක්ම සූදානම් කරගෙන ඉන්න ඕන.”

“මිනිහා මේ වැඩේ අතාරින පාටක් නෑ මිස්ට. පහුගිය දවසකත් ආය ගෙදරට ආවා. පොලිස් කේස් එකක් තියෙන නිසා කෑගහන්න වගේ ගියේ නෑ මං හිතන්නෙ බයට වෙන්නැති. හැබැයි දරුවා එයාගේ, දරුවව විතරක් හරි එයාට ඕන කියලා ඉතින් අර පරණ බයිලෙම ආයෙ ගැහුවා.”

“හොඳයි.”

“හොඳයි?”

“ඔව්, මිනිහගෙ පැත්තෙන් තියෙන තර්ජන වගේම ආක්‍රමණශීලී බව අපේ නඩුවට උදව්වක්. ඒවායින් පෙන්නනවා මිනිහගෙ පැත්තෙන් මේ දරුවව භාරගන්න තියෙන අස්ථාවරත්වය වගේම නුසුදුසුකම. දරුවාව මිනිහට භාරදෙන එක ආරක්ෂිත නැති බව අධිකරණයට ඔය සාක්කිවලින් පෙන්නනවා. ඒ ගැන වාර්තා කරන්න. හැම වතාවකම ඒ වගේ දෙයක් උනාම පුළුවන්නම් අඩුම මොනාමහරි එවිඩන්ස් එකක් ගන්න ට්‍රයි කරන්න.”

“මට බැරිද මේ දරුවව දරුකමට හදාගන්න ගන්න?”

“ඔයාට පුළුවන්. හැබැයි දරුකමට හදා ගන්නත් ඔයාට ජීව විද්‍යාත්මක පියාගේ අත්සන් කරන ලද කැමැත්ත ඕන. එහෙමත් නැත්නම් නොසලකා හැරීම, කෲරත්වය, හෝ අතහැර දැමීම කියන කාරණා ඔප්පු කරන්න ඕන. ඒ ප්‍රොසෙස් එක ටිකක් දිගයි. සාක්කි තියෙනවනම් ඇති තරම් ඉතින් දිනන්න පුලුවන්.”

“මම තමයි ඒ දරුවව හදන්නෙ. ඒ දරුවා තාත්තා කියලා අඳුරන්නෙ මාව කියන එක, එයා ඉපදිච්ච දවසෙ ඉඳලා ඒ දරුවව බලාගත්තෙ මං කියන එක, කවන්නෙ පොවන්නෙ නාවන්නෙ, අඬනකොට නලවන්නෙ හුරතල් කරන්නෙ මං කියන එක නීතිය දකින එකක් නැද්ද?”

“නීතිය ඒවා නොදකිනවා නෙවෙයි තාරානාත්. ඒත් එකට සාක්කි අවශ්‍යයි. උසාවි හැඟීම් මත තීරණ ගන්නේ නැහැ. උසාවිය තීරණ ගන්නේ සාක්කි මත. ඔයාට ඇත්ත උසාවියට පෙන්වන්න පුළුවන් නම්, උසාවිය ඒකට ඇහුන්කම් දෙයි. හැබැයි ඒකට අපි සූදානම් වෙන්නෝන” 

“ ඔය මනුස්සයා බලහත්කාරයෙන් දරුවාව ගන්න හැදුවොත්?”

“පුලුවන් තරම් ගෙදර ගේට් එක එහෙම ලොක් කරලා එහෙම තියන්න. සෙකියුරිටි කෙනෙක් එහෙම ඉන්නවා නම් ගයාන්ගෙ විස්තර දීලා ඉන්ෆෝම් කරලා තියන්න එහෙම ආවොත් ගේට් එකෙන් ඇතුලට අරගන්න එපා කියලා. තර්ක කරන්න එපා. එයා ආයෙත් ආවොත් පොලිසියට කතා කරන්න. වයිෆ්ටත් ඉන්ෆෝම් කරලා තියන්න. ඒ වගේම තමයි දරුවව අරගෙන එලියට එහෙම යද්දි උනත් හොඳ පරිස්සමෙන්. අපි දන්නෙ නෑනෙ තාරානාත් ඔය වගේ මිනිස්සු මොන විදියෙ මෙශර්ස් වලට යාවිද කියලා නේද අද කාලෙ වෙන දේවල් හැටියට”

කියලා ලෝයර් තප්පරේකට තමන්ගෙ වචන නතර කරලා මං දිහා බලාගෙන ඉඳලා ආයෙමත් කතාව කරගෙන යන්න වචන එක්කහු කරා.

“ඔයා සටන් කරන්නේ දරුවෙක් වෙනුවෙන් විතරක් නෙවෙයිනෙ. ඔයා මේ මහන්සි වෙන්නෙ ඒ දරුවගෙ ඊයෙයි අදයි කෙසේ වෙතත් හෙට දවස හොඳ එකක් කරන්න. ඒ නිසාම යූ ඩිසර්ව් ටු වින් තාරානාත්. මම මේ වගේ කේස් එකක් හැන්ඩ්ල් කරන පලවෙනි වතාව තමයි මේක”

මම මොහොතකට ඇස් පියා ගත්තෙ ඒ වචන එක්ක. 

“එහෙනම් මම දැන් මොකද කරන්නේ?” 

“දැන්… ඔයා සූදානම් වෙන්න. ඔයා හැම දෙයක්ම එකතු කරන්න. ගෙදර පරිසරය දරුවට ජීවත්වෙන්න සුදු පරිසරයක් කරන්න සහ ඒක උසාවියට අවශ්‍ය උනොත් ඔප්පු කරන්න ඕන කරන දේවල් රෙඩි කරන්න. අපි රෙඩි වෙලා ඉඳිමු.”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles